පොසොන් පෝය – 2016

පොසොන් පොහොයයි හෙළ දෙරණයි

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
පින්වත්නි,

මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා සම්ප්‍රාප්තියෙන් පසු මෙරට ඇතිවූ ආගමික, ප්‍රබෝධය කෙතරම් විශාලදැයි කිව නොහැකි තරම්ය. රාජගුරු මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි, දීපචක්‍රවර්ති ධර්මාශෝක මහාරාජයා විසින් මේ සම්බුද්ධ ධර්මය ලෝකයටම බෙදා දිය යුතු යැයි කථිකා කොටගෙන දේශ දේශාන්තර නමයකට ව්‍යක්ත, විනීත, විශාරද බහුශ්‍රැත ධර්මවිනය ධර, සුපේෂල , ශික්ෂාකාමී සෘද්ධිබල සහිත මහරහතන් වහන්සේලා නව කණ්ඩායමක් ආසියාතික රට රාජ්‍යවලට යවන ලදහ. ඒ කණ්ඩායම් නවයෙන් තම අතිජාත පුත්‍ර මිහිඳු මහරතන් වහන්සේ ප්‍රමුඛව එවන ලද්දේ ශ්‍රී ලංකාද්වීපයටයි.

එදා ලක්දිව රජකම් කළ දේවානම්පියතිස්ස කුමරු රජකමට පත්වීමත් සමඟ රාජකීය දූත පිරිසක්, සුබපැතීමේ හසුනකුත් සමඟ ධර්මාශෝක රජු විසින් දේවානම්පියතිස්ස රජු වෙත එවන ලද්දේ මහත්වූ තෑගි බෝග රාශියකුත් සමඟය. එකී හසුනෙහි සඳහන් වූයේ අභිනව රජකමට පත් දේවානම්පියතිස්ස රජුට සුබ පැතීම සහ තමා තුණුරුවන් සරණ ගිය සැදැහැවත් බෞද්ධයකු බවට පත්වූ වගය. තුණුරුවන්ගේ ගුණ සඳහන් කොට ධර්ම කරුණුද ස්වල්පයක් සඳහන් කොට දේවානම්පියතිස්ස රජුටත් තමා ගත් මඟ යාම අතිශය උචිත බව සඳහන්ව තිබුණි.

මෙකී රාජකීය දූත පිරිස ධර්මාශෝක රාජයාගේ තෑගි බෝග සහ හසුනත් එතුමා යෝජනාකොට තිබුණ තෙරුවන් සරණ ගිය සැදැහැවත් බෞද්ධයෙකු වූ බව සඳහන් වීමත් එසේම අපේ තිස්ස රජුටද, ඒ මඟ ගැනීම යෝග්‍ය බව අවධානය යොමුකොට, හසුනෙහි ඇතුලත්ව ඇති කරුණු පිළිබඳවත් දැන ගැනීමට යෝජනාවක් වු බව නිසැක ලෙසම සිතිය හැකිය. එය එසේම විය.

මෙයින් සති ගණනාවකට පසු එළැඹි පසළොස්වක් පොහෝදා මෙයින් 2324 සූවිසි වැන්නේ පොසොන් පුර පෝදා මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය ,උත්තිය, සම්බල ,භද්දසාල හා සුමන සාමණේර හිමි, භණ්ඩුක උපාසක ඇතුළු විශේෂ ධර්මදූත පිරිස, පොසොන් පෝදා මිහින්තලයට සැපත් වූහ. ඒ දේවානම්පියතිස්ස මහරජු ප්‍රමුඛ රාජකීය මහ පිරිසත් විනෝදය පිණිස මිහින්තලා වනයට ගිය අවස්ථාවකි ඒ. තිස්ස රජතුමා දුටුවේ මහ අසිරියකි.එනම්, වැඩ සිටින භික්ෂු පිරිස දුටහ.

කවදාවත් නොදුටු මේ කහ සිවුරු පොරවන ලද සඟ පිරිස දැකීමෙන් භීතියටත් පුදුමයටත් පත්වෙත්ම, අසන්නට ලැබුණේ සිත් ගන්නා සුළු කටහඩකින් තමන් කවුරුන් දැයි යන්න අඟවන මිහිරි ගාථාවකි.

‘‘සමණා මයං මහාරාජ – ධම්මරාජස්ස සාවකා
තමෙම අනුකම්පාය – ජම්බු දීපා ඉධාගතා’’

මහරජ, සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂූන් වහන්සේලා වන අප, ඔබටම අනුකම්පා පිණිස, ඔබ ගැනම බලාපොරොත්තු සහිතව දඹදිව සිට පැමිණියෝ වෙමු. සැණෙකින් තිස්ස රජුට ධර්මාශෝක රාජයාණන් එවු ලිපිය මතක්විය. මහත් ගෞරවයෙන් මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස පිළිගත්හ. වඩාත් සතුටු වූයේ අශෝක මහා රාජයාගේ පුතනුවන් වූ මිහිඳු මහ රහතන් වහන්සේම තමන් වෙත එවීම පිළිබඳවයි.

මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු විශේෂ ධර්මදූත පිරිස අනුරාධපුරයට කැඳවා නේවාසික පහසුකම් සලස්වා බණ දහම් අසා එතුමාත් පිරිසත් බෞද්ධයන් බවට පත්වූහ. එදා හමුවූ අවස්ථාවේදී මිහින්තලාවේදී දෙසූ ධර්මදේශනාව චුල්ලහත්ති පදෝපම සූත්‍ර දේශනාව විය.

ලංකා සංස්කෘතියට අනුකූලව වනයත්, ඇතාත් ඇසුරු කරගෙන වදාළ ඒ සූත්‍ර දේශනාවෙන් තිසරණයෙහි පටන් රහත්වීම දක්වා අවශ්‍ය කරුණු අඩංගු විය. ඉන්පසු වදාළ ධර්ම දේශනාවෝද, මෙරට ජනතාවටම සහ සම්බන්ධතාවන් ඇති උපමා සහිත දේශනාවෝම විය. රජතුමා ඇතුළු ජනතාව බෞද්ධ පිරිසක් බවට පත්කර ගැනීමට ආරම්භක හේතු කරුණු වූයේ මේවාය.

රටවල් නවයටම යවන ලද ධර්මදූත පිරිස මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ විසින් කලින් මාසයක් හමාරක් හුරු පුරුදු කරන ලදී. යවන රටවල තත්වය ඒ ඒ රටවල රජවරු සහ දේශගුණය පිළිබඳවත් පිළිපැදිය යුතු ආකාරය පිළිබඳවත් දැනුවත් කරන ලදී.

මිහිඳු මහරහතන් වහන්සේද එකී කණ්ඩායම් නවයෙන් එකකට අයත් ජ්‍යෙෂ්ඨයෙකු වූ බැවින් උන්වහන්සේටද පොදුවේම අර කණ්ඩායම් නවයේ සාකච්ඡාවලට සහභාගිවීමට සිදුවු අතර විශේෂ උපදෙස් මාලාවකටද සහභාගිවීමට සිදුවිය.

අනුබුදු මිහිඳු මාහිමියෝත් දේවානම්පියතිස්ස කුමරාත් රාජකීය පවුල්වල රාජකීය මට්ටමෙන් අධ්‍යාපනය ලද්දෝ වීම මෙරට බෞද්ධ රාජ්‍යයක් බවට පත්වීමට බලපෑ බව කිව යුතුය. දෙපළගේම අදහස වූයේ මෙරට යක්ෂ , නාග, දේව ආදී සියල්ලන් එකමුතුකර ගැනීමට බුදුදහම මුල්කරගෙන ඒ සියල්ලන්ටම කොන් කිරීමකින් තොරව සමානව සලකමින් මහණකම ලබා දීමය. පැවිද්දට කාන්තා පක්ෂයෙන්ද ඉල්ලීමක් ලද බැවින් සංඝමිත්තා රහත් මෙහෙණිය මේ සියල්ලෝම එක ගොනුවකට ගැනීමට ක්‍රම යෙදීය. ඒ සඳහා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවක් ගෙන්වා ගැනීමටද කටයුතු යෙදීය.

ජය ශ්‍රී මහා බෝධි ශාඛාවක් වැඩම කරවීමේ අදහසට මේ දෙපළගේම රාජ්‍ය අනුග්‍රහය පූර්ණබලය යොදන ලද බව නොරහසකි.

මේ අනුව සියල්ලන්ටම පොදුවේ මහණකම ලැබුණි. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව පන්ති බේදයකින් තොරව පළාත් බේදයකින් තොරව සැමටම ශාසන දායාදය ලැබුණි.

සියලු දෙනාට තෙරුවන් සරණයි.

– මහෝපාධ්‍යාය අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනු නා හිමි

(19-06-2016 – lakehouse.lk/budusarana/)

***************************************

මිහිඳු මාහිමි දෙසුම් හා සමාජ සාරධර්ම

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236ක් ගතවනවිට එනම් ක්‍රි.පූ. 306 – 307 අතර අවධියේ මිහිඳු මහ රහතන් වහන්සේ දඹදිව ධර්මාශෝක මහරජතුමාගේ ධර්මදූත ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවට වැඩම කළා.

ඒ පොසොන් පුර පසළොස්වක දිනකයි. මේ දිනය මේ රටේ නැකත් ක්‍රීඩා දිනයක් ලෙසයි එදා වෙන් වී තිබුණේ. මෙකල ලංකාවේ රජකම් කළ දෙවනපෑතිස් මහරජතුමා ප්‍රමුඛ රාජකීය පිරිස ක්‍රීඩාවක් වශයෙන් සිවුපාවුන්ට ජීවිත භය ගෙන දෙන හිංසක ක්‍රීඩාවක යෙදුන බව අප දන්නා කරුණක්. මෙයින් පැහැදිලි වන්නේ කුමක්ද, මෙම ක්‍රියාව හොඳ නරක හෙවත් විශ්ව සම්මත ආචාර ධර්ම පිළිබඳ ගැටලුවක් අප වෙත ඉස්මතු කරවන්නක් නොවේද? මිනිසාට පමණක් නොව සිව්පාවාට පමණක් නොව ගහකොළ වැනි අජීවි වස්තූන්ටද හිංසා පීඩා වන ආකාරයෙන් ක්‍රියා කිරීම ශිෂ්ට සම්මත ලෝකයේ ගැරහීමට ලක්වන්නක්. එසේ නම් එදා තාවකාලික වින්දනයක් අරමුණු කොට රජතුමා වැනි ඉහළ පෙළේ පිරිසක් මුව දඩයම වැනි ක්‍රියාවක යෙදීමෙන් ම පෙනී යන්නේ එවකට ශ්‍රී ලංකා සමාජයේ පැවැති ඇගයීම් කුමන දිසාවකට ගමන් කර තිබේද යන්නයි. මෙය සමාජයේ ආචාර ධර්ම පිළිබඳ ගැටලුවක් ද වෙනවා.

ආචාරධර්ම පිළිබඳ ලෝකයේ දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. ගී‍්‍රක යුගයේ ඇරිස්ටෝටල්, ප්ලේටෝ වැනි දාර්ශනිකයෝ ද මේ ගැන විවිධ මතවාද ඉදිරිපත් කර තිබෙනවා. ඒවා පිළිබඳ දීර්ඝ වශයෙන් කතා කිරීමට මෙහිදී අදහස් කරන්නේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වාදෙන ආචාර ධර්ම විධියයි අපට මෙහිදී වැදගත් වන්නේ. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව යමක් හොඳයි කියා අපට කියන්නට පුළුවන් වන්නේ එම ක්‍රියාව තමන්ටත් අනුන්ටත් අයහපතක් අවැඩක් නොවේ නම් එයයි. ඒ අනුව එසේ යම් ක්‍රියාවකින් තමන්ට හෝ වෙනත් අයෙකුට අයහපතක්, අවැඩක්, හිංසාවක් වන්නේ නම් එය යහපත් හෝ හොඳක් නොවන බවයි. මෙය විශ්ව සම්මත සත්‍යයක්මයි. මේ විදිහට බුදුදහමේ ඉගැන්වීම අනුව හොඳ නරක කියන මේ ආචාරවිද්‍යාත්මක වචන දෙක විග්‍රහ කොට පෙන්වා දෙන්නට පුළුවනි. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරන අවස්ථාව වන විට රටේ රාජ්‍ය පාලකයාව සිටි දෙවනපෑතිස් මහරජතුමා ඇතුළු මෙම රාජකීය පිරිස මුවකු ලුහුබැඳ යමින් සිදු කළ ක්‍රියාව ආචාරාත්මක වශයෙන් අපට හොඳ ක්‍රියාවක් ලෙස පෙන්වා දෙන්නට පුළුවන්කමක් නැත. එසේ නම් එදා මේ රටේ කුමන ආකාරයෙන් සමාජ ඇගයීම්, සමාජ සම්බන්ධතා ගොඩනැගී තිබුණාදැයි අපට සිතා ගන්නටත් පුළුවනි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දුරාතීතයේ සිටම පැවැතියේ ඉතා කිට්ටු සම්බන්ධතාවක්, ගොඩබිමින් පවා ඉන්දියාවේ වර්තමාන මදුරාසියට යාමට හැකි තත්ත්වයක් තිබුණා. මේ නිසා ආගමික, සාමාජික, අධ්‍යාපනික වශයෙන් විවිධ පැතිවලින් මේ දෙරට ජනතාව එක්ව ක්‍රියා කළා. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් ඉතා කෙටි කාලයක් තුළ මිහිඳු මාහිමියන්ගේ ආගමනය සිදු වුවත් ඒ වනවිටත් දඹදිව පැවැති බෞද්ධ විරෝධී විවිධ මිථ්‍යා ඇදහීම, ලංකාවට පමණක් ආවේණිකව පැවැති ඇදහීම හා බුදුදහමේ යම් යම් බලපෑම් මත ගොඩනැගුණු ඇදහීමද එකල පැවතුණා යැයි අපට සිතා ගත හැකිය.

මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස ලංකාවට වැඩම කළේ අද අප කවදත් ගරු බුහුමන් දක්වන මිහින්තලාව හෙවත් මිස්සක පර්වතය මුදුනට යි. මුව දඩයමේ යෙදෙමින් සිටි රජතුමා ප්‍රමුඛ පිරිස හමු වූයේ පොසොන් පුර පසළොස්වක දිනකයි. රජතුමා හා මිහිඳු මාහිමියන් අතර පැවැති සංවාදයෙන් පසු දෙදෙනාම ඔවුනොවුන් හැඳින වටහාගෙන අනතුරුව එහිදීම ‘චුල්ලහත්ථපදෝපම’ සූත්‍රයෙන් මාහිමියන් රජු ඇතුළු පිරිසට දහම් දෙසා බුදුදහමේ ස්වභාවය හෙවත් බෞද්ධ ගමන් මඟ පැහැදිලි කර දී ඒ දහම් මග තමන් වහන්සේ ඇතුළු පිරිස දඹදිව ධර්මාශෝක රජතුමාගේ ධර්මදූත පිරිසක් ලෙස මෙරටට දහම් පණිවුඩය රැගෙන ආ බව පැහැදිලි කර දුන්නා.මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේශනාකරන ලද ධර්මදේශනාමාලාවක් වුණා. පළමුවෙන්ම දේශනා කළ ‘චුල්ලහත්ථිපදෝපම’ සූත්‍රයෙන් හා ‘සමචිත්ත පරියාය’ සූත්‍රයෙන් පසු දෙවැනි දින අනුරාධපුර රාජ මාලිගාවට වැඩමවා රජු හා අනුලා දේවිය ඇතුළු පිරිසට දේශනා කරන ලද ‘පේතවත්ථු’ සූත්‍රදේශනාව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා. පේතවත්ථු සූත්‍රයේ සූත්‍ර 01ක් වර්ග හතරක් යටතේ දක්නට ලැබෙනවා. මේ හැම සූත්‍රයකින්ම පැහැදිලි වන්නේ යම්කිසි පාප ක්‍රියාවක් වැරැදි වැඩක්, සමාජයට හෝ තමන්ට අවැඩ පිණිස හේතුවන වැඩක් කිරීමෙන් එහි විපාක තමන්ට ම විඳින්නට වෙනවා කියන මේ කරුණයි. එයින් අපේක්ෂා කර ඇත්තේ ලක්වැසි ජනතාව සුමගට යොමු කිරීමයි.

මේ වනවිටත් මේ රටේ මළවුන් ඇදහීමේ ක්‍රමයක් එවක ආගමික විශ්වාස අතර තිබුණා. මේ සිරිතට නව අර්ථයක් මේ සූත්‍රදේශනාවෙන් මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලබාදීමට ප්‍රයත්නයක් දරා තිබෙනවා. ඒ ක්‍රමයෙන් බලන විට පව් කරන අය පරලොව දුක් විඳින ප්‍රේතාත්මභාවයක් ලබන අතර එයින් නොනවතින උන්වහන්සේ එම දුක් සහිත ප්‍රේතාත්මභාවයන්ට යාමට ඉඩ නො දෙන්නට නම් නිවැරැදි යහපත් ජීවිතයක් ගත කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් ඊට ජනතාව උනන්දු කරවීමේ අරමුණෙන් ඊළඟ ධර්මදේශනාව ලෙස විමානවත්ථු සූත්‍ර දේශනාව ඉදිරිපත් කළා. මේ ‘විමානවත්ථු’ දේශනාව තුළින් එදා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා යහපත් වැඩ කරන. නිවැරැදි ජීවිත ගත කරන අය පරලොව සැප විඳින ආකාරය. මෙය පෙන්වා දීම සඳහා දිව්‍ය විමානවල, සුගති භූමිවල උපදින එවැනි උදවිය පිළිබඳ විවිධ කතා පුවත් ගෙන හැර දැක්වීමක් එහි තිබෙනවා. ඒ දේශනා දෙකම එනම් අයහපත් දේ කරන කරන අය පරලොව ප්‍රේතාත්මභාවයක් ලබා කල්ප ගණන් දුක් විඳින ආකාරයත්, යහපත් දේ කරන අය දිව්‍යලෝකවල උපත ලබා සැප විඳින ආකාරයත් දැක්වෙන මේ ‘පේතවත්ථු’ ‘විමානවත්ථු’ දේශනාවන් ත්‍රිපිටකයෙන් තෝරා බේරා වෙන් කරගෙන විශේෂ වශයෙන් මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේශනා කර ඇත්තේ එදා සමාජයේ පැවැති අවශ්‍යතාවයක් සපුරාලන්නට බව පැහැදිලිව පෙන්වාදිය හැකි වෙනවා.

මිහිඳු මහරහතන් වහන්සේ එදා මේ සිරිලකට වැඩමවන අවස්ථාව වන විට මෙරට විවිධ ආගමික මතවාද විශ්වාස කළ පිරිසක් විසූ බවත් යහපත අයහපත පිළිබඳ පැහැදිලි දර්ශනයක් ඒ කිසිම දහමකින් පෙන්වාදී නොතිබුණු බවත් සිතා ගැනීමට තරම් ඒ ආගම් ගැන විමසන විට පෙනී යනවා. එසේ තිබුණා නම් මුල දී පෙන්වා දුන් පරිදි රජතුමා ඇතුළු රාජකීය පිරිස නැකත් ක්‍රීඩා දිනයක් ලෙස සැලකුණු පොසොන් පොහෝ දින හිංසක විනෝද ක්‍රීඩාවක යෙදීමට ඉඩක් නැහැ. එසේ නම් ඒ තත්ත්වයෙන් මුදා මේ නවතම දහම අනුව ජීවිත ගොඩනගා ගැනීමට නම් ලක්වැසි ජනතාවට සුචරිතය පෙන්වා දීමට උන්වහන්සේ උනන්දු වූ බව පෙනෙනවා. එසේ නම් එය එදා අවශ්‍ය කර තිබුණු සුචරිතවත් දැහැමි සමාජයක් ලංකාව තුළ නිර්මාණය කිරීම උන්වහන්සේගේ අරමුණ වුණා.

එපමණක් නොව අද අපේ බෞද්ධ සමාජයේ තහවුරුව පවතින මළගිය දෙමාපිය, ඥාතිමිත්‍රාදීන්ට පින් පැමිණ වීමේ චාරිත්‍රය තහවුරු වීමට බලපෑවේ උන්වහන්සේ දේශනා කළ පේතවත්ථු දේශනාවේ දැක්වෙන ‘තිරොතුඩ්ඪ’ සූත්‍ර දේශනාවයි. මෙයින් ප්‍රකාශ වන කතාව ඉතා වැදගත් වෙනවා. කොසොල් මහරජතුමාගේ ඤාති පිරිසක් ඵුස්ස’ නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි එකට එක්ව ජීවත් වී විවිධ පින්කම් කරන විට එදා බුදුරජාණන් වහන්සේට වස් කාලයක නොකඩවා දානය පිළියෙල කරමින් කටයුතු කළා. එදා ඒ දන්වැට භාරව ජන ප්‍රධානියෙක් ලෙස මෙදා කොසොල් රජතුමා ක්‍රියා කළා. මේ අතර තමන්ගේ ම ඤාතිපිරිසක් මේ දන්වැට ගසාකමින් එම පින්කම කටයුතුවලට බාධා පැමිණෙනවා. ජනප්‍රධානියා ඇතුළු සුචරිතවත් පිරිස පසුව කල්ප දෙයානුවක් සුගති භූමිවල හා දිව්‍ය ලෝකවල ඉපිද සැප වින්දා මේ අතර දන්වැට ගසාකමින් පින්කම්වලට බාධාකළ ඤාති පිරිස ඒ කල්ප 92 හි ම පේ‍්‍රත ලෝකයන්හි ඉපිද දුක් වින්දා. ගෞතම බුදුරජාණන් වහන්සේ දවස මේ ජනප්‍රධානියා කොසොල් රජුව ඉපදුණා. රජතුමා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සඟනට ඉතා ඉහළ මට්ටමේ මනා සංවිධානයක් කර මහාදානයක් පිරිනැමූ දවසක රාත්‍රියේ නින්දට ගිය පසු රජතුමා මහා භයානක සිහිනයක් දැක මහත් භීතියට පත් වුණා. රජතුමා පසුදින පාන්දරම දෙව්රමට ගොස් බුදුරජාණන් වහන්සේට මේ සිහිනයේ තොරතුරු කී පසු එදා දන්දුන් දින මළගිය ඤාතිප්‍රේතයන්ට පින් නොදුන් නිසා ඒ ඤාති ප්‍රේතයන් නිසා මෙවැනි හීනයක් දුටු බව ප්‍රකාශ කළා. එදිනම නැවතත් එවැනිම දනක් සූදානම් කර බුදුරජාණන් වහන්සේ ඇතුළු මහසඟනට ආරාධනා කර පිළිගැන්නුවා. එදින මළගිය ඤාතින්ට පින් දුන්නා. එයින් ම සතුටට පත් ඤාති ප්‍රේතයන් ඒ දුක් සහිත ප්‍රේතාත්මකභාවයෙන් නිදහස් වුණා.

මේ දේශනාව ගත්විට මළ ගිය ඤාතීන්ට පින් පැමිණවීම තුළින් ප්‍රේතාත්මභාවයන් ලැබූ තම ඥාතීන් ලබා දෙන පින් අනුමෝදන් ව සැපයට පත් වෙනවා.කියන මේ කරුණ පමණක් මෙයින් අදහස් කෙරෙන්නේ නැහැ. ඒ ඤාතීන් සැපවත් වනවා වගේම දැහැමි සමාජයට අවශ්‍ය කරන මිනිස් හදවත්වල කරුණාව ජනිත කරවීම, කළගුණ සැලකීම වැනි ගුණධර්ම ප්‍රගුණ කරවීම, දුකට පත්වන අයට පිහිට වීමෙන් ඒ අය මුද වා ගැනීම වැනි සමාජ සාරධර්ම රාශියක්ද සමාජයට හුරු කිරීමට හේතු වෙනවා. බුද්ධ දේශනාවේ හා අට්ඨකතාවේ එන විස්තරයට අනුව කෙනෙක් මිය ගිය පසු ප්‍රේතාත්ම භාවයක් ලබන්නට හේතු වන්නේ අකුසල කර්ම කිරීමෙනුයි.

– වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් රාජමහා විහාරාධිපති, පූජ්‍ය මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමි

(19-06-2016 – lakehouse.lk/budusarana/)

***************************************

ශ්‍රී ලාංකීය ජන හද බැඳගත් මිහිඳු මාහිමි දේශනා

මිහිඳු මාහිමියන් අසන ලද ප්‍රශ්න සඳහා රජතුමා සපයන ලද පිළිතුරුවල ස්වරූපය අනුව එතුමා බුද්ධිමතෙකු බව වටහා ගත් උන්වහන්සේ රජතුමා ඇතුළු පිරිසට පළමුව චුල්ලහත්ථි පදෝපම සූත්‍රය දේශනා කළ සේක.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ දෙසීය තිස් හත්වැනි (237) වර්ෂයෙහි මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ දූත කණ්ඩායම ශ්‍රී ලංකාවට වැඩම කළ බව දීපවංසය, මහාවංසය මෙන්ම සමන්ත පාසාදිකාව ද සඳහන් කරයි. මහින්දාගමනය ශ්‍රී ලංකාවේ නව සංස්කෘතියක ආරම්භ විය. මිහිඳු මාහිමියන්ගේ විචක්ෂණශීලි බව හා දේශනා කෞශල්‍ය නිසාවෙන් දේවානම්පියතිස්ස මහ රජතුමා ප්‍රමුඛ ලක්වැසි ජනතාව බුදුදහම වැළඳගෙන, පෝෂණය කරන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කළහ. විශේෂයෙන් මෙහිදී මිහිඳු මහරහතන් වහන්සේ මනෝවිද්‍යාත්මක වූ ද සමාජවිද්‍යාත්මක වූ ද ඉතාමත් තාර්කික පදනමකින් ලක් වැසි ජනතාවට දහම් දෙසන්නට සූත්‍ර දේශනා තෝරාගෙන ඇති බව පෙනේ. ඒ පිළිබඳ අපගේ අවධානය මෙහිදී යොමු කෙරේ.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන්වැනි ශතවර්ෂයෙහි මුල් භාගයෙහි පාටලී පුත්ත නගරයෙහි දී පවත්වන ලද තුන්වැනි ධර්ම සංගායනාවෙන් පසුව මිහිඳු මහ රහතන් වහන්සේගේ උපාධ්‍යායයන් වහන්සේ හා භික්ෂු මහා සංඝයා ද ශ්‍රී ලංකාවට වැඩම කොට එහි සම්බුද්ධ සසුන පිහිටුවන ලෙස ආරාධනා කළහ. එම ආරාධනාව පිළිගත් මිහිඳු මාහිමියෝ ඊට සුදුසු කාලය දැයි විමසා බැලූහ.

එදා ශ්‍රී ලංකාවේ සිංහාසනාරූඪව සිටියේ මුටසීව රජතුමාය. ඔහු මහලු රජෙකි. එබැවින් මිහිඳු මාහිමියෝ එම කාලය ලංකාවේ සම්බුදු සසුන පිහිටුවීමට නුසුදුසු කාලයක් ලෙස සැලකූහ. මහලු රජ කෙනෙකුගේ අනුග්‍රහය ලබමින් ලක්දිව සම්බුදු සසුන පිහිටුවීම අසීරු කරුණක් ලෙස කල්පනා කළ උන්වහන්සේ මුටසීව රජතුමාගේ පුත් දේවානම්පියතිස්ස රාජ්‍යත්වයට පත් වන තුරු බලා සිටියහ. මෙයද සමාජ විද්‍යාත්මක හා තර්කානුකූල ක්‍රියාවකි. එසේම දේවානම්පියතිස්ස මහ රජතුමා හා ධර්මාශෝක අධිරාජ්‍යයා අතර පැවති සුවිශේෂි සබඳතා පිළිබඳව ඉතිහාසය සඳහන් කරයි.

මිහිඳු මා හිමියෝ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, යන මහ තෙරවරු ද වේ. අභිඤ්ඤාලාභි සුමන සාමණේර ද භණ්ඩුක උපාසක සමඟ ද ශ්‍රී ලංකාවට වැඩම කිරීම පිළිබඳව සාකච්ඡා කළහ. එම අවස්ථාවේ දී ශක්‍ර දේවේන්ද්‍රයා ද පැමිණි මිහිඳු මාහිමියන්ට ලංකාවට වැඩම කොට බුදු සසුන පිහිටුවීමට ආරාධනා කළේය. මිහිඳු මාහිමියෝ ශක්‍ර දේවේන්ද්‍රයාගේ ආරාධනාවද පිළිගෙන ඉහත නම් සඳහන් කළ අනෙක් සදෙනාත් සමඟ වේදිසක පර්වතයෙන් අහසට නැග අනුරාධපුරයේ නැගෙනහිර දෙස පිහිටි පසු කාලයේ දී චේතිය පබ්බත නමින් හැඳින් වූ මිස්සක පව්වට වැඩම කළහ. උන්වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළේ පොසොන් මස පුර පසළොස්වක පොහෝ දිනයේ දීය. එදින ලක්දිව ජෙට්ඨ මූල නක්ඛත්ත නම් උත්සව දවස විය. දේවානම්පියතිස්ස රජතුමා ද නක්ඛන්තය ප්‍රකාශ කර හතලිස් දහසක් පිරිවරාගෙන දඩයම පිණිස මිස්සක පව්වට ගියේය. මිස්සක පව්වට අරක් ගත් දේවතාවෙක් රජතුමාට මහ තෙරුන් දක්වමියි සිතා රෝහිත මෘග වේශයෙක් ගෙන නොදුරු තැනක තණපත් කන්නියක මෙන් හැසිරෙන්නීය. රජතුමා ඌ දැක දුනු දිය අමෝරාගෙන මුවා පසු පස ලුහු බැන්දේය. රජතුමා අඹතලය දක්වා කැඳවාගෙන ආ මුවා මහ තෙරුන්ට නුදුරෙහිම නොපෙනී අතුරුදන් විය.

තමා වෙත පැමිණි රජතුමා දුටු මිහිඳු මාහිමියෝ ඔහුට තිස්ස තිස්ස යන නාමයෙන් ආමන්ත්‍රණය කළහ. සුන්බුන් පිළි දරන හිස මුඩු කරගත් කසාවත් හැඳ පෙර වු මෙතෙමේ මාගේ නම කියා අමතන්නේය මෙතෙමේ මනුෂ්‍යයෙක් ද අමනුෂ්‍යයෙක්ද කවරෙක් හෝ වන්නේ දැයි සිතීය.එවිට මහා ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාව වදාළහ.

සමණාමයං මහාරාජ – ධම්මරාජස්ස සාවකා
තමෙව අනුකම්පාය –ජම්බුදීපා ඉධාගතා

‘මහ රජ ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ අපි ශ්‍රමණයන් වන්නෙමු. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියහ” යැයි වදාළහ.

දෙපාර්ශ්වය මුණ ගැසුන අවස්ථාවේ ඇති වු සංවාදය අතිශය බුද්ධිමත් වූවක් බව පෙනේ. මිහිඳු මාහිමියන් මුණ ගැසුන දේවානම්පියතිස්ස මහ රජතුමා, ස්වාමීනි, ඔබ වහන්සේලා කුමකින් වැඩියේ දැයි විචාල කල්හි මහ රජ දියෙන් නොම ආවෙමු. ගොඩින් නොම ආවෙමු යි වදාළ සේක. එකල්හි රජතුමා උන්වහන්සේලා අහසින් වැඩම කළ බව දැනගත්තේය. අනතුරුව මහ තෙරුන් වහන්සේ දෙවන පෑතිස් රජතුමා ප්‍රඥාවන්තයෙකු දැයි පරීක්ෂා කිරීම සඳහා යොදා ගත් බුද්ධි පරීක්ෂණය ද අතිශයින් වැදගත් වේ.

රජතුමනි මේ ගස කුමක්ද? – අඹ ගසකි

මේ ගස හැර අන් අඹ ගස් ඇත්තේද – වෙනත් අඹ ගස් බොහෝ ඇත්තේය

මේ අඹ ගසත් ඒ අඹ ගසුත් හැර වෙනත් ගස් ඇත්තේද? – බොහෝ ඇත්තේය. ඒ අඹ නොවේ

ඒ අනුව අඹ ගස් ද අඹ නොවන ගස්ද හැර වෙනත් ගස් ඇත්තේද ? – ඇත ස්වාමීනි, ඒ මේ අඹ ගසයි

මහ රජතුමනි ඔබට නෑයන් සිටී ද? – බොහෝ නෑයෝ ඇත.

නෑයන් හැර නොනෑයන් සිටීද? – බොහෝ නොනෑයෝ ඇත.

මහ රජතුමනි, ඔබගේ නෑයෝ නොනෑයෝ හැර අන් කිසිවෙක් ඇත්තේද ? – එසේය ස්වාමීනි, ඒ මමම වෙමි.

මිහිඳු මාහිමියන් අසන ලද ප්‍රශ්න සඳහා රජතුමා සපයන ලද පිළිතුරුවල ස්වරූපය අනුව එතුමා බුද්ධිමතෙකු බව වටහා ගත් උන්වහන්සේ රජතුමා ඇතුළු පිරිසට පළමුව චුල්ලහත්ථි පදෝපම සූත්‍රය දේශනා කළ සේක. මෙය මජ්ක්‍ධිම නිකාය මූල පණ්ණාසකයේ සඳහන් සූත්‍රයකි. විශේෂයෙන් මෙම සූත්‍රය මගින් ආධුනිකයෙකු සඳහා තුනුරුවන්ගේ ගුණ හඳුන්වාදීමක් සිදු කරයි. පිලෝතික පිරිවැජියා හා ජාණුස්සෝනිය බ්‍රාහ්මණයා අතර ඇතිවන සංවාදයක් ඇසුරින් චුල්ලහත්ථී පද උපමා කොටගෙන බුදුපියාණන් වහන්සේගේ සුවිශේෂත්වය පැහැදිලි කරන අතරම ධර්ම රත්නයේ හා සංඝරත්නයේ ගුණයන් පිළිබඳ හඳුන්වා දෙයි. ආධුනික කණ්ඩායමකට තෙරුවන් ගුණ හඳුන්වා දිය යුතුම වේ. ඒ බව අවබෝධ කරගත් මහින්ද මහ රහතන් වහන්සේ පළමුව එම කාර්යය ඉටු කළ සේක. සූත්‍ර දේශනාව අවසානයේ රජතුමා ඇතුළු හතළිස් දහසක් වූ කණ්ඩායම තෙරුවන් සරණ ගියහ.

පසු දින රජ මාලිගාවට වැඩම කළ මහින්ද මහ රහතන් වහන්සේ ප්‍රමුඛ දූත කණ්ඩායම දන් වළඳා අවසන පේතවත්ථුව විමාන වත්තුව හා සච්ච සංයුක්තය ප්‍රධාන කොට ගෙන දහම් දෙසූහ. පස් පව් දස අකුසල් ආදි අකුසල කර්මයන්ගේ විපාකයන් පේතවත්ථුවේ දී මනාව පැහැදිලි කරයි විශේෂයෙන් බොරු කීම, කේළාම් කීම, සොරකම් කිරීම, පර පුරුෂ පර ස්ත්‍රී සේවනය ආදි ළාමක පහත් ක්‍රියා සිදු කිරීම නිසා විඳින්නට සිදු වූ කටුක අප්‍රසන්න වේදනා පේත වත්ථුවේ විස්තර කරයි. එසේම දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම, දයාව, කරුණාව මෛත්‍රිය, ධර්මානුකූල නිවැරදි ජීවන පුරුදු පුහුණුූ කිරීම නිසා සසර ජීවිතයේ විඳින්නට සිදු වූ සැප විපාක පිළිබඳ උසස් වර්ණනාවත් විමාන වත්ථුව තුළ අන්තර්ගතය. ඒ අනුව දෙවනුව මිහිඳු මහරහතන් වහන්සේ සිදු කොට ඇත්තේ පුද්ගල ආචාරශීලි ඇවතුම් පැවතුම් වැඩි දියුණු කරලීම සඳහා බෞද්ධ ඉගැන්වීම තුළ සාකච්ඡා කරන කර්ම විපාක සංකල්පය සරලව හඳුන්වා දීමකි. එසේ සච්ච සංයුත්තයේ අන්තර්ගත සූත්‍ර බොහොමයකම පුද්ගල ආචාර ධර්ම පිළිබඳව උගන්වන අතර ජීවිත විසුද්ධියට අවශ්‍ය ගමන් මගද හෙළි කරනු ඇත. එම දේශනාව අවසානයේ පන්සියයක් ස්ත්‍රීහු සෝතාපත්තිඵලය ප්‍රත්‍යක්ෂ කළ බව සඳහන් වේ.

මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ දූත කණ්ඩායමේ වැඩම වීම කන වැටුණූ වැසියෝ රජ මාලිගයට රැස් වූහ. රජමාලිගාව එම මහා ජනගහණයට ප්‍රමාණවත් නොවුයෙන් රජතුමාගේ ඇත්ගාල සකස් කරවා අසුන් පනවා එම මහා ජනකායට දහම් අසන්නට අවස්ථාව සලසා දී ඇත. ඇත්ගාලට රැස්වූ ජනතාව වෙනුවෙන් මිහිඳු මහ රහතන් වහන්සේ දේවදූත සූත්‍රය දේශනා කළ බව සඳහන් වේ. මෙය මජ්ක්‍ධිම නිකාය උපරිපණ්ණාසකයේ අන්තර්ගත සූත්‍රයකි. මෙම සූත්‍රයේදි කාය දුෂ්චරිත, වාග් දුෂ්චරිත, මනෝ දුශ්චරිතවලින් ඉවත්ව කාය සුචරිතය , වාග් සුචරිතය, මනෝ සුචරිතය වැඩි දියුණුූ කරගන්නට අවශ්‍ය දහම් උපදේශන ලබා දෙයි. අනතුරුව ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදි අවස්ථාවන් ජීවිතයේ යථාර්ථ බව අවබෝධ කරගැනීමට පැමිණි දේවදූතයන් සේ සලකා ජීවිත යථාර්ථය විග්‍රහ කරනු ඇත. අනතුරුව දුගතියේ විඳින්නට සිදු වන දරුණු විපාකයන් පිළිබඳ විග්‍රහයක්ද දක්වයි. මෙම සූත්‍රය මගින්ද සුචරිතවත් සමාජ සාමාජීක පිරිසක් ඇති කරමින් ජීවිතය දකින්නට අවශ්‍ය මග හෙළි කොට ඇති බව පෙනේ. මෙම සූත්‍ර දේශනාව අසා දහසක් දෙනා සෝවාන් මාර්ගඵලාබෝධය ලබා ගත් බව සඳහන් වේ.

ඇත්හල ද රැස් වූ ජනතාවට ප්‍රමාණවත් නොවුයෙන් නන්දන විනෝද්‍යානයෙහි අසුන් පනවා රැස් වූ ජනතාවට දහම් අසන්නට අවස්ථාව සලසා දී ඇත. එහි දී මිහිඳු මහ රහතන් වහන්සේ රැස් වූ මහ ජනතාව වෙනුවෙන් ආසිවිසොපම සූත්‍රය දේශනා කළ බව සඳහන් වේ. මෙය සංයුක්ත නිකායේ ආසිවිස වර්ගයේ ඇතුළත් සූත්‍රයකි. මෙම දේශනාවේ දී ජන ජීවිතයට ඉතාමත් සමීප වූ උපමා රැසක් උපයෝගී කරගනිමිනි. ගැඹූරු දහම් කරුණු අර්ථවත් කර දීමක් සිදු කරයි. දහම් කරුණු ගැඹූරුවුවද ජන ජීවිතයට ඉතාමත් සමීප උපමා යොදා ගනිමින් කෙරුණූ විග්‍රහයක් බැවින් එම සූත්‍රදේශනාවද ජන ජීවිතයට කිඳා බැස ඇති බව පෙනේ. මෙම සූත්‍රයේ දක්වන උපමා හා දහම් කරුණු කෙටියෙන් මෙසේ පෙන්වා දිය හැකිය.

දරුණු විෂ ඇති සර්පයෝ සිව් දෙනා – පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයෝ

සතුරු වූ පස් වැදෑරුම් වධකයෝ – පඤ්ච උපාධානස්ඛන්ධයෝය

ඇතුළත හැසිරෙන ඔසවා ගත් කඩු ඇති භය වන වධකයා – නන්දිරාගය හෙවත් තණ්හාව වේ.

හිස්ගමයනු – චක්ඛු , සෝත, ඝාණ, ජීව්හා, කාය, මන යන ආධ්‍යාත්මක ආයත සය වේ.

ගම් පහරන සොරු යනු – රූප,ශබ්ද, ගන්ධ ,රස, ස්පර්ශ, ධම්ම යන බාහිර ආයත සය වේ.

මහා ජලාසය යනු – කාම ඕඝ, භව ඕඝ, අවිජ්ජා ඕඝ වේ.

සැක සහිත බිය සහිත මෙතෙර යනු – සක්කාය දිට්ඨිය වේ

පරතෙර යනු – නිවන වේ

මෙම සූත්‍ර දේශනාවසානයෙහි දහසක් දෙනා සොතාපත්තිඵලයට පත්වූ බව සඳහන් වේ.

මහා මහින්ද මහ රහතන් වහන්සේ ප්‍රධාන භික්ෂු මහා සංඝරත්නය විෂයෙහි අත පැන් වත් කර මහමේවනා උයන පූජා කිරීමෙන් අනතුරුව රජ මාලිගයෙන් දන් වළඳා නන්දන උයනටම වැඩම කොට රැස්ව සිටි පිරිසට අනමතග්ගිය සංයුත්තයෙන් දහම් දෙසූ සේක.

අනමතග්ගිය සංයුත්තවෙහි පඨම වග්ග, දුතිය වග්ග යනුවෙන් වර්ග දෙකකි. මෙම වග්ග දෙකෙහි සූත්‍ර විස්සක් ඇතුළත්ව පවතී. එම සූත්‍ර දේශනා තුළ ද පුද්ගල ජීවිතයේ සාර්ථකත්වය සඳහා අදාළ උපදේශන මෙන්ම ජීවිත විශුද්ධිය සඳහා වූ ගමන් මගද පැහැදිලි කරයි. ඉන් අනතුරුව උන්වහන්සේ අග්ගික්ඛන්ධොපම සූත්‍රය දේශනා කළහ. මෙම සූත්‍රය සංයුක්ත නිකායේ මහා වග්ගයෙහි ඇතුළත් සූත්‍රයකි.

– ශ්‍රී රෝහණ සංඝ සභාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ වැඩ බලන මහෝපාධ්‍යාය පූජ්‍ය මහාචාර්ය කනත්තෙගොඩ සද්ධාරතන හිමි

(19-06-2016 – lakehouse.lk/budusarana/)

***************************************

මිහිඳු මාහිමියන් හෙළදිව පැවැත් වූ දෙවන දහම් දෙසුම

“මිනිස් අත්බව ලැබූ කෙනෙකුට පේතවත්ථුවල දැක්වෙන දුර්ගති මාර්ගයන්හි ගමන් නො කොට, විමානවත්ථුවල දැක්වෙන සුගති මාර්ගයන්හි ගමන් කරන්නේ නම් ඔහුට තමා ලද මිනිසත් බව වඩ වඩා සඵල කරගත හැකිය.” යන උදාර පණිවුඩය අනුබුදු මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කළ දෙවෙනි දවසේදීම ප්‍රකාශයට පත් කළ ආකාරය පේතවත්ථු, විමාන වත්ථු මාතෘකා කරගෙන රජ මැදුරේදී කළ ධර්ම දේශනය ආශ්‍රයෙන් සිතා ගත හැකිය.

ක්‍රි.පූ. තෙවන සියවසේ දී අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ බෞද්ධ ධර්මදූත පිරිස බුදු සසුන පිහිටුවීම සඳහා සිරිලකට වැඩම කළහ. ඒ ඓතිහාසික සිද්ධිය වූයේ පොසොන් පෝය දිනකය.එවකට සිරිලක රජ කළ පෑතිස් නිරිඳුන් උන්වහන්සේට මුණගැසුණේ මිහින්තලේ දී ය. තමා ඇතුළු පිරිස රජුට හඳුන්වා දෙමින්,

“සමණා මයං මහාරාජ – ධම්ම රාජස්ස සාවකා
තවේව අනුකම්පාය – ජම්බුදීප ඉධාගත”

යනුවෙන් මිහිඳු මාහිමියන් කළ ප්‍රකාශයේ ඇතුළත් “තවේව අනුකම්පාය” (ඔබට ම අනුකම්පා පිණිස) යන යෙදුම තුළ උන්වහන්සේගේ ආගමනයෙහි මූලික පරමාර්ථය ගැබ් වී ඇත. අඹ පැනයෙන් පෑතිස් රජුගේ නුවණ දැන, අනතුරු ව චුල්ලහත්ථිපදෝපම සූත්‍රය ඇසුරින් රජුට බුදුදහම ගැන මූලික දැනීමක් ලබා දී රජුගේ ආරාධනය අනුව පසු දින රජ මැදුරට වැඩම කොට, දහවල් දානය වළඳා, භුක්තානුමෝදනා වශයෙන් පේතවත්ථු හා විමානවත්ථු මාතෘකා කරගෙන දහම් දෙසූ බව කියනු ලැබේ. එම ධර්ම දේශනාව ගැන අද දක්වා ම පොසොන් උත්සව සමයේ පැවැත්වෙන ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡාවලදී ඉතා ගෞරවයෙන් අනුස්මරණය කරනු අසන්නට ලැබේ.

‘පේත’ යනු මිය ගියවුන් හැඳින්වීම සඳහා යොදන පාලි භාෂාමය වචනයකි. ‘වත්ථු’ යනු කතා යන්නයි. ඒ අනුව පේතවත්ථු යන්නෙන් අදහස් කරන්නේ මළගියවුන් පිළිබඳ කතා යන්නයි. ත්‍රිපිටකයෙහි මළගියවුන් ගැන ම විස්තර අන්තර්ගත ග්‍රන්ථයක් ඇත. ඒ ඛුද්දක නිකායට අයත් ග්‍රන්ථ පසළොස අතර සත්වැන්න සේ සංග්‍රහ කොට ඇති පේතවත්ථු නමින් හැඳින්වෙන ග්‍රන්ථයයි. එහි උරග, උබ්බරි, චූල, මහා යන වර්ග හතරට ඇතුළත් කොට ප්‍රේතයන් පනස් එක් දෙනෙකු පිළිබඳව තොරතුරු ඇතුළත් වෙයි.

උරග වග්ගයේ ඛෙත්තූපම, සූකරමුඛ, පූතිමුඛ සත්තපුක්ත ඛාදිකා, පඤ්චපුත්ත ඛාදිකා, ගෝන, මහා පේශකාර, ඛල්ලාටිය, නාග, උරග යන පේතවත්ථු ඇතුළත් කර ඇත.

සංසාර මෝචක, සාරිපුත්ත මාතා, මත්තා නන්දා, මට්ටකුණ්ඩලී, කණහ, ධනපාල චුල්ල සෙට්ඨි, අංකුර, උත්තර මාතා, කර්ණ මුණ්ඩ, උබ්බරි යන පේතවත්ථු ඇතුළත් වන්නේ උබ්බරි වග්ගයට. චුල්ල වග්ගයට ඇතුළත් කොට ඇත්තේ අභිජ්ජමාන, සානුවාසි, රථකාර, භූත, කුමාර, සේරිණී පඨම මිගලුද්දක, දුතිය, මිගලුද්දක, කූට විනිච්ජයිත ධාතු විවණ්ණක යන පේතවත්ථුය.

අම්බ සක්කර, සේරිස්සත, නන්දක, රේවති, උච්ඡු , කුමාර, රාජපුත්ත, ගූථඛාදක, භෝග සංහරණ, සෙට්ඨිපුත්ත, සට්ඨිකූට සහස්ස යන පේතවත්ථු ඇතුළත් කොට ඇත්තේ මහා වග්ගයටය.

ඉහත නම් සඳහන් පේතවත්ථු පිළිබඳ වැඩිදුර විස්තර ඇතුළත් අට්ඨ කථාව “පරමත්ථ දීපනි” නමින් හැඳින්වේ. එය අට්ඨකථාචාර්ය ධම්මපාල හිමියන් විසින් ලියන ලද්දකි. මෙම පේතවත්ථු පනස් එකේම ඇතුළත් ප්‍රධාන චරිත අතර ගිහි පැවිදි දෙපක්ෂයේම මළගිය ඇත්තෝ සිටිති. පේතවත්ථුවලත්, විමානවත්ථුවලත් ඇතුළත් වන්නේ මළගිය ඇත්තන්ගේ චරිත කතාය. මනුෂ්‍යාත්මකභාවය ලැබගෙන සිට දුගති මගේ ගමන් කොට මිය ගියවුන්ගේ විස්තර පේතවත්ථුවලත්, සුගති මගේ ගමන් කොට මියගියවුන්ගේ විස්තර විමාන වත්ථුවලත් ඇතුළත් කොට ඇත. ඔවුන්ගේ හැඩරුව, ජීවන යාත්‍රාව, වාසදේශ, කෑම බීම ආදී තොරතුරු ඒවායේ දැක්වේ. පේතවත්ථුවල දැක්වෙන මේ උපුටනයන් කියවීමෙන් පේතයන්ගේ හැටි සොබා ගැන චිත්තරූප මවාගත හැකිය.

‘එම්බල ප්‍රේතය, තාගේ ශරීරය සියල්ල රන් හා සමානය. ශරීරාලෝකයෙන් සියලුම දිශාවන් හාත්පසින් බබුළුවයි. එසේද වුවත් තාගේ මුඛය හූරු මුව හා සමානය.’ (සූකර මුඛ. ප්‍රේ.ව)

“පෙහෙසුන් කී මහණ එක් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි නිරයෙහි පැසි මේ බුද්ධෝත්පාද කාලයෙහි රජගහනුවරට නුදුරු තැනෙක්හි පූතිමුඛ ප්‍රේතයෙක්ව උපන. ඔහුගේ ශරීරය ස්වර්ණ වර්ණ විය. කටින් වනාහි පණුවෝ නික්මී මුඛය ඔබිමොබ කත්. ඔහුගේ මුඛයෙන් දුර වූද අවකාශය පැතිර දුගඳ වහනය වෙයි. (පූති මුඛ පේ‍්‍ර.ව)

“එම්බල ප්‍රේතිය, නිර්වස්ත්‍ර ව ඉතාමත් බියකරු රූපයෙන් යුක්ත වන්නෙහිය. නපුරුගඳ ඇත්තීය. ශරීරයෙන් කුණු ගඳ හමන්නේය. හාත්පස නිලමැස්සන්ගෙන් ගැවසී ගත්තේමය.” (පඤ්ච පුත්තඛාදිකා පේ‍්‍ර.ව)

“ස්වාමීනි, මම පාපකර්මයක් කොට මේ මිනිස්ලොවේ සිට ප්‍රේත ලෝකයට ඉපදීම වශයෙන් පැමිණියා වූ, දුකට පත් වූ යම ලෝකයයි ලද නම් ඇති ප්‍රේතලෝකයෙහි උපන්නා වූ ප්‍රේතියක් වෙමි. උදය කාලයෙහි පුත්‍රයන් සත්දෙනෙකුන් ද, සවස තවත් දරුවන් සත් දෙනෙකුන් ද, ප්‍රසූත කොට අනුභව කරමි. ඒ දරු තුදුස් දෙනා ම කෑ නමුදු මගේ බඩගින්න නිවීමට ප්‍රමාණ නොවෙත්.” (සතත පුත්තබාදිකා පේ‍්‍ර.ව)

“පින්වත් දිව්‍ය පුත්‍රය, මේ ස්ත්‍රී තොමෝ අසූචි හා මුත්‍ර ද ලේ හා සැරව ද අනුභව කරයි. කවර කර්මයක්හුගේ මේ විපාකයක්ද? යම්බදු ප්‍රේතියක් තොමෝ සෑම කල්හි ලේ හා සැරව අනුභව කරන්නී ද ඕ තොමෝ පෙර කිනම් අකුශල කර්මයක් කෙළේ ද? (මනාපේශකාර ප්‍රේ.ව)

“විළිවැස්මක් නැතිව, නපුරු ශරීර වර්ණ ඇති ව මස් ලේ නැති බැවින් නහර වැල් ඉල් පී ගිය ශරීර ඇතිව උස් වූ ඉල ඇට ඇතිව, කාශ වූ නොහොත් ඇට සම්, සහර පමණක් වූ සිරුරු ඇති බැවින් ඉතාමත් කාශ භාවයෙන් යුක්ත වූ කී මෙහි සිටිනෙහිය. ති කවරියක්දැ’යි අසා වදාළහ. (සංසාර මෝචක ප්‍රේ.ව)

පේතවත්ථු ග්‍රන්ථයෙහි දී හමුවන, පේත නමින් හැඳින්වෙන පනස් එක් දෙනා ම මිසින් බව ලබා ගෙන සිට මිය ගිය පසු පේතාත්මභාවයක් ලැබූ අයයි. ඒ පිරිස අතර පැවිද්දෝවෙති. උතුම් මිනිස් බව ලැබ ගෙන සිටි ඒ පිරිසට දුක්බර දුගති බවයක ඉපදීමට හේතු වූ කරුණු මොනවාද? ඒවා මෙසේ ය.

අනුන්ට බැණ වැදීම, අපහාස කිරීම, කේලාම් කීම, තුනුරුවන් සතු දේපොළ පැහැර ගැනීම, විනාශ කිරීම, වස බෙහෙත් යොදා ගැබිනියන්ගේ දරු ගැබ විනාශ කිරීම, බොරුවට දිවිරීම, පින් දහම් කරන්නවුන්ට බැණ වැදීම, බාධා කිරීම, අනුන් සතු දෑ සොරා ගැනීම, මිසදිටු අදහස් දැරීම, තමාගේ සැමියා නියම කළ දාන වස්තුන් පවා නොදී පැමිණ සිට යාචකයන්ට බැණ වැදී පන්නා හැරීම. අනුන්ගේ සැප සම්පත් ගැන ඊර්ෂ්‍යා කොට ඒවා විනාශ කිරීම, තම සැමියාට නින්දා අපහාස කිරීම, තද මසුරු බවින් යුතු වීම, කාම මිථ්‍යාචාරයෙහි හැසිරීම, ඉසුරු මදින් මත් වී උතුමන්ට නින්දා අපහාස කිරීම. කල්‍යාණ මිත්‍රයන් දෙන උපදෙස් නො පිළිපැදීම. අල්ලස් ගෙන යුක්ති ධර්මය යටපත් කර විනිශ්චය කිරීම, පක්ෂග්‍රාහීව නඩු විසඳීම, කුසල් කරන්නවුන් එයින් වැළැක්වීම.

පූජා සත්කාර ගැන නුගුණ කියමින් ඒවා අවමානයට ලක් කිරීම වැනි ක්‍රියාවන් නිසා උසස් මිනිස් බවින් ඇද වැටෙන හැටි පේතවත්ථු හදාරන්නකුට වැටහෙයි. පේතවත්ථු ඇසුරින් සකස් කළ ඉහත සඳහන් දුර්ගුණ සංග්‍රහය පරාභව හා වසල සූත්‍ර සමඟ සසඳා බැලීම අවබෝධයට වඩාත් හිතකරය.

“මිනිස් අත්බව ලැබූ කෙනෙකුට පේතවත්ථුවල දැක්වෙන දුර්ගති මාර්ගයන්හි ගමන් නො කොට, විමානවත්ථුවල දැක්වෙන සුගති මාර්ගයන්හි ගමන් කරන්නේ නම් ඔහුට තමා ලද මිනිසත් බව වඩ වඩා සඵල කරගත හැකිය.” යන උදාර පණිවුඩය අනුබුදු මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කළ දෙවෙනි දවසේදීම ප්‍රකාශයට පත් කළ ආකාරය පේතවත්ථු, විමාන වත්ථු මාතෘකා කරගෙන රජ මැදුරේදී කළ ධර්ම දේශනය ආශ්‍රයෙන් සිතා ගත හැකිය.

ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයෝ පසු කාලයෙහි විමාන වත්ථු ආදර්ශයට ගෙන තම ජීවිතය සකස් කර ගත්හ. ඒවා අනාගත පරපුරට වඩාත් පහසුවෙන් වටහා ගැනීමට විහාර බිතුසිතුවම්වල ද ඇඳ තැබූහ. එසේ ම ගද්‍ය, පද්‍ය සාහිත්‍ය කෘති නිර්මාණය කර තැබූහ.

පේතවත්ථුවල දැක්වෙන අප්‍රසන්න චරිතවලට සමාන ලක්ෂණ ඇති දෙබිඩි හා විකෘති දරුවෝ මිනිසුන් අතර ද උපදිති. සිරුරින් මුවින් දුගඳ වහනය වන පේ‍්‍රතාත්ම බඳු ස්ත්‍රී පුරුෂයෝ, දරු ගැබ් විනාශ කරන්නෝ, අත් පා නැති යාචකයෝ, අසාමාන්‍ය දේහධාරී ස්ත්‍රී පුරුෂයෝ ඒ අතර වෙති. මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලක්වැස්සන්ට හඳුන්වා දෙන ලද පේතවත්ථු අතරින් තිරෝකුඩ්ඩ පේතවත්ථුව සිංහල බෞද්ධ සංස්කෘතිය කෙරෙහි අත්තිවාරමක් මෙන් බලපා ඇත. සඟ සතු දේපොළ තමන්ගේ පරිහරණයට ගැනීමට, බුද්ධ පූජාව සඳහා තැබූ ආහාරපාන පරිභෝජනයට ගැනීමට සිංහල බෞද්ධයෝ එදා මෙන් ම අදත් බිය වෙති. කොටින් ම සඟසතු ඉඩමක ගස්වල හැදෙන මල් පලතුරු පවා තමන්ගේ ප්‍රයෝජනයට ගැනීමට සිංහල බෞද්ධයෝ කැමති නැත.

“තිණං වා යදි වා කට්ඨං – පුප්ඵං වා යදි වා ඵලං
ද්ධ භෝගඤ්ච – මහාපේතෝ භවිස්සති”

යන ප්‍රකාශය කෙරෙහි ඔවුන් දැඩිව විශ්වාසය තබා ඇත. එහෙයින් තෙරුවන් සතු පොදු දේපොල රැක ගැනීමට සැදැහැවත් ගිහි පැවිදි කවුරුත් ක්‍රියා කළහ. අදත් ක්‍රියා කරති.

මියගිය නෑ හිතවතුන්ට පින් දහම් කොට පින් අනුමෝදන් කරවීම ගැන ඉගැන්වෙන තිරෝකුඩ්ඩ පේතවත්ථුව ඔස්සේ සිංහල බෞද්ධ චාරිත්‍රවලට එකතු වී ඇති අංග බොහෝ ය.

මෘත දේහය ආදාහනය හෝ භූමදානය කිරීමට පළමුව මහා සංඝරත්නය වඩමවා ගෙන, ඔවුත් පන්සිල් සමාදන් වීම, අනිත්‍යානුස්මෘති ධර්ම දේශනාවකට සවන් දීම. මතක වස්ත්‍රය සඟ සතු කොට පූජා කිරීම, පැන් වඩා පින් අනුමෝදනා කිරීම, සත්දවසේ බණ, සපිරිකර ව සඟ සතු දානය පිරිනැමීම ආදී චාරිත්‍ර විධි ඒ අතර විශේෂයෙන් කැපී පෙනේ.

එසේම අනුබුදු මිහිඳු මාහිමියන්ගෙන් පළමුකොට අසා දැනගත් මඝමානවක විමාන වත්ථුව ද සිංහල බෞද්ධ ජීවිතයට අසීමිතව බලපා ඇත. පේතවත්ථු හා විමානවත්ථු සිංහල බෞද්ධ සංස්කෘතිය කෙරෙහි බලපා ඇති ආකාරය ඉතා දීර්ඝ ව සාකච්ඡා කළ යුත්තකි. මේ ලිපිය එයට ආරම්භයක් පමණි.

– මීරිගම, මිණිඔළුවේ, විද්‍යාවංශ මහා පිරුවන් විහාරාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක, ශාස්ත්‍රපති පූජ්‍ය මකුලෑවේ විමල නා හිමි

(19-06-2016 – lakehouse.lk/budusarana/)

***************************************

බුදුදහමින් වෙළී ගිය පොසොන් පෝදා

ගුණදහමින්ද – බණදහමින්ද ජාතියක් ලෙස ප්‍රතිසංවර්ධනය වූයේ මිහිඳු මාහිමියන් මුල්කොට දෙවනපෑතිස් රාජයුගයේදී ඉෂ්ට සිද්ධ වූ දැවැන්ත ජාතික ආගමික විප්ලවය නිසාය. එවකට දඹදිව විසූ ධර්මාශෝක රජුගේ ධර්ම දූතයන් සේ මිහින්තලා පව්වට වැඩම කළ මිහිදු මාහිමියන් ප්‍රමුඛ සංඝරත්නය එවකට රට කරවූ රාජ්‍ය නායක තිස්ස රජු හරහා සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකාව තුළ රෝපණය කරනු ලැබීය. මේ උතුම් සංසිද්ධිය මුල්කරගෙන පුනරුප්පත්තියකට පත්වූ සිංහල ජාතිය බෞද්ධ ශිෂ්ටාචාරයෙන් , සංස්කෘතියෙන් , සදාචාරයෙන්, චර්යාධර්මයෙන්, ප්‍රතිපෝෂණය වූහ. ඒ උතුම් ජාතික පරිවර්තනය සිදු වූ පොසොන් පෝදා ‘ජාතික දිනය’ ලෙස නිල වශයෙන් පිදුම් නොලැබූවත් මේ උතුම් ජාතික ආගමික මෙහෙවර ඇඟට හිතට ගත් මෙරට හතර දිග්භාගයේ ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාව පොසොන් පෝදා ජාතික දිනය ලෙස සලකා මෙම ආගමික පුනරුදයේ මාතෘභූමිය වූ අනුරාධපුරයටද ඒ ගමන් මිහින්තලයටද පැමිණෙති. අද බුදුන් උපන් බුදුවූ සහ කල්ගත කළ ඉන්දියාවේ වත් නැතිතරමට බුද්ධාලම්බන පී‍්‍රතියෙන් වෙළී ගිය බෞද්ධ ජනතාව අනුරපුර බෞද්ධ නිජබිමට පොසොන් පෝදාට ගලා එන්නේ මහින්ද මාහිමි විසින් ඇති කළ බෞද්ධ ප්‍රබෝධයේ මහිමයටය.

සිංහල ජනතාව තවදුරටත් බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය කිරීම සඳහා එවකට දඹදිව පාලනය කළ ධර්මාශෝක රජු, තවත් ආගමික සංසිද්ධි කීපයක්ම ඉෂ්ටසිද්ධ කරනු ලැබීය. තමන්ගේ අතිජාත පුතා මහින්ද මාහිමි ලක්දිවට එවා සම්බුද්ධ ශාසනය ස්ථාපනය කිරීමට අමතරව සිය අතිජාත දියණිය සංඝමිත්තා මෙහෙණිය සමඟ බුදුරදුන් බුද්ධත්වය ලැබීමට රුකුලක් කරගත් ශ්‍රී සම්බෝධියේද දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩමවා මහමෙව්නා පින්බිමේ රෝපණය කරවීමට තිස්ස රජුගේ ශක්තිය හා උනන්දුව ලබාගත්හ. එමතු නොව මහින්ද මාහිමි මගින් මෙරට සංඝ ශාසනය ඇතිකළ පරිද්දෙන්ම සංඝමිත්තා මෙහෙණිය මගින් මෙහෙණි සස්න ඇතිකිරීමටද පියවර ගනු ලැබීය. මෙබඳු සම්බුද්ධ ශාසනයේ මහා විප්ලවයක් මගින් මුළු මහත් ශ්‍රී ලංකාවම බෞද්ධ රාජ්‍යයක් බවට පත්කළ අතර එම ජාතික, ආගමික විප්ලවයේ දේශීය පෙරගමන් කරුවූ “තිස්ස රජුට” “දේවානම්පි‍්‍රය” නම්වූ නම්බු නාමයක් පිරිනැමීමටද ධර්මාශෝක රජු කටයුතු කර ඇත. එවකට ලංකාවේ විසු මුළු මහත් සිංහල ජනතාව වෙනුවෙන් මේ සියලු ආගමික මෙහෙයන් ඉෂ්ට සිද්ධ කළේ අන්‍ය ජාතිකයෙකු වූද ඉන්දීය පුරවැසියෙකු වූද ධර්මාශෝක රජු විසිනි.

සිංහල ජාතිකයෙකු වූ ද, බෞද්ධයෙකු වූද මේ රටේ පුරවැසියෙකු වූ ද දේශීය රාජ්‍ය පාලකයන් තුළ සම්බුද්ධ ශාසනය වෙනුවෙන්ද බෞද්ධයන් වෙනුවෙන්ද “පොසොන් දිනය” ජාතික දිනය බවට පත්කොට අනුරාධපුරය යළිත් මේ රටේ අගනුවර බවට පත්කරන්නට දේශානුරාගයක් –භක්තියක් ආගමික වාත්සල්‍යයක් ඇතිවිය යුතුව තිබිණ.නමුත් එබඳු ජාතික –ආගමික අනුරාගයක් දේශීය පාලකයන් තුළ මෙතෙක් ඇතිවී නැත.

දේශීය පුරාවෘත්තයන්ට අනුගතවෙමින් මෙවැනි ජාතික, ආගමික විප්ලවයක් ඇතිකරන්නට ශ්‍රීමත් එස්.ඩබ්. ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා මුල පිරීය. අනුරාධපුරයේ ගෞරවණීය අටමස්ථානය පුණ්‍යභූමියක් ලෙස නීතිගත කොට සම්බුද්ධ ශාසනයට නිගරුවන දේ පුදබිමෙන් ඉවත් කරනු ලැබීය. එපමණක් නොව අතීතයේ පැවතියාක් මෙන් අනුරාධපුරය බෞද්ධ අගනුවර මෙන්ම රටේද අගනුවර බවට පත්කරන්නට ‘හොලිඩේ’ නම් වූ විදේශීය නගර නිර්මාණ ශිල්පියෙකු කැඳවා අනුරාධපුර නව නගරය ක්‍රමානුගත දැවැන්ත මහා නගරයක් ලෙස නිර්මාණය කරනු ලැබීය. දේශානුරාගයට අනුගතව ජාතිකාභිමානයෙන් සන්නද්ධ වී එතුමන් විසින් කරගෙන ගිය මෙම ජාතික ආගමික විප්ලවයට වැඩිදුරක් කරගෙන යන්නට ඉඩ නොලැබිණ. එතුමා හිටිහැටියේ ඝාතනය කරනු ලැබිණ.

හෙළ රාජ වංශයෙන් පසු ප්‍රථම වරට යළිත් වරක් රජරට පොළොන්නරුව රාජධානියේ පුරවැසියෙකු රාජ්‍ය නායක ලෙස බලයට පත්වී සිටින මේ යුගයේදී දේශයේ අතීත පුරාවෘත්තයට අනුගත වන්නේ නම් සහ ඉතිහාසයේ පිහිට වූ දේශීය උරුමය යළි සහතික කරන්නේ නම් අනුරාධපුරය රටේ අගනුවර බවට පත්කිරීමේ ගැටලු පවතී නම් යටත් පිරිසෙයින් අනුරාධපුරය බෞද්ධ අගනුවර ලෙස නීතිගත කරමින් ප්‍රකාශයට පත්කරන්නට මේ හොඳම කාලයයි. මේනිසා අනුරපුර බෞද්ධ අගනුවර බවට පත්කිරීමට මේ හොඳම කාලයයි.

සම්බුද්ධ ශාසනයේ සදාතනික සජීවි සංකේතය අතිපූජනීය ශ්‍රී මහා බෝධින් වහන්සේය. මිහිඳු මාහිමිපාණන් වැඩ විසූ මහා විහාරයේ හෙවත් බෝධිපන්සලේ අද වැඩ වෙසෙන අති ගෞරවණීය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් සම්බෝධිරාජයාණන් රැක බලා ගනිමින් සංරක්ෂණය කරගැනීම සඳහා බොහෝ කටයුතු ඉෂ්ට සිද්ධ කර තිබේ.

අතීතයේ එක් දුර්භික්ෂ සමයක එනම් දෙවෙනි රාජසිංහ රාජසමයේදී ශ්‍රී මහා බෝසමිඳු වැඩ වෙසෙන පෙදෙස එතරම් කලඑළියට පත්ව තිබුණේ නැත. එවකට ශ්‍රී මහා බෝ සමිඳුන් රැක බලා ගත්තේද සංඝරත්නයයි. එහි විසූ එක් භික්ෂුවක් දුර බැහැර ගම්බිම්වලට ගොස් ආහාරයට කුරහන් රොටී පිණ්ඩපාතයට ලබාගෙන සම්බෝධිය වෙත පැමිණ පූජා කරන ලද බව ඓතිහාසික තොරතුරුවලින් හෙළිවේ. මේ භික්ෂුව විසින් ශ්‍රී මහා බෝධින් වහන්සේ රැකබලාගත් නම්බුවට මහනුවර විසූ දෙවෙනි රාජසිංහ රජු විසින් ඒ හිමියන්ට අනුරාධපුරයේ ‘දිසාපති’ .තනතුර පිරිනමා ඇත. ‘දිසා හාමුදුරුවෝ’ යන නම ව්‍යවහාරයට එක්වී ඇත්තේ හාමුදුරුවන්ට දිසාපති පදවිය ලැබීම මුල්කරගෙනය. මෑතක් වනතුරුම ගිහි දිසාපති වරුන්ටද, “දිසා හාමුදුරුවෝ’ යන නම ජනතාව අතර ව්‍යවහාරයේ පැවතිණ. කෙසේ වුවද මිහිඳු මාහිමිපාණන්ගේ සිටම ශ්‍රී මහා බෝධින් වහන්සේ රැකබලාගෙන ඇත්තේ සංඝරත්නය විසින්මය. එක් අවස්ථාවක අන්‍යාගමිකයෙකු විසින්ද තවත් අවස්ථාවක රුදුරු ප්‍රභාකරන් විසින්ද ශ්‍රී මහා බෝධිය විනාශ කර දමන්නට කුරුමාණම් ඇල්ලුවත් ඔවුන්ගේ පවිටු චේතනා ඉටුවී නැත. ඊට හේතුව ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අදටත් පවතින අනුසස් බලයයි.

– උතුරු – උතුරුමැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක, අනුරාධපුර ජයන්ති විහාරාධිපති පූජ්‍ය ආචාර්ය නුගේතැන්නේ පඤ්ඤානන්ද මාහිමි

(19-06-2016 – lakehouse.lk/budusarana/)

****************************************

අදින් වසර 2324 කට පෙර වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ

සිරිලක දහම් එළියෙන් එකලු කළ මිහිඳු මහ රහතන් වහන්සේ, බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර දෙසීය තිස් හයකට පමණ පසු වැඩම කළ සේක. ක්‍රි.පූ. 3 වන ශතවර්ෂයේ මැද භාගයේ පොසොන් පුරපසළොස්වක පොහෝ දින එම අසිරිමත් සිදුවීම සිදුවිය. එකල අප රට පාලනය කළේ දේවානම්පියතිස්ස රජතුමාය. මිහිඳු මහරහතන් වහන්සේ සිරිලකට බුදුදහම හඳුන්වා දී මේවන විට වසර දෙදහස් තුන්සීය විසිහතරකි. (2324)

පාලි භාෂාවෙන් ‘මහින්ද ථෙරො’ යනුවෙන්ද සංස්කෘත භාෂාවෙන් “මහීන්ද්‍ර ස්ථවිර” යනුවෙන්ද මිහිඳු මහරහතන් වහන්සේ හඳුන්වති.

මිහිඳු මහරහතන් වහන්සේගේ පියතුමා භාරත දේශය එක්සේසත් කළ ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම පාලකයා වශයෙන් සැලකෙන ධර්මාශෝක රජතුමා බව සුප්‍රකටයි. එහෙත් මව්තුමිය පිළිබඳ එතරම් ප්‍රකට නොවේ. දීපවංශය, මහාවංසය සමන්තපාසාදිකාව නම් විනය අටුවාව අදී පාලි මූලාශ්‍රය /ග්‍රන්ථයන්හි උන්වහන්සේගේ මව්තුමිය “වේදිස දේවිය” යනුවෙන් හැඳින්වේ. එය “වේටිස” දේවිය යනුවෙන්ද ඇතැමෙක් වහරති. පාඨක අවධානය පිණිස ලංකා ඉතිහාස ග්‍රන්ථයේ 1 කාණ්ඩයේ ඡේදයක් උපුටා දක්වනු ලැබේ.

“මිහිඳු මාහිමියන්ගේ පෙළපත ගැන අනික් රටවල බෞද්ධයන්ට වඩා ලංකාවේ බෞද්ධයන් සැලකිලිමත් වන්නට ඇති හෙයින් ඒ තොරතුරු ලංකාවේ බෞද්ධයන් විසින් වඩාත් හොඳින් මතක තබා ගන්නට ඇත. ලංකාවේ පාරම්පරික කථාවට අනුව, මිහිඳු මාහිමියෝ අශෝක රජුට දාව (මෙකල හිල්සා නමැති) විදිසාවේ සිටු දේවියකු ගේ දුවක කුසින් උපන්නෙකි. අශෝක රජු කුමාර කාලයේ උජ්ජයිනියේ රාජ්‍යභාර ගැණීමට යන අතරමගදී ඇය කෙරෙහි පෙම්බැඳගත්තේය. වේදිස දේවි නම් වු ඕ තොමේ අශෝක නිසා මහින්ද නමින් පුත්‍රයෙක් සහ සංඝමිත්තා නම් දුවක්ද ලැබුවාය”.

මේ අනුව මිහිඳු මහරහතන් වහන්සේ සහ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේගේ මාපියන් වන්නේ අශෝක රජතුමා සහ වේදිස දේවියයි.

කාලිංග යුද්ධයෙන් පසු බෞද්ධ උපාසකයෙකු වු රජතුමා විසින් බුදුදහම ව්‍යාප්ත කිරීමෙහිලා අද්විතීය මෙහෙවරක් සිදු කරන ලදී. පාලි සාහිත්‍යයේ සඳහන් වන්නේ අසූ හාරදහසක් වෙහෙර විහාර කරන ලද බවයි. වරක් ධර්මාශෝක රජ “ස්වාමීනි අපගේ දශබලධාරී ලෝකස්වාමී බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි කවරෙක් නම් මහා පරිත්‍යාගයක් කළේද? කවරෙකුගේ නම් පරිත්‍යාගයක් විශාල වෙයි දැයි මහා සංඝරත්නයෙන් විමසයි.” එහිදී මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක.

“මහරජ දශබලධාරි බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ඔබ හා සමාන වූ අන් කිසිඳු ප්‍රත්‍ය දායකයෙක් තථාගතයන් වහන්සේ ධරමාන කාලයෙහිද (වැඩ සිටි කාලයේ) නොවුයේය. ඔබගේම පරිත්‍යාගය මහත්යි කීය. රජතුමා තෙරුන්ගේ මේ වචන අසා උදාර වූ පී‍්‍රති ප්‍රමෝද්‍යයෙන් නිරතුරුව පහස්නා ලද සිරුර ඇත්තේ “මා හා සමාන ප්‍රත්‍යය දායකයෙක් නැත්තේය. මාගේ ම පරිත්‍යාගය මහත්ය. මම දියයුතු දැයින් සසුනට සංග්‍රහය කරමි. කුමක්ද? මම මෙසේ ඇතිකල්හි සසුනෙහි නෑයෙක් වෙම්ද නොවෙම්දැයි සිතීය. එසේ සිතා මහා සංඝරත්නයෙන් විමසුවේය. එවිට මොග්ගලීපුත්ත තිස්ස මාහිමියෝ මහින්ද කුමරුන්ගේ හේතු සම්පත්තිය දැක මේ කුමරු පැවිදි වන්නේ නම් එය සසුනෙහි මහත් දියුණුවකැයි සිතා මෙසේ වදාළ සේක.

මහරජ, මෙපමණකින් සසුනෙහි නෑයෙක් හෝ නොවේමය, එහෙත් ප්‍රත්‍ය දායකැයි හෝ උපස්ථායකැයි හෝ සැලකීමට යන්නේය. මහරජ යමෙක් පොළොව පටන් බඹලොව පමණ තෙක් පත්‍යය රාශියක් දෙන්නේ නමුත් ඔහුද සසුනෙහි නෑයෙකැයි සැලකීමට නොයන්නේය. මහරජ පොහොසත් වු හෝ දිළිඳු වූ හෝ යම් කිසිවෙක් තමන්ගේම පුතෙකු සසුනෙහි පැවිදි කරනවාද? මහරජ ඔහුම සසුනෙහි නෑයෙක් වේයයි වදාළ සේක.

මේ අනුව ඒ වන විට යුවරජකමට පත් කර සිටි මිහිඳු කුමාරයා පැවිදිවීමට කැමැත්ත පළ කළ හෙයින් මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ උපාධ්‍යායන් වහන්සේ වශයෙන්ද, මහාදේව මහරහතන් වහන්සේ ආචාර්යන් වහන්සේ වශයෙන්ද ඒ කුමරු පැවිදි කළ සේක. මේ වන විට මහින්ද කුමාරයා විසි (20) වයස් සම්පූර්ණවී තිබුණි. මේ පිළිබඳ සමන්තපාසාදිකාවේ තවදුරටත් සඳහන් වන්නේ මෙසේය.

“මොග්ගලීපුත්තතිස්ස මාහිමි උපාධ්‍යාය කොට මහාදේව මාහිමි ආචාර්ය කොට මිහිඳු කුමරු පැවිදි කරවූයේය. මජ්ඣත්තික මාහිමි අචාර්ය කොට උපසම්පදා වූයේය. මහින්ද භික්ෂුව උපසම්පදා කරන විටදීම සිව්පිළිසිඹියාවන් සමඟ රහත් බවට පැමිණියේය.

මිහිදු මාහිමියන්ගේ නැගෙණිය වු සංඝමිත්තා කුමරිය තම ස්වාමිපුත්‍රයා වූ අග්ගිබ්‍රහ්ම කුමාරයාගේ අවසරය ඇතිව පැවිදි බිමට පත් වූ බව මෙහිදී සඳහන් කළ යුතු තව විශේෂ කරුණකි. (වයස) දහ අට වියේ පසු වූ ඇය පැවිදි කරන ලද්දේ ආයුපාල නම් මෙහෙණින් වහන්සේ විසිනි. උපාධ්‍යාය වූවා ධම්මපාලී මෙහෙණින් වහන්සේය.

මිහිඳු මාහිමියෝ ලංකාවේ ධර්මදූත මෙහෙවරට සහභාගි වීමට පෙර පුරා වසර තුනක් ත්‍රිපිටකයත්, අටුවා ග්‍රන්ථත් පිළිබඳ විශේෂ පුහුණුවක් ලබාගත් බව ඉපැරණි පාලි මූලාශ්‍රය ග්‍රන්ථයන්ගෙන් මනාව ප්‍රකට වන කරුණකි. සමන්තපාසාදිකාව අන්තර්ගතව පහත සඳහන් උපුටා ගැනීමෙන් ඒ බව ඔබට වැටහේ. එනම්

“මිහිඳු මාහිමියෝ උපසපන් වූ කාලයේ පටන් තමන්ගේ උපාධ්‍යායන් වහන්සේ (මොග්ගලීපුත්තතිස්ස මාහිමි) වෙතම ධර්මය ද විනයද පුහුණුූ කරන්නාහු ප්‍රථම, ද්විතීය සංගායනාවන්ට නැගූ අට්ඨකථා සහිතව සංගායනා කරන ලද සියලු ථේරවාදි ත්‍රිපිටක ධර්මය වසර තුනක් ඇතුළත දී ඉගෙන තමන්ගේ උපාධ්‍යයන් වහන්සේ අතවැසි දහසක් පමණ භික්ෂූන් අතුරෙහි ප්‍රමුඛ වූහ.”

මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීමට පෙර විශේෂයෙන් ම ථේරවාද සම්බුද්ධ සම්ප්‍රදාය පිළිබඳ මනා අවබෝධයකින් ලබාගත් බව මින් පැහැදිලි වේ. මේ පිළිබඳ මහාචාර්ය යටදොළවත්තේ ධම්මවිසුද්ධි හිමියන් විසින් අපේ සංස්කෘතික උරුමයේ ස්වකීය ලිපියේ මෙසේ සඳහන් කරනු ලැබේ. එනම්

“ලංකා ගමනට පෙර ඤාතීන් බැහැදැකීම කළ යුතු වූවකි. ධර්මදූත කණ්ඩායමේ නායක මහින්ද තෙරුන්ගේ මව වු වේදිස (වෙටිස) දේවිය වාසය කළේ නැගෙනහිර මාල්වා රටේ වේදිසගිරියේය. සුමන සාමණේරයන් මහින්ද තෙරුන්ගේ සොහොයුරිය වු සංඝමිත්තා ගේ පුත්‍රයා වු හෙයින් උන්වහන්සේටද ඒ ගමනින් තම මිත්තණිය ඇතුළු ඥාතීන් සමූහය දැක ගැනීමේ අවස්ථාව උදාවේ. ඒ අනුව ඥාතීන් බැහැ දැකීමට දක්ඛිණගිරියට ගිය ගමනේ වැදගත් හේතුව විය. දීපවංශය කියන හැටියට දක්ඛිණාගිරියට හා වේදසගිරියට ගියේ ඥාතින් බැහැ දැකීමටය. මේ ගමනින් ඇතම් විට තවත් ප්‍රයෝජනයක් ගන්නට ඇත. වේදසගිරිය අවන්තිරටට අයත් ප්‍රදේශයකි. බුද්ධ කාලයේ සිට අවන්තිය ප්‍රතිපත්ති ගරුක භික්ෂුන් විසු රටකි. කච්චායන ව්‍යාකරණය නමින් හැඳින්වෙන ව්‍යාකරණ සම්ප්‍රදාය අවන්තියේ විසු මහාකච්ඡායන හිමියන්ගේ මූලිකත්වයෙන් සම්භව වූවකි. ධර්මයේ සංක්ෂිප්ත තැන් විස්තර කර දැක්වීම සම්බන්ධයෙන්ද මහාකච්චායන හිමියෝ ගෞරවයට පාත්‍ර වූහ. අවන්ති රට ථේරවාද බෞද්ධ සම්ප්‍රදායේ ආරක්ෂා ස්ථානයක් වශයෙන්ද කීර්තියක් ඉසිලීය. දක්ඛිණාගිරියට වැඩම කළ ගමන කුමන හේතුන් උඩ කළත් එහි රැකෙමින් තිබුණූ බෞද්ධ සම්ප්‍රදායන්ගෙන් ප්‍රයෝජන ගැනීමේ අවස්ථාවක් එමගින් ලැබෙන්නට ඇත.”

මෙසේ මිහිදු මාහිමියෝ ස්වකීය අචාර්යයන් වහන්සේගේ ආශ්‍රයෙන් විශේෂ වශයෙන් ථෙරවාද බෞද්ධ සම්ප්‍රදාය පිළිබද මනා පරිචයක් ලබා ලක්බිමට වැඩම කරන්නේද දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙනි”.

“විශේෂයෙන්ම මොග්ගලීපුත්තතිස්ස තෙරුන්ගේ අනුශාසනා පරිදි අශෝක රජතුමා බුදුදහම වහ වහා දේශීය මෙන්ම විදේශීය වශයෙනුත් ව්‍යාප්ත කිරීමට යුහුසුළු විය. ධර්මාශෝක රජුන් ශ්‍රී ලංකික රජුන් අතර සම්බන්ධතාවක් තිබුණි. එකල ලක්දිව රජ වූයේ මුටසීව රජුය. මුටසීව රජු කල තිබුණූ සම්බන්ධ ගැන පාලි පොතපතෙන්ද සාධක කිහිපයක් ඇත. තෙවැනි සංගායනාව අවසන් වූ වහාම ස්ථිරසාර පදනමක පිහිටුවීමේ අපේක්ෂාවෙන් මොග්ගලීපුත්තතිස්ස මහතෙරණුවෝ භික්ෂූ පස්නම බැගින් සමන්විත ධර්මදූත පිරිස් නවයක් දඹදිව මෙන්ම ඒ අවට රටවලට යැවීමට කටයුතු කළහ. ඉන් ශ්‍රී ලංකාවට එවන්නට තීරණය කැරුණේ මිහිඳු මහ තෙරුන්ගේ ප්‍රධානත්වයෙන් වූ පිරිස්ය. එහෙත් ඒ හිමියෝ ඒ ගමන මාස කිහිපයකින් ප්‍රමාද කළහ. ඊට හේතුව ලෙස කියැවෙන්නේ මහලු මුටසීව රජුකල එනු වෙනුවට ඔහුගේ අභාවයෙන් දෙවනපෑතිස් රජවූ කල්හි ඊට වඩා ප්‍රයෝජනවත් ලෙස සැලකීමය. එබඳු තීරණයකට එළඹිය හැකි වූයේ දෙරට අතර මනා සම්බන්ධතාවක් තුබුණූ බැවිනි. යනුවෙන් ආචාර්ය ආනන්ද පී ගුරුගේ මහතා පෙන්වා දෙයි.

එදා පොසොන් පුන් පෝදා පෙරවරු කාලයේ මිස්සක පබ්බතයට වැඩි (මිහින්තලාවට) මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ධර්මදූත පිරිස, හතළිස් දහසක් පමණ පරිවාර පිරිස සමඟ දේවානම්පියතිස්ස රජු පිළිගනී. රජතුමාගේ බුද්ධි පරික්ෂණයෙන් පසු මිහිඳු මහරහතන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් වන චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් ධර්මදේශනා කළ සේක. එතැන් පටන් උන්වහන්සේ පුරා වසර 48 ක් ලක්දිව වැඩ වෙසෙමින් බුදුදහම ප්‍රතිෂ්ඨාපනයට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කළ සේක.

වල්පොල රාහුල හිමියන් ස්වකීය ලක්දිව බුදුසමයේ ඉතිහාස /ග්‍රන්ථයේ මේ පිළිබඳ කරනු ලබන විවරණය කෙරෙහි පාඨක අවධානය යොමු විය යුතුයි. එනම්,

“උන්වහන්සේ ලංකාවට අලුත් ආගමක් පමණක් නොව එවකට කීර්තියෙන් අගතැන් පත් මුළු සභ්‍යත්වයක්ම මෙරටට ගෙනා සේක. සංඝාරාමයන් හා චෛත්‍යයන් කරවීමත් එක්කම උන්වහන්සේ මෙරටට කලාව හා ගෘහනිර්මාණ ශිල්පය ද ඇබ්බැහි කළාහුය. මිහිඳු මාහිමියන් සිංහල සාහිත්‍යයෙහි ආදිකර්තෘත් හැටියට ගිණිය හැකිය. මහින්ද ස්ථවිරයන් සිංහලද්වීපයට ත්‍රිපිටක අර්ථකථා ගෙනවුත් දීපවාසීන්ගේ යහපත සඳහා හෙළ බසට පෙරළු බව බුද්ධඝෝෂාචාර්යයෝ කියති. උන්වහන්සේ මෙසේ සිංහල භාෂාව සාහිත්‍යයික භාෂාවක් කොට එහි සාහිත්‍යයද ආරම්භ” කළාහුය. උන්වහන්සේ අසෝක හෝඩියද මෙරටට ඇබ්බැහි කරන්නට ඇතැයි සිතිය හැකිය.”

එහෙත් මිහිදු මහරහතන් වහන්සේට සහ සඟමිත් තෙරණින්ටත් වර්තමාන කාලයේ අතිශය බුද්ධිහීන, ශාස්ත්‍රීය පදනමකින් තොර හුදු හිතළු ගොතමින් ඇතැමෙක් නින්දා අපහාස කරති. ඒ අතර සිහිබුද්ධියක් ඇති ශිෂ්ට සම්පන්න මිනිසෙකුට කිසිසේත් කළ නොහැකි අතිශය අසභ්‍ය ඇතුළත් ලිපිලේඛන පොත පතද දක්නට ලැබේ.

– රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ පූජ්‍ය හෑගොඩ විපස්සි හිමි

(19-06-2016 – lakehouse.lk/budusarana/)

***************************************