ජීවන රඟමඩලෙන් සමුගත් විජය නන්දසිරි සිරිමතාණෝ

විජය නන්දසිරි ජීවන රඟමඩල නිමාකරයි
(08.08.2016 – 13:45 +0530 – lankatruth.com)

මනමේ වේදිකා නාට්‍යයේ මනමේ කුමාරයාගේ චරිතයට පනපොවමින් ප්‍රසිද්ධ වේදිකාවේ රංගණ ප්‍රතිභාව විදහා පාමින්ද රූපවාහිනී හා සිනමා රංගන ශිල්පියකු, නිවේදකයකු හා ගායකයකු ලෙසද කටයුතු කළ ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා අද (08-08-2016) අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 72 වැනි වියේ පසු වූ ඒ මහතාට අසාධ්‍ය වී කළුබෝවිල රෝහලට ගෙනවිත් ඇති අතර ඒ එන විටත් මියගොස් සිටි ඇත.

ප්‍රවීණ රංගන ශිල්පිනී දේවිකා මිහිරානි ගේ සැමියා වූ ඔහු දෙදරු පියෙකි. “පුංචි පහේ මං” වැනි වැඩසටහන් මගින් ඔහු නිසග දක්ෂතා විදහා පෑවේය.

මහරගම විද්‍යාකර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ විජය නන්දසිරි මහතා නෝනාවරුනි මහත්වරුනි, යර්ස් බොස්, එතුමා, සිකුරු හතේ, සුහද කොකා වැනි විකට ටෙලි නාට්‍ය හා චිත්‍රපට ඔස්සේ ප්‍රහසන රංගන ශිල්පියකු ලෙසද ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්වී සිටියේය.

1966 වසරේදී විදුර දිය වේදිකා නාට්‍යයෙන් ක්ෂේත්‍රයට පිවිසි ඔහු මෙරට නාට්‍ය ක්ෂේත්‍රයේ ඉහළ ජනප්‍රියත්වයකට පත් වෘෂභ රාජ, සුබ සහ යස, කුස පබාවතී, රත්නාවලී ගීතමය නාටකය ආදී වේදිකා නාට්‍ය 40 කට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය සපයා ඇත ෴

+++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++

විජය නන්දසිරි සමුගනී
(08.08.2016 – gossiplankanews.com)

ප‍්‍රවීණ වේදිකා හා සිනමා නළු විජය නන්දසිරි මහතා අද දහවල් කළුබෝවිල රෝහලේදී අභාවප‍්‍රාප්ත වුණා. මියයන විට 72 හැවිරිදි වියේ පසුවූ ඔහු පසුගිය දිනවල පවා වේදිකා හා ටෙලි නාට්‍ය වලට සහභාගී වෙමින් සිටියේය.

ප‍්‍රකට ටෙලි නිළි දේවිකා මිහිරානිගේ දයාබර සැමියා වූ විජය නන්දසිරි දරුවන් දෙදෙනෙකුගේ පියකුව  සිටි අතර ඔහු පදිංචිව සිටියේ ගල්කිස්ස කලා පුරයේය.

1966 සිය රංගන දිවිය වේදිකාවෙන් ඇරඹූ ඔහු වේදිකාවේ ප‍්‍රවීණයන්වූ දයානන්ද ගුණවර්ධනගේ හා එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ නාට්‍ය වල රඟපා තිබේ. ඔහු මනමේ නාට්‍යයේ මනමේ කුමරු ලෙසද එක්වූ අයෙකි.

පසු කලෙක සිනමා හා ටෙලි නාට්‍ය නිසා ඔහු බෙහෙවින් ප‍්‍රකට වූයේ හාස්‍යොත්පාදක රංගන ශිල්පියෙකු ලෙසයි. නෝනාවරුනි මහත්වරුනි, එතුමා, යස් බොස් ආදී රූපවාහිනී නාට්‍ය නිසා ඔහු වඩාත් ජනප්‍රිය විය.

ප්‍රවීණ නළු විජය නන්දසිරි මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ ෴

+++++++++++++++++++++++++++++

විජය – දේවිකාගේ කැදැල්ලට යමු – ‘‘අපේ විවාහ දිවියට අවුරුදු තිහයි’’
(05-03-2015 – sarasaviya.lk)

හිරු රශ්මියෙන් දැවෙන මධ්‍යාහ්නේ උණුසුම ගතට දැඩිව දැනෙයි. ‘කලාපුරයේ’ පුවරුවට මඳක් දුරින් පිහිටි විජය නන්දසිරිගේ නිවෙස ආසන්නයෙන් රථයෙන් බැස ගත් අපි ගේට්ටුව අසළට ළං වීමු. ඒ ගේට්ටුව බැඳි තාප්පය වසාගත් වැලේ තිබෙන කහ පැහැති මල් පොකුර දහවල උණුසුමේ පහස විඳියි. මේ මල් පොකුර සුළඟට සැලෙන්නේ,

‘එන්න, අපේ නිවෙසට පැමිණෙන්න’

යැයි අපට කරන ආරාධනාවක් මෙනි. එහෙත් ඒ ආරාධනාවත් රැගෙන අප ඉදිරිපස සිටියේ ඔහුය.

‘විජය නන්දසිරි’

කවදත් ඔබ ආදරය කරන ඔහුගේ සිනහ රැල්ල අපට සිහිපත් කළේ මනමේ කුමරුය. මනමේ කුමරු ලෙස වසර ගණනක් වේදිකාවේ ඔහු කළ හරඹ අපට අමතක නැත.

‘කවදත් වේදිකාව අමතක නොකරන ඔබ මොනවද මේ දවස්වල කරන්නේ’

‘මේ අවුරුද්දේ සෑම සති අන්තයක්ම වෙන් කරලා තියෙන්නේ වේදිකා නාට්‍ය වෙනුවෙන්. සමහර දවස්වල සිකුරාදා දවසටත් වේදිකා නාට්‍ය තිබෙනවා. ඊට අමතරව සතියේ දවස් පහ ටෙලි නාට්‍ය දෙකක රඟපානවා. ඒ සරත් ධර්මසිරි’ගේ ‘කිංචි ගුණේ’ කියන ටෙලි නාට්‍යයේ හා ටොලමිගේ ‘ක්ලාස් සිංහල ක්ලාස්’ කියන ටෙලි නාට්‍යයේ. මං රඟපෑ චිත්‍රපට දෙකක රූගත කිිරීම් අවසන්. සුගත් සමරකෝන්ගේ ඉදිරි මාසයේදී කරන චිත්‍රපටයටත් ආරාධනා ලැබුණා. ඒ සඳහා සහභාගිවීමටත් බලාගෙන ඉන්නවා. මේ වසරේ මම අලුත්ම වේදිකා නාට්‍යයක් කරනවා.’

ඒ අතර විජයගේ ආදරණීය බිරිය දේවිකා සාලයට එබී අප සමඟ සිනාසුණාය. ඒ සුහද සිනහව සමඟින් ළයාන්විත ස්වරයෙන් අප ඇමතූ ඈ නිවෙස ඇතුළට ලැසි ගමනෙන් පිවිසියේ සංග්‍රහ කිරීමට කුමක් හෝ සකසන්නටය.

‘ඔබගේ ජීවිතයේ නොසැලෙන අත්වැල දේවිකාද?’

‘ඇත්තටම ඔව්. සෙවණැල්ල මෙන් මගේ ළඟම සිටින ඇගේත්, මගේත් විවාහ දිවියට දැන් තිස් වසරක්. ඈ තමයි මගේ කලා ගමනේ ශක්තිය වන්නේ. නිවෙසේ සියලු කටයුතු සොයා බලමින් බිරියකගෙන් ඉටු විය යුතු යුතුකම් සියල්ල ඉටු කරන ඇය මගේ ජීවිතය වගෙයි. ඇගෙන් මේ සියලු කටයුතු ඉටුවන නිසා මට තියෙන්නේ රූගත කිරීම්වලට සැකසුණු බෑගයත් අරගෙන නිවෙසින් පිටත්වන එක පමණයි. ඒ බෑගය ඇතුළේ මට අවශ්‍ය ඇඳුම් – පැළඳුම්, බෙහෙත් – හේත්, කෑම – බීම ආදී සියලුම දේ සකස් කරලා තිබෙන බව මා දන්නවා.’

මේ කටයුතු අවසාන වෙලා නිවෙසට වී ඉන්න දින කිහිපයක කාලයේ බොහොම නිදහසේ ගත කරන විජය නන්දසිරි ඉඳලා හිටලා ගෙවත්තේ වැඩවලටත් උදව් වන්නේ කැමැත්තෙනි.

‘ඒකත් හොඳ ව්‍යායාමක් නේද?’

‘නිවෙසට වෙලා ඉන්නවා නම් පත්තර කියවන එකයි, රූපවාහිනිය නරඹන එක මගේ දින චර්යාවේ අංගයක්. ඒ වගේම ගෙවත්තේ තිබෙන පැළවලට වතුර දමන එකත් මම කරන්නේ බොහොම කැමැත්තෙන්. මේ කරන දේවල් ව්‍යායාම කියලා හිතනවාට වඩා නිර්මාණ කටයුතුවලදී කරන රඟපෑමෙන් නම් මා හොඳ ව්‍යායාමයක් ලබනවා’

ව්‍යයාම කතාව අතරමඟදී විජය නන්දසිරිගේ කතාබහ අතරට සහභාගි වූණු දේවිකා මිහිරාණි ඇයට ලැබෙන ව්‍යායාම පිළිබඳ පවසන්නේ මෙවැනි කතාවකි.

‘මට නම් ව්‍යයාම කරන්න කියලා විශේෂයෙන් ඕනෑ වෙන්නේ නැහැ. මොකද අපේ ගෙදර රෙදි සෝදන යන්ත්‍රය තිබෙන්නේ තුන්වැනි තට්ටුවේ නිසා දවසට තුන් වරක්වත් එහි යන්න සිදු වෙනවා. මට නම් ඒක හොඳ ව්‍යායාමයක්.

‘දුවයි,පුතයි ළඟ නොමැතිකම නිසා පාළුවක් තනිකමක් දැනෙනවාද?’

‘දුව නවාංජනා ඔස්ට්‍රේලියාවේ. පුතා රසාංජන ඇමෙරිකාවේ. උදේට හැමදාම ඒ දෙන්නම කතා කරන නිසා ඔවුන් දුරස්ථයි කියලා හිතෙන්නේ නැහැ. ස්කයිප් එකෙන් කතා කරන නිසාත්, නිතරම වගේ මම නාට්‍ය අරන් එහි යන නිසාත් එයාල නැති අඩුව අපට දැනෙනවා අඩුයි’

විජය නන්දසිරි කියන්නේ දරුවන් සිහිපත් කිරීම නිසා නැගෙන සතුට පෙරදැරිවය.

පුතා අමෙරිකාවේ සිට අධ්‍යාපනය ලබන්නේ ගුවන් යානා පදවන්නටය. එනමුදු ඔහු කලාවට බෙහෙවින් හිතැත්තෙකි.

‘පුතා හරියට විජය තරුණ කාලයේ වගේමයි. එයා අධ්‍යාපනය ලබන විෂය කලාවෙන් වෙනස් වුණත් කලාවට බොහොම ආදරෙයි. විවිධ වූ කලා හැකියා රාශියක් ඔහුට තිබෙනවා. විදේශ ගත වුණාට පස්සේ අපේ නාට්‍යවලට ඔහු ආලෝකකරණයෙන්, බෙර වාදනයෙන්, අත්වැල් ගායනයෙන්, රඟපෑමෙන් කියනා මේ සියල්ලෙන්ම උදව් වෙනවා. දුවටත් ඒ වගේම මේ සියලු දේ කළ හැකියි. පුතා කියන්නේ මම කවද හරි දවසක තාත්තා වගේ වෙනවා කියලයි’

නිවෙසේ සියලු කටයුතු කෙරෙන්නේ දේවිකාගේ සුරතෙනි. ඇයට ඒ කටයුතුවලට උදව්වට වෙනත් කිසිවෙකුත් නොමැති නිසා බොහෝ විට ඇගේ සහෝදරියන් පැමිණ සහය වීම පවුලේ සිරිතකි. එමෙන්ම ඇය සතු වූ අපූරු පුරුද්දක් ද වෙයි.

‘මොකක්ද මේ අපූරු පුරුද්ද?’

‘අපේ බුදු දහමේ කියන්නේ අපට තිබෙන බොහෝ දේ බෙදා හදාගෙන කන්න කියලයි. ඒ වගේම පුංචි කාලයේ ඉඳලා මගේ අම්මාත්, තාත්තත් ඒ යහපත් ක්‍රියාව ප්‍රගුණ කළා. අපට කියලා දුන්නේ බදාගන්න නෙවෙයි, බෙදා හදාගෙන කන්න කියලා. එතැනදි කෑමක්, ඇඳුමක් වෙන්න පුළුවන්, භෞතික වස්තුවක් වෙන්න පුළුවන්, සමහර විට වචනයකින් හරි ආදරය බෙදා හදාගන්න මම බොහොම කැමැති කෙනෙක්. ඒ දුන් දේ සියල්ල බොහොම සුවඳයි කියලා තමයි මම නම් සිතන්නේ.’

ජීවිතය පිළිබඳ සුන්දර ලෙස සිතන්නට ඇය සමත් ය. මෙවැනි සිතුවිලි ඇති හදවතකින් රසට කෑම උයන දේවිකා විජයගේ ආහාර වේල ගැන විශේෂයෙන් සිතන බිරියකි.

‘විජය අයිය කන්න කැමැති මොන වගේ කෑමද?’

‘විජය නම් බොහොම වෙලාවලට කන්නේ රතු බත්. ඒ වගේම මැල්ලුම්, කැඳ, සුප් වගේ දේවල් නිතරම වගේ මම හදන්නේ ඔහු කැමැති නිසා. විශේෂයෙන් ගමේ එළවළුවලට ඔහු වැඩි රුචියක් දක්වනවා. දරුවන් දෙන්නා නම් කැමැති බටහිර පන්නයට කන්නයි. මේ නිසා ඒ සෑම විදියකටම අපේ ගෙදර කෑම හැදෙනවා. ඒක මම කරදරයක් කියලා හිතන්නේ නැහැ.’

දේවිකා පවසන්නේ සැබෑවටම වග ඇගේ උවන සාක්ෂි දරයි. මේ අතර කවදත් ක්‍රිකට්වලට ප්‍රිය කරන විජය අයියා අපෙන් සමුගෙන ඉහළ මාලයට නඟින්නේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරැඹීමේ අදහසෙනි. ඒ අතර දේවිකා ඔහුට සිනහ සෙන්නේ ක්‍රිකට් තියෙනවා නම් එයාට ඔක්කොම අමතකයි කියමින්ය. ඒ සොඳුරු යුවළට සමුදුන් අපි මහමඟට පිවිසියේ කාර්යාලයට පිවිසීමේ අදහස පෙරදැරිව ය.

තිලානි ශානිකා විතානාච්චි
සේයාරූ – මාලන් කරුණාරත්න

+++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

කලාශූරී විජය නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වෙයි
(08.08.2016 – 13:23 +0530 – hirunews.lk/sinhala)

කලාශූරී ප්‍රවීන රංගන ශිල්පි විජය නන්දසිරි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හෘදයාබාධයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේදී මියයනවිට ඔහුගේ වයස අවුරුදු 72 ක්.

වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පියෙකු වූ විජය නන්දසිරි වඩාත් ප්‍රකට වන්නේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මනමේ වේදිකා නාට්‍යයේ මනමේ රජු ලෙස රඟපෑමෙන්.

කුස පබාවතී, සිහබාහු, මහාසාර, රත්නාවලී, නරියා සහ කේජු කෑල්ල, ඒකාධිපති, තාරාවෝ ඉගිලෙති, හුණු වටයේ කථාව ආදී වේදිකා නාට්‍යවලදී ඔහුගේ රංග කුසලතාව කැපී පෙනුනා.

යසඉසුරු, සඳකඩ පහණ, බංගලි වළලු, සසර සහ රේල් පාර ආදී චිත්‍රපටවල රඟ පෑ විජය නන්දසිරි සිකුරු හතේ චිත්‍රපටයේ කපුවා ලෙස රඟපෑ චරිතයට හොඳම නළුවාට හිමි සම්මානය හිමිකරගත්තා.

විජය නන්දසිරි විවාහ වූයේ සුබ සහ යස වේදිකා නාට්‍යයේ ඔහු සමඟ ප්‍රධාන නිළිය ලෙස රඟපෑ දේවිකා මිහිරානි සමඟයි.

විජය නන්දසිරි නමැති මේ රංගවේදියාණන්ගේ රංගන දිවිය වගේම විජය – දේවිකා විවාහ දිවිය ගැනත් ඉතා හැඟුම්බරව නිර්ව්‍යාජව කළ කතා බහක් පසුගියදා හිරු නාලිකාවේ විකාශය වූ හිරු TV ‘දෙහදක ආදරේ‘ වැඩසටහනට සහභාගී වෙමින් විජය – දේවිකා දෙපල සඳහන් කළා.

ශ්‍රී ලාංකීය රංග කරළිය දිග් විජය කළ විජය නන්දසිරි හා දේවිකා මිහිරාණි සිය ආදර කතාව සේම ජීවිත කතාව පිළිබදවද මෙලෙස හඬ අවදිකළා.

එම වීඩියෝව පහතින් නරඹන්න :

+++++++++++++++++++++++++++++++

මියගිය මනමේ කුමරාගේ අඩ සියවසක මතක…
(08-08-2016 – gossip.nethnews.lk)

ඉලුක්පිටිය මුදියන්සේලාගේ විජය නන්දසිරි, කවුරුත් දන්න විදියට කිව්වොත් විජය නන්දසිරි. අඩ සියවසක් ශ්‍රී ලාංකීය කලා කෙත අස්වැද්දූ ඔහු අද නික්ම ගොසිනි.

පාසල් අවදියේ අමරදාස ගුණවර්ධනයන්ගේ ‍”වීදුරු දිව” නාට්‍යයේ රඟපාමින් කලා ලොවට පිවිසි ඔහු, මෙරට බිහිවූ අග්‍ර‍ගන්‍ය නාට්‍ය කරුවන් වූ සතිස්‌චන්ද්‍ර එදිරිසිංහ, දයානන්ද ගුණවර්ධන, හෙන්රි ජයසේන, සයිමන් නවගත්තේගම, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ආර්. ආර්. සමරකෝන්, ධර්මසිරි බණ්‌ඩාරනායක යන කෘතහස්‌ත නාට්‍යවේදීන්ගේ ඇසුරේ අත්දැකීම් ලැබීය.

“මනමේ, සිංහබාහු, මහාසාර, කපුවා කපෝති, රත්නාවලි, නරිබෑණා, ආනන්ද ජවනිකා, ඇතුළු ප්‍රධාන නාට්‍ය 15 ක විතර රංගනයෙන් දායකවීමට අමතරව සුබ සහ යසල තාරාවෝ ඉගිලෙති, රන්කඳ, වහලක් නැති ගෙයක්, කෝන්තරේ, සැරදේ සීතා, කකුල් හතරේ ඉලංදාරියා, ඒකාධිපති වැනි ප්‍රවීණ නාට්‍ය වේදීන් අධ්‍යක්ෂණය කළ නාට්‍යවල ඇතුළු මෙදා පරපුරේ නාට්‍යකරුවන්ගේ නාට්‍ය-බොහොමයක මේ වන විට රඟපා තිබෙනවා. එවැනි නාට්‍යවල දහස් වාරයකට වැඩිය රඟපෑ අවස්ථා වැඩියි. මම හිතන්නේ මේ විදියට එදා පරපුරේ මෙන්ම මෙදා පරපුරේ නිර්මාණවේදීන්ගේ නිර්මාණවල මෙලෙස රඟපෑ එකම ශිල්පියා මම වෙන්නත් පුළුවන්.“ තම නාට්‍ය දිවියේ 46 වැනි සැමරුම වෙනුවෙන් පැවැත්වූ  පුවත්පත් සාකච්ඡාවකදී පවසා තිබුණා.

අන් නාට්‍යකරුවන්ගේ නළුවෙකු ලෙස පමණක් කටයුතු නොකළ ඔහු ‘කුසපබා’, ‘වෘෂභ රාජ’, ‘භාරත රැජින,’ සහ ‘ශ්‍රී ගජබා’ නාට්‍ය 4 වේදිකාවට නිෂ්පාදනය කරමින් ප්‍රේක්‍ෂක පිපාසය සන්සිඳලීය.

විජය නන්දසිරිගේ කලා දිවිය වේදීකාව මත පමණක් රැඳුනා නොවේ. මෙරට බිහිවූ ටෙලිනාට්‍ය, චිත්‍ර‍පට සහ වෙළඳ දැන්වීම් අති විශාල සංඛ්‍යාවකට ඔහු තම රංගන දායකත්වය ලබාදුන්නේය.

Vijaya 02 www.nethnews.lk 00007

Vijaya 02 www.nethnews.lk 00004

Vijaya 02 www.nethnews.lk 00001

Vijaya 02 www.nethnews.lk 00003

Vijaya 02 www.nethnews.lk 00002

+++++++++++++++++++++++++++++++

විජය නන්දසිරි දිවි රඟමඩලින් බහී
(08.08.2016 – 13:20 +0530 – lankadeepa.lk)

ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා අද(8) අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 72 වැනි වියේ පසුවිය.

ඔහු කළුබෝවිල රෝහලට ගෙන එන විටත් මියගොස් සිටි බව වෛද්‍ය අධිකාරී අසේල ගුණවර්ධන මහතා පවසයි.

මනමේ වේදිකා නාට්‍යයෙන් සිය රංග ප්‍රතිභාව විදහා පෑ විජය නන්දසිරි මහතා රංගන ශිල්පියකු, නිවේදකයකු හා ගායකයකු ලෙස ද කටයුතු කළේය.

ප්‍රවීණ රංගන ශිල්පිනී දේවිකා මිහිරානි ගේ සැමියා වූ ඔහු දෙදරු පියෙකි. ‘පුංචි පහේ මං‘වැනි වැඩසටහන් මගින් ඔහු නිසග දක්ෂතා විදහා පෑවේය.

1944 දී උපත ලබා මහරගම විද්‍යාකර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ නන්දසිරි මහතා නෝනාවරුනි මහත්වරුනි, යර්ස් බොස්, එතුමා, මෙතුමා, සිකුරු හතේ, සුහද කොකා වැනි විකට ටෙලි නාට්‍ය හා චිත්‍රපට ඔස්සේ ප්‍රහසන රංගන ශිල්පියකු ලෙස ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.

1966 වසරේදී අමරදාස ගුණවර්ධනයන්ගේ ‘විදුර දිව‘ වේදිකා නාට්‍යයෙන් ක්ෂේත්‍රයට පිවිසි ඔහු සිංහබාහු, මහාසාර, නරිබෑනා, ජසයා සහ ලෙන්චිනා, රත්නාවලී, තාරාවෝ ඉගිලෙති, හුණුවටයේ කතාව, කුවේණි, වෘෂභ රාජ, සුබ සහ යස, කුස පබාවතී ආදී වේදිකා නාට්‍ය 40කට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය සපයා ඇත.

යස ඉසුරු, නෑදෑයෝ, රේල්පාර, සසර, සඳකඩ පහණ, බංගලි වලලු ඔහු රඟපෑ චිත්‍රපට අතර වේ.

දකුණු කොළඹ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය එච්.කේ.ආර්. සංජීව මහතා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අතර හදිසි මරණ පරීක්ෂක විපුල කරසිංහ මහතා මෙය හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් සිදුවූ ස්වභාවික මරණයක් බව තීන්දු කළේය.

විජය නන්දසිරි මහතාගේ දේහය ගල්කිස්ස කලාපුරයේ 156/1 නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අගෝස්තු 11 වැනිදා ගල්කිස්ස පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.

10580031_546576965488122_5794630329817598008_n

10610563_512337615578724_6911043588107360889_n

12932986_848780411934441_2704338418126205892_n

347806109_vijaya-nandasiri-(1)

678825807_vijaya-nandasiri-(2)

Deiyoth-Danne-Nehe

maxresdefault

rukada-rajje-1

z_arts-p30-Sikuru-Harthe

z_p25-Kusa-Pabawathi-at-

z_p27-Her1

+++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

විජය නන්දසිරි ජන වින්දනය නිමා කළ වගයි..! – සඳරුවන්ගේ සටහනක්
(08.08.2016 – 20:45 +0530 – Lanka eNews)

වෘත්තීය රංගන ශිල්පියෙකුට තම ජීවිතයේ අවසාන පැය කිහිපය දක්වාම ජනතාව වින්දනයට පත් කළ හැකි වේ නම් එය දුර්ලභ වාසනාවකි. එවන් වාසනා ගුණයක් හිමිකර ගත් විජය නන්දසිරි රංගධරයා කුරුණෑගල වයඹ පළාත් සභා ශ්‍රවනාගාරයේ රඟ දැක්වූ අජිත් මෙන්ඩිස්ගේ ‘අලුත් හොරෙක් ඕනෑ‘ නමැති ප්‍රහසන නාට්‍යයේ ඊයේ (07) සවස ද රඟපෑවේය. මඳ අසනීප තත්ත්වයක් තිබුනද ඔහු එය නොතකා තම ජනතාව වින්දනයට පත් කර නිවසට පැමිණීමෙන් පසු හදිසි හෘදයාබාධයකට ලක්වීමෙන් අනතුරුව තම යුග මෙහෙවර අවසන් කර ජීවන තිරය වසා දැමුවේ ය. ගල්කිස්ස කලා පුරයේ වාසය කළ ඔහු කළුබෝවිල රෝහල වෙත ගෙන එන විටත් අවසන් හුස්ම පොද හෙළා තිබිණ. ඒ වන විට ඔහු 72 වැනි වියේ පසුවිය.

විජය නන්දසිරි මහතා දිගුකලක් තිස්සේ දියවැඩියාව රෝගයෙන් පෙළුනු අතර ඒ හේතුව නිසාම කකුලක ඇති වූ තුවාලයක් වැඩි වීමෙන් කකුලක් කපා දැමීමට සිදුවූයේ මීට වසර 3 කට පමණ පෙරය. ඉන් අධෛර්යයට පත් නොවූ ඔහු කකුල සුව වීමෙන් පසු බොරු කකුලක් භාවිතා කරමින් ඊට අමාරුවෙන් හුරු වෙමින් තම ප්‍රේක්ෂක ජනතාවට ඒ බවක් අඟවන්නේ හෝ නොමැතිව සාමාන්‍ය පරිදි රංගනයේ යෙදුනේය. ජනතාව පිනැවීය. එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. අඩු තක්සේරුවේ ලා සැලකිය යුතු චිත්ත ධෛර්යයක් ද නොවේ. දෙපා හොඳීන් ක්‍රියාත්මකව කළ හැකිව තිබූ අයෙකුට එය නොමැතිවීම කෙතරම් තදින් බලපාන්නේ ද යන්න ගැන මෙම ලියුම්කරු මනා අත්දැකීම් සහිතය. වෘත්තීය රංගන ශිල්පියෙකුට එය කෙතරම් අභියෝගයක් විය යුතුද?

තම දරුවන්ද විදෙස් අධ්‍යාපන කටයුතු නිමා කරමින් තිබූ බැවින් අවශ්‍ය නම් විජය නන්දසිරි මහතාට බොරු කකුලක් සමග රඟ පෑමට නොගොසින් විශ්‍රාම සුවයෙන් දිවි ගෙවීමට හැකියාවක් තිබූ නමුත් ඔහු ඒ සරල ගමන් මගේ නොගොසින් මහත් කැපවීමකින් යුතුව තම ජනතාව පිනවීමට කටයුතු කෙළේ වෘත්තීය රංගන ශිල්පියෙකුට ජනතාව පිනැවීමෙන් තොරව ඇති ජීවිතයක් වැඩක් නොමැති යයි සිතුන නිසා විය යුතුය. එය අසම සමය.

මනමේ කුමාරයා

1944 දී උපන් විජය නන්දසිරි මහරගම විද්‍යාකර විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ අතර පසුකලෙක විශිෂ්ඨ රාජ්‍ය සේවකයෙකු වූ අමරදාස ගුණවර්ධනයන්ගේ ‘විදුර දිව‘ වේදිකා නාටකයේ ප්‍රථම වරට රඟපෑවේ 1966 දී ය. ඉන්පසුව ඔහු කටුනායක ගුවන්තොටුපොලේ වේටර් වරයෙකු ලෙස සේවය කරද්දී මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාටකයට තෝරා ගැණින. ඔහුගේ රංගන දිවියේ මල්වර වීම සිදුවූයේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ‘ නාටකයේ ‘මනමේ‘ කුමරාට තෝරා ගැනීමෙන් පසුවය. මනමේ කුමාරයාගේ චරිතය යනු වේදිකා නළුවෙකුගේ සිහිනයකි. එය නිකම්ම නිකං නලු බට්ටෙකුට කළ හැකි රංගනයක් නොවේ. මන්ද යත් ඊට ඉතාමත් කන්කලු ලෙස ගායනා කිරීමේ හැකියාවක්ද අත්‍යාවශ්‍ය නිසාම ය. ගායනය නර්තනය සහ අභිනය යන තෙවැදෑරුම් ශිල්පයෙහි කෙළ පැමිණියෙකුට මිස සාර්ථක ‘මනමේ කුමාරයෙක්‘ විය නොහැකිය. විජය නන්දසිරි මනමේ කුමරා ලෙස පරම්පරා දෙකක් වින්දනයට පත් කෙළේය. දීර්ඝතම කාලයක් මනමේ කුමරා ලෙස රඟපෑ රංගධරයා විජය නන්දසිරි වේ.

ඉන්පසු සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු, මහාසාර, රත්නාවලී නාටකයන්ගේද, දයානන්ද ගුණවර්ධනයන්ගේ නරිබෑනා සමග ජසයා සහ ලෙංචිනා නාටකයේද දශක ගණනාවක් රඟපෑවේය. රංකඳ නාටකයේ සුවිශේෂී චරිත රංගනයකට එක්වීමෙන් පසු සයිමන් නවගත්තේගමයන්ගේ සුභ සහ යස නාටකයේ මහ ඇමැති විය. හෙන්රි ජයසේනයන්ගේ හුණුවටයේ කතාවේද ඔහු රඟපෑවේය. රංකඳ හැර ඉහත කී අනෙකුත් නාටකයන් අද දක්වාම ජනතාව අතර දර්ශන වාර දහස් ගණන් රඟ දක්වා ඇති අතර මෑතක් වන තුරුම විජය නන්දසිරි ඒ චරිත වලට පණ පොවමින් ජනතාව පිනැවීය. තමා විසින්ම නිපදවා තමන්ම රංගනයේ යෙදුනු කුස පබාවතී, වෘෂභ රාජ, ශ්‍රී ගජබා, හාරත රැජින ආදී නාටකයන්ද විශාල දර්ශන වාර ගණනක් අද දක්වාම රඟ දක්වා තිබේ. ඔහු රඟ පෑ සියළුම නාට්‍යය 40 කට අධිකය.

බුල්ටෝ චරිත

පසු කලෙක කලා ලෝකය ගිල ගත් ටෙලි නාටක වල බුල්ටෝ චරිත වලට පණ පෙවීම හේතුවෙන් ඔහු විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් අතර ජනප්‍රිය තත්ත්වයට පත් වුවද එමගින් ‘මහා රංගධරයාගේ‘ තත්ත්වයෙන් බාල්දු වූයේ යැයි කීම ඔහුට කරන අගෞරවයක් නොවේ. රට ගමන් කළ අත එය බැවින් වෘත්තීය රංගන ශිල්පියෙකුට වෙන කළ හැකි අන් යමක් නොතිබුනා විය හැකිය. එතුමා, මෙතුමා, නෝනාවරුනි මහත්වරුනි, යර්ස් බොස් ආදී දෙකයි පනහේ ටෙලි නාටක වල බුල්ටෝ කොමඩි චරිත විජය නන්දසිරි විනාශ කළේය. කොමඩි චරිත අතර ඔහු එක්කෝ දේශපාලකයා විය. නැතහොත් කපුවා විය. නැතහොත් බොස් විය. ඒවා සියල්ලම එකම අච්චුවේ ඒවා විය. විජය නන්දසිරිගේ රංගනයේද කිසිදු වෙනසක් තිබුනේ නැත.

මේ අවරගනයේ ජනප්‍රියත්වයට යට වීම නිසා ඔහුට මනමේ වැනි විශිෂ්ඨ චරිත රඟපෑම අසීරු විය. මනමේ කුමාරයා වේදිකාවට පිවිසි විට ප්‍රේක්ෂකයෝ එතුමා හෝ මෙතුමා සිහිවී සිනහා වෙන්නට පටන් ගත්හ. මෙවැනි ප්‍රශ්නයකදී ඔහු අත් හලේ මෙතුමා හෝ එතුමා නොවේ මනමේ ය.

ඉන්පසුව අවසන් දශකයක හමාරක කාලය පුරා විජය නන්දසිරි මහතා කොමඩි නලුවෙක් පමණක් වීම අභාග්‍යයකි. ඔහුට සිනමා සම්මානයක් ද ලැබුනේ කොමඩි නලුවෙක් ලෙස සිකුරු හතේ චිත්‍රපටයේ කපුවාගේ චරිතයට ය. ඔහු මුල් යුගයේ සිනමාවට සම්බන්ධ වූ නමුත් ඒවා අසාර්ථක විය. කේ.ඒ.ඩබ්.පෙරේරාගේ චිත්‍රපට රැසකට ඔහු තෝරාගත්තේය. නෑදෑයෝ ඉන් ප්‍රධානය. නමුත් එකළ සිනමා තරු ලෙස වැජඹුනු විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා, රවීන්ද්‍ර රණ්දෙනිය ආදීන් අබිභවා තරුවක් වීමට විජය නන්දසිරි මහතාට නොහැකි වීමද ඔහු පසු කලෙක කොමඩි නළුවෙක් බවට තල්ලුවීමට හේතු වූවා විය හැකිය. කොමඩි නළුවෙක් ලෙස රංගනයට පිවිස පසුකලෙක විශිෂ්ඨ චරිතාංග නළුවන් වූ ජෝ අබේවික්‍රම වැනි දේශීය නළුවන් මෙන්ම ජාත්‍යන්තර නළුවන්ද බොහෝය. විජය නන්දසිරි රංග ධරයාට එය ප්‍රතිවිරුද්ධ අතට කරකැවීම ඔහුගේ දෛවයද? හරවත් දෑ බලාපොරොත්තු වන ප්‍රේක්ෂකයාගේ අවාසනාවද? යන්න කල්පනා කර බැලිය යුතුය.

කෙසේ වෙතත් විජය නන්දසිරි මහතා වෘත්තීය රංගන ශිල්පියෙකු ලෙස තම වෘත්තීය අගය ඉහල දමා ගත් අයෙකි. ඔහු දිනක රංගනයක් වෙනුවෙන් රුපියල් 25000 සිට ඉහලට ලංකාවේ වැඩිම මුදලක් අය කළ රංගන ශිල්පියෙකි. එය අනෙකුත් රංගන ශිල්පීන්ටද පිටිවහලක් වූවා විය යුතුය.

විශිෂ්ඨ ලක්ෂණ

වසර 40 කට අධික විජය නන්දසිරි මහතාගේ රංගන සරු සැරිය පුරා දැකිය හැකි විශිෂ්ඨ ලක්ෂණයක් තිබේ. ඒ නම් පසුගිය වසර 40 කාලය පුරා ඔහු කිසිදු දේශපාලන තනතුරක් ලබා ගත් අයෙකු නොවීමය. දේශපාලන දෘෂ්ඨිවාද වල ගැළුණු අයෙක්ද නොවීය. එහෙයින් ජනතා ව්‍යාපාර වලින්ද ඔහු ඈත්ව විසුවේ ය. එමෙන්ම ජැක්සන් ලා සේ තම  ජනප්‍රියත්වයෙන් ජනතාවට හානියක් ගෙන දීමට කටයුතු කළේ ද නැත.

විජය නන්දසිරි මහතා තම නිසග හැකියාවක් වූ ගායන හැකියාවෙන් අවසන් කාලයේදී නිසි ලෙස ප්‍රයෝජනයක් නොගත් අයෙකි. එය ප්‍රේක්ෂකයාගේ ශ්‍රාවකයාගේ අවාසනාවකි. අනෙක් අතට වේදිකාවේ සිනමාවේ ටෙලි නාටකයේ අසහාය රංග ධරයෙකු ලෙස විජය නන්දසිරි මහතා ලැබූ මහානර්ඝ අත්දැකීම් ප්‍රමාණයෙන් රටේ දෙවන පරම්පරාවට අධ්‍යාපනයක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබුනේ ද නැත. ඔහු සෞන්දර්ය සරසවියක ආරාධිත දේශකයෙකු ලෙස හෝ සම්බන්ධකර ගැනීමට බලධාරීන්ට අවශ්‍යතාවක් නොවිණ. මාධ්‍යයටද එවැනි වුවමනාවක් නොවිණ. සම්මුඛ සාකච්ඡාවකදී පවා මාධ්‍ය ඔහුගෙන් ඇසුවේ බිබික්කං ප්‍රශ්නය. ඔහුද ජුජුබ්ස් පිළිතුරු දී නිහඬ විය. එය ඔහුගේ නොව රටේ ජනතාවගේ අවාසනාවකි.

අවසාන වශයෙන් කිව යුත්තේ විජය නන්දසිරි යුගය නිමා විය. විජය නන්දසිරි රංගධරයාගෙන් හිස් වූ තැන පුරවාලිය හැකි කිසිවෙක් පෙනෙන තෙක් මානයේ අපට නම් පෙනෙන්නේ නැත.

එතුමන්ගේ අභාවයෙන් ශෝකවන පවුලේ සාමාජිකයන්ද අනෙකුත් සහෘදයන්ද සමග ලංකා ඊ නිව්ස් ද, අප පාඨක භවතුන්ද ශෝක වන්නෙමු. එතුමන් පැතූ අජර අමර නිවන් සැප ලැබේවා..!

– සඳරුවන්

+++++++++++++++++++++++++++++++

රඟහල අඳුරු වෙයි මනමේ කුමරු අප හැර යයි…
(09-08-2016 – mawbima.lk)

සිංහල වේදිකා නාට්‍ය වංස කතාවේ අග්‍රගණ්‍ය නිර්මාණයක් ලෙස අප්‍රමාණ කීර්තියක් දිනාගත් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාට්‍යයෙහි ‘මනමේ’ කුමරුගේ ප්‍රධාන භූමිකාවට දශක දෙකකට අධිකව දීර්ඝතම කාලයක් පණ දුන් ප්‍රවීණ සහ කෘතහස්ත රංගධරයකු වූ විජය නන්දසිරි මහතා ඊයේ අභාවප්‍රාප්ත විය.

‘මනමේ’ නාට්‍ය මුල් වරට වේදිකා ගත වූයේ 1956 දීය. එදා පටන් මනමේ කුමරු ලෙස රඟපෑ බෙන් සිරිමාන්න, හෙන්රි ජයසේන සහ උපාලි අත්තනායකගෙන් පසු වැඩිම කාලයක් 1974 සිට රඟපෑමේ කීර්තිය හිමි කර ගත්තේ විජය නන්දසිරිය.

1944 වසරේ උපන් විජය නන්දසිරි මියගියේ 72 වැනි වියෙහි දීය. මහරගම විද්‍යාකර මහා විද්‍යාලයේ සිප්සතර හැදෑරූ විජය නන්දසිරි 1966 දී අමරදාස ගුණවර්ධනයන්ගේ ‘පිදුරු දිව’ නාට්‍යයෙන් වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රයට පිවිසියේය. ඉන් අනතුරුව දයානන්ද ගුණවර්ධන සූරීන්ගේ ‘නරි බෑනා’ සහ ‘ජසයා ලෙන්චිනා’ නාට්‍යවල රංගනයට එක් වූයේය.

කටුනායක ගුවන්තොටුපළ නිලධාරියකු ලෙස සේවය කළ විජය නන්දසිරි ඉන් බැහැරව සිය පූර්ණ කාලය නාට්‍ය ක්‍ෂේත්‍රයට කැප කෙළේය. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාට්‍යයට අමතරව සිංහබාහු, රත්නවල්ලි සහ මහාසාර නාට්‍යවලද රඟපෑවේය.

1971 වසරේ විජය රඟපෑ ‘රන් කෙන්ද’ නාට්‍යයෙන් ජනප්‍රියත්වයට පත් ඔහු ඉන් අනතුරුව සයිමන් නවගත්තේගම සූරීන්ගේ ‘සුබ සහ යස’ අතිශය ජනප්‍රිය වූ නාට්‍යයේ රංගනයට එක් වූයේය.

නරියා සහ කේජු, ඒකාධිපති, තාරාවෝ ඉගිළෙති, කුවේණි සහ හුනුවටයේ කතාව ඇතුළු නාට්‍ය 40 කට අධික සංඛ්‍යාවක ඔහු රඟපෑවේය.

‘කුස පබාවති’ සහ ‘වෘෂභ රාජ’ විජය නන්දසිරි නිෂ්පාදනය කළ නාට්‍ය ද්විත්වය වෙයි.

ටී. බී. ඉලංගරත්න සූරීන්ගේ සෛලාසනය නාට්‍යයේ විජයගේ රඟපෑම් දුටු ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා තමන් අධ්‍යක්ෂණය කළ ‘නෑදෑයෝ’ චිත්‍රපටයට විජය නන්දසිරි ශිල්පියා එක්කර ගත්තේ 1976 දීය. නෑදෑයෝ විජය නන්දසිරිගේ ප්‍රථම සිනමා රංගනයයි.

ඉන් අනතුරුව බංගලි වළලු, සසර, රේල් පාර, යස ඉසුරු, සඳකඩපහණ ඇතුළු චිත්‍රපට රැසක රඟපෑ අතර ගිරිරාජ් කෞශල්‍යගේ ‘සිකුරු හතේ’ චිත්‍රපටයේ මංගල ජය කපු මහත්තයාගේ චරිතයෙන් හොඳම සිනමා නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනි නිළිය ලෙස ඩී. බී. නිහාල්සිංහයන්ගේ ‘දිමුතු මුතු’ ටෙලි නාට්‍යයෙන් කිරුළු පලන් දේවිකා මිහිරාණි සමඟ 1974 දී විවාහ දිවියට ඇතුළත් විණි. විජය – දේවිකා පෙම්වතුන් බවට පත්වූයේ සයිමන් නවගත්තේගමගේ ‘සුබ සහ යස’ නාට්‍ය රඟපාන අතරවාරයේදීය.

තම කලා දිවියට බොහොම අතහිත දුන් කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා සූරීන්ගේ ‘ගමන’ ටෙලි නාට්‍යයෙන් ටෙලි නාට්‍ය රංගනයට පිවිසුණු විජය නන්දසිරි ඉන් අනතුරුව ‘ප්‍රමාද වැඩියි’ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක විය.

ප්‍රහසන නළුවකු ලෙස ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ කීර්තියක් දිනූ විජය නන්දසිරි ‘නෝනාවරුනි මහත්වරුනි’ යර්ස් බොස්, එතුමා වැනි ටෙලි නාට්‍ය රංගනයෙන් අතිශය ජනාදරයට පත් වූයේය. මෑතදී තිරගත වූ ‘සිකුරු හතේ’ චිත්‍රපටයේ විජයගේ රංගනය මහත් ජනප්‍රියත්වයට පත් වූයේය.

මියෙනතුරුම වේදිකා රංගනයේ යෙදුණු විජය නන්දසිරි සිය මරණයට පැය කිහිපයකට ප්‍රථම නිවෙසට පැමිණියේ කුරුණෑගල පැවැති ‘අලුත් හොරෙක් ඕනෑ’ නාට්‍ය රඟපෑමෙන් අනතුරුවය. ‘අලුත් හොරෙක් ඕනෑ’ නාට්‍ය කණ්ඩායම කුරුණෑගලින් පිටත්වී ඇත්තේ රාත්‍රි 11 ට පමණය.

‘පුංචි පහේ’ මං වැඩසටහන විජයගේ නිවේදන කාර්යයෙහි සුවිශේෂ දක්ෂතා පෙන්වූවකි. නවාංජනා දියණිය සහ සුචිත්‍ර පුතුණු විජයගේ දරු දෙදෙනාය. විජය නන්දසිරිගේ දේහය ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාර කලාපුරයේ අංක 156/1, නිවෙසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු බ්‍රහස්පතින්දා ගල්කිස්ස නිසල සෙවණේදී සිදුකෙරනු ඇත.

– අනුර බණ්ඩාර රාජගුරු

+++++++++++++++++++++++++++++++

‘‘විජය…විජය… කියා කතා කරද්දී මාගේ මුහුණ දිහා බලපු විජය ඇස්‌දෙක පියා ගත්තා’’ – බිරිඳ දේවිකා මිහිරානි සාක්‍ෂි දෙමින් කියයි
(09.08.2016 – divaina.com)

‘‘මගේ අත උඩට විජයගේ ඔළුව එකපාරටම කඩාගෙන වැටුණා. මම විජය… විජය… කියලා ඔහුට කතා කළත් ඔහු කතා කළේ නැහැ. විජය මගේ මූණ දිහා බලලා ඇස්‌ දෙක පියා ගත්තා…’’

ප්‍රවීණ රංගන ශිල්පි විජය නන්දසිරි මහතාගේ මරණය සම්බන්ධයෙන් ඊයේ (8 වැනිදා) කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් උසාවියේ පැවැති සාක්‍ෂි විභාගයේදී සාක්‍ෂි දුන් බිරිඳ වන ප්‍රවීණ රංගන ශිල්පිණී දේවිකා මිහිරානි මහත්මිය (60) එසේ පැවසුවාය.

ගල්කිස්‌ස, ටෙම්පල්ස්‌ පාරේ, කලාපුර, අංක 156/01 දරන නිවසේ පදිංචිව සිටි ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා මිය යන විට 69 හැවිරිදි වියේ පසුවිය.

මේ සම්බන්ධ මරණ පරීක්‍ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක විපුල මාරසිංහ මහතා හමුවේ පැවැති අතර එහිදී තවදුරටත් සාක්‍ෂි දුන් ප්‍රවීණ රංගන ශිල්පිනී දේවිකා මිහිරානි මහත්මිය මෙසේ ද කීවාය.

මියගොස්‌ සිටින්නේ මගේ සැමියා. විවාහයෙන් අපට දුවෙකුයි, පුතෙකුයි ඉන්නවා. මහත්තයා දැනට අවුරුදු 25 ක කාලයක ඉඳලා දියවැඩියා රෝගයෙන් පෙළුණා. ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ගත්තා. 2000 වසරේදී විජයට බයිපාස්‌ සැත්කමකුත් කළා. අද (08 වැනිදා) උදේ විජය කිරිබත් හදලා දෙන්න කිව්වා. ඒ අනුව මම කිරිබත් හදලා ඉවරවෙලා බාත් රූම් එකට ගියා. ඒ වෙලාවේ විජය පපුව දැවිල්ලයි ඉක්‌මනට බෙහෙත් ස්‌ප්‍රේ එක ගේන්න කියලා කෑගහනවා ඇහුණා. පස්‌සේ පුතා බෙහෙත් ස්‌ප්‍රේ එක රැගෙන විත් විජයට දුන්නා. මමත් එතැනට ගියා. මගේ අත උඩට විජයගේ ඔළුව එකපාරටම කඩාගෙන වැටුණා. මං ඔහුට විජය… විජය… කියලා කතා කළත් ඔහු කතා කළේ නැහැ. මගේ මූණ දිහා බලාගෙන ඔහු දැස්‌ දෙක පියාගත්තා. පසුව මා ඉක්‌මනටම ගිලන් රථයක්‌ ගෙන්වා ගත්තා. පසුව නංගිලාත් එක්‌ක ගිලන් රථයෙන් විජය රෝහලට පිටත් කර හැරියා. මම මගේ පුතා සමඟ මෝටර් රථයෙන් කළුබෝවිල රෝහලට ගියා. රෝහලට ඇතුළත් කිරීමේදීත් විජය මියගොස්‌ ඇති බව වෛද්‍යවරුන් පැවසුවා.”

කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එච්. කේ. ආර්. සංජීව මහතා විසින් මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ අතර ඉදිරිපත් වූ සාක්‍ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක විපුල මාරසිංහ මහතා මෙම මරණය හෘද රෝගී තත්ත්වයක්‌ හේතුවෙන් වූ ස්‌වාභාවික මරණයක්‌ බවට නිගමනය කළේය.

ගල්කිස්‌ස පොලිසියේ පොලිස්‌ කොස්‌තාපල් සුමනකුමාර මහතා (42877) සාක්‍ෂි මෙහෙයවීය ෴

++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++

විජයගේ අවසන් දවස සහ අවසන් ඡායාරූප
(09.08.2016 – gossiplankanews.com)

කුරුණෑගල ගිහින් ඇවිත් මහන්සියෙන් හිටි විජය නන්දසිරි හාට් ඇටෑක් හැදුණාම බාත් රූම් එකේදී කෑගැහුවලු

ප‍්‍රවීණ නළු විජය නන්දසිරි ඊයේ දහවල් අභාවප‍්‍රාප්ත වූයේ හදිසි හෘදයාබාධයක් වැළඳීමෙනි. මින් දිගු කලෙකට ඉහත බයිපාස් සැත්කමකටද බඳුන්ව සිටි ඔහු දියවැඩියා රෝගයෙන්ද පීඩා විඳි අයෙකි.

ඊයේ හෘද රෝගයට ලක්වන්නට ප‍්‍රථම ඔහු වෙහෙසකර තත්වයක පසුවිය. එයට හේතුවූයේ පෙරේදා (ඉරිදා) ඔහුට කුරුණෑගලට ගොස් ‘අලූත් හොරෙක්  ඕනෑ’ නමැති නාට්‍යයේ දර්ශනවාරයකට පෙනී සිටිමට සිදුවූ නිසාය. එය නිමකර ඔහු නැවත ගල්කිස්සේ නිවසට පැමිණියේ දෙගොඩහරි යාමයේය. පසුදා අවදිවී ඇඟපත සෝදාගන්නට ගොස් නාන කාමරයේ සිටින අවස්ථාවේ ඔහුට මෙම හෘද රෝගය එක්වරම වැළඳී තිබේ.

එම අවස්ථාවේ පුතාගේ නම කියමින් ඔහු කෑගැසූ බවත් වාර්තාවෙයි. ඔහු පපුව අල්ලාගෙන පහත්වී සිටි අතර නිවසේ සිටි ඥාති කාන්තාවක එම අවස්ථාවෙහි උදව්වට පැමිණ කෘත‍්‍රිම ස්වසනය ලබාදීමට උත්සාහ කර තිබේ. අවස්ථා තුනක්ම අසාර්ථකවූ බවත් හතරවන අවස්ථාවේද එය ව්‍යවර්ථව ගිය බවත් හෘදයේ හඬක් නැගී නවතිනු ඇසුණ බවත් ඇය පසුව ඒ ගැන විස්තර කළාය.

ඉන් අනතුරුව මිනිත්තු පහළොවක් වැනි කාලයක් තුළ කළුබෝවිල පිහිටි දකුණු කොළඹ මහ රෝහල වෙත ඔහු රැගෙන ගියත් ඒ අවස්ථාව වනවිටත් ඔහුගේ ප‍්‍රාණය නිරුද්ධවී තිබුණි.

මරණ පරීක්ෂක විපුල නරසිංහ මහතා තීරණය කළේ මෙම මරණය ස්වාභාවික තත්ව මත හදිසි හෘදයාබාධයකින් සිදුවූවක් ලෙසයි.

විජය නන්දසිරි මහතා මියයනවිට 72 වන වියෙහි පසුවිය.

අවසන් මොහොත දක්වාම ප‍්‍රාණවත්ව රංගන කාර්යයද අත් නොහැර ආකර්ෂණීය පෙනුම රැකගෙන සිටින්නට සමත්වූ නිසාම බොහෝ අය ඔහුට එතරම් වයස යයි සිතන්නට බැරිව පුදුම වී තිබුණි.

විජය නන්දසිරිගේ දියණිය සැමියා සමග ඕස්ට්‍රේලියාවේ සිටින අතර සියල්ලන්ගේ පැමිණීම තහවුරුවූ පසු අවසන් කටයුතු පිළිබඳ දිනයක් තීරණය කරන්නට අවශ්‍ය නිසා ඊයේ එය පසුවට කල් තැබිණි.

පහත පළවන්නේ කුරුණෑගල අවසන් නාට්‍ය දර්ශන වාර අවස්ථාවේ ඉරිදා ලබාගත් ඡායාරූප කිහිපයකි.

+++++++++++++++++++++++++++++++

විජය නන්දසිරි පෙරේදා රඟපෑ අපූරු ප‍්‍රහසනය මෙන්න.. ‘අලූත් හොරෙක් ඕනෑ’
(09.08.2016 – 10:40 +0530 – lankacnews.com)

ඊයේ දිනයේ අභාවප‍්‍රප්ත වූ ප‍්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා පෙරේදා දිනයේද සිය අලුත්ම වේදිකා නාට්‍යයේ රංගනයේ යෙදී තිබේ.

‘අලූත් හොරෙක්  ඕනෑ’ නවතම වේදකා නාට්‍ය ඔහු අවසන් වරට රංගනයේ යෙදුනු නාට්‍ය විය.

ඔහුගේ අවසන් වේදිකා නාට්‍යයේ දර්ශණකි මේ :

+++++++++++++++++++++++++++++++

විජය නන්දසිරි මහතාගේ දේහය නිවසට රැගෙන ආ අවස්ථාව
(09.08.2016 – nethnews.lk)

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතාගේ දේහය මේ වන විට ගල්කිස්ස ටෙම්ප්ලස් පාරේ පිහිටි නිවසට රැගෙන විත් තිබෙනවා.

ඒ මහතාගේ දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබූ අතර අද පෙරවරුවේ නිවසට රැගෙන ආ අවස්ථාව පහත සඳහන් වීඩියෝවෙන් දැක්වේ.

ඥාතීන් පැවසුවේ අවසන් කටයුතු අනිද්දා පස්වරුවේ ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකරන බවයි.

වේදිකාව, රිදී තිරය හා පුංචි තිරය යන මාධ්‍ය තුනම ජයගත් විජය නන්දසිරි මහතා ඊයේ (08) පෙරවරුවේ අභාවප‍්‍රපාප්ත වුණා. ඒ, හෘදයාබාධයකට ලක්ව කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අවස්ථාවේයි.

——————–

++++++++++++++++++++++++++++++

lankadeepa.lk වෙබ් අඩවියෙන් (09-08-2016) :

_DSC0437

_DSC0457

_DSC0473

_DSC0428_7

_DSC0418

_DSC0419

DSC_0764

_DSC0407

—————————————————-

++++++++++++++++++++++++++++++

sinhala.adaderana.lk වෙබ් අඩවියෙන් (09-08-2016) :

2

1

3

——————————

+++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

විජය නන්දසිරි නමැති පිරිපුන් මිනිසාට ඇලුම් නොකළ එකදු ශ්‍රී ලාංකිකයෙක් නොමැත : මා ඔහු රඟපෑ සියලු වේදිකා නාට්‍ය නරඹා තිබීම භාග්‍යයකි – කතානායකතුමාගේ ශෝක පණිවුඩය
(09.08.2016 – 19:20 +0530 – Lanka eNews)

කලා ලෝකයේ අඩ සිය වසකට ආසන්න කාලයක් පුරා ස්වර්ණමය පරිච්ඡේදයක් සනිටුහන් කළ තවත් සොඳුරු මිනිස‍කු ජීවන රඟමඩලින් නික්ම ගොස් ඇත. එහෙත් විජය නන්දසිරි නම් අති විශිෂ්ඨ රංගධරයා ශ්‍රී ලාංකීය ජනතා හදවත් තුළ තවත් ‍යුග ගණනක් ජීවමානව සිටිනු ඇත.

සැබැවින්ම විජය නන්දසිරි යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යමෙකු දුටු සැනින් ප්‍රිය උපදවන පිරිපුන් මිනිසෙකි. රංගන ශිල්පියෙකු ලෙස තමාටම අනන්‍ය රංගවේදයක් ප්‍රකට කළ විජය නන්දසිරි නම්  මේ පිරිපුන් මිනිසාට ඇලුම් නොකළ කවර තරාතිරමේ හෝ ශ්‍රී ලාංකිකයෙකු නොමැති බව මගේ විශ්වාසයයි.

විටෙක වේදිකාව තුලින් ඔහු මහා සම්භාව්‍ය නාට්‍යකරුවෙකුගේ ප්‍රතිභාව පිලිබිඹු කළේය. තවත් විටෙක සිනමාවේ අහිංසක පෙම්වතා වූ  ඔහු, තරුණ හදවත් ස්පර්ශ කළේය. සිංහබාහු, මනමේ වැනි කෘතීන් තුලින් විජය නන්දසිරි  ඔද තෙද ‍පිරුණු මහා පෞර්ෂයක් ප්‍රකට කළේය. ඒ සියල්ල අතුරින් මෑත භාගයේදී හාස්‍යෝත්පාදක රංගනයෙහිලා විජය නන්දසිරි සලකුණ කැපී පෙනේ. එය සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගනු ලැබූහ.

මා ‘විජය නන්දසිරි’ නම් අද්විතීය කලාකරුවාගේ දිගුකාලීන රසිකයෙක්මි. විශේෂයෙන්ම ඔහු දායක වූ වේදිකා නාට්‍ය නිර්මාණ සියල්ලක්ම පාහේ රසවිඳීමට අවස්ථාව ලැබීම මා ලද භාග්‍යයකි. විටෙක ඔහුගේ රංගන කෞශල්‍යයන් පිලිබඳ, වේදිකාව අභියසට ගොස් මා ඔහුව අගය කළෙමි. හැකි විටෙක, දුරකථනයෙන්ද ඔහු අමතා සුවදුක් විමසුවෙමි. මා ඔහුගේ නිර්මාණ පිලිබඳව පැසසුම් කළෙමි. ඒ සෑම විටකම අපගේ පිලිසඳර අවසන් වූයේ ඔහු මැවූ තවත් අපූර්ව සිනහවකින්මය.

විජය නන්දසිරි නම් ප්‍රතිභා පූර්ණ රංගවේදියා තුළ මා දකින සුවිශේෂීම ලක්ෂණය නම් 70 දශකයේ මුල් භාගයේ සිට වත්මන් යුගය දක්වාම විවිධාකාර රැළි පෙරළි අතික්‍රමණය කරමින් සිය රංගන ප්‍රතිභාව කාලානුරූපව ගලපාගැනිමට ඔහුට තිබූ හැකියාවයි. එදා මෙදා තුර ඔහු දායක වූ සෑම නිර්මාණයකටම උපරිම කැපවීමෙන් සාධාරණය ඉටු කිරීම මේ පිටුපස තිබූ රහස බව පැහැදිලිය. රංගන ශිල්පියෙකු ලෙස ගෙවී ගිය දශක පහ තුළම ඔහු පැමිණි ගමන අපරාජිතය. මේ සොඳුරු කලාකරුවාගේ අභාවය පිලිබඳ කණගාටුදායක පුවත සමස්ත ශ්‍රී ලාංකිකයන් තුළ මෙන්ම මා තුළද ඇති කළේ ඉමහත් කම්පනයකි.  ඔහුගේ නික්ම යාම කලා ලෝකයේ කිසිදා පිරවිය නොහැකි හිඩැසක් නිර්මාණය කර ඇති බව මගේ හැඟීමයි. එහෙත් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ ජීවිත වලට සැහැල්ලුව, සතුට ළං කර දීම තුළින් ඔහු මහත් වූ පුණ්‍ය සම්භාරයක් රැස් කර ඇති බව මා විශ්වාස කරමි. එම පිනෙන්ම ඔහු සුගතිගාමී වනු ඇත.

මේ මොහො‍තේ විජය නන්දසිරි නම් අසහාය රංගධරයාගේ අභාවය වෙනුවෙන් ශෝකයට පත් ඔහුගේ බිරිඳ, දූ දරුවන් මෙන්ම ලක්ෂ සංඛ්‍යාත  ප්‍රේක්ෂකයන් සමග එක්ව මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන අතර, මා ප්‍රිය සුමිතුරු විජය නන්දසිරි කලාකරුවාණන්ට නිවන් සුව පතමි.

කරු  ජයසුරිය
කථානායක,
ශ්‍රී  ලංකා  පාර්ලිමේන්තුව

++++++++++++++++++++++++++++++++

‘‘විජය නන්දසිරි ප්‍රහසන නළු භූමිකාවට සීමා නොවී සිටියා නම්.. ’’ – අගමැති රනිල්ගේ ශෝක පණිවුඩය
(09.08.2016 – 19:00 +0530 – Lanka eNews)

විජය නන්දසිරි නම් ප්‍රතිභාන්විත රංගධරයා ජීවිතයෙන් සමුගත් බව හදිසියේම අසන්නට ලැබීමෙන් මෙරට සුවහසක් රසික ජනතාව සේම මම ද බලවත් සංවේගයට පත් වූයෙමි. විජය නන්දසිරි මහතා කලකරුවකු ලෙස සහෘද ජනතාවට කොතෙක් සමීප වී සිටියේද යන්න, ඔහුගේ වියෝව සම්බන්ධයෙන් ජනතාව සංවේදී වූ ආකාරයෙන්ම මනාව පැහැදිලි වේ.

ඔහු වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව යන ක්ෂේත්‍ර ඔස්සේ චරිතාංග නළුවකු ලෙසත්, සිනහව තිළිණ කරමින් සහෘද හදවත් සුවපත් කරන, හාස්‍යය උපහාසය කැටිකොට ගනිමින් සමාජ දේශපාලන විවේචන ඉදිරිපත් කරන ප්‍රහසන නළුවකු ලෙසත් අපූර්ව ප්‍රතිභාවක් පළ කළ ප්‍රවීණ රංගධරයෙකි. එසේම නිවේදකයෙකු, ගායකයෙකු, නාට්‍ය නිෂ්පාදකයෙකු, සොඳුරු මිතුරෙකු ලෙස ඔහු කලා ක්ෂේත්‍රය තුළ තැබූ ආදරණීය මතක සටහන් කිසිදා මැකී නොයනු ඇත.

පසුකාලීනව ප්‍රහසන නළුවකු ලෙස ප්‍රකටව සිටිය ද විජය නන්දසිරි මහතා රංගනයට පිවිසෙන්නේ 1966 වසරේ අමරදාස ගුණවර්ධනයන්ගේ ‘විදුරු දිව’ වේදිකා නාට්‍යයෙනි. පසුව ‘සිංහබාහු’, ‘මනමේ’, ‘මහසාර’, ‘නරිබෑණා’, ‘රත්නාවලී’, ‘තාරාවෝ ඉගිළෙති’, ‘හුණුවටයේ කතාව’, ‘කුවේණි’ වැනි නාට්‍ය රැසකට රංගනයෙන් දායක විය. දීර්ඝ කාලයක් වේදිකාවේ මනමේ කුමරු ලෙස කිරුළු දරන්නට ද ඔහුට හැකි විය.

ප්‍රහසන නළු භුමිකාවට සීමා නොවී විවිධ චරිතවලට අවතීර්ණ වීමේ ඉඩකඩ ලැබිණි නම් විජය නන්දසිරි මහතාට චරිතාංග නළුවකු ලෙස සිය රංගන ජීවිතයේ තවත් බොහෝ දුර යන්නට අවකාශ තිබිණි. කෙසේ නමුත් කලා ක්ෂේත්‍රයේ විවිධ ඉසව් තුළ සිය අපූර්ව ප්‍රතිභාව සනිටුහන් කළ විජය නන්දසිරි වැනි ප්‍රවීණ කලාකරුවන් අහිමි වීම සැබවින්ම පිරිමැසිය නොහැකි පාඩුවකි.

ප්‍රවීණ රංගධර විජය නන්දසිරි මහතාගේ හදිසි අභාවයෙන් ශෝකයට පත් ආදරණීය බිරිඳ දේවිකා මිහිරානි මහත්මිය, දූ දරුවන්  ඥාති හිතමිත්‍රාදීන් වෙත මාගේත්, මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියගේත් සාතිශය සංවේගය පළකරමින්, අප සොඳුරු කලාකරුවාණන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය

2016 අගෝස්තු 09

+++++++++++++++++++++++++++++++

විජය නන්දසිරි වැඩියෙන්ම සතුටුවුණ දවස – දූගේ විවාහ උත්සවයට සිංදු කියා නැටූ හැටි
(10.08.2016 – gossiplankanews.com)

අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ කලාකරු විජය නන්දසිරි මහතාට සිටින්නේ දරුවන් දෙදෙනෙකි.

ඒ පුතෙක් හා දුවක්. පුතු රසාංජන ඇමරිකාවට ගොස් පයිලට් කෙනෙකු වන්නට ඉගෙන ගත්තේය. දියණිය නවාංජනා ආසා කළේ පෙර පාසල් ගුරුවරියක වන්නටය. පුතා මෙන්ම දුව ගායනයටද දක්ෂයන්ය. පවුලේ හතර දෙනාම ඇතැම් උත්සව වල ගීත ගායනයටද එක්ව තිබේ.

විජය තම දරු දෙදෙනාටම එකසේ ආදරය කළා. ඔහුගේ දියණිය පතිකුලයට එළැඹි දිනය ඔහුගේ ජීවිතයේ වඩාත් සතුටුවූ දවස බවට පත්ව තිබුණා.

ඇය විවාහ වූයේ චමින්ද ගුණරත්න නමැත්තෙකු සමගය. චමින්ද  ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන්හි ව්‍යාපාරයන්හි නියැළි අයෙකි. මේ නිසා විජයගේ දියණියට විවාහයෙන් අනතුරුව  ඕස්ට්‍රේලියාවට යන්නට සිදුවුණා.

විවාහයෙන් පසු තමන් අතහැර යන දියණියගේ ගමන සිතට වේදනාවක් වුවත් එම ගමන නවතන්නට විජයට අවශ්‍ය වූයේ නෑ.
එහෙත් ඔහුට සමුගන්නට පෙර දුවගේ මංගල්‍යය මහ ඉහළින් සමරන්නට උවමනා වුණා. ඒ සඳහා එවක ජනපතිවරයාටත් විජය ඇරයුම් කළා.

2012 වසරේ අග හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ අත්සනින් විවාහ ගිවිසගැනීම සිදු කර තිබුනේ අරලිය ගහ මන්දිරයේදීය. පසුව 2013 ජනවාරි මාසයේ කොළඹ හිල්ටන් හෝටලයේදී මංගල උත්සවය මහ ඉහළින් පැවැත්වුවා. ඒ සඳහා කලා ලෝකයේ බොහෝ පිරිස්වලටද ඇරයුම් ලැබුණා.

විවාහ උත්සවය දවසේ විජය ගීත ගායනය කරන්නට මෙන්ම දේවිකාව බදාගෙන නර්තනයේ යෙදෙන්නටද උත්සාහ කළා. ඒ සතුට වැඩිකමටය.

නාට්‍ය චිත‍්‍රපට ආදියේදී මෙන්ම සාමාන්‍ය ජීවිතයේදීත් සැහැල්ලු රසවත් කථා කීමෙහි සමතෙකුවූ විජය දියණියගේ විවාහ මංගල දවස වඩාත් සතුටින්ම සිටි දවස බව අදටත් කලාකරුවන් පවසනවා.

ඔහු චිත‍්‍රපට වලින් විශාල ආදායම් ලැබූවත් වේදිකා නාට්‍ය වලට සහභාගීවූයේ බොහෝ විට ආත්ම තෘප්තියටය. කෙසේ වෙතත් ඔහු වඩාත් වෙහෙසකර වූයේ වේදිකා නාට්‍ය රංගනයයි. සෑම සතිඅන්තයකම ඔහු වේදිකා නාට්‍යවලට ඉඩ තබාගෙන සිටි නමුත්  ඕස්ට්‍රේලියාවේ සිටින දුව සමග අන්තර්ජාලයෙන් කතාකරන්නට වේලාවක් කෙසේ හෝ සතිඅගදී දමාගෙන සිටියා.

+++++++++++++++++++++++++++++++++

# gossiplankanews.com වෙබ් අඩවියෙන් මළගෙදර ඡායාරූප (10-08-2016)

+++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++

විජය නන්දසිරි දෙඇස් දන්දුන් කතාව
(11.08.2016 – gossiplankanews.com)

අභාවප‍්‍රාප්ත කලාකරු විජය නන්දසිරි මියයන්නට වසර කිහිපයකට පෙර ගත් තීරණයකට අනුව ඔහුගේ අන්තිම කැමැත්තක් ලෙස මරණයෙන් පසුව ඇස් දෙක පරිත්‍යාග කරන්නට ඉල්ලා තිබුණි.

ඒ අනුව ඔහු අසනීපවී කළුබෝවිල රෝහලට ගෙන ඇවිත් මියගොස් බව දැනගෙන පැය කිහිපයක් ඇතුළත දේහය ජයරත්න මල් ශාලාවට ගෙනයන්නට පෙර ඇස් දන්දීම සිදු කර තිබේ. මේ වෙනුවෙන් අක්ෂිදාන සංගමයේ නිලධාරීන්ද අවශ්‍ය කටයුතු ඉටුකර තිබේ.

මේ සම්බන්ධයෙන් පෙරේදා ඩේලි නිවුස් පුවත්පතට ප‍්‍රකාශයක් ලබාදුන් විජයගේ බිරිය දේවිකා මිහිරානි එම කටයුත්ත තහවුරු කර තිබේ. ඇය පවසා ඇත්තේ සිය සැමියා ඇස් දන්දීමට වසර කිහිපයකට පෙර සිටම කැමැත්ත ලබාදී තිබුණ බවයි.

‘තවත් කෙනෙකුට කවදාහරි මගේ ඇස් වලින් එළිය දකින්න ලබාදෙන්න කියලා විජය මියයන්න කලින් ඉල්ලලා තිබුණා. මරණය සිදුවුණාට පස්සේ මං ඔහුගේ එම ඉල්ලීම ඉටුකරන්න ඒ අනුව කටයුතු කළා’ ඇය පවසා තිබේ.

+++++++++++++++++++++++++++++++++

විජය නන්දසිරි ඉපයූ ධනය ගැන අසල්වැසියෙක්ගෙන් හෙළිදරව්වක්
(12.08.2016 – gossip.nethnews.lk)

අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා උපයාගත් ධනය දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කළ ඊයේ (11) දිනයේදී දැක ගත හැකිවූ බව ඔහුගේ අසල්වැසියෙක් වන රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් පවසනවා.

nethgossip.lk වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඔහු වෙනුවෙන් පැමිණ හැඬු සහ සිප වැළඳගත් ජනතාවගෙන් විජය උපයාගත් ධනය තේරුම් ගත හැකිවූ බවයි.

විජය උපයාගත් ඒ ධනය දෙවැනි වූයේ ඔහුගේම නම ඇති විජය කුමාරතුංගට පමණක් බවයි ශ්‍රියන්ත මෙන්ඩිස් සඳහන් කළේ.

ඔහුගේ හඬ සහ රුව දැන් අප අතර නැතත් ඔහු තබා ගිය මනුස්සකම අසල්වැසියෙකු ලෙස ඔහුව සිහිගන්වනු ඇති බව ශ්‍රියන්තගේ අදහස වුණා ෴

+++++++++++++++++++++++++++++++++

සමුගත් විජය නන්දසිරි බලන්න ආ හොඳම රසික යුවළ
(11.08.2016 – gossiplankanews.com)

ගල්කිස්සේ කලාපුරයේ තැන්පත් කර තිබෙන අභාවප‍්‍රාප්ත විජය නන්දසිරි කලාකරුවාණන්ගේ දේහයට ගෞරව දක්වන්නට මේ වනවිට දිවයිනේ සිව්දිගින් විශාල පිරිස් ඇදී එන බව වාර්තා වෙනවා. රැයක් දවාලක් වෙනසක් නැතිව එම නිවස මහජනතාවගේ පිරී ඉතිරී තිබෙන අතර මෑත යුගයේ රසික හදවත් අතරට වඩාත් සමීප වූ කලා කරුවා වන්නේ
ඔහු බව ඒ සෙනග සාක්ෂි දරනවා.

මේ අතර ඊයේ දිනයේ ඔහු බලන්නට පැමිණි අම්මා කෙනෙකු සහ පුතෙකු ගැන වැඩි දෙනෙකුගේ අවධානය යොමු වුණා. ඒ අම්මා උතුරු මැද පළාතේ සිට පැමිණි විජයගේ පැරණි රසිකයෙකි. ඇස් පෙනීම දුර්වල ඇයට ඇස් පෙනෙන කාලයේ විජයගේ රංගනය දැක තිබුණ බවත් ඔහු මියගිය පුවතින් කම්පනයට පත්ව දෑසග කඳුළු මතුවූ බවත් ඇය කියා තිබුණා. අම්මා මෙන්ම පුතුද විජයගේ හොඳ රසිකයෙකි. ඔහු කියා සිටියේ තමාගේ ජීවිතයේ දකින්නට ලැබුණ කැමතිම නළුවා විජය බවයි.
දුර බැහැර සිටියත් අවසන් වරට හෝ විජයගේ දේහය ස්පර්ශ කරන්නට අවස්ථාවක් ලැබේ නම් වටින බව මව කියූ නිසා පුතු ඇයව රැගෙන අවමංගල නිවසට පැමිණ තිබුණා.

+++++++++++++++++++++++++++++++++

නිවී ගිය තරුවට අවසන් බුහුමන්
(11.08.2016 – 15:30 +0530 – lankadeepa.lk)

අභාවප්‍රාප්ත රංගන ශිල්පී විජය නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (11) ගල්කිස්ස පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.

අද අවසන් දිනයේත් දේහයට අවසන් බුහුමන් පිදීම සඳහා අති විශාල පිරිසක් ඒ මහතාගේ දේහය තැන්පත් කර තිබූ ගල්කිස්ස කලාපුරයේ නිවසට පැමිණි අතර මීට සුළු මොහොතකට පෙර මහා සංඝරත්නය වැඩමවා පාංශුකූලය සිදුකිරීම ආරම්භ කැරිණි.

0-02-01-0c02d54ac3de3dc6b880de10344f08058fad1a14a888e1c9916fe4cbc243b0fa_full

0-02-01-70cb07fea59767a9be7d0477ea93f6b827867473506ab852a6bd36c982f49b73_full

0-02-01-197a899f795c09b4676419acb3d984608dd70c7c21f631fcd6b4aa73f7d5032d_full

0-02-01-687b12d62dee7e7e9f8886252fae365f89250cb1b76ccb130f828fd1c94c2710_full

0-02-01-ab2e7f3ef44acaf5084808c05b0bd37ed0a0211b3465fc7c8352e6de39c4e572_full

0-02-01-b046cd03bd9b33defe3ffc603764a542c3d4affd4d40f56de465068b4fcc4be3_full

0-02-01-c2c31c1d2bc21689dacbd9327fd98aa1952b00c2495faf8545c5fb999e4cb53d_full

+++++++++++++++++++++++++++++++

විජය නික්ම යයි
(11.08.2016 – 18:07 +0530 – hirunews.lk/sinhala)

1947 වසරේ මැයි මස 6 වැනිදා උපන් ඉලුක්පිටිය මුදියන්සේලාගේ විජය නන්දසිරි මහතා කලා ලොවට පිවිසියේ විදුරදේව වේදිකා නාට්‍ය හරහායි.

ඉන් අනතුරුව වේදිකාවල ටෙලිනාට්‍ය සහ චිත්‍රපට යන ත්‍රිත්ව කලා මාධ්‍යයන් ඔස්සේ මෙරට රසික හදවත් සංවේදීව ස්පර්ශ කරන්නට මේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියාට හැකියාව ලැබුණා.

1963 වසරේදී එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ වේදිකා නාට්‍යයේ මනමේ කුමරුගේ චරිතය හරහා කරලියේ පෙරලියක් ඇති කළ විජය නන්දසිරි මහතා සිය චිත්‍රපට රංගන දිවිය ආරම්භ කළේ මාතර ආච්චි චිත්‍රපටයෙන්.

ප්‍රහසන චිත්‍රපට හරහා වඩාත් ජනතා හදවත් ස්පර්ශ කරන්නට සමත් වූ විජය නන්දසිරි මහතා මේ වන විටත් හිරු ටී.වී ඔස්සේ විකාශය වන ටෙලිනාට්‍ය කිහිපයකට සිය දායකත්වය ලබාදුන්නා.

පසුගිය 8 වැනිදා පෙරවරුවේ ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්තවූ මේ ප්‍රතිභාපූර්ණ රංගනවේදියා ඒ වන විට 69 වන වියෙහි පසුවුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඊයේ රාත්‍රියේ විජය නන්දසිරි මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වුවා.

දිවි ගමනෙන් සමුගත් සිය ආදරණීය රංගන ශිල්පියාට අවසන් ගෞරව පුද කරන්නට අදත් දහස් ගණන් පිරිස ගල්කිස්ස කලාපුරයේ ඒ මහතාගේ නිවසට පැමිණියා.

අභාවප්‍රාප්ත විජය නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ ආගමික වතාවත් අද පස්වරු 3 ට පමණ සිදුකෙරුණා.

අනතුරුව දේහය සහිත අවමංගල්‍යය රිය පෙරහර ගල්කිස්ස පොදු සුසාන භූමිය වෙත රැගෙන යාම ආරම්භ කෙරුණා.

රිය පෙරහරකින් දේහය රැගෙන යන විට මඟ දෙපස සිටි ජනතාවද සහෘද කලා ශිල්පියාට සිය  අවසන් ගෞරවය පුද කළා.

සුසාන භූමිය වෙත දේහය රැගෙන එනු ලැබුවේ පස්වරු 4.45 ට පමණ.

දශක 5 කට අධික කාලයක් සිය අද්විතීය රංගන ප්‍රතිභාවයෙන් මෙරට කලාකෙත පෝෂණය කරන්නට මහඟු මෙහෙවරක් ඉටුකළ විජය නන්දසිරි නම්වූ රංගන පෞරුෂය අද මෙලෙස සිය ජීවන රඟ මඩලින් සමුගත්තා.

ඒ, මෙරට කලා ක්ෂේත්‍රයට සහ රසික සහෘදයාට කිසිදා පිරවිය නොහැකි හිඩැසක් ඉතිරි කරමින්.

+++++++++++++++++++++++++++++++

විජය නන්දසිරි මහතා අවසන් ගමන් යද්දී පුතා ගෑයූ සංවේදී ගීතය
(12.08.2016 – sinhala.adaderana.lk/webgossip/)

ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වන අවස්ථාවේ ඔහුගේ පුතු පියා වෙනුවෙන් සංවේදී ගීතයක් ගායනා කරන ලදී. එම සංවේදී අවස්ථාව පහතින් බලන්න.

——————————

16

17

15

14

13

18

20

21

5

4

3

8

9

10

11

12

7

6

2

3

5

6

++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++

# අවමගුල් උත්සවයේ සේයාරූ – gossiplankanews.com වෙතින්

++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++

# 1990 දශකය අගදී ලබාගත් විජයගේ පවුලේ ඡායාරූප ඇල්බමය (ඡායාරූප – දයාන් විතාරණ)
(11.08.2016 – gossiplankanews.com)

++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++

විජය නන්දසිරි නික්ම ගිය පසු !
(18.08.2016 – sinhala.adaderana.lk)

පසුගිය දින ගණනාවම පාහේ ගෙවුනේ ලාංකීය කලා ක්ෂේත‍්‍රයෙහි ප‍්‍රකට චරිතයක් වූ විජය නන්දසිරිගේ නික්ම යාම පිළිබඳ කතා බහ අතුරිනි. සෑම මාධ්‍යයකම පාහේ ඔහුගේ වියෝව පිළිබඳව ලියවුණ ලිපි  හා පුවත් වෙනුවෙන් සැලකිය යුතු ඉඩක් වෙන් කළ ආකාරයද අපට දක්නට ලැබිණි. සැබැවින්ම ඔහුගේ වෙන්ව යාම ලාංකීය සමාජය තුළ කම්පනයක් ඇති කළ  බව පැහැදිලිය. එසේම රටෙහි සිටි දක්ෂ රංගධරයකු අපට අහිමි වූ බවද ඒ සමගම ඉතා පැහැදිලිය. එහෙත් ඒ සමගම විජය නන්දසිරි නම් රූපණවේදියාගේ රංග චාරිකාව මෙන්ම ඔහු ලාංකීය රසික ප‍්‍රජාව අතර හිමිකරගෙන සිටි ස්ථානයද වර්තමාන ලංකාවේ කලා භාවිතාවන්හි පවතින එක් ආකාරයක සැලකිල්ලට ගත යුතු පාර්ශවයක් අපට මතු කර දක්වයි.

විජය නන්දසිරිගේ වියෝව ගැන පුවත සැලවූ මොහොතෙහි මම තම දිවියෙහි පස්වන හෝ හයවන දශකයන්හී පසුවන සැලකිය යුතු සංඛ්‍යාවකගෙන් විජය නම් රංගධරයා ගැන තමනට මතක ඇති ආකාරය විමසුවෙමි. ඒ අතරින් අති බහුතරය හැඳින සිටියේ විකට නළු විජය මිස මනමේ චරිතයට පණ දුන් විජය නොවේ. වත්මන් තරුණ පරපුරට එවන් විජය කෙනෙක් ගැන ඇසූ මතකයක් පවා නොතිබූ තරම්ය. මෙය විජය නන්දසිරිගේ පමණක් නොව ලංකාවේ කලා ක්ෂේත‍්‍රයෙහිද ඒක්තරා ආකාරයක ඛේදයක් චිත‍්‍රණය කරන්නකැයි මම සිතමි. එහෙත් එය විජය නම් වූ රංගධරයා තුළ සිටි කුසලතා පූර්ණ මිනිසා අවතක්සේරු කරන්නක් නම් නොවන බව පළමුව සටහන් කළ යුතුය. විජය නන්දසිරි නම් කලාකරුවා ලංකාවේ ප‍්‍රහසන කලාව තුළ එතෙක් පැවති  ඕලාරික රටාව බිඳ හෙළූ දැවැන්තයකු බව සටහන් කළ යුතුය. එහෙත් ඒ එක්තරා සීමාවකට යටත්ව පමණි. ගැටළුව ඇත්තේ එතනය.

ඔහු ලංකාවේ වේදිකාවෙහි ප‍්‍රහසන කිරුළ තමන් සතු කර ගන්නේ එතෙක් පැවති එක්තරා ආකාරයක අධිකාරියක් බිඳ හෙළමිනි. එසේම එතෙක් පැවති ඒකාකාරීවූ රංග රටාවකටද අභියෝග කරමිනි. විජය නන්දසිරි නම් ප‍්‍රහසන ශිල්පියාගේ මතුවීමේ රහස ඇත්තේ මෙහිය. ඒ සාර්ථකත්වයට වේදිකාවේ සිටි දැවැන්ත මනමේ කුමරුගෙන්ද නොමඳ  පිටිවහලක් ලැබුණ බව ඉතා පැහැදිලිය. විජය නන්දසිරි ප‍්‍රහසන වේදිකාව ආක‍්‍රමණය කරන විට එහි ප‍්‍රමුඛයන් අතර ටෙනිසන් සහ බන්දු යන දෙදෙනා ඉදිරියෙන්ම සිටි බව අපට මතකය. එහෙත් දිගින් දිගටම වේදිකාව සහ සිනමාව තුළ ඔවුන් ගෙන ගිය රංගනයන් තිබුනේ ක‍්‍රමක‍්‍රමයෙන් ප්‍රේක්ෂකාගාරයට වෙහෙසකර වෙමිනි. ඉතා දක්ෂ චරිතාංග නළුවකු විය හැකිව තිබූ බන්දු වැනි නළුවකු ප්‍රේක්ෂකයා සිනහ ගැන්වීමට වේදිකාව මත දැරූ මහත් ආයාසකර ප‍්‍රයත්නයන්ට මෙන්ම ටෙනිසන්ගේ ඒකාකාරී රංගන රටාවන්හී සීමාවන් අතර විජයගේ සම්ප‍්‍රාප්තිය එක්වරම ප්‍රේක්ෂකාගාරය ආකර්ශනය කළ බව නොරහසකි. වේදිකාව මත මෙන්ම කැමරාව ඉදිරිපිටද ඔහුගේ සැහැල්ලු රංගනය හරහා එක්වරම ප්‍රේක්ෂකයා අල්ලා ගැනීමට මෙන්ම ඔහු තුළ හාස්‍යය මතු කිරීමටද නොමඳ කුලතාවක් ඔහුට තිබුණි. මනමේ කුමාරයා යටකර එක්වරම විකටයා මතු වන්නේත් මනමේ වෙසින් ඔහු වේදිකාවට එනවිටද ප්‍රේක්ෂකාගාරය බඩ අල්ලා සිනහ වන්නට පටන් ගන්නේත් ඔහු තුළ වූ මේ දක්ෂතාව හේතුවෙනි.

එහෙත් ඔහුගේ රංගනයෙහිද සීමාවන් ලකුණුවන තරමටම ඔහු වේදිකාවෙහි අති සරල ප‍්‍රහසනයන්ට කොටුවීම මේ දැවැන්තයාට සිදුවූ ඛේදයකැයි මම සිතමි. ඔහු ජෝ අබේවික‍්‍රම ගෙන් ගාමිණී ෆොන්සේකා ගෙන් මෙන්ම ජයලත් මනෝරත්න වැන්නන් ගෙන්ද වෙනස් වන තැන එතනය. ඊට ඔහුගේ දැනුමෙහි දිග පළල මෙන්ම ලාංකීය වේදිකාව ඉතා සරල හාස්‍යයෙන් පිරවීමේ මාකට් සම්ප‍්‍රදායද ඉවහල් වූ බව නොරහසකි. අප දන්නා විජය නන්දසිරි සිය දිවියෙහි පරිණත අවධියට පැමිණෙන විට වේදිකාවෙහි, කැමරාව ඉදිරිපිට පමණක් නොව පුද්ගලික උත්සවවලද විකට අංගයන් ඉදිරිපත් කරන නළුවකු බවට පත්ව සිටි ආකාරය අපි දුටිමු. ඉන් ඇතැම් රංගනයන්හී අප දුටුවේ අන් බොහෝ නළුවන්ට කළ හැකි ආකාරයේ දෙපිට කැපෙනා විහිළු ඇතුළත් රංගනයන්ය. එහිදී ඔහුගෙන් ගිළිහුණේ සරල ප‍්‍රහසනයන් තුළ පවා මතු කළ හැකිව තිබූ ගැඹුරු සමාජ දේශපාලනයක අරුතය.

එහෙත් විජය නන්දසිරි නම් කලාකරුවාහට සරල ප‍්‍රහසනයන්ටද ගැඹුරක් දිය හැකි බවත් සිනහව අතරින්ම කඳුළද මතු කළ හැකි බවත් අපට පෙන්වා දුන් එක් අවස්ථාවක් වනුයේ සිකුරු හතේ නම් ජනප‍්‍රිය සිනමා පටයයි. එහිලා විජය ගේ සාර්ථකත්වයට ඔහුගේ රංගනය මෙන්ම ගිරිරාජ්ගේ පිටපතද හේතු වූ බව සටහන් කළ යුත්තේ කලා ක්ෂේත‍්‍රය තුළ විජය නන්දසිරි නම් ප‍්‍රබලයා සීමාවීමට ඔහුගේ සීමා මෙන්ම පිටපත් රචකයන්ගේ සීමාවන්ද බලපෑ බව සඳහන් කරමිනි.

චාලි චැප්ලින්ගේ අග‍්‍රගණ්‍ය කෘතියක් වන මොඩර්න් ටයිම්ස් හී ආරම්භක දර්ශණ පෙළ මෙහිදී මගේ මතකයට එයි. එහි දැක්වෙන වැඩපොළ ශ‍්‍රම විභජනය නම් සංකල්පයට එල්ල කරනා අතුල් පහරක් වැනිය. එසේම එහි එන වැඩෙහි යෙදෙනා අතරම කම්කරුවාට ආහාර ගැනීමට සැලැස්වීම සඳහා අත්හදා බැලෙන යන්ත‍්‍රය පිළිබඳ දර්ශනයන් කම්කරුවා සූරාකැමට ලක් කිරීම සඳහා ධනවාදී සමාජය නිර්මාණශීලී වන ආකාරය ඉතා ප‍්‍රබල ලෙස විවේචනයට ලක් කරන්නකි. ඔහුම පසු කලෙක පැවසූ පරිදි මේ “ෆීඩින් මැෂිම” එකල නිපැයුම් ක්ෂේත‍්‍රයෙහි ඇති වෙමින් පැවති සංකල්පයකි. ඔහු වහා පහර දෙන්නේ ඊටය. එසේම ධාවනය වන පටියක වැඩෙහි නිරත කම්කරුවා ඒකාකාරී වැඩ රටාව හමුවේ ආතතියට පත්ව විනාශවන ආකාරය නිරූපණය හරහා චැප්ලින් ධනවාදයට සියුම්ව එල්ල කරනා පහර අපට අදටත් අමතක නොවන්නේ චැප්ලින් නම් නළුවා මෙන්ම සිනමාවේදියාගේ දක්ෂතාව සහ දේශපාලන දැක්මද සිහිපත් කරවමිනි.

විජය නන්දසිරි නම් දක්ෂ රංග ශිල්පියා ගේ සීමාවන් සනිටුහන් වන්නේ මෙහිදීය. එහෙත් එය ඔහුගේ පුද්ගලික ප‍්‍රශ්නයක් ලෙස සලකා බලනවාට වඩා පවත්නා දේශපාලන විපර්යාස හමුවේ බොහෝ කලාකරුවන්ට අත්ව ඇති පොදු ඉරණමෙහි එක් ප‍්‍රකාශනයක් ලෙස සැලකීම නිවැරදිය. මෙහිදී මින් අදහස් වන්නේ විජය නම් රංගධරයා දේශපාලන වේදිකාවට ගොඩ නොවීම යන කාරණය නම් නොවේ. ඔහු සිය භාවිතාව හරහා දේශපාලනික නොවීමය. රංගධරයෙක් ලෙස තමන් විසින් ක්ෂේත‍්‍රය තුළ ගොඩ නඟාගත් පෞරුෂය නිසි පරිදි භාවිතා නොකිරිමය. පසුගිය කාලය පුරාම ලංකාව ගමන් කළ පරිහානිගත ගමනෙහිදී එයට අභියෝග එල්ල කිරිමට කලාව හරහා සමත් කමක් තිබූ විජය වැනි රංගධරයෙකු සීමිත චරිත ගණනාවකට කොටුව ප‍්‍රහසන ශිල්පියකු ලෙස සිය සීමා ලකුණු කිරීම අපරාධයකි. ඒ නිසාම ඔහු ලංකාවේ මධ්‍යම පංතියට විනෝදය සපයන්නා වූවා මිස තමනට උරුමව පැවති මහා රංගන ක්ෂේත‍්‍රයෙහි කිරුළ දරන්නා වූයේ නැති. ලාංකීය කලා ක්ෂේත‍්‍රය තුළ තමනට ලැබෙන අවස්ථා හරහා ‘සීරියස්’ චරිත මෙන්ම ප‍්‍රහසන අවස්ථාද එකසේ ජයගත හැකි බව ඉතිහාසය පුරා ඔප්පු කළ චරිතාංග නළුවන් අතර ටෝනි පවා සිටියි. එහෙත් මේ ප‍්‍රබලයන් ක්ෂේත‍්‍රය තුළ ඉතිරි කළ පෞරුෂය ඉතා දැවැන්තය. විජය නන්දසිරි යනු මෑත කාලයේ අපට සිටි එවැනිම ප‍්‍රබලයෙක් බව මගේ හැඟීමයි. ඉදින් එවැන්නකු හුදෙක් සරල ප‍්‍රහසන ශිල්පියකු ලෙස නික්ම යාම ඔහුගේ මෙන්ම අපේ සමාජයේද ප‍්‍රශ්නයක් බව අප තේරුම් ගත යුතුව තිබේ.

විජය නන්දසිරි වේදිකාව තුළ බැරෑරුම් චරිත වලට සාධාරණය ඉටු කළ  අයුරින්ම තමාට ලැබුණ ප‍්‍රහසන චරිතවලටද සාධාරණය ඉටු කළ බව අප පිලිගත යුතුව ඇතද මෑත කාලය වන විට ඔහු සිටියේ ප‍්‍රහසන වේදිකාව තුළ සිය සීමාව සනිටුහන් කරමිනි. ජනප‍්‍රිය නාට්‍ය හරහා ආදායම සරිකර ගැනීම යන තේමාව යටතේ බිහිකෙරුන නාට්‍ය රැල්ලක දැනුවත් ගොදුරක්ව මේ දැවැන්තයා නික්ම යන විට අපට ඔහු නැති හෙට දවසක හිස්කම දැනෙන්නට ගන්නේ ඔහු තමන්ට ක්ෂේත‍්‍රය තුළ කළ හැකිව තිබූ යුගකාරක මෙහෙවරක්ද ඉටු නොකර නික්ම ගියා නේද යන සංවේගය සමගිනි.

– නුවන් උදය වික‍්‍රමසිංහ

********************* ( නැවත මුල් පිටුවට ….. )