ආගමික නවෝදයක්‌ ඇති කළ පොසොන් පොහොය

(12-06-2014 – divaina.com)

ක්‍රි.පූ. 6 වැනි සියවසේ 623 සිට 543 දක්‌වා ලොව විසූ ශ්‍රේෂ්ඨතම ශාස්‌තෲන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ තමන්ගේ ස්‌වයංභූ වූ ඤාණයෙන් සිව්සස්‌ අවබෝධයෙන් සකල විධ වූ සත්ත්වයන් සංසාරය නමැති ඝෝර වූ භව ගමනින් නිරුද්ධ කළ සේක. උන්වහන්සේගේ ධර්මය මෙලොව ජීවිතය සැපවත්ව නිරෝගිමත්ව, දීර්ඝායුෂව සැනසිලිදායක ලෙස ජීවත් වන්නට මහත් වූ රුකුලක්‌ විය. මිනිස්‌ සංහතියට පමණක්‌ නොව අපා දෙපා සිව්පා, බහුපා, ක්‍ෂුද්‍ර ජීවීන්ට හා සමස්‌ත පරිසර පද්ධතියටම යහපත පිණිසම පැවතුණි. මේ උසස්‌ දර්ශනය දඹදිව මධ්‍ය දේශයට පමණක්‌ සීමිත වූ දර්ශනයක්‌ නොවීය. තෙවැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක්‌ ලෙස ශ්‍රී ලාංකිකයන් වන අපට ශ්‍රේෂ්ඨ ආගමක්‌ ලැබුණේය. ශ්‍රේෂ්ඨ සභ්‍යත්වයක්‌, සංස්‌කෘතියක්‌ උරුම කරගත් පිරිසක්‌ ලෙස ථෙරවාදී බුද්ධ ධර්මය සුරක්‍ෂිත රටක්‌ ලෙස ලෝකයාගේ ගරුත්වය අපට ලැබී ඇත්තේ මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූතයන් වහන්සේලා මෙරටට වැඩම කළ නිසාමය. මිහිඳු මාහිමියන් ලංකාවට වැඩම වීමට පෙර විධිමත් වූ රාජ්‍යත්වයක්‌, අභිචාර විධි, අක්‍ෂර මාලාවක්‌, ගෘහ නිර්මාණ ශිල්පයක්‌ නොවීය. දෙවන පෑතිස්‌ රජ දවස මිහිඳු මාහිමියන් ප්‍රමුඛ ධර්ම දූත පිරිස ශ්‍රී ලක්‌ දිවයිනට රැගෙන ආයේ නිර්මල වූ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ බෞද්ධ දර්ශනයයි.

එදා තිබූ පිළිවෙත අනුව රජු හා පිරිස සතුන් දඩයමේ ගිය අවස්‌ථාවේදී රජු පිරිසෙන් වෙන් කොට හුදෙකලාව හමුවීම මිහිඳු මහ රහතන් වහන්සේ විසින් කරන ලද ප්‍රඥගෝචරම ක්‍රියාවකි. උන්වහන්සේ තමන් වහන්සේ හා පිරිස කවුදැයි යන්න හඳුන්වා දුන්නේ ගාථා දේශනාවක්‌ කරමිනි. තමන් වහන්සේ කවුරුන් දැයි හඳුන්වා දීම තුළින් රජුගේ බිය පහව ගියේය. තමාගේ අදෘෂ්ට භාරතීය මිත්‍රයා වූ ධර්මාශෝක මහ රජුගේ එකම පුතණුවන් වූ මිහිඳු මහරහතන් වහන්සේ හා සර්වඥයන් වහන්සේගේ ශ්‍රාවකයන් බව දැක ප්‍රසන්න වූ සිතින් යුතුව තමා අතැති දුනු හී පසෙකලා උන්වහන්සේ තමන් සමඟ පිළිසඳරෙහි යෙදිණි. මෙහිදී මහින්ද මහ රහතන් වහන්සේ සමඟ පැමිණි ඉට්‌ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් තෙරවරුද සුමන නම් රහත් සාමණේරයන් වහන්සේද භණ්‌ඩුක නම් අනාගාමී උපාසකතුමාද මහරජුට පිළිවෙළින් හඳුන්වා දුන්හ. මේ හඳුන්වා දීම උන්වහන්සේගේ නායකත්වයේ විශිෂ්ට ලක්‍ෂණයනුත්, බුදු දහමේ ඇති බුද්ධිමත් භාවයත් ප්‍රඥගෝචර බවත් කදිමට පිළිබිඹු වන සාධකයන්ය, මෙහිදී සන්සුන් වූ රජුට ප්‍රථමයෙන් ධර්ම දේශනා නොකොට තමන් වහන්සේ දේශනා කිරීමට අපේක්‍ෂිත ධර්ම කාණ්‌ඩය අවබෝධ කර ගැනීමට තරම් මේ පුද්ගලයා ප්‍රඥගෝචර දැයි දැන ගැනීම සඳහා අඹ ප්‍රශ්නය හා ඥති ප්‍රශ්නය විචාළෝය. මෙම ප්‍රශ්න විමසීම එක අතකින් රජු දහම් ඇසීම සඳහා පෙළඹවීමක්‌ කිරීමකි. මිහිඳු මහ රහත් චරිතයේ මෙම අවස්‌ථාව නියම ධර්ම දූතයකුගේ ලක්‍ෂණ හා දක්‍ෂ ගුරුවරයකුගේ ලක්‍ෂණ ප්‍රකට කරන අවස්‌ථාවකි.

මොහඳුරෙහි මුළාවී මුව කෙළියෙහි යෙදුණු මුටසිව රජුගේ පුත් දෙවන පෑතිස්‌ නිරිඳු දුනු හී පොළොව මත පතිත කොට නැණ නුවන් යොමා මිහිඳු මාහිමියන් එදින විහිද වූ දහම් එළියෙන් අලෝකවත් වූ මාවතට පිවිසියේය.

බුදු දහම ලැබීමත් සමඟම ලාංකික සමාජයේ සංවර්ධන රැසක්‌ම සිදු විය. ආධ්‍යාත්මික වශයෙන් හා සදාචාරමය වශයෙන් සිංහලයන් තුළ ඇති වූ වෙනස බොහෝය. පන්සිල් රකිමින් තම ජීවිතය හැඩ ගසා ගත් ලාංකික ජනතාව විශේෂයෙන් අවිහිංසාව ගරු කරන්නන් බවට පත් වූහ. මින් පසු ක්‍රීඩාව සඳහාවත් ඔවුහු දඩ කෙළියෙහි නොගියහ. පසුකාලීන බෞද්ධ රජවරුන් තිරිසන් සතුන්ට පවා රෝහල් සාදා බෙහෙත් කිරීමෙන් පෙනී යන්නේ ඔවුන් තුළ සත්ත්ව කරුණාව වර්ධනය වී තිබූ අයුරුය. පරාර්ථය සැලකීමද බෞද්ධයන්ගේ විශේෂ ලක්‍ෂණයක්‌ විය. මේ නිසා පොදු ජනතාවගේ සුබ සිද්ධිය සඳහා කෙරෙන කටයුතු කෙරෙහි වැඩි සැලකිල්ලක්‌ දැක්‌විණි. ලිවීමේ ශිල්පය හා බෞද්ධ සාහිත්‍යයක්‌ද හෙළ ජනයාට ලැබුණේ බුදු දහම නිසාමය. අනුරාධපුරයේ මහා විහාරය, අභයගිරිය හා ඡේතවනාරාමය යන විහාරස්‌ථ ආශ්‍රිතව විශ්වවිද්‍යාල මට්‌ටමේ අධ්‍යාපන ආයතන බිහි විය. ශ්‍රී ලාංකිකයන්ට ජාතියක්‌ වශයෙන් දියුණු වීමට හැකි වූයේ බුදු දහමින් ඔවුන්ට ලැබුණු දායාද නිසාය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ, ශ්‍රී දළදා වහන්සේ හා බුදු දහම ඇතුළත් පාලි ත්‍රිපිටක සාහිත්‍යය දෙදහස්‌ පන්සිය වසරකට වැඩි කලක්‌ රැකගෙන ආවේ සිංහල බෞද්ධයන් විසිනි. එබැවින් බුදු දහම ශ්‍රී ලාංකික වන අපගේ උරුමයකි.

පැවිදි වීමට පුන පුනා බලා සිටි අනුලා දේවි ඇතුළු පන්සියයක්‌ කාන්තාවෝ සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේගෙන් පැවිද්ද ලැබූයේය. මහා අරිට්‌ඨ කුමාරයාද මිහිඳු මා හිමියන් වෙතින් පැවිදි උපසම්පදා ලබා රහත් බව ලැබීය. දේශීය භික්‍ෂු පරම්පරාවේ නායකත්වය හිමි වනුයේ අරිට්‌ඨ මහරහතන් වහන්සේටය. සිංහල අපේ රටේ උපන් භික්‍ෂූන් වහන්සේ නමක්‌ පැවිදි උපසම්පදා ලබා දේශීය භාෂාවෙන්ම දහම් දෙසීමෙන් පෙනෙන්නේ බුදු දහම ශ්‍රී ලංකාවේ මුල් බැසගත් බවය. ඉන් පසු ලක්‌දිව පුරාම බුදු දහම ව්‍යාප්ත විය.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් බුදු සමය ස්‌ථිරව පිහිටුවීමට කටයුතු යෙදීමත් සමඟම ශ්‍රී ලංකාවේද ගමයි – පන්සලයි අතර සම්බන්ධය ගොඩනැඟීමට අවශ්‍ය පසුබිම සැකසිණි. ලක්‌වැසි ජනයාගේ ආගමික, අධ්‍යාපනික හා සංස්‌කෘතික මධ්‍යස්‌ථානය වූයේ පන්සලයි. ගැමියාගේ පටන් රජකුමරු තෙක්‌ සියල්ලන්ම අධ්‍යාපනය ලැබුයේ පන්සලෙනි. ඒ සඳහා ඇප-කැප වන භික්‍ෂූන් වහන්සේ රැක ගැනීම හා පෝෂණය කිරීම රජුගෙත්, රටවැසියාගේත් යුතුකමක්‌ ලෙස සැලකිණි. ධාර්මික දිවි පෙවෙතක්‌ වශයෙන් වැඩි දෙනෙක්‌ කෘෂිකර්මය තෝරා ගන්නා ලදී. අස්‌වනු පැසෙන තුරු විවේක කාලයක්‌ද නියම කර ගත්තේය, විවේකය ආගමික හා සංස්‌කෘතික කටයුතු සඳහා යොදා ගත්හ. වෙහෙර – විහාර ගොඩනැඟී කලා ශිල්පාදිය දියුණු වූයේ මේ නිසාය. කලා ශිල්ප තුළින් ශ්‍රී ලාංකික ජනතාව ලැබුවා වූ නිරාමිස ආස්‌වාදය අතිශයින්ම උත්කෘෂ්ටය. බුදු සිරිත තේමා කරගෙන නිර්මාණය වූ විවිධ කලා කෘති හෙළයේ අතීත උරුමයන් ලෙස විරාජමාන වේ. මෙම උරුමයන් ආරක්‍ෂා කර ගැනීම තුළින් වර්තමානයට ලැබෙන්නේ දේශාභිමානී හැඟීම් විකසිත වන අරුත්බර චින්තනයකි. දාගැබ්, පෙති පිළිම, විහාරාංග මෙන්ම සඳකඩපහණ, මුරගල වැනි කැටයම් නිර්මාණයන්ද, චිත්‍ර නිර්මාණයන්ද ලක්‌වැසි ජනතාවගේ කලාත්මක අතීත උරුමයන්ය. ඉතා දියුණු තාක්‍ෂණයක්‌ ඔස්‌සේ නිම වන ලද මෙම කලා කෘති ඇසුරින් ජන විඤ්ඤාණය බෞද්ධ සංකේත මගින් පුබුදු වන බව නොරහසකි. විශේෂයෙන්ම චිත්‍ර කලාව පිළිබඳ කතා කරන විට සීගිරි බිතු සිතුවම් මගින් ශ්‍රී ලංකාවේ අභිමානය ඉහළ නැංවේ. ඒ අනුව මේ සියලු කලා නිර්මාණ ලාංකික ජනතාවගේ ශ්‍රේෂ්ඨතම උරුමයන්ය. මේ අයුරින් සමාජ, සංස්‌කෘතික, ආගමික නවෝදයක්‌ ඇති කළ පොසොන් පොහොය ලක්‌වැසි ජනතාවගේ සදානුස්‌මරණීය උතුම් පූජනීය දිනයක්‌ බවට පත්ව ඇත.

මිහිඳු මහ රහතන් වහන්සේ සිදු කළ තවත් වැදගත්ම කාර්යයක්‌ වූයේ බුදු සසුන ආරක්‍ෂා කිරීමේ වගකීම ශ්‍රී ලාංකිකයන්ටම පැවරීමයි. මෙරට මවුපිය දෙපළකගේ දරුවකු මේ රටේදීම මහණ උපසම්පදාව ලබා ධර්ම විනය හදාරා මෙහිදීම විනය සංගීතියක්‌ පැවැත්වීමෙන් සසුන මුල් බැස ගන්නා බව උන්වහන්සේ වදාළේ දේශීයත්වයට ප්‍රමුඛස්‌ථානය දෙමිනි. එසේම සිංහල කුල පුත්‍රයන් පැවිදි කර අටුවා සහිත ත්‍රිපිටක ධර්මය උන්වහන්සේලාට ඉගැන්වූහ. ත්‍රිපිටකයට සිංහල භාෂාවෙන් අටුවාද පිළියෙල කළහ. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බීජවලින් හට ගත් බෝ අංකුර දිවයිනේ සෑම දිසාවකම පාහේ රෝපණය කරවා දිවයින පුරාම තවත් වෙහෙර ඇති කරවූහ. මහා විහාර සීමාව පිහිටුවා සංඝයාගේ සුරක්‍ෂිතභාවය තහවුරු කළහ. පසුකාලීනව වැඩිදියුණු වූ ලංකා බෞද්ධ කලා ශිල්පවලට පදනම වැටුණේද සම්බුද්ධ ශාසනය චිරස්‌ථායී වීමට අවශ්‍ය සෑම අංගයක්‌ම ඇති කරවීමට මිහිඳු මාහිමියන් වහන්සේ ක්‍රියා කළ බව පෙනේ. උන්වහන්සේ එදා මිහින්තලාවෙන් අරඹා දිවයිනේ දසත විහිද වූ ධර්මාලෝකය ශ්‍රී ලාංකිකයාගේ ජන ජීවිතයේ සෑම අංගයකටම කා වැදී ඇත. මිහිඳු මහ රහතන් වහන්සේගෙන් මෙරටට සිදු වුණු අපරිමිත සේවාව නිසාම උන්වහන්සේ “අනුබුදු” නමින් හැඳින්වීමට පුරුදුව ඇත.

වසර 28 ක්‌ පමණ මෙරට ශාසනය වෙනුවෙන්ම ඇප කැපවී ක්‍රියා කළ අනුබුදු මිහිඳු මා හිමියන් වහන්සේ උපතින් සැට වන වියෙහි පසු වෙද්දී දෙවන පෑතිස්‌ රජුගෙන් පසු රජ පැමිණි උත්තිය රාජ සමයෙහි පිරිනිවන් පා වදාළහ. මිහින්තලා උදාගිරෙන් ලක්‌දිවට පෑයූ පොසොන් සඳ එසේ බැස ගියත් එයින් විහිදී ගිය ආලෝකය අද දක්‌වාත් පැතිරෙමින් පවතී ෴

මාලබේ සුසීලාරාම විහාරාධිකාරී,
කෝට්‌ටේ ආනන්ද ශාස්‌ත්‍රාලයේ ආචාර්ය
පූජ්‍ය බෝදාගම සීලවිමල හිමි

+++++++++++++++++++++++++++++++++++++++++

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *