ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ?

දින සීයයකින් විධායක ජනපති ක්‍රමය අහෝසියි – නව රජයේ අගමැති රනිල්
 (21.11.2014 – 15:59 +0530 – lankadeepa.lk)

# තමා බලයට පත් වී දින 100 කදී විධායක ජනාධිති ක්‍රමය අහෝසි කර කරන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ නව නගර ශාලාවේදී ප්‍රකාශ කළේය.

# එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තම රජයේ අගමැති  බවද ඔහු කීවේය.

සිරිසේන  මහතා මෙසේද කීවේය :

අද පවතින ආණ්ඩුව යුද ජයග්‍රහණයෙන් පසු අපි බලාපොරොත්තු නොවූ තැනකට ගමන් කරන්න පටන් ගත්තා. 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කළා. අද මේ රට යන දිශාව අනුව පැහදිලිව පෙනෙන්නට තිබෙනවා පසුගිය අවුරුදු කිහිපයේ සිට අපි ගියේ සොඳුරු ආඥාදායකත්යකට. ඡන්ද තියනවා. සිනා මුසු මුහුණින් සංවර්ධනය ගැන කතා කරමින් යනවා. අපිට හා ජනතාවට එකඟ විය නොහැකි දූෂණය වංචාව, අසාධාරණය නීතිය ආධිපත්‍යය බිඳ දැමීම ඇතුළු බිද වැටීම් තිබෙනවා. පොලීසිය බරපතල විනාශයකට ගමන් කර තිෙබනවා. වරදකරුවන්ට විරුද්ධව පොලිසියට නිසි ලෙස කටයුතු කරන්න බැහැ. ඒ නිසා ඒ නිසා මෙය ආඥාදායකත්වයක් බව පැහැදිලියි.

පොදු අපේක්ෂකයා ලෙස තෝරාගනීවියැයි කියා. මෙය එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අප විශාල කණ්ඩායමක් ඇතුළු බොහෝ දෙනා අත්වැල් බැඳයන ගමනක් බවට පත්ව තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට එක්සත් ජාතික පක්ෂයෙන් තමන්ගේ ජනාධිපති අපේක්ෂකත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙමින් විශාල කැපවීමක් කර තිබෙනවා. ඒ වෙනුවෙන් මා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයටත් විපක්ෂය නියෝජනය කරන සියළු දෙනාටත් මා ස්තූතිවන්ත වනවා.

මේ උතුම් ජනතාවගෙන් මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ රටට ජාතියට රාජ්‍ය පාලනයට බරපතල ඛේදවාචකයක් ඇති වී තිබෙනවා. මේ රටේ නීතිය සදාචාරය ප්‍රජාතන්ත්‍රවාදය නැති කළ විධායක ජනාධිපක්‍රමය දින සියයකින් අහෝසි කිරීම සඳහා මට බලය දෙන්න කියා මා අපේ රටේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අද රාජ්‍ය සේවකයන්, පුද්ගලික සේවකයන්, දුප්පත් මිනිසුන් අසරණ වෙලා. තමන්ගේ දරු පවුල නඩත්තු කරන්න මුදලක් ලැබෙන්නේ නැහැ. කම්කරුවාගේ සිට සියළුම දෙනාගේ ආර්ථිකය ගොඩනැංවීමේ ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වගකීම අපට තිබෙනවා. සමස්ථයක් රටේ ජනතාව වෙනුවෙන් නිදහස, සමානාත්මතාව, ප්‍රජාතන්ත්‍රවාදය ඇති යහපත් රටක් ගොඩනැගීමට මා බලාපොරොත්තු වෙනවා.

පොලිසියට අධිකරණයට ස්වාධීනව, අපක්ෂපාතීව හා නිදහසේ යුක්තිය ඉටුකරමින් සේවය කිරීමට අවශ්‍ය ඉඩ අපි ලබාදෙනවා. රාජ්‍ය සේවකයන්ට දේශපාලනයකින් තොරව සාධාරණව අපක්ෂපාතීව කටයුතු කිරීමේ අවස්ථාව අපි ලබාදෙනවා.

මැතිවරණ වලින් අපි හෙම්බත් වන නිසා ආරක්ෂක අංශ වලින් මා කාරුණිකව ඉල්ලා සිටිනවා නිදහස් හා සාධාරණ මැතිවරණයකට ඉඩ ලබා දෙන්න කියා. කිසිදු බලපෑමකට යටත් වන්න එපා යැයි අපි ඉල්ලා සිටිනවා.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහාචාර්ය  පාර්ලිමේන්තු මන්ත්‍රී රජීව විජේසිංහ,පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුණ රණතුංග වසන්ත සේනානායක,නියෝජ්‍ය ඇමැතිවරුවරුන් වන එම් කේ ද එස් ගුණවර්ධන ,දුමින්ද දිසානායක යන මහත්වරු මේ රැස්වීමට පැමිණ සිටියහ.

ශ්‍රිලනිප,එජාප හා එම පක්ෂවල ප්‍රතිපත්ති පිළිගන්නා සහෝදර පක්ෂ සමඟ සන්ධානයක් නව පෙරමුණක් පිහිටුවා ගැනේ. එම රජයේ අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතායි.

# රටේ ආර්ථික බලය,ධනය පාලනය ,කළමනාකරණය යන සියළු දේ  එක් පවුලක බලයට යටවෙලා.

# උසාවි අධිකරණ පොලිස් රාජකාරී බිඳ වැටිලා.නීතීයේ ස්වාධිපත්‍යය කඩා වැටිලා .දුෂණය ,වංචාව ,අයුක්තිය ,හොරකම බරපතල ලෙස පැතිරිලා

# මේ රට සොඳුරු අඥාදායකෙත්වයක් කරා යනවා .

# අපේ රටට රාජ්‍ය පාලනයට ප්‍රජාතන්ත්‍රවාදය,සාධාරණය,යුක්තිය හා සැබෑ නිදහස ඇති කරනවා.අල්ලස දුෂණය නැති කරනවා.

# ගොවි,කම්කරු,රාජ්‍ය හා පෞද්ගලික සේවක ආර්ථිකය නංන්වනවා.

# ස්වාධිනව හා අපක්ෂපාතව රාජකාරී කිරීමේ අවස්ථාව පොලීසියට,අධිකරණයට ලබා දෙනවා.

# දේශපාලන බලපෑමෙන් තොරව රජයේ සේවයක් ඇති කරනවා

# නිදහස් හා සාධාරණ මැතිවරණයකට උපකාරීවන්නැයි ලෙස ත්‍රිවිධ හමුදාවෙන් හා පොලීසියෙන්  ආයාචනය කරනවා.එසේ කරන ත්‍රිවිද හමුදාපතිට හා පොලිස්පතිට අපේ ආණ්ඩුව යටතේ සියළු ආරක්ෂාව සපයනවා.

# අද සැබෑ මාධ්‍ය නිදහසක් නෑ,මාධ්‍යවේදීන්ට තුටු පඩුරු දෙනවා ජනමතය වෙනස් කිරීමට බලපෑම් කරනවා,නිදහස් මාධ්‍ය වළදමා තිබෙනවා. අපේ රජය යටතේ සෑබෑ මාධ්‍ය නිදහසක් ඇති කරනවා.

# දුෂණ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා.

# ස්වාධීන කොමිෂන් සභා නීතීගත කරන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා 17 වැනි සංශෝදනය නැවත ඇති කරනවා.

# රට විනාශ මුඛයට ඇද දැමු 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරනවා.

# අතුරලියේ රතන හිමියන් මාදුළුවාවේ සෝහිත නාහිමියන් පොදු අපේක්ෂකයකු  වෙනුවෙන් කළ මෙහෙයුම අති උදාරයි. රතන හිමියන් හරියට කුඩහාපොළ හිමියන් යළි ඉපඳුණා වගේයි.

# එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාද හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සෙසු සහෝදර පක්ෂ නායකයින්ද හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා  මහතාගේ සහායද අති විශිෂ්ඨයි.

# ජනතා පැතුම් ඉටු කරිමට සියලු තර්ජන මැද්දේ මම ඉදිරිපත් වෙනවා.මගේ බිරිය හා දරුවන් ඒ සඳහා මට ආශිර්වාදය දුන්නා.

‘තාත්තා ඕනෑම තීන්දුවක් ගන්න අපි මැරෙන්න වුණත් ලෑස්තියි‘ යනුවෙන් බිරියත් දරුවනුත් මට කිව්වා.

# සිගරට් පැකැට්ටුවේ සෞඛ්‍ය අවවාදය ඇති කරන්න මට අවුරුදු දෙක හමාරකින්වත් බැරි වුණා.

# ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ඇති කරන්නත් බැරි වුණා.ඒ උත්සාහයේදී මරණ තර්ජන එල්ල වුණා.

————————————-

++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

එක් පවුලකට රට බාර දී බලාගෙන ඉන්න බෑ – චන්ද්‍රිකා
(21.11.2014 – 17:18 +0530 – lankadeepa.lk)

‘මාදුළුවාවේ සෝභිත හිමි,අතුරලියේ රතන හිමි,එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා ඇතුළු තවත් බෝහෝ දෙනා එකතු වී සාධාරණ නීතී ගරුක රටක් ඇති කිරීමට  සුදානම් වෙනවා‘ යැයි හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කොළඹ නවනගර ශාලාවේදී   අද (21-11-2014) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසුවාය.

කුමාරතුංග මහත්මිය මෙසේද කීවාය.

මට යළි මගේ දේශපාලන මහ ගෙදරට එන්න අවස්ථාව ලැබීම ගැන මා සතුටු වෙනවා. ජනාධිපති පුටුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා වාඩි වුණාට පසු හුඟ දෙනකුගේ සහභාගීත්වයෙන් මා පක්ෂයේ සභාපතිත්වයෙන් යැව්වේ ඔබතුමාට එය නිල වශයෙන් භාර දෙන්න අවස්ථාව දෙන්න කියා මා ඉල්ලද්දී එ අවස්ථාව වත් නොදී.

නමුත් නීති විරෝධී දේ කරමින් කැත වැඩ කරමින් සිටිය දී මා බොහෝ කාලයක් නිහඩව බලා සිටියා. මා මේ නිහඬ බව රකිමන් සිටියත් යළි දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙන්න මා තීරණය කළා. ඒ කළේ මට සිදුකළ වද හිංසා හා කෙනෙහිළිකම් නිසා නොවෙයි. සාමාන්‍ය පුද්ගලයකුට දරා ගත නොහැකි තරම් වද හිංසා මට සිදුවුණා. ඒවා එකිනෙක කියන්න මට ලැජ්ජයි.

නමුත් මා මෙතැනට ආවේ අපේ රට වැටී තිබෙන ආගාධයෙන් රට ගොඩගැනීමට අපේ පක්ෂය වැටී තිබෙන ආගාධයෙන් පක්ෂය ගොඩනැගීමට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන නැවත නැවතත් කිව යුතු නැහැ. මේ පක්ෂයේ නායකයන් වුණේ තම සියළු දේ කැප කරමින් ජනතාව වෙනුවෙන් සටන් කරපු ජනතාව වෙනුවෙන් කැපවූ අය. මෙය ජනතාවගේ පක්ෂයක්. ජනතාවගේ නායකයන් හිටියේ. නමුත් ජනතා පුත්‍රයන්ට තැනක් තිබුණු පක්ෂයක්. තමන්ගේ අයට හැදෙන්න වැඩෙන්න ජනතාවගේ මුදල් කෝටි ගණනින් හොරකම් කරන්න ඉඩ දීපු පක්ෂයක් නොවෙයි.

නමුත් දැන් සිදුවන්නේ යුද්ධයේ නාමයෙන් රටේ සියළු සම්පත් සූරාකමින්, රටේ ජනතාවගේ සම්පත් සූරාකමින් හොරකම් කරමින් රජයේ සේවකයන්ගේ පටි වැඩි නොකර ජනතාවගේ සල්ලි හා දේපල සූරාකමින් ගෙන ගිය පාලනයක් බවට පත්වෙලා.

දුප්පත් මිනිසුන්ට කන්න නැතිව සිටිය දී නීතියේ අධිපත්‍යය සම්පූර්ණයෙන් ම කඩා දමලා මිනී මැරුම්, දූෂණය අද රජ කරලා. ඒවාට විරුද්ධව කටයුතු කරන අයට දඩුවම් කරනවා. අහක බලාගෙන ඉන්න අයට උසස් වීම් දෙනවා. නීති තීන්දු ගන්නේ ටෙලිෆෝන් එකෙන්. විනිශ්චයකාර වරයකුට කවදාවත් නියෝග නොදුන් රාජ්‍ය නායිකාවක් ලෙස මා කියනවා මේ තත්ත්වය ඉතා භයානකයි කියා.

අපි ව්‍යවස්ථා සංශෝධන පාර්ලිමේන්තුවට ගෙනාවා. ස්වාධීන කොමිසම් සභා ගෙනාපු මේ සංශෝදන අද විසිකරලා. කිසිම පාලනයක් නැතිව රාජ්‍ය පාලකයන් විවිධ අසත්‍ය ප්‍රකාශ කරමින් රජය ගෙන යනවා. කාටවත් විරුද්ධ වීමේ අයිතියක් නෑ. විරුද්ධ වුණොත් සුදු වෑන් එක ඇවිත් අතුරුදන් කරනවා. නැත්නම් පාරේ මරා දමනවා.

මා ගැන මා කතා කරන්නේ නැහැ. අපි අපේ ව්‍යාපාරය ගැන කතා කරනවා. මා දිගුකලක් මේවා ගැන බලා සිටියා. මට ගොඩක් ඉල්ලීම් ආවා. පොදු අපේක්ෂිකාව වන්න කියා. මා පැහැදිලි තීන්දුවක් ගත්තා මට බලයට පෙරේත කමක් නැහැ. අපේ පක්ෂයේ අය කිව්වා මැඩම් මේ ව්‍යවස්ථාවට සංශෝදනයක් ගෙනත් ඉන්න කියලා. මම ඒ ඉල්ලීම් විසි කරලා ගියේ. නැවත මට එන්න අවශ්‍ය නැහැ. නමුත් දේශපාලන වශයෙන් රට හදන්න ඉදිරිපත් වන මේ කණ්ඩායමට උදව් නොකර සිටීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන්ට සහයෝගය නොදී සිටීම ද්‍රෝහී කමක් කියා මා සිතනවා. අවශ්‍ය උදව්ව කරලා රට ගොඩනගන්න මා පැත්තක සිට උදව් කරනවා. මේ අය ගැන මා වචනයක් කිව යුතුයි.

අද දේශපාලන ක්ෂේත්‍රය විනාශ වෙලා. අපි දේශපානයට ආපු කාලේ රට ගැන කැක්කුමක් ඇතිව දේශපාලනය ආපු විශාල පිරිසක් හිටියා. ඔවුන් කිව්වේ අපි රට වෙනුවෙන් මොනවා හෝ කළ යුතුයි කියා. නමුත් අද නව දේශපාලන සංස්කෘතියක් අද ඉදිරිපත් වෙලා. හොරකම් කරපල්ලා මිනී මරපල්ලා එවිට ඕනෑ තරම් කාලයක් ඉන්න පුළුවන් කියන සංස්කෘතියක්. ඒක පාස්පෝර්ට් එකක්. නමුත් මේ විවිධ වරප්‍රසාද මැති අමැතිකම්, වාහන, අමාත්‍යාංශ, කාර්ය මණ්ඩ සියල්ල අහිමවන බව දැන දැන මේ නායකයන් මෙවැනි තීරණයක් ගැනීම ඉතා ශ්‍රේෂ්ඨ දෙයක්. මේ වගේ යුග පුරුෂයන් ඉන්නවා යැයි දැන ගැනීම අපිට ආඩම්බර විය හැකි දෙයක්.

මා සම්පූර්ණයෙන් ම කළ කිරීලා. දේශපාලන ඩයස්පෝරාවෙන් ඉවත්වෙලා හිටියේ. නමුත් මේ වගේ කොටසක් ඒ ඩයස්පෝරාවෙන් ඉවත්වෙලා සත්‍ය වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් ඉදිරිපත් වීම අපි සියළු දෙනාටම ලාංකීයයන්ට හොඳ අවස්ථාවක්. මේ ගැන ගැඹුරට හිතලා රටට ජනතාවට සේවයක් කිරීමට මේ අයට හැකියාවක් තිබෙනවා. අප සමග මේ ඉන්න සියලුම දෙනා මේ ක්‍රමයට විරුද්ධව අප සමග එකතු වී සිටිනවා. අපි හැමෝම එකතුවෙලා මේ ක්‍රමය පරාජය කර ශ්‍රේෂ්ඨ ලෝකයා ගරු කරන රටක් බවට ආදරණීය ශ්‍රී ලංකා දේශය පත්කැර ගැනීමට ඔබ සියළු දෙනාගේම සහයෝගය අපට ලබාදෙන්න කියා මා ඉ ල්ලා සිටිනවා.

මගේ සම්පූර්ණ සහයෝගය තිබෙනවා. අපි දන්නවා අපේ ජීවිත අනතුරේ. හිටපු ජනාධිපති හැටියට මගෙන් වරප්‍රසාද උදුරාගත්තා. ඉතිරි ටිකත් උදුරා ගන්නා බව දැනගෙන ආවේ. මගේ දරුවන් මේ ව්‍යායාමයට විරුද්ධ වුනත් මෙය රට වෙනුවෙන් ගත් තීරණයක්

මා දන්නවා මෙතනින් එළියට බැස්සාම අප සියලු දෙනාට විවිධ තර්ජන ගර්ජන එල්ල වේවි. මේ ක්‍රමය ප්‍රතික්ෂේප කරන සියලු දෙනාම කරුණාකර එළියට එන්න කියා මා ඉල්ලනවා. දැන් වෙලාව හරි.

අපේ ප්‍රධාන සටන් පාඨ වලින් එකක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. කවුරුත් අහනවා ඇයි මගේ කාලයේ මේක කළේ නැත්තේ කියා. මා වසරක් යන විට ව්‍යවස්ථාවක් ගෙනාව. ඒකේ කරුණු දෙකයි. එකක් තමයි සුළු ජාතීන්ට වරප්‍රසාද දීම හා ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. නමුත් දණ ගහලා වැන්දේ නැතිව විතරයි. එදා විපක්ෂයේ සහයෝගය දුන්නේ නැහැ.

මම කේන්දර බළලා මැතිවරණ වාසි වෙන විදියට තිවුවේ නැහැ. නමුත් මා වසරක් කෙටි කරගෙන ව්‍යවස්ථාවක් ගෙන ඒමට අවශ්‍ය නිසා මැතිවරණයක් තිවුවා. ව්‍යවස්ථා උපදේශකයන් කිවිවා තුනෙන් දෙක නැතිව අපි ව්‍යවස්ථාව ගේනවා කියා අපි මැතිවරණයට ගියේ මගේ අවුරුද්දක පාලනයක් අහිමි කරගනිමින්. අපි දිනුවා. ජනාතාවගෙන් මා දිගින් දිගටම ව්‍යවස්ථාව ගේන්න අපිට ඡන්දය දෙන්න කියා ඉල්ලුවා. ඒ නිසා තමයි ප්‍රභාකරන්ට මාව මරන්න ඒන කිව්වේ. එයාට සුළු ජාතීන්ට අයිතිවාසිකම් දෙන්න අවශ්‍ය වුණේ නැහැ. රට දෙකඩ කරන්නයි වුවමනා වුණේ. නමුත් අපිට එය කරන්න බැරි වුණා.

එදා මගේ පාලනයෙන් කරන්න බැරි වූ දේ මෙවර කිරීමට මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ, රතන හිමියන්, එක්සත් ජාතික පක්ෂය, හිටපු ජනරාල් සරත් ෆොන්සේකා මහතා  ඇතුළු බොහෝ දෙනා දැන් එකතු වී සිටිනවා. මා ප්‍රජාත්නත්‍රවාදියෙක් නිසා බලෙන් ගේන්න කැමති වුණේ නැහැ. නමුත් මා විශ්වාස කරනවා දැන් එය කිරීමට අපට අවස්ථාව ලැබී තිබෙනවා කියා.

දැනටමත් සමහර රූපවාහිනී නාළිකා වලින් පත් කරලා තියෙන වලු අපිට එක් එක් දේ කියන්න. අපි හැමදාම හිස නමාගෙන එක පවුලකට භාර දීලා බලාගෙන ඉන්නවා ද නැතිනම් යුක්තිය ඉටුවන ශක්තිමත්, සාධාරණ නීති ගරුක රටක් කරනවා ද කියා දැන් අපි තීන්දු කළ යුතුයි ෴

—————————————-

+++++++++++++++++++++++++++++++

‘රට හදන්න මෛත්‍රී රජ ගෙදරට‘
(21.11.2014 – 17:22 +0530 – lankadeepa.lk)

ධීවර ඇමැති දොස්තර රාජිත සේනාරත්න කතා කරමින් පැවසුවේ රාජපක්ෂ සහෝදරුයන් සමඟ පෞද්ගලික ප්‍රශ්න නැතත් රට ගැන සිතා බැලීමේ කාලය උදාවී ඇති බවයි.

“මේ මාධ්‍යවේදීන් පිරිවරාගන්නා විට මට සතුටක් ඇතිවනවා. මෙය තමයි. අපිට ලැබෙන එකම දේ මිනිසුන් ඉන්නවා  නම් අපිට වෙන මොනවත් ඕනේ නැහැ. අපි තරුණ කාලයේ සිට සටන් කරලා මේ තැනට ආවේ. මේ මැතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කර  මේ රට ශිෂ්ඨචාර රටක් බවට අපි පත්කරනවා. බණ්ඩාරනායක වගේ අවිහිංසාවාදී නායකයෙක් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති කරනවා. 1978 සිට ගෙන ගිය මේ සටන දවස් 100කින් අපි ඉවර කරලා මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යළි පුවත්පත් සාකච්ඡාවක් කැඳවා මේ ජනාධිපති ක්‍රමය අහෝසිකළ බව අපි කියනවා. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ පාප කර්මයෙන් අපි මිදෙන්න ඕනේ.

කිසිම අයකු රස්සාවෙන් අයින් කරන්නේ නැහැ. පොලිසිය පන්නන්නේ නැහැ. ඒ අයගෙන් අපි ඉල්ලනවා සදාචාර සම්පන්න රටක් අපි හදනවා. මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගොඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ මහත්වරුත් අපිත් අතර  පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. අපි ආවේ අපි ගැන සිතා නොවෙයි. අපි ආවේ දේශපාලන ගමනක්. ඒ ගමනේ දී අපිට තනතුරු ලැබුණා. නමුත් අපි දැන් තවත් දේශපාලන ගමනක් යනවා. ඒ ගමනේ දී ජනතාව අපිට අවශ්‍යයි. මේ ගමනේ දී අපිට මඩ ගහවි චරිතය ඝාතනය කරාවි. අපි මරා දාවි. ඒ මොනවා කළත් අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරනවා. අපි මේවාට මුහුණ දී තිබෙනවා. කොටි ත්‍රස්තවාදයට වගේම මේ කුරිරු ජනාධිපති ත්‍රස්තවාදයටත් අපි මුහුණ දෙනවා.

මාධ්‍යයට මා එක දෙයක් කියනවා. අසාධාරණය අයුක්තිය වෙනුවෙන් පෙනී සිටින්න එපා. ඔබත් බය වෙන්න එපා. ඇතැම් පුවත්පත් ගැන අපි දන්නවා. සමාජය විනාශ කරන සූදු ව්‍යාපාර වෙනුවෙන් පෙනී සිටින්න එපා. ඒ නියෝග ක්‍රියාත්මක කරමින් පෑන හසුරුවන්න එපා. ඩී.බී.ධනපාල වැනි මිනිස්සු කවදාවත් සල්ලි වලට බලයට පෑන හැසිරුවේ නැහැ. ඔබත් එසේ කරන්න. අපි හැමෝම මේ අරගලයට යා යුතුයි.

රනිල් වික්‍රමසිංහ මහතා විශාල කැපකිරීමක් කළා. එතුමාට මේ අපේක්ෂකත්වය දෙන්න එතුමාගේ අය බලකරද්දී එතුමා එය පැත්තකින් තිවුවා. එතුමා ශ්‍රේෂ්ඨ ක්‍රියාදාමයක් ගත්තා. මේ රටේ දැන් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය සමග අපි එකතුවෙලා සාමූහික ගමනක් යනවා. මේ සඳහා සහය දුන් සියළු දෙනාට මා මගේ ප්‍රණාමය අපි සියළු දෙනා වෙනුවෙන් පිරිනමනවා.

මේ ටිකක් විතරයි. තව අය මග එනවා. එන සුමානෙත් තමුන්නාන්සේලාට පුවත් තියෙනවා. කෑල්ල කෑල්ල ටික ටික එනකොට තමයි තව තව කට්ටියට එන්න හිතෙන්නේ. මේ ගමන නවතින දෙයක් නොවෙයි. දිගටම යනවා. එතුරු වෙන්නේ කවුද කියා මට දැන්ම කියන්න බැහැ. ඉතිරිවෙන අය හොයාගන්නත් අමාරු වේවි. මේ සටන ඉවරකරන්නේ ලංකාවේ සියළු ගම් එකම තැනකට ගෙන එමින්. මේ විශාලම කැපකිරීම කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩිම කාලයක් ලේකම් කමේ හිටපු මෙතුමා රජ ගෙදරට ගෙන ගොස් රට හැදීමයි අපේ පරමාර්ථය“ ෴

++++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++++

ජනාධිපතිවරණය 2015 ජනවාරි 08 දා
(21.11.2014 – 18:44 +0530 – sinhala.adaderana.lk)

2015 ජනාධිපතිවරණය ජනවාරි මස 08 වන දින පැවැත්වෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

ඒ අනුව මැතිවරණයට අදාළ නාම යෝජනා බාරගැනීම 2014 දෙසැම්බර් මස 08 වන දින සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය විසින් නිවේදනය කර තිබේ.

තමන් තුන්වන වරටත් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එ.ජ.නි.ස. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත දිසානායක මහතා එ.ජා.ප. එක්විය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස තෝරා පත් කර ගැනීම පිළිබඳව තමන් බෙහෙවින් ස්තූතිවන්ත වන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේය.

පොදු විපක්ෂය ලෙස පවත්වන එම මාධ්‍ය හමුවට හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ධීවර ඇමති රාජිත සේනාරත්න, අධ්‍යාපන සේවා ඇමති දුමින්ද දිසානායක, මහාචාර්ය රජිව් විජේසිංහ, එම්.කේ.ඩී.එස් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අර්ජුන රණතුංග, එක්සත් ජාතික පක්ෂයට ඊයේ එක්වූ වසන්ත සේනානායක ඇතුළු පිරිසක් අදාළ මාධ්‍ය හමුවට එක්ව සිටියේය.

එහිදී ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස තෝරාපත් කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනා ලබාදුන් සහයෝගයට ස්තූතිය පළ කරන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

තමන් ජනපති ධූරයට පත්වූ පසු එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කරන බවද දින 100 ක් ඇතුළත විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බවද හෙතෙම පැවසුවේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරණ දිනය සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජය තුළ මහත් කුතුහලක් ජනතාවට දනවන කාරණයක් විය ෴

+++++++++++++++++++++++++++++

මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
(21.11.2014 – 18:35 +0530 – sinhala.adaderana.lk)

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු සන්ධාන රජයෙන් ඉවත්වූ සියලුම මැති ඇමතිවරුන්ගේ අමාත්‍ය ධූර,තනතුරු හා ශ්‍රීලනිප පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබේ.

මේ අනුව ශ්‍රීලනිප මහලේකම් ලෙස හෝ වෙනත් කිසිදු තනතුරක සිරිසේන මහතා විසින් කටයුතු නොකරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා තමා ‘පොදු අපේක්ෂක‘ ලෙස කටයුතු කරන බවත්, එල්ලවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමන් සූදානම් බවත් සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++

රතනහිමිට ජීවිත හානි වුවහොත් වගකීම ආණ්ඩුව ගත යුතුයි
(21.11.2014 – 11:17 +0530 – sinhala.adaderana.lk)

අතුරලියේ රතනහිමිට තර්ජනයක් හෝ ජීවිත හානි සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම ආණ්ඩුව විසින් ගත යුතු බව ජාතික හෙළ උරුමය පවසයි.

එහි මාධ්‍ය ලේකම්, බස්නාහිර පළාත් මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

එකී නිවේදනයේ මෙසේද සඳහන්ය :

අතුරලියේ රතනහිමියන් ප්‍රමුඛ 25 නමක් මහා සංඝරත්නය වැඩ වාසය කරන රාජගිරිය ගෝතමී පාරේ පිහිටි සදහම් සෙවණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වටලා මුදල් ගෙවා කැඳවාගත් පිරිසක් යොදවාගෙන‚ එය අල්ලා ගැනීමේ වෑයම ජාතික හෙළ උරුමය පිළිකුළෙන් හෙළා දකින්නෙමු.

ඊයේ පෙරවරුවේ ආණ්ඩුවේ ඉහළ පෙළේ ප්‍රධානීන්ගේ අනුදැනුම ඇතුව කොට්ටේ නගරාධිපතිවරයා විසින් ඔහුගේ හෙංචයියන් යොදවාගෙන ඔබේසේකරපුර අවට සහ රාජගිරිය ප්‍රදේශයේ පැල්පත්වාසී ජනතාව උසි ගන්වමින් මෙම පහත් කටයුත්ත සිදුකිරීමේ නින්දිත උත්සාහයක නිරත වී ඇත.

පසුගිය කාලය පුරාවට අතුරලියේ රතනහිමියන් වත්මන් රජයේ ක්‍රියාකාලාපයන් ප්‍රසිද්ධියේ විවේචනය කරමින් ඊට එරෙහිව කටයුතු කළේය. මේ සම්බන්ධයෙන් රජයේ පාර්ශවයේ ඇතැම් මැති ඇමතිවරැන් මෙන්ම රජයට හිතවත් අනුගාමී කණ්ඩායම්ද රතන හිමි විවේචනය කිරීමට මෙන්ම උන්වහන්සේට ජීවිත තර්ජන එල්ල කිරීමටද උත්සාහ දරා ඇත.

මේ පිළීබදව පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවේදී රතන හිමියන් ප්‍රසිද්ධ ප්‍රකාශයක්ද සිදුකළහ. එම මාධ්‍ය සාකච්ඡාවේදීම ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් අවධාරණය කර සිටියේ සඟ සතු දේපළ පෞද්ගලික අවශ්‍යතා මත පරිහරණය කිරීමට හෝ පවරා දීමට ගිහියෙකුට තියා භික්ෂුවකටද අවසර නොමැති බවයි. උන්වහන්සේ වැඩි දුරටත් පෙන්වා දුන්නේ රාජගිරියේ සදහම් සෙවණ අතුරලියේ රතන හිමියන්ගේ දේපළක් නොවන අතර එය සඟ සතු දේපළක් බවයි.

ජාතික හෙළ උරුමයත් අතුරලියේ රතන හිමියන්ගේ ප්‍රකාශ පිළිබඳවත් වෛරී අදහසින් ක්‍රියාකරන ඇතැම් දේශපාලඥයන්ගේ පහත් උත්සාහය වන්නේ එවන් සඟ සතු දේපළක් බලෙන් අත්පත් කර ගැනීමටයි.

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති සමයේ ගැටඹේ රාජතපෝවනාරාමයේ භූමියට ඇතුළුවිය නොහැකි සේ කටුකම්බි ගසා භික්ෂූන් වහන්සේට හිරිහැර කිරීමට උත්සාහ කළා සේම අද බලය ඇත්තවුන්ද උත්සාහ දරන්නේ එවන් තත්ත්වයකට රට පත්කිරීමටයි.

බෞද්ධ රටක මෙවන් තත්ත්වයක් උදාවීම අතිශය කණගාටු දනවන කාරණයකි. සදහම් සෙවණට සිදුවන අලාභ හානිවලට මෙන්ම උද්ගත වී ඇති තත්ත්වයටත් මොනයම් හෝ අවස්ථාවක අතුරලියේ රතන හිමියන්ට තර්ජනයක් හෝ ජීවිත හානියක් සිදුවුවහොත් එහි පූර්ණ වගකීම රජය ගතයුතු බව ජාතික හෙළ උරුමයේ ස්ථාවරයයි. එවන් තත්ත්වයක් ඇති නොවන පරිදි කටයුතු කිරීම රජයේ වගකීම බවද සිහිගන්වනු කැමැත්තෙමි ෴

++++++++++++++++++++++++++++++++

මෛත්‍රී වත ගොත
(21.11.2014 – 18:50 +0530 – lankadeepa.lk)

පල්ලෙවත්තේ ගමරාළලාගේ මෛත්‍රීපාල  යාපා සිරිසේන මහතාගේ පියා ගම්පහ සිට හිඟුරක්ගොඩට ගියේ ඩී එස් සේනානායක මහතාගේ ගොවි ජන පද ව්‍යාපාරයේ ගොවියකු ලෙසයි.

සිරිසේන මහතා ඉපඳුනේ 1951 සැප්තැම්බර 03 වැනිදාය. පොළොන්නරුව රාජකීය විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලැබු ඔහු කුණ්ඩසාලේ කෘෂිකර්මික පාසලෙන් කෘෂිකර්මාන්තයද උගෙන ගත්තේය. පසුව ඔහු ග්‍රාම නිලධරයෙක්  විය.

1971 අප්‍රේල් කරැල්ල සමඟින්  සිරබත් කෑමටද ඔහුට සිදුවිය. 1979දී  ඔහු  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරු දිස්ත්‍රික් සංවිධානයේ ලේකම් විය. 1989 පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් විය. 1994 දී ඉහළම මනාප ඡන්ද ලබාගත්තේය.

ඉන්පසු ඔහු වාරිමාර්ග හා මහවැලි නියෝජ්‍ය ඇමැතිවරයා විය. 1994 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහවැලි හා රජරට සංවර්ධන ඇමැතිවරයා විය. කෘෂිකර්ම සංවර්ධන ඇමැති පදවියද හෙබවීය. පසුව සන්ධානයේ සෞඛ්‍ය ඇමැති පදවියට පත් කැරිණි. පිළියන්දල කටුවාවලදී 2008 ඔක්තෝබර 09 වැනිදා සිරිසේන මහතා කොටි ත්‍රස්වාදීන්ගේ බෝම්බයකින් අනූනවයෙන් බේරුණේය.

කටුවාවල උත්සවය අවසන් වී කොළඹ බලා එමින් සිටියදී පාරේ අටවා තිබු බෝම්බය පිරීපිරි ගියේය.

පාර්ලිමේන්තුවේ සභා නායක කෘෂිකර්ම හා ගොවිජන සංවර්ධන ඇමති ධුරයද, පරිසර ඇමති ධුරයද හෙබවිය.

ඇමැති ඒවන විට බෝම්බය පුපුරන තැනින් මදක් ඈතට ගියා පමණි. එයින් එක් අයෙක් මියගොස් පත් වී තවත් හත් දෙනෙක් තුවාල ලදහ.

කොටි ත්‍රස්තවාදීන් පොළොන්නරුව ත්‍රිකෝණමඩුව හා මහවැලි ගඟ ආශ්‍රිත සෝමාවතී පුද බිම පැත්තට අරක්ගෙන සිටියදී අභාවප්‍රාප්ත ආරක්ෂක ඇමැති ජනරාල් අනුරුද්ධ රත්වතේ සමඟ සෝමාවතී පුදබිමට  සිය ගණනක් ගැමියන් සමඟ ගොස් මිනිත්තු 45 ක ශ්‍රමදානයක් කිරීමට සිරිසේන මහතා ඉදිරිපත් විය. ඒ වන විට සෝමාවතී චෛත්‍ය ගරා වැටී මහ ගස් වැවී තිබිණි. ඒ සියලුම ගස් කපා පුදබිම පවිත්‍ර කිරීමට ඔහු යෙදු වැඩපිළිවෙළ ජනරාල් රත්වත්තේගේ පැසැසුමට ලක් විය ෴

++++++++++++++++++++++++++++++++++

පොදු අපේක්ෂකයා පිළිගන්න මහ සෙනඟක්
(21.11.2014 – 18:28 +0530 – lankadeepa.lk)

මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස නිල වශයෙන් දැනුම් දීමට අද දින කොළඹ නව නගර ශාලාවට පැමිණි අවස්ථාවේ සිය සතුට ප්‍රකාශ කරමින් පාක්ෂිකයෝ රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා නැංවූහ.

සිරිසේන මහතා සහ රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් රියෙන් බැස ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා ශාලාව ඇතුළට යාමට පෙර ඔවුන් වටා එකතුවූ විවිධ පාක්ෂිකයන් සහ මාධ්‍යවේදීන් හේතුවෙන් ඔවුනට ඇතුළුවීම සඳහා බොහෝ වේලාවක් ගත කිරීමට සිදුවිය.

ජය ඝෝෂා හඬ සහ රතිඤ්ඤා හඩින් අවට ගිගුම් දෙන්නට වූ අතර ඔවුනට සහාය පළ කරමින් අති විශාල පිරිසක් එම ස්ථානයට එකතුවී සිටියහ.

ප්‍රවෘත්ති සාකච්ඡාව අතරතුර මාධ්‍යවේදීන් නව පොදු අපේක්ෂකයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න ඉදිරිපත් කළ අතර ඒවාට කෙටියෙන් පිළිතුරු දී ඉදිරියේදී ප්‍රතිපත්ති ප්‍රකාශනයත් සමග වැඩිදුර කාරණා සඳහන් කරන බවද සිරිසේන මහතා කීවේය.

ප්‍රවෘත්ති සාකච්ඡාව අවසානයේදීද සිය පාක්ෂිකයන් සමග සතුට බෙදා ගැනීමට බොහෝ වේලාවක් ගත කිරීමට ඔවුනට සිදුවිය. විශාල තදබදයක්ද එම ස්ථානය අවට ඇතිවී තිබෙනු දැකිය හැකිවූ අතර අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් පැමිණි වාහන පවා ඉවතට ගැනීමට නොහැකිව මාර්ගය අවහිරවී තිබුණි ෴

————————————–

—————————————-

+++++++++++++++++++++++++++++++++++

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *