දෙමළ දරුවන් බුදු සසුනට පූජාකළ සුන්දරලිංගම්ගේ කතාව

(16-02-2013 – gossiplankanews.com)

තම පිරිමි දරුවන් දෙදෙනා පන්සලටත් ගැහැනු දරුවා මෙහෙණි සස්නටත් පූජා කළ දමිළ ජාතික පියෙකු ගැන පුවතක් පොළොන්නරුවෙන් වාර්තා වනවා.

මේ ආකාරයට ඔහුට දරුවන් බුදු සසුනට පුදන්නට සිත් වූයේ ඇයි එය අපූරු කතාවකි.

මේ පියා සුන්දරලිංගම්. ඔහුගෙ උපන්ගම මඩකලපුව. කුලී වැඩ කර ජීවත්වූ ඔහු යුද සමයේ කොටි සංවිධානෙට බලෙන් බඳවාගත් කණ්ඩායමකට එක්වන්නට කැඳවීම් ලැබුනේ කරදඬු උස් මහත් වෙන්නත් කලින්. උපන් ගමට ගෙදරට හිතැති වුණත් කොටි රකුසන්ගෙන් බේරෙන්න බැරිම තැන ජීවිතය සොයා ගෙන ඔහු පොළොන්නරුවේ කරපොළ ගමට පැන ගියා.

පුංචි වෙළෙඳාමක් පටන් ගෙන අමාරුවෙන් ජීවිතේ ගැට ගහගත් ඔහුට ගමේ අය බොහොම සමීප වුණා. කල වයස ගෙවෙද්දී ජීවිතේට සහකාරියකුත් ලැබුණා. ඒ කන්දකුට්ටි කමල පූර්ණි. දෙන්න දෙමහල්ලෝ ජීවත්වුණේ හුඟාක් සතුටින්.

එක දරුවෙක් නෙවෙයි, දරුවො තුන් දෙනකු ගේත් දියණියකගේත් හුරතල් බලන්නත් වාසනාව ලැබුණා. පුංචි එවුන් ගේ කුස පුරවන්න, ලෙඩට දුකට බේත් හේත් ගන්න. අකුරට යවන්න, මේ හැම දේටම වියදම් කළේ සුන්දරලිංගම් අමාරුවෙන් හොයා ගත්ත රුපියල්වලින්. පවුලේ සාමාජිකයො වැඩි වුණත් පුංචි ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම වැඩි වුණේ නෑ.

මැද පෙරදිග රට රස්සා හොයලා දෙන නෝන කෙනෙක් කමල පූර්ණිට දැන හඳුනා ගන්න ලැබුණේ මේ අතර වාරේ. හුඟක් සල්ලි ලැබෙන රට රස්සාවක් ගැන ඒ නෝනා මවලා පෙන්නපු ලස්සන ලෝකෙට යන්න දුප්පත් ඇයටත් අනේක වාරයක් හිතුණා.

“පුංචි එවුන් ගේ අහිංසක මූණු බලාගෙන මම කොහොම ද මහ මුහුදෙනුත් එපිට රස්සාවකට යන්නේ.“

කමල පූර්ණි ඒ ලස්සන ලෝකෙත් දරුවන් ගේ ලෝකෙත් මැද අතරමං වුණා.

“නෑ මම මගේ දරු පැටවු දාලා කොහේවත් යන්නේ නෑ“ ඇය හිතුවා.

ඒත් දුප්පත්කම දවසින් දවස වැඩිවුණා. දරුවන්ගේ අප්පා සැරෙන්-සැරේ අසනීප වුණා.

“සුන්දරලිංගම් දරුවන්ට පණ වගේ ආදරෙයි. මම ගියත් දරුවො හතර දෙනා ඇස් දෙක වගේ බලා ගනියි.“

කමලපූර්ණි අවසානයේ තීරණය කළා. ඒත් රට යන්න නෝනා ඉල්ලන තරම් මුදලක් ඔවුන් සන්තකයේ තිබුණේ නෑ.
“අප ඉන්න ඉඩම් කෑල්ලවත් උකස් කරමු“ සුන්දරලිංගම් යෝජනා කළා.

ඉඩම උකස් කරපු සල්ලි ටික නෝනගේ අතට දීල කමල පූර්ණි එතෙර ගියා. ඒ ඉක්මනටම උකස නිදහස් කරල ඒ ඉඩමේ ලස්සන ගෙයක් හැදීමේත් බලාපොරොත්තුවෙන්. දවස් සති මාස ගණන් ගෙවිල අවුරුද්දක් වුණා. කමල පූර්ණිගෙන් ලියුම් කරදහියක්වත් ලැබුණේ නෑ. කිසිම ආරංචියක් නෑ. ඇය රට යවනවා කීව නෝනා කිසිම දෙයක් කියන්නෙත් නෑ. ඇය ගේ රළු වචන සුන්දරලිංගම්ගෙ හිත තව තවත් රිදෙව්වා.

අන්තිමේ මේ තාත්ත ඉන්න හිටින්න තැනක් නැතිව මහ පාරට වැටුණෙ පුංචි දරුවො හතර දෙනෙක් එක්ක. හුඟක් වෙලාවට ඔවුන්ගේ වාසස්ථානය වුණේ කරපොළ සති පොළ. ඇල්වතුර කෝප්පයකින් විතරක් තමන් ගේ කුස පුරවාගෙන දරු පැටවුන්ට මොනවා හරි කන්න බොන්න දෙන්න සුන්දරලිංගම් බොහොම දුක් වින්දා. හුඟක් වෙලාවට ඇවිද ගන්න තරම්වත් ඇඟට ශක්තියක් නොවුණත් මඟ ඇද නොවැටුණේ හිතේ හයිය නිසා. දරු පැටවු හතර දෙනකු ගේ එකම ආරක්ෂකයා තමන් විතරක් ම බව හොඳින් දන්නා නිසා.

කොළඹින් ආපු නෝනලා මහත්තුරු පිරිසක් සුන්දරලිංගම් මුණ ගැහෙන්නේ මේ අතරතුරේදී.

“ඔය දරුවො හතර දෙනා අපට දීපං. අපි උඹට රුපියල් ලක්ෂයක් දෙන්නම්.“ ඔවුන් මේ අසරණ පියාට බල කළා. ඔහු බිය ගැන්වූවා.

“දරුවො නැතිව මම ජීවත්වෙලා මොකටද මහත්තයෝ. මට සල්ලි එපා. මගේ දරුවන්ට කරදර කරන්න එපා. මම කොහොම හරි මගෙ දරුවෝ රැක ගන්නවා.“

සුන්දරලිංගම් ඒ නෝනලාගේ දෙපාවැන්දා. ඔවුන් ආපසු ගියත් දරු පැටවු හතර දෙනා ඩැහැගන්නට ආයෙත් එන බව ඔහුට තේරුණා.

ගමේ දන්න අඳුනන අයට ඔහු තමන් ගේ දුක කිව්වා. අඬා වැටුණා. රෑ තිස්සේ නිදි වරමින් දරුවන්ට තනි රැක්කා.

කවුරුත් කොයි මොහොතක හරි දරු පැටවු සොරකම් කර ගනී යැයි ඔහු බියට පත්වුණා.

“ඔය දරුවෝ හතර දෙනාත් අරගෙන දිඹුලාගල පන්සලට යන්න. ලොකු හාමුදුරුවෝ හරිම කරුණාවන්තයි. සුන්දරලිංගම්ට පිහිට වෙයි.“

කරපොළ සතිපොළ දවසක සුන්දරලිංගම්ට මුණ ගැහුණු ගමේ කෙනෙක් උපදෙස් දුන්නා. දරුවො හතර දෙනත් ඉස්සර කරගෙන ඔහු දිඹුලාගල පන්සලේ නායක හාමුදුරුවෝ, පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර හාමුදුරුවෝ මුණ ගැහුණා.

“මගේ දරු පැටවු හතර දෙනා පරිස්සම් කරලා දෙන්න ලොකු හාමුදුරුවනේ“

සුන්දරලිංගම් ලොකු හාමුදුරුවෝ ළඟ දණින් වැටුණේ ඇස්වල කඳුළු පුරවගෙන.

තාත්තගේ ඇඟේ දැවටෙන අපූරු දරු පැටවු නෙත ගැටුණු ලොකු හාමුදුරුවන්ගේ සිත මෛත්‍රියෙන් පිරුණා.

“ලොකු උන්නැහේ කිසිදේකට බය වෙන්න එපා. දරු පැටවු හතර දෙනාම සම්බුද්ධ ශාසනයට පූජා කළා කියල හිත හදාගන්න. මේ දරුවන්ට කිසිම කරදරයක් වෙන්නේ නෑ. කවද හරි මේ රටට, සම්බුද්ධ ශාසනයට විශාල සේවයක් කරයි.“

සුන්දරලිංගම් බොහොම සතුටින් තමන්ගේ දරුවන් සම්බුද්ධ ශාසනයට පූජා කළා. වයස අවුරුදු 11, අවුරුදු 12 වයසේ සිටින පයර්සදන් හා පසිර්ගජන් දැන් පැවිදිව කරපොළ ධම්ම සේනාලංකාර, කරපොළ ධම්ම දේවාලංකාර නමින් සාමණේරයන් වහන්සේ ලෙස දිඹුලාගල මහා කාශ්‍යප මහ පිරිවෙනේ අධ්‍යාපනය ලබනවා.

“මේ දරුවො පන්සලට එන කොට සිංහල කතා කරන්න බෑ. දැන් සිංහල විතරක් නෙවෙයි. පාලි, සංස්කෘත, ඉංග්‍රීසි, සිංහල වගේ ම දෙමළ භාෂාවත් ඉගෙන ගන්නවා. මේ සාමණේරයන් වහන්සේ දෙනම ඉගෙනීමට හරිම උනන්දුයි. අනාගතයේ ධර්ම දේශකයන් වහන්සේ ලෙස සිංහල බෞද්ධයන්ට වගේ ම දෙමළ බෞද්ධයන්ටත් චතුර ලෙස ධර්මය දේශනා කරයි. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට දායක වෙයි.“

එම පරිවේණාධිපති පූජ්‍ය මාදුරුඔය විජිතාලංකාර ස්වාමීන් වහන්සේ විස්තර කළා.

සුන්දරලිංගම්-පවුලේ බඩ පිස්සා, අවුරුදු හතරක් වයස ‘පහීර් බවත්‘ පුංචි පුතා පන්සලේ ස්වාමීන් වහන්සේලා ගේ ආදරය, කරුණාව ලබමින්, පන්සල් බිම පුරා දුව පනිමින් කෙළි දෙළෙන් පසුවෙනවා. නිසි වයසට පැමිණි පසු මේ පුංචි පුතාත් සසුනට ඇතුළත් කිරීමට නියමිතයි.

සහෝදරයෝ තුන් දෙනකු ගේ ආදරය ලබපු පවුලෙ එකම සහෝදරිය තවමත් අවුරුදු හතක් තරම් වයස ඇති ‘පහීරදී‘ පොළොන්නරුව නව නගරය විශාඛාරාමයේ සිංහපුර සමිත්තධීරා සිල් මාතාවන් වෙත භාර කරෙන්නේ විහාරාධිපති නායක හාමුදුරුවන්ගේ අනුදැනුමෙනි. මේ සිඟිත්තිය ආදරයෙන් රැකබලා ගන්නා සමිත්ධීරා සිල්මෑණියන් ඇයගේ සම්පූර්ණ වගකීම බාර ගන්නේ සැබෑම මවු සෙනෙහසින්.

“මේ පුංචි දුව උස්මහත් කරල අනාගතේට වැඩ දායක දියණියක් කිරීම මගේ එකම බලාපොරොත්තුව. සිංහල වචනයක්වත් කතා කරන්න බැරිව හිටපු මේ දුව ආරාමෙට ආපු දවසෙම විමලාවංශවතී ගුරුතුමිය ඈට සිංහල උගන්වන්න ඉදිරිපත් වුණා. දැන් ‘පහීරදී‘ පොළොන්නරුව සීවලී ආදර්ශ විද්‍යාලයේ 2 වැනි ශේණියේ ඉගෙන ගන්නවා. පන්තිභාර රුවන්ති ගුරුතුමිය වගේම පාසලේ ආචාර්ය මණ්ඩලයේ හැමෝ ම මේ දුවට සලකන්නේ තමන්ගේ ම දරුවෙකුට වගේ. ආරාමේ වැඩ ඉන්න විමංශා පොඩි මෑණියෝ මේ පුංචි දුවගේ රෙදි පිළි සෝදා දී ඈ ආදරයෙන් රැක බලා ගන්නා හැටි දැක්කාම මට පුදුම සතුටක් දැනෙනවා.“

‘පහිරදී‘ දුවට ද දැන් නිසි ආරක්ෂාවක් ලැබී ඇත. ඇය හුරු බුහුටියි. හැසිරීම වගේ ම හැදියාව ද ඉහළයි. මොන තරම් කුස ගින්නක් දැනුනත් ඇය ආහාර ගන්නේ ආරාමයේ සියල්ලන් ආහාර ගෙන තිබේ දැයි සොයා බැලීමෙන් පසුවයි. තම මිතුරිය සුජාතා සමඟ එක්ව උදේ සවස තෙරුවන් වන්දනා කරන ඇයට දැන් හඬනගා ගාථා කියන්නටත් පුළුවන්. අම්මා සිහියට එන ඇතැම් දිනෙක ලොකු මෑණියන්ගේත්, පොඩි මෑණියන් ගේත් තුරුලට එන ඇය නිහඬවම ඒ දුක සඟවා ගන්නවා.

මේ අසරණ දරුවන්ට සරණ වූවා සේම දරුවන් ගේ පියාට ද රැකවරණය දෙන්නට දිඹුලාගල විහාරාධිපති හිමියන් කාරුණික වුණා. සුන්දරලිංගම් පන්සලේ විවිධ කටයුතුවලට උදවු කරමින් දැන් එහි ම ජීවත් වෙනවා.

වෙනදා වගේ දරුවන් තුරුලට ගෙන ආදරය සෙනෙහස නොපෙන්නුවත් තමන්ගේ ඇස් මානයේ දරුවන් ඇති දැඩි වෙනවා දකින ඔහු එක වරක් නොව සිය දහස් වාරයක් තමන්ට සරණ වූ ස්වාමීන් වහන්සේලාට කෘතඥ වෙනවා. දරුවො ආරක්ෂිත බව දැනුනාම, ඒ දරුවන් ගේ අනාගතය ගොඩනැගෙන අපූරුව දැක්කාම සුන්දරලිංගම්ට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. ඒත් එකම අඩුවකින් ඔහුගේ සිත පෑරෙනවා.

“ඉඩම උකස් කරපු සල්ලි අරන් කමල පූර්ණි රට යවපු නෝනට, ආයෙත් ඇය ගෙනැවිත් දෙන්න පුළුවන් නම්, අපේ දරුවො දිහා බලලා මට වගේ ම ඇයටත් සතුටු වෙන්න පුළුවන්.” දවසට එක වතාවක් නෙවෙයි, සිය දහස් වාරයක් සුන්දරලිංගම් එහෙම හිතනවා. ඒ කවුරු හරි නිලධාරියෙක් ඉදිරිපත්ව මේ අවනඩුව විසඳලා දෙයි කියන බලාපොරොත්තුවත් ඇතිව ෴

සටහන – රමණී සුබසිංහ
ඡායාරූප තොරතුරු – ගාමිණී ඔබේසේකර / කසුන් ලක්ෂිත / නිමල් ජයරත්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *