මිල්ටන් මල්ලවාරච්චි : සිහින ලොවකදී හෝ ඔබ එන්න අප සොයා…

මිල්ටන් මල්ලවාරච්චි : සිහින ලොවකදී හෝ ඔබ එන්න අප සොයා…
(06.03.2015 – divaina.com)

මිල්ටන් මල්ලවාරච්චි ප්‍රවීණ ගායනවේදියාණන් වියෝවී වසර 17 කි. මේ ලිපිය ඒ වෙනුවෙනි.

ආදරයේ සුන්දර චමත්කාරයෙන් මුසපත් සුපෙම් හදවත් නළවාලු යෞවනයේ ආකර්ශනීය ප්‍රේමාවිත ගී හඬ ඔහු විය. ආදරයේ විරහ වේදනාවෙන් කම්පිත දුක්‌බර හදවත් සනසාලු විරහ ගී හඩත් ඔහු විය.

සුවහසක්‌ සුපෙම්වතුන්ගේ ආදරණීය හදවත් සිය මධුර මෝහනීය ළයාන්විත ගී ස්‌වරයෙන් සනසා ලු ඒ ආදරණීය ගී හඬ සදහටම ගොළුවී වසර 17 ක්‌ ගතවී ගොසිනි. ඒ මධුර ගී හඬ සජීවී ලෙස අසන්න නොහැකි ලෙස සදහටම ගොළුවී ගියද ඔහු ගැයූ දහස්‌ ගණනක්‌ වන මියුරු ගීතාවලිය තවමත් අප දෙසවන් කරා ඇදී එමින් සිත් සතන් සනසා නිවාලයි.

සුපෙම් හදවත් නළවන බිඳුනු හදවත් සනසන ඒ ආදරණීය ගී හඬ සතු මිල්ටන් මල්ලවාරච්චි ගායනවේදියාණන් සිය පනස්‌ හතරවන විය සපිරීමට ආසන්නව සිටියදී අකල්හි දිවියෙන් සමුගත්තේ සුවහසක්‌ රසික සමූහය සෝ සයුරේ ගිල්වාලමිනි.

1944.04.10 දින කෝට්‌ටේ උපන් මිල්ටන් මල්ලවාරච්චි 1998.03.10 දින මෙලොවින් සමුගත්තේය. ඔහුගේ 17 වන ගුණසමරුව මෙම 10 වනදාට යෙදී ඇත.

1965 වසරේ “ශාක්‍යයන්ස්‌” සංගීත කණ්‌ඩායමේ වාදකයෙක්‌ ලෙස සංගීත ක්‍ෂෙත්‍රයට පිවිසි මිල්ටන් එම සංගීත කණ්‌ඩායමේ ගායකයෙක්‌ ලෙසද කටයුතු කළේය. ඒ අතර “ලා සිලනියන්ස්‌” සංගීත කණ්‌ඩායමටද එක්‌වූ ඔහු එම කණ්‌ඩායම සමග ගීත ගායනයෙහි නිරතව සිටියදී මිල්ටන්ගේ ගායන දිවියේ අනාගත ඉරණම විසඳෙන සිදුවීමක්‌ විය.

ඒ ගැන පෙර කලෙක මිල්ටන් ගුවන් විදුලි සාකච්ඡාවකදී මෙසේ පවසා තිබිණි :

“මම ප්‍රසිද්ධ ගායකයෙක්‌ වෙන්න කලින් වාදනයට තමයි ඇබ්බැහි වෙලා හිටියෙ. ඒ කාලෙ අපි කීප දෙනෙක්‌ එකතු වෙලා “ශාක්‍යයන්ස්‌” නමින් වාදක කණ්‌ඩායමක්‌ හදාගත්තා. වාදනයට අමතරව මම ඒ කණ්‌ඩායමේ ගීත ගායනා කළා. මට ගායකයෙක්‌ වෙන්න අතහිත දුන්න අයගෙන් මට මුලින්ම මතක්‌ වෙන්නේ මර්වින් රුද්‍රිගු මහත්මයාවයි. ඒ කාලයේ දක්‍ෂ ශබ්ද පරිපාලකවරයෙක්‌ වන ඒ මහතා වැඩ කළේ ගීත තැටිගත කරන ගෞරි කෝපරේෂන් එකේ.

ඔය දවස්‌වල මම “ලා සිලනියන්ස්‌” කණ්‌ඩායම සමග නිතරම ගෞරි එකට ගිහින් ගීත තැටිගත කරනවා. ඒවා කණ්‌ඩායම් ගීත. මර්වින් රුද්‍රිගු මහතා ගීත පටිගත කරන විට විශේෂයෙන් මගේ කටහඬට උනන්දුවක්‌ දැක්‌වූවා. ඒ මහත්මයා දවසක්‌ මාව තනියම පැත්තකට අඬගහලා කිව්වා “මිල්ටන් කණ්‌ඩායම් එක්‌ක ගීත ගයන්න එපා” ඔයාට හොඳ හැකියාවක්‌ තියෙනවා. තනියම ගායකයෙක්‌ වෙලා ඉදිරියට එන්න. මම ඒකට අවස්‌ථාවක්‌ අරන් දෙන්නම් කියලා.

එදාට පසුදාම පැටි්‍රක්‌ පෙරේරා මහත්මයා ළඟට මාව එක්‌කගෙන ගිහින් ඉන්නකොට පැටි්‍රක්‌ මහත්මයාට කරුණාරත්න අබේසේකර මහත්මයාගෙන් කෝල් එක්‌ක ආවා. ඒ කතාව ඉවර වුණ ගමන්ම මර්වින් රුද්‍රිගු මහත්මයා රිසිවරය අරන් කිව්වා “අපිට හදලා ගන්න පුළුවන් ගායකයෙක්‌ ඉන්නවා මිල්ටන් මල්ලවාරච්චි කියලා. එයාට කියලා ගීතයක්‌ දෙකක්‌ අද හෙටම තැටිගත කරන්න අපේ අදහස. ඒකට අබේසේකර මහත්මයා ගීත ටිකක්‌ ලියලා එවන්න කියලා.

වැඩි දවසක්‌ ගියේ නෑ අබේසේකර මහත්මයා ගීත හතරක්‌ම ලියලා දුන්නා. ඒ ගීතවලට තනු හදලා සංගීතය සැපවූයේ මොහොමඩ් සාලි මාස්‌ටර්. ඒවා තමයි “ඔරුවක පාවෙන රෑ ගණ අඳුරේ, මංගලේ නෙත් මංගලේ, රන්කූඩුව ඔබ සෑදු, සංසාර සෙවනැල්ල, කියන ගීත. හතළිස්‌ පහේ වේගයට දුවන පොඩි එල්. පී. තැටියක ගෞරි ලේබල් එකෙන් වෙළෙඳපොළට දැම්මා ඒ තැටිය මගේ වාසනාවට පළමු තොගයම හොඳට අලෙවි වුණා. ගායකයෙක්‌ වශයෙන් ඉස්‌සරහට එන්න පාර පෙන්වූ මර්වින් රුද්‍රිගු, පැට්‍රික්‌ පෙරේරා, කරුණාරත්න අබේසේකර, මොහොමඩ් සාලි මහත්වරුන්ට මම සදා ණයගැතියි.“

සිංහල සංගීතයේ මෙන්ම රසික අපගේද වාසනාවට හා පිනට සංගීත ලොවට එදා බිහිවූ මිල්ටන් මල්ලවාරච්චි සොඳුරු ගායකයා ජීවත්ව සිටියදී දශක හතරක පමණ කාලයක්‌ තුළ ගැයූ දහස්‌ ගණනක්‌ වූ ගීත සියල්ලම රසික හදවත් පිනවූ රසාලිප්ත මධුර මනෝහර ගීත විය.

ගුවන් විදුලිය, ප්‍රසංග වේදිකාව සහ සිනමාව එකසේ ජයගත් ප්‍රතිභාපූර්ණ ජනප්‍රිය ගායකයෙක්‌ ලෙස මිල්ටන් මල්ලවාරච්චි කොතරම් රසික හදවත් දිනාගෙන සිටියද යන්න බාල, තරුණ වැඩිහිටි සැවොම අදටත් ඔහුගේ ගීත රස විඳින අයුරු දෙස බැලීමේදී සනාථ වනු ඇත.

“අපමණ සිතිවිලි බිහිවී තෙරපී
එකිනෙක පැටලෙන්නේ
කොහොම පටන් ගෙන මොනව ලියන්නද
නැත මට වැටහෙන්නේ…..”

ආදරණීය මිල්ටන් මල්ලවාරච්චි ගායනවේදියාණෙනි. මගේ ප්‍රියතම ගායකයා වන ඔබ ගැන ලියන මේ ගුණ සැමරුම් සටහන පුරා ඔබේ රසපූර්ණ මියුරු ගී වැල් සටහන් කරන ලෙස මගේ සිත බලකරනුයේ අත යොමු වනුයේ නිරායාසයෙනි.

“මධුමල ලෙස මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි
ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි…….”

ඔබ ගැයූ මෙම ගීතය සිය පෙම්පත්වල සටහන් කළ පෙම්වතුන් කොතෙක්‌ වෙත්ද? ඔබේ ගීතවලට මෙන්ම ඔබටද සදා ප්‍රිය කරන ඔබ සිහිකර කර ඔබ ගැන ලියන මමද ඉන් එක පෙම්වතෙක්‌මි.

ඔබේ ගීතවලට පෙම් බැඳි පෙම්වතුන් පෙම්වතියන් යුවතිපතින් වූ පසු ඔවුන්ගේ යුග දිවියට ඔබ ගැයූ ගීත මොන තරම් සොඳුරුද?

“සංසාර සෙවනැල්ල
ලෙස ආ පතාලා
ශෘංගාර රසදෙන්න
කලතා පෙරාලා……….”

ඔබ ගැයු සුපෙම් ගී විරහා ගී යළි යළිත් රසිකයින්ට මතක්‌ කර දිය යුතු නැත. මන්ද ඒවා රසික හදවත්හී සදාකල්ම පවතින ගීත වන බැවිනි.

ආර්. චිත්‍රා (චිත්‍රා සුරවීර) සමග ගැයූ බිංදු බිංදු අම මී බිංදු, මිල්ටන්ගේ ප්‍රථම යුග ගීතයයි. පූජිතයෝ චිත්‍රපටයට එම්. එස්‌. ප්‍රනාන්දු සමග ගැයූ සක්‌වල රත්වන පළිඟු තලාවක ඔහුගේ ප්‍රථම චිත්‍රපට පසුබිම් ගීතය විය.

චිත්‍රපට 150 කට අධික සංඛ්‍යාවක පසුබිම් ගී ගැයූ මිල්ටන් 1984 වසරේ ඈතින් ඈතට චිත්‍රපටයේ කැන්දන් යන්නම් ගීතය වෙනුවෙන් හොඳම චිත්‍රපට පසුබිම් ගායනයට හිමි සරසවි සම්මානයෙන් පිදුම් ලැබීය.

මිල්ටන් මල්ලවාරච්චි අසහාය ගායනවේදියා මෙරට සංගීත ක්‍ෂේත්‍රයේ වාර්තා දෙකකට හිමිකම් කීම විශේෂත්වයකි. සිංහල සිනමාවේ චිත්‍රපටයන් සඳහා ප්‍රථම වරට ස්‌වතන්ත්‍ර හින්දි ගීතයක්‌ ගැයීම ඉන් එකකි. සිරිල් මල්ලි චිත්‍රපටයට මිල්ටන් ගැයු “ඒක කලි තී“ එම හින්දි ගීතයයි.

මෙරට නිෂ්පාදනය කළ ප්‍රථම කැසට්‌ පටය වූ “සඳෙන් එහා“ කැසට්‌ පටය මිල්ටන්ගේ ගීත ඇතුළත් එකක්‌ විය. ඒ අනුව මෙරට ප්‍රථම කැසට්‌ පටයට ගී ගැයූ ගායකයා වශයෙන් මිල්ටන්ගේ නම සංගීත ඉතිහාසයට එක්‌විය.

1973.12.29 දින මිල්ටන් විවාහ වූයේ ස්‌වර්ණමාලී මාලිනී මෙනෙවිය සමගිනි. එම දෙපළට දූ දරුවෝ සිව්දෙනෙකි. ඔවුන් අතරින් රනිල් සහ තාරක පියාගේ අඩිපාරේ යමින් ගායන ලොවට එක්‌වී සිටිති.

මරු කතරේ මිනිස්‌ පුරේ
කොතැනක වේවා
මෙතේ බුදුන් පාමුල මා
බෝ මැඩ වේවා ඔබ

ඔය ගීතයෙන් පැතූ පරිදි රසික අපගේ සිත් නිවා පහන් කළ පිනෙන් ඔබ නිවනේ සැනසී සිටියත් ආදරණීය කලාකරුවාණෙනි අපේ අහිංසක පැතුම…..

“වෙහෙස නොමබලා සොයනෙමි
දසත සැරිසරා
සිහින ලොවකදී හෝ ඔබ
එන්න අප සොයා……”

– සිරිමෙවන් කස්‌තුරිආරච්චි

——————————–

——————————–

# මිල්ටන් මල්ලවාරච්චි සූරීන් විසින් ගැයුනු ගීත අහන්න

# මිල්ටන් මල්ලවාරච්චි සූරීන් විසින් ගැයුනු ගීත 164 ක් අහන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *