රිසානාගේ මරණයේ අතුරු කතා

(21-02-2013 12:01 +0530 – lankacnews.com)

මුතූර්හි දුප්පත් පවුලක ඉපිද පවුලේ යහපත වෙනුවෙන් බාල වියේදීම රියාල් සොයා සවුදියට ගොස් නොකළ(?) වරදකට ෂරියා නීතියෙන් වැරදිකාරිය වී අලුගෝසුවකුගේ අසිපත් පහරින් ජීවිතයෙන් සමු ගත් රිසානා නෆීක්ගේ මරණය බොහෝ දෙනකුගේ මෙන් මගේද සිත සසල කිරීමට සමත් විය. ඈ වෙනුවෙන් ලියැවුණු ලිපි, කවි, ගී, නිසඳැස් පමණක් නොව ඇයට අත්වූ ඉරණම පිළිබඳ විවිධ පාර්ශ්වයන්ට එල්ල කර ගන්නා චෝදනා වලින්ද පුවත්පත්, බ්ලොග් පිටු හා ෆේස්බුක් පිරී ගියේය. කෙසේ වෙතත් මේ වන විට සාමාන්‍යයයෙන් සිදු වන පරිද්දෙන්ම රිසානාද අමතකව ගොස් තිබේ. රිසානා අමතක වුවත් රටක් වශයෙන් අපට අමතක කළ නොහැකි අතුරු කතා කිහිපයක් ඇගේ මරණයෙන් පසුවද ඉතිරි වී තිබේ. මේ, ඉන් එක් අතුරු කතාවකි.

මා පාසලේදී ඉතා ආශාවෙන් උගත් විෂයයක් නම් සමාජ අධ්‍යයනය හා ඉතිහාසයයි. අපට 7 ශ්‍රේණියේදී මේ විෂයය ඉගැන්වූ “ෆාරුක් සර්” දිනක් අපගෙන් ඇසූ ප්‍රශ්නයක් වූයේ “අප රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන අංශ තුන මොනවාද” යන්නයි. අපගේ දැනුමේ හැටියට අප පිළිතුරු දුන්නේ තේ, පොල්, රබර් යනුවෙනි. එහෙත් ෆාරුක් සර් කියා සිටියේ එම පිළිතුර වැරදි බවත් අපට වැඩිම ආදායම උපයා දෙන ප්‍රධාන අංශ තුනම කාන්තාවන් මුල් කර ගත් අංශ බවත්ය. ඒ පිළිබඳ අප හට අවබෝධයක් නොතිබූ බැවින් ෆාරුක් සර් විසින්ම එය පැහැදිලි කරන ලද්දේ මෙසේය.

“එක – හවුස්මේඩ්ස්, දෙක – ගාමන්ට්, තුන – තේ”

රිසානාගේ සිද්ධිය අළලා ලිපියක් ලිවීමට අවශ්‍ය කරුණු සොයා ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 2010 සංඛ්‍යාලේඛන වාර්තාව පරිශීලනය කිරීමේදී, උක්ත සිද්ධියෙන් වසර දහයකට පමණ පසුවත් තත්ත්වය වෙනස් වී නොමැති බව මා හට වැටහුණි. මෙම ලිපියෙහි දැක්වෙන දත්ත සියල්ල එම වාර්තාවෙන් උපුටා ගන්නා ලදී.

මිලියන 20ක් වූ ශ්‍රී ලාංකේය ජනගහණයෙන් 10% කට ආසන්න ප්‍රමාණයක්, එනම් මිලියන 1.9 ක ජනතාවක්, විදේශයන්හි සේවය කරති. මොවුන්ගෙන් 2010 වසරේ අප රටට ලැබී ඇති විදේශ විනිමය ප්‍රමාණය රුපියල් බිලියන 465 ක්, එනම් රටේ සමස්ත විදේශ ඉපයුම් වලින් 50% කි. මෙම දත්තය කියවූ සැණින්, මෙසේ විදේශයන්හි සේවය කරන එක් පුද්ගලයකුගේ සාමාන්‍ය මාසික ආදායම කොපමණද යන්න මා ගණනය කළ අතර එය ආසන්න වශයෙන් රුපියල් 20,000 ක පමණ අගයකි. මේ පිරිසට වෘත්තිකයන්, මධ්‍යම මට්ටමේ නිලධාරීන්, පුහුණු ශ්‍රමිකයන් මෙන්ම නුපුහුණු ශ්‍රමිකයන්ද අයත් වන බැවින් අඩුම ආදායමක් ලබන නුපුහුණු ශ්‍රමිකයකුගේ මාසික ආදායම අනිවාර්යයෙන්ම තවත් පහළ අගයක් ගනී (පසුගිය දශකය තුළ විදේශයන්හි සේවය සඳහා පිටත්ව ගිය පිරිසෙන් 70% ක් පමණම නුපුහුණු ශ්‍රමිකයන් වන අතර ඉන් 66% ක් කාන්තාවන්ය). තවද විදේශයන්හි සේවය කරන පිරිසගෙන් 93% ක්ම මැද පෙරදිග රටවල සේවය කළද ඔවුන්ගෙන් ලැබී ඇති ආදායම සමස්ත අගයෙන් 60% ක් පමණි. මෙයින්ද පැහැදිලි වන්නේ මැද පෙරදිග කලාපයේ සේවකයන්ගේ අඩු වැටුප් මට්ටමයි.

තවද, වාර්ෂිකව 250,000 ක පමණ පිරිසක්, එනම් දිනකට 700කට ආසන්න පිරිසක්, විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත. මෙලෙස 2010 වසරේ පිටත්ව ගිය පිරිසෙන් 49%ක් කාන්තාවන් වන අතර ඉන් 86%ක්ම පිටත්ව ගොස් ඇත්තේ ගෘහ සේවිකාවන් ලෙස සේවය කිරීම සඳහාය.

ඉහත වාර්තාව වැඩිදුරටත් සඳහන් කරන්නේ නුපුහුණු ශ්‍රමිකයන්ගේ වැටුප ඉතා පහළ මට්ටමක පවතින අතරම ඒ සඳහා ඇති කේවල් කිරීමේ හැකියාවද ඉතා අඩු බවයි. එමෙන්ම එම රටවල පුහුණු ශ්‍රමිකයන් සඳහා අධික ඉල්ලුමක් සහ ඉහළ වැටුප් තල පැවතියද එම ඉල්ලුමට සරිලන පරිදි පුහුණු ශ්‍රමිකයන් සැපයීමට අප රට අසමත්ව ඇති බවත් එහි දැක්වේ.

සමස්තයක් ලෙස ගත් කල විදෙස් ශ්‍රමිකයන්ගෙන් මේ සා විශාල ආදායමක් රටට ලැබුණද එයට සාපේක්ෂව උද්ගත වී ඇති සමාජයීය ගැටලු හේතුවෙන් මෙම ආදායමින් සිදු වන “ආර්ථික වර්ධනය”, “සංවර්ධනයක්” බවට පත් කර ගැනීමට නොහැකි වී ඇත. කෙසේ වෙතත් ඉහත දැක්වූ මට්ටමේ මාසික වැටුපක් උදෙසා හෝ විදේශගත වීමට ශ්‍රී ලාංකිකයන් යොමු වී ඇත්තේ අඩු ඒකපුද්ගල ආදායම, රැකියා වියුක්තිය හෝ ඌන රැකියා නියුක්තිය, ඉහළ උද්ධමනය, ණය බර ආදී හේතූන් නිසා බවද උක්ත වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

මේ අනුව, අප හමුවේ ගැටලු කිහිපයක්ම පැන නගී. ඉන් ප්‍රධාන වන්නේ “රටක් වශයෙන් අප හට සතුටු විය හැකිද” යන්නයි. එහෙත් එයට පිළිතුර ඉහත වාර්තාවේ සඳහන් දත්ත වලින්ම පැහැදිලි වනු ඇත. අපගේ මැති-ඇමැතිවරුන් හා නිලධාරීන්, “විදේශ රැකියා අවස්ථා …ක් ලබා දී දුප්පත් කාන්තාවන් …ක් රට යවා වාර්ෂිකව …ක මුදලක් උපයනවා” ආදී වශයෙන් කෙතරම් පාරම් බෑවද එම කාන්තාවන් එම රටවලදී මුහුණ දෙන දුෂ්කරතා, එබඳු තත්ත්වයක් යටතේ පවා උපයන ආදායම් මට්ටම, ඔවුන් පිටරට සිටින කාලයේ ඔවුන්ගේ පවුල්වලට අත්වන ඉරණම ආදිය සලකා බැලීමේදී මේ පිරිස “රටවිරුවන්” ලෙස වර්ණනා කරමින් විදේශ රැකියා ප්‍රවර්ධනය කිරීමෙහි ඇති ඵලය ප්‍රශ්නයට ලක්වීම වැළැක්විය නොහැක.

දෙවනුව, එම වාර්තාවෙන්ම පෙන්වා දී ඇති පරිදි නුපුහුණු ශ්‍රමිකයන් වෙනුවට පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියාවන් වෙත යොමු කිරීමට ප්‍රමාණවත් අවධානයක් හා උත්සාහයක් දරා තිබේද යන ප්‍රශ්නය පැන නගී. අප රටෙන් අපනයනය කරන ද්‍රව්‍ය සැලකීමේදී ඒවා හුදෙක් අමුද්‍රව්‍ය ලෙස යවනවා වෙනුවට “අගයක් එකතු කර” (Value Addition) අපනයනය කිරීමට යම් අවධානයක් යොමු වී තිබේ. එම කාරණයම මිනිස් බලය සඳහාද ආදේශ කර ශ්‍රමයට වටිනාකමක් එකතු කර ගත්, වඩා ඉහළ වැටුප් තලයන්හි සේවය කළ හැකි පුහුණු ශ්‍රමිකයන් විදෙස් ශ්‍රම වෙළෙඳපොළ වෙත යැවීමටද අපගේ අවධානය යොමු විය යුතුය.

එමෙන්ම රජයේ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කරන ලද අදාළ වාර්තාව වගකිව යුතු බලධාරීන් විසින් පරිශීලනය කරන ලද්දේද? එසේ නම් එහි දැක්වෙන හඳුනාගත් ගැටලු සම්බන්ධයෙන් ගෙන ඇති පියවර මොනවාද? එසේ නොමැති නම් ඒ ඇයි? යනාදී ප්‍රශ්න පිළිබඳවද ගැඹුරින් විමර්ශනයක් කළ යුතුව පවතී. විදේශ රැකියා ප්‍රවර්ධනය සඳහා වෙන්වූ වෙනමම අමාත්‍යංශයක් පවා ඇති රටක එවැනි පසු විපරමක් සිදු නොවේ නම් එය තවත් “​සීනි(බෝල) අමාත්‍යංශයක්” ලෙස සැලකීමට රටවැසියන්ට සිදු වනවා නොඅනුමානය.

මේ සියල්ලටත් වඩා, විදෙස් රැකියාවන් සඳහා විශේෂයෙන්ම කාන්තාවන් බහුල වශයෙන් යොමු වීමට බලපාන බිම් මට්ටමේ හේතූන් අධ්‍යයනය කර ඔවුන් ඊට වඩා ඵලදායී ආර්ථික කටයුතු වලට යොමු කර ගත හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේ නම් “මේ රටට මෙච්චරයි, අර රටට මෙච්චරයි” වශයෙන් විදෙස්ගත වීමේ  වයස් සීමාවන් පැනවීමට වඩා දහස් ගුණයකින් ප්‍රයෝජනවත් වනු ඇත. මේ ආකාරයෙන් ග්‍රාමීය මට්ටමේ කාන්තාව බලගන්වා ඔවුන් බිම් මට්ටමේ සංවර්ධනයේ නියමුවන් බවට පත් කර ජාතික සංවර්ධනයට දායක කර ගැනීමේ යම් යම් වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක වේ. එහෙත් ඒවා විධිමත් කර ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක් ලෙස නුදුරේදී ක්‍රියාත්මක වන දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා හෝ දියත් කළ හැකිදැයි සොයා බැලීම වටී.

අවසාන වශයෙන් සිතන්නට යමක් ලෙස මෙයද සටහන් කර තබමි. රජය පසුගිය කාලයේ හදිසියෙන්ම රථවාහන සඳහා වන බදු ඉහළ දැම්මේ වාර්ෂිකව ඉන්ධන සඳහා අති විශාල විදේශ විනිමයක් වැය වීම නතර කිරීමට බව පවසමිනි. එම විදේශ විනිමයෙන් සැලකිය යුතු කොටසක් අප රටට උපයා දී ඇත්තේ විදේශ රැකියා නියුක්තිකයන් බව පැහැදිලි කරුණකි. එම ධනය ඉතිරි කර දීමට යැයි පවසමින්, සාමාන්‍ය ජනතාව එදිනෙදා කටයුතු සඳහා භාවිතා කරන මෝටර් රථ ප්‍රමාණය අඩු කරන්නේ නම්, “කලම්බු නයිට් රේසස්” නාමයෙන් හුදෙක් ධනපතියන්ගේ විනෝදාස්වාදය සඳහා දවන ඉන්ධන මිළට ගෙන ඇත්තේ කවුරුන් ඉපයූ ධනයෙන්දැයි දැන ගැනීමට රටවැසියන්ට අයිතියක් ඇත. අපගේ ජාතියේ සංකේතයක් වශයෙන් සිංහයා භාවිතා කරන්නේ, සිංහයාගේ ලක්ෂණයක් බව පැවසෙන සිංහ ධේනුව මහන්සි වී දඩයම් කර ගෙන එන ආහාරය නිකම්ම ගිලදැමීමේ පුරුද්ද නිසා නම්, ජාතියක් වශයෙන් අප ලැජ්ජා විය යුතු නොවේද?

කස්සප දෙව්මිණි ගම්ලත්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *