උපතින් මුස්ලිම් වුණත් දැන් මං බුද්ධ පුත්‍රයෙක්

(03-03-2013 – silumina.lk)

අසූ හතර හැවිරිදි ආබ්දින් මහත්මියට දරුවන් දොළොස් දෙනෙකි. පුතුන් නව දෙනෙක් සහ දියණියන් තිදෙනෙකි. ඇගේ ස්වාමිපුරුෂයා මේ වන විට ජීවතුන් අතර නැත. ඇගේ දරුවන් සියලු දෙනාම විවාහකය. මේ කතාව ඇගේ අට වැනි පුතුගේ පස්වැනි දරුවා පිළිබඳවය.

“මගේ දරුවන් ගෙන් එක්කෙනෙක් කතෝලික ආගමේ කෙනෙක්ව බැඳලා ඉන්නවා. අටවෙනි පුතා ඒ කියන්නේ මොහොමඩ් ෂාරුක් ආබ්දින් විවාහ වුණේ බෞද්ධ ගැහැනු ළමයෙක් සමඟ.

මුලින් අකමැති වුණත් පුතාගේ කැමැත්ත ගැන හිතලා විවාහයට ඉඩ දුන්නා.

විවාහයෙන් පස්සේ ඒ දුව අපේ ආගමට ආවා. ඔවුන්ට දරුවෝ හත් දෙනෙක් ඉන්නවා. මෙයාලට ඉන්න ගෙයක් නෑ. එයාලා ඉන්නේ මං ඉන්න ගෙදර. මමත් ඉන්නේ කුලියට. අපි මුස්ලිම් වුණාට හැමදාම හිටියේ සිංහල අයත් එක්ක. මගේ මුනුපුරා කුඩා කාලයේ ඉඳලම පන්සල් යන්න කැමතියි. ඒක අපට නතර කරන්න බැරි වුණා. එයා කාලයක් තිස්සේ මහණ වෙන්න අහනවා. දරුවගේ තාත්තා නම් මුකුත් කිව්වේ නැහැ. ඒත් දරුවගේ අම්මා කැමති වුණා. මම කිව්වට මුනුපුරාගේ හිත වෙනස් වුණේ නැහැ. අන්තිමට අපි හිත හදාගත්තා හැම දේටම වඩා දරුවාගේ ආශාව ඉටුකරන එක හොඳයි කියලා. මුලින් මුලින් නෑයෝ කැමති වුණේ නෑ. දැන්නම් කවුරුත් අකමැත්තක් නෑ.”

තලංගම නාභිත හිමි නමින් ජනවාරි 25 දා පැවිදි දිවියට ඇතුළත් වූ මොහොමඩ් සෆ්රාෂ් ආබ්දීන් ගේ මිත්තණිය එසේ පවසන්නීය. නාභිත ස්වාමීන් වහන්සේගේ මව පියා හමුවීමට ගිය ද ඒ ගමනේදී අපට හමුවූයේ උන්වහන්සේගේ පියා හා මිත්තණිය පමණි.

“මම ඉගෙන ගත්තේ කොස්වත්තේ ජයවර්ධනපුර පාසලේ. අපේ පවුලේ ඔක්කෝම හත් දෙනයි. අක්කා විවාහ වෙලා ඉන්නේ. අම්මා ගෙදර. තාත්තා රැකියාව හැටියට කරන්නේ කුලී වැඩ. මට කුඩා කාලේ ඉඳලම මහණ වෙන්න හිත තිබුණා. අම්මා ඇතුළු ගෙදර අය හැමෝම මම පැවිදි වෙන දවසේ තලංගම කොස්වත්තේ ශ්‍රී ලුම්බිණි විවේක සෙනසුනට ආවා. නායක හාමුදුරුවෝ කරුණාවෙන් ආදරෙන් මාව බාරගත්තා.” නාභිත හිමියන් පවසන්නේය.

“බුදුරජාණන් වහන්සේ යම් පුද්ගලයකු බුදු සසුනට ඇතුළු කර ගැනීමේ දී ජාතිය කුලය ආගම ගැන බැලුවේ නැහැ. ඉහළ බ්‍රාහ්මණ කුලයේ අය වගේ ම සැඩොල් කුලයේ අය ද පැවිදි කළා. අද අපට හොඳ සංඝ පරම්පරාවක් අවශ්‍යයි. මේ දරුවා අම්මත් සමඟ ඇවිත් කිව්වා එයාට මහණ වෙන්න අවශ්‍යයි කියලා. මම කිව්වා තාත්තවත් එක්කගෙන එන්න කියලා. දරුවා පැවිදි වෙන දවසේ මේ තාත්තා ආවේ නැහැ. නමුත් දැන් සතියට දවසක් දෙකක් ඒ තාත්තා අම්මා ඇවිල්ලා පොඩි හාමුදුරුවන්ව බලලා යනවා.”

තලංගම කොස්වත්තේ ශ්‍රී ලුම්බිණි විවේක සෙනසුනේ තලංගම ශ්‍රී සද්ධාමංගල නායක ස්වාමින්වහන්සේ පවසන්නේය.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි පැවිදි දිවියට ඇතුළත් වූ භික්ෂුන් වහන්සේලා අතර සත් හැවිරිදි පොඩි හාමුදුරු නමක් ද වූයේය.

“මේ පොඩි හාමුදුරුවොත් පැවිදි වීමට කලින් මුස්ලිම් ආගමේ දරුවෙක්”

පැටිවියේ සිටින සාමණේරයන් වහන්සේ හඬ අවදි කළේ සෙමෙනි. චීවර දරාගෙන සිටිය ද දඟකාර වයස සඟවාලිය නොහැකි තරම්ය.

“අපි හිටියේ තලංගමමයි. අපේ තාත්තා බීලා ඇවිල්ලා හැමදාම අම්මට ගහනවා. අම්මා අඬනවා. ඒ වෙලාවට මට අම්මා ගැන දුක හිතෙනවා. නංගිත් අඬනවා. අම්මා මාව ගෙනැල්ලා නායක හාමුදුරුවන්ට බාර දුන්නා. මහණ කරගන්න කියලා. මම මහණ වෙන්න කැමති වුණා. ගෙදර ජීවිතේ දුකයි. අම්මා ගුටි කනවා මට බලන්න බැහැ. නායක හාමුදුරුවෝ අපට හරි ආදරෙයි. ඒ නිසා මං පන්සලට කැමතියි.”

සසර ගමන කෙටිකර ගැනීමට බණ භාවනා කිරීමට පැවිදි දිවියට ඇතුළත් වූ සද්ධාමංගල ස්වාමින් වහන්සේ පිය සෙනෙහසින් යුතුව සාමණේර හිමිවරු රැක බලා ගන්නේ ය. ධර්මය උගන්වන්නේ ය.

“පොඩි හාමුදුරුවරු අතර බොහෝම දක්ෂ හාමුදුරුවරු ඉන්නවා. කවි බණ කියන්නට, ධර්මය දේශනා කරන්නට, දක්ෂ සාමණේර හිමිවරු ඉන්නවා. මේ කුඩා හිමිවරු වෙනුවෙන් මේ ස්ථානයේ පිරිවෙනක් ආරම්භ කිරීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා. මේ වන විට ගුරුවරු මේ ස්ථානයට ගෙනැවිත් ඉගැන්වීමේ කටයුතු කරනවා.”

පින් කිරීමට පින් සිත් පහළ වන්නේ සංසාර පුරුද්දටය. සසර පුරා ගෙන ආ කුසලයන්ගේ පැවිදි දිවියට පත්ව සිටින මේ ගිහිකළ ව්‍යාපාරිකයකු වූ සද්ධාමංගල හිමියන්ගේ ජීවිතය ද පුදුමාකාරය.

නුවර පළාතේ උපත ලැබු උන්වහන්සේ ගිහි කල ආතාවුද රණසිංහ නම් විය. ආතාවුද රණසිංහ යනු ත්‍රිසිංහ බිස්කට් ආයතනයේ හිමිකරුය.

“මම තරුණ වියේ සිටම හිතාගෙන හිටියා කවදා හරි පැවිදි වෙනවා කියා. අම්මයි අප්පුච්චයි හිතුවා මම විවාහ වුණොත් පැවිදි වෙන එකක් නෑ කියලා. ඒ නිසා මට විවාහයක් කර දුන්නා. මම ඇය බලන්න ගිය දවසේ ඇයටත් ඇගේ දෙමාපියන්ටත් කිව්වා මා කවදා හෝ පැවිදි වන බව. මගේ ව්‍යාපාර සාර්ථක වුණා. දරුවෝ ලැබුණා. දුවලා හොඳින් ඉගෙන ගත්තා. ඔවුන් විවාහ වුණා. නමුත් ඒ අයට ලස්සන ජීවිතයක් ගත කරන්න බැරි වුණා. ඒ සුනාමි ව්‍යසනය නිසා. දුවලා දෙන්නත් බෑණලා දෙන්නත් ඔවුන්ගේ සහෝදරයින් ඇතුළු ඔක්කෝම අට දෙනෙක් සුනාමියට පෙරදා දකුණු පළාතේ සංචාරයකට ගියා.

සුනාමිය දා උදේ එයාලා වාහනයෙන් යාල අභය භූමියට ගිහින් තිබුණා. ඒ ගිය අටදෙනා ම සුනාමියට හසුව මියගොස් හිටියා. අපි එතැනට ගියා. ඔය සිද්ධිය වන දවසේ බිරිය දෙව්රම් වෙහෙරට සිල්ගන්න ගිහින් හිටියේ. දියණියන් දෙදෙනා මිය යන විට එක්කෙනෙකුට අවුරුදු විසිහයයි.

අනෙක් එක්කෙනාට අවුරුදු විසිහතරයි. ඔය සිදුවීමෙන් පස්සේ මම පැවිදි වෙන්න ගත්ත තීරණය ඉක්මන් වුණා. දරුවන්ගේ අම්මත් දසසිල් වීමට තීරණය කළා. ඊට පෙර අපි එකම දවසේ වාහන විසිතුනක් විකුණලා ඒ මුදල් පන්සල් දහතුනකට බෙදා දුන්නා. ඉන් පසුව මම පැවිදි වුණේ වාරණ ශාන්ත තපෝවනයේදී.

මගේ පැවිදි වීමට මඟ පෙන්නුවේ දෙව්රම් වෙහෙර විහාරාධිපති කොළොන්නාවේ සුමංගල ස්වාමින් වහන්සේ හා වාරණ ශාන්ත තපෝ වනයේ සද්ධාශීල ස්වාමින් වහන්සේ. මෙතන මේ පැවිදි වෙලා ඉන්න කුඩා හිමිවරු එක්කෙනෙකුවත් මම අරගෙන ආව අය නොවෙයි. මෑතකදී පැවිදි වූ නාභිත හිමියන් මා ළඟට ගෙන ආවේ මගේ හිතවත් දායකයෙක්. දරුවගේ මව මේ ස්ථානයට ආවා. ඒ අයගේ කැමැත්ත මතයි පැවිදි කළේ. කෙසේ වෙතත් අද අපේ ජාතියට අවශ්‍ය සමඟියයි එකමුතුකමයි. මේ දරුවා බුද්ධ ශාසනයට ඇතුළු වුණේ බුදුදහම ගැන පැහැදීමෙන් හා ඒ පිළිබඳව ඇති වූ ඇල්ම නිසයි. උන්වහන්සේට දැන් හොඳින් පිරිත් සජ්ජායනය කරන්නටත් පුළුවන්.”

නව නුවර පාරේ තලංගම උතුර ශ්‍රී ලුම්බිණි විවේක සේනාසනය තවමත් ගොඩනැඟෙමින් පවතී. එහි භෞතික සම්පත්වලට වඩා අගය කළ යුත්තේ අනාගතයට බිහිවන සඟ පරපුරයි. තවමත් දඟකාර වයසේ පසුවන, එහෙත් හැඳ සිටින චීවරය සීරුවට ප්‍රවේශම් කරමින් සන්සුන් ගමනින් වඩින සාමණේර හිමිවරුන් අතරින් එක් අයකු හඬ නඟා සූත්‍ර කවි ගායනා කරන්නේය. එය ජනාකීර්ණ නගරයට යාබදව පිහිටි සෙනසුන් භූමියේ ඉදිවෙමින් පවතින සිමෙන්ති ගොඩනැගිලි අතර දෝංකාර දී ඇසෙන්නේ ය.

ඒ හඬ ඇසෙන්නේ දැනුම් තේරුම් ඇති දා සිට පැවිදි වීමම අරමුණු කරගත් තම ප්‍රාර්ථනාව ඉටුවන තුරු වතුසුද්ද මල් ගසේ පඬුරු ගැට ගැසු පුංචි සාමණේර හිමියන්ගේය.

බුද්ධ චීවරයට කිසිදු බේදයක් නැත. මේ කුඩා හිමිවරු අතර ද කිසිදු බේදයක් නැත. මුස්ලිම් සිංහල දෙමළ කියා හෝ කුල, ආගම් භේද නැති මේ සාමණේර හිමිවරුන් දිනෙක භික්ෂු පරම්පරාවටම ආඩම්බරයක් වන්නේ නම් එය අගය කළ යුත්තකි ෴

————————————————–

තලංගම නාගිත නමින් පැවිදි වූ මොහොමඞ් සෆ්රාෂ් ආබ්දීන්
(04-03-2013 – lankacnews.com)

යථාර්ථවාදී ආගමක් වන බුදු දහම මිහිපිට උපන් සෑම පුද්ගලයෙකුගේ ම හිත සුව පිණිස පවතින ආගමකි. ජාති, කුල, මල භේද නො සලකන බුදු දහම නිදහස් නිවහල් චින්තනයට මූලිකත්වය දෙමින් නිවනට මඟ සාදයි. කිසිදු බලපෑමකින් තොර ව ස්ව චින්තනයට ප‍්‍රමුඛත්වය දෙන බුදු දහමේ කිසිදු ඉගැන්වීමක අන්‍යාගමිකයකු පැවිදි දිවියට ඇතුළත් වීම අකැප දෙයක් යනුවෙන් සඳහන් නො වේ. තථාගතයන් වහන්සේට සමකාලීන වෙනත් ශාස්තෘවරුන් සිය අනුගාමිකයන්ට අධික නීති පනවද්දී තථාගතයාණන් වහන්සේ පුද්ගල මානසික හිංසනයන්ට තුඩු දෙන කිසිදු නීතියක් සිය අනුගාමිකයන්ට නො පැන වූහ.

බුදු දහම වනාහී  ඕනෑ ම තරාතිරමක පුද්ගලයකුට පැවිදි වීමේ මූලික අයිතිය නො පිරිහෙළා ලබාදීමට කටයුතු කළ ආගමකි. රජ පෙළපතේ ධනවතුන්ට සේම ඉතාමත් දිළිඳු සුනීත, සෝපාක වැනි දරුවන්ට පවා මහණ දම් පිරීමට ඉඩහසර වෙන්වූයේ ඒ නිසා ය. ජාති කුල මල භේද බුදු දහම තුළ නො තිබිය යුතු බව ද වරෙක බුදු හිමියන් දේශනා කළේ එය පුද්ගල පිරිහීමට තුඩු දෙන හේතුවක් නිසා ය.

කඩුවෙල මාවතේ කොස්වත්ත ප‍්‍රදේශය පසුකර මඳක් ඉදිරියට ගිය අපට සේනාසනය සොයා ගත හැකි විය. අවිවේකී පරිසරයක් තුළ එවන් නිහඬ බවින් යුත් පින්බිමක් තිබේ යැයි අපි නො සිතුවෙමු. කොස්වත්ත ප‍්‍රදේශය පුරාවට ම තථාගතයන් වහන්සේගේ කරුණා දෙනෙක් දැල්වූ අඩි හැට පහක උසින් යුත් හිටි පිළිම වහන්සේ පසු කරමින් සංඝාවාසය දෙසට අපි පියමන් කළෙමු. බෝධි මළුවේ සිට අප සිටි දෙසට තරුණ හිමිනමක් වැඩම කළේ සංවර ලීලාවකිනි.

‘‘හාමුදුරුවනේ මේ පන්සලේ මුස්ලිම් කුල දරුවෙක් පැවිදි වුණා කියලා දැනගන්න ලැබුණා. උන්වහන්සේත් එක්ක ටිකක් කතා කරන්නයි අපි ආවේ….’’

අප ඇසූ සෑම පැනයකට ම උන් වහන්සේ කළේ හිස සැලීම පමණි. උන් වහන්සේගේ ආරාධනය පිළිගනිමින් අපි සංඝාවාසයට ගොස් විහාරාධිපති ස්වාමීන් වහන්සේ වන පූජ්‍ය කලවතුගොඩ සද්ධාමංගල හිමි හමු වුණෙමු. අප කැඳවාගෙන ආ තරුණ හිමි නම කුටියට වැඩම කළ අතර නාහිමි සමඟ ඒ පිළිබඳ කතිකා කිරීමට අපි අදහස් කළෙමු.

‘‘නායක හාමුදුරුවනේ අපිට දැනගන්න ලැබුණා මේ විහාරස්ථානේ පසුගිය දා පෝයට මුස්ලිම් කුලදරුවෙක් සසුන්ගත කළා කියලා’’

අප ඇසූ පැනයට නායක ස්වාමීන් වහන්සේගේ මුවගට මඳ සිනාවක් ද නැඟිණ.

‘‘ඒ හාමුදුරුවෝ තමයි දැන් මහත්තයලව මෙතැනට එක්කරගෙන ආවේ’’ යි මඳක් රැල් බුරුල් කර උන්වහන්සේ කුටිය දෙසට නෙත් යොමු කළහ.

‘‘නාගිත… නාගිත… උන්නාන්සේ….’’

‘‘එහෙමයි අපේ හාමුදුරුවනේ….’’ පෙර කී හිමියෝ ශාන්ත ලීලාවකින් අප අසලට වැඩම කළහ. සත්තකින් ම උන් වහන්සේ තුළ සැබෑ පළ පුරුදු හිමිනමකගේ සංවර ගතිකත්වයක් පැවැතීම අපට ඇති කළේ පුදුමයකි. නායක ස්වාමින් වහන්සේ මෙම ක‍්‍රියාවලියේ පූර්ව අවධිය පිළිබඳ මෙනෙහි කළේ මෙපරිද්දෙනි.

‘‘දවසක් මගේ හිතවත් කෙනෙක් ඇවිත් මට කිව්වා බුදු දහමට පුදුම විදියට ගරු කරන මුස්ලිම් දරුවෙක් ඉන්නවා කියලා. මහණ වෙන්නත් ගොඩාක් ආසාවෙන් කිව්වා ඉන්නේ. එක්කගෙන එන්න ද ඇහුවා… මේක මටත් ටිකක් පුදුම හිතෙන අලූත් දෙයක්. මම කිව්වා එක්කරගෙන එන්න බලන්න කියලා. මෙයා ව දැක්ක ගමන් ම මට හිතුණා මොහු මහණ වෙන එක හොඳයි කියලා. ශාසනයට සුදුසු පින්වත් ලක්ෂණ රාශියක් මෙයාගෙන් මම දැක්කා. මහණ වෙන්න කලින් පන්සලේ මාසයක් පමණ නතර කරගෙන මම හොඳට අධ්‍යයනය කළා. ඒ කාල සීමාව තුළ අනෙක් හිමිවරුන්ට පුදුම විදියට ගෞරව උපස්ථාන කළා. බුදුන් වැදීමේ කටයුතු, හැම දෙයක් ම පොඩි හාමුදුරුවන් එක්ක කළා. වයස 18 ක තරුණයෙක් නිසා මම මහණ කරන්න කලින් මෙයා ගැන හොඳ සෝදිසියක් කළා. නමුත් හැම කෙනෙක් ම කිව්වේ මෙයා ගොඩක් සංවර නිහඬ චරිතයක් කියලයි. මුස්ලිම් සම්ප‍්‍රදාය අතහැරලා මහණ දම් පුරන්න පැමිණීම ඇත්තට ම විශේෂ දෙයක්. මෙය සංසාර ගමන ගැන අවබෝධ කරගත් නිසා බුදු සසුනට එන්න හිතන්න ඇති.’’

උන්වහන්සේගේ ගිහි නම මොහොමඞ් සෆ්රාෂ් ආබ්දීන් ය. මුස්ලිම් සංස්කෘතියට අනුව හැදී වැඞී දිවි ගෙවූ මොහොමඞ් අද තලංගම නාගිත හිමි නමින් පැවිදි දිවියට ඇතුළත් ව සිටිති. නාහිමි පැවැසුවා සේ ම නිහඬ චරිතයකින් හෙබි උන්වහන්සේ සතු ව මනා සංවර බවක් පවතියි. මෙවන් අධ්‍යාත්මික සිතක් පහළ වීමට තරම් උන්වහන්සේ කෙතරම් වාසනාවන්ත ද? මුස්ලිම්වරුන්ගේ සංස්කෘතියෙන් මිදී කෙසේ බුදු දහම වැළැඳ ගත්තේ ද? සිතට නැඟුණු පැනයන් උන්වහන්සේගේ විමසීමට අපි අදහස් කළෙමු.

සංඝාවාසයෙන් නික්මෙන උන්වහන්සේ පසුපසින් පැමිණි අපි බෝධිය අසල නතර වූයෙමු. බෝපත් තුළින් නැෙඟන සිලි සිලි නාදය මැද තලංගම නාගිත හිමියෝ සිය කතාව අපට පැවැසූහ.

‘‘පොඩි කාලෙ ඉඳන් ම මම බුදු දහමට හරි ආසයි. බුදු හාමුදුරුවන්ගේ බුද්ධ චරිතය, ජාතක කතා, සූත‍්‍ර දේශනා මම ගොඩක් කියෙව්වා. බුදු දහමෙ සාරවත් දෙයක් තියෙනවා කියලා මට වැටහෙන්න ගත්තේ ඉන් පසුව යි. ඉස්ලාම් දහමට වඩා බුදු දහම හොඳයි කියලා මට දැනෙන්න ගත්තා. ඒකෙ නීති වැඩියි.

ආගම කියවන්න  ඕන කියලා නීතියක් තියෙනවා. ඒත් බුදු දහමෙ එහෙම නෑ. නීතියක් දාන්න කවුරුත් නැති නිසා මම ගොඩාක් ආසාවෙන් ගෞරවයෙන් බුදුන් වඳිනවා, භාවනා කරනවා, පන්සලේ තියෙන නිහඬ බව පල්ලියේ තිබුණේ නෑ. හැමෝමත් එක්ක ආගම කියවන එකට මම ආස නෑ. සමහැ දවස්වලට සිකුරාදා පල්ලි යන්න වෙනවට මම එදාට ගෙදරින් යනවා. කොහේට හරි ගිහින් ඉඳලා පස්සෙන්දාට ගෙදර එනවා. පන්සලේ ඉන්නකොට දුකක් දැනෙන්නෙත් නෑ. තමන්ගේ නිදහස තියෙනව නම් නිවන් මඟට යන්න ඒ හොඳට ම ඇති. දුකක් ආවත් බුදු හාමුදුරුවන්ගේ බුද්ධ ප‍්‍රතිමාව දිහා බලන් ඉන්නකොට පුදුම තරම් සැනසීමක් දැනෙනවා’’

මුස්ලිම්වරුන්ගේ නීතියට අනුව ඉස්ලාම් දහමේ පුද්ගලයකු වෙනත් ආගමකට යෑම වරදක් බව අපි අසා ඇත්තෙමු. එහෙත් එම නීතියට පවා පිටුපා බෞද්ධ විහාරස්ථානයක මහණ දම් පිරීමට පැමිණීමට තරම් උන්වහන්සේ බුදු දහම පිළිබඳ කෙතරම් පැහැදීමකින් පසු වී ඇත්දැයි වැටහේ.

‘‘අපේ ගෙදර ඉන්නේ අක්කලා දෙන්නයි, අයියලා දෙන්නයි, මල්ලිලා දෙන්නයි, අම්මයි තාත්තයි. ඉස්ලාම් ආගමේ. අවුරුදු කාලෙට ආගම කියලා සතුන්ගේ බෙල්ල කපලා බිම දාලා තද කරගෙන දඟලන්න දෙන්නෙ නැතුව මරනවා. මම ඒකට ගොඩක් අකැමැතියි. අවුරුදු කාලෙට අපේ ගෙදරත් අයියා ඒ විදියට සත්තු මරනවා. මට ඒක බලන් ඉන්න බෑ. මම ඒ කාලෙට ගෙදරින් ගිහිල්ලා කොහේ හරි ඉන්නවා. ගිහි ජීවිතේ ඉන්නකොට මම ඒ හැමදෙයක් ම දැක්කා. ලොකු හාමුදුරුවෝ මම පන්සලට ආපු දවස්වල සත්තු මරන සී. ඞී. තැටියක් දාලා පෙන්නුවා. ලොකු හාමුදුරුවො මට තේරුම් කළා සත්තු මැරුවම තියෙන පව. ඒ සී. ඞී. තැටියෙ පැටවු හම්බ වෙන්න ඉන්න අහිංසක සත්තු පවා මරනවා.’’

‘‘ඒක බලන් ඉන්නකොට ගොඩක් දුකයි. ඒවා කරන අයට ඒ සතා විඳින දුක දැනෙන්නේ නැතිව ඇති. ඉස්ලාම් දහමෙ අය සත්තුන්ට දෙන දස වධ දැක්ක ම බුදු දහම ඊට වඩා ගොඩක් වෙනස්. සත්තුන්ට කරුණාවෙන් ඉන්න මමත් ආසයි.’’

තලංගම නාගිත හිමි ගිහි කාලයේ ජීවත් ව සිටි තලංගම නිවෙසට යෑමට ද අපි අදහස් කළෙමු. අප ගොඩවන විට උන්වහන්සේගේ මෑණියන් වන පාතිමා ෆරීනා සහ පියා වන මොහොමඞ් සරුෆ්් ආබ්දීන් සහ සොහොයුරන් කිහිප දෙනෙක් එම දිළිඳු නිවෙසෙහි රැඳී සිටියහ.

උන් වහන්සේගේ මෑණියන් වන පාතිමා ෆරීනා අපට මෙසේ පැවැසුවා ය.

‘‘අපි මුස්ලිම් වුණත් පොඩි කාලේ ඉඳන් ම මෙයා ඉස්ලාම් ආගමට ඒ තරම් කැමැත්තක් දැක්වූයේ නෑ. ඒ ඇයි දන්නේ නෑ. සමහර දවස්වලට සිකුරාදා ආගම කියවන්න වෙනවට මඟඇරලා කොහේ හරි යනවා. ?ට බණ අහනවා, පිරිත් අහනවා, මෙයා කරන වැඩවලට තාත්තා ඒ තරම් කැමැත්තක් දැක්වුවේ නෑ. ඉස්ලාම් දහම අදහන කෙනෙක් ඒ වගේ දේවල් කිරීම වරදක්නෙ. අනිත් එක තමයි පොඩි කාලෙ ඉඳන් ම හාමුදුරුවන්ට හරි ආදරෙයි. පොඩි කාලෙ මෙයා මල්ලිලාත් එක්ක සෙල්ලම් කරනකොට ‘‘බෙඞ් ෂීට්’’ එකක් සිවුරක් වගේ ඇගේ ඔතාගෙන මල්ලිලට බණ කියනවා’’

‘‘පසුගිය දෙසැම්බර් මාසේ මෙයා අපට කිව්වා මහණ වෙන්න  ඕන කියලා. ඒත් තාත්තයි මායි කැමැති වුණේ නෑ. එහෙම කළොත් මුස්ලිම් සමාජෙන් අපිට වැරැුදි අහන්න වෙනවා. අපි අකැමැති නිසා මෙයා තරහවෙලා ගෙදරිනුත් ගිහින් හිටියා. පස්සෙ මම කැමැති වුණා මහණ වෙනවට. පුතා මහණ වෙන දවසෙ අපිත් පන්සල් ගියා. පුතාට මුල් ම සිවුරු පිරිකර පූජා කළෙත් මම. එයාගෙ සතුට ඒක නම් මුස්ලිම්වරු මොනවා කීවත් අපිට කරන්න දෙයක් නෑ. එයා කළේ එයාට කැමැති දේ නේ.’’

නාගිත හිමිගේ නිවැසියන්ගෙන් සමුගත් අපි උන්වහන්සේ ද සමඟ නැවතත් ලූම්බිණි විවේක සේනාසනයට ගියෙමු. අප නැවතත් ඒමට පෙර උන් වහන්සේ අපට පැවැසූ වදන් පෙළ තවමත් මගේ මතකයේ පවතී.

‘‘මට තුන් සූත‍්‍රය සජ්ජායනා කරන්න පුළුවන්. මම ගොඩක් ආසයි බුදු හාමුදුරුවො ඉන්දියාවෙ වැඩ වාසය කළ තැන් ඇස් දෙකෙන් ම දැක ගන්න.’’

ශ‍්‍රී ලූම්බිණි විවේක සේනාසනයේ නා හිමිගේත් තලංගම නාගිත පොඩි හාමුදුවන්ගේත් දෙපා වන්දනය කළ අපි එම පින් බිමෙන් නික්මී ආවෙමු.

– සමිත් මධුරංග / ලක්සිරි රුක්මන්

Comments 2

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *