පොසොන් පොහොය : 2015-06-02

පෝදා සිතුවිලි : ශ්‍රේෂ්ඨ ධර්මදූතයන් වහන්සේ නමක්‌ ලක්‌දිවට වැඩම කළ උතුම් දිනය අදයි
මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි
(02.06.2015 – divaina.com)

පොසොන් පොහොය ශ්‍රී ලංකාවාසීන්ට වැදගත් පොහොයක්‌ වනුයේ මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම කිරීම නිසාවෙනි. මිහිඳු මහ රහතන් වහන්සේ විශිෂ්ට ධර්ම දූතයාණන් වහන්සේ නමක්‌ පමණක්‌ නොව සැලසුම් සහගත බවේ ප්‍රතිමූර්තියක්‌ ද වන්නේය. උන්වහන්සේ තුළ පැවතියා වූ සැලසුම් සහගත බව ශ්‍රේෂ්ඨ ධර්මදූත මෙහෙවරට මහත් පිටිවහලක්‌ වූයේය.

ධර්මාශෝක රජතුමා රටවල් 9 කට ධර්ම දූතයන් පිටත්කර හැරීමේදී ශ්‍රී ලංකාවට පැමිණිය යුතු ධර්ම දූතයා තම පුත් මිහිඳු බවට තීරණය කිරීම ලක්‌වාසීන්ට කරන ලද මහත් ගෞරවයකි. අනෙකුත් ධර්ම දූතයෝ ඒ ඒ දේශවලට වහා පිටව ගිය නමුදු මිහිඳු හිමියන් ශ්‍රී ලංකාවට එසේ වැඩම කළේ නැත.

මිහිඳු හිමියෝ ධර්ම දූත මෙහෙවර පිණිස ලංකාවට පැමිණීමට පෙර මෙරට දේශපාලනය, සමාජ තත්ත්වය හා ආගමික වටාපිටාව හොඳින් නිරීක්‍ෂණය කළහ. ඒ අනුව මහලු මුටසීව රජුගෙන් පසු තරුණයකු රාජ්‍යත්වයට පත්වනතුරු මිහිඳු හිමියන්ගේ ආගමනය පමා විය. බුදුරජාණන්වහන්සේගේ ගැඹුරු දර්ශනය මහලු රජකු සමඟ ගනුදෙනු කර ගැනීමේ අසීරුතාව උන්වහන්සේගේ නිරීක්‍ෂණයට භාජන වූහ. එම කාලය අතරතුර මිහිඳු හිමියෝ ලාංකීය ජනතාවගේ භාෂාව හඳුනාගෙන අධ්‍යයනය කොට ප්‍රවීණත්වයක්‌ ලබාගත්හ.

දේවානම්පියතිස්‌ස රජු දවස පොසොන් පොහෝ දිනක ලංකාවට වැඩම කරලීමට මිහිඳු හිමියන් තීරණය කළ අතර ඒ සඳහා ධර්මාශෝක රජතුමා දේවානම්පියතිස්‌ස රජතුමාට කතා කොට අවශ්‍ය කටයුතු සම්පාදනය කළේය. ඒ අනුව පොසොන් පොහෝ දා මිහින්තලාවට මිහිඳු හිමියන් වැඩම කරන බව තිස්‌ස රජතුමා දැන සිටියේය. උන්වහන්සේ පිළිගැනීමට රජතුමා හතළිස්‌ දහසක රටවැසියන් සමඟ මිහින්තලා පර්වත ප්‍රාන්තයට ගොස්‌ සිටියේය. පර්වත මුදුනේ වැඩ සිටි මිහිඳු හිමියෝ කරේ ලාගෙන සිටි දුනු ඊතලවලින් රජු හඳුනාගැනීමට සමත් වූහ. රජු දුනු ඊතල පැළඳ සිටියේ දඩයමට නොව එය රාජ්‍යයේ සංකේතය ලෙස භාවිත වූවකි.

රජු හා මිහිඳු හිමියන් අතර ඇති වූ කතාබහවලින් පසු අඹ ගස්‌ පිළිබඳව ප්‍රශ්නාවලියක්‌ රජු වෙත ගෙනහැර බුද්ධිය විමසීමට ලක්‌කළ මිහිඳු හිමියන් රටවැසියාගේ ධර්මාවබෝධ හැකියාව තේරුම් ගත්හ.

තිස්‌ස රජු දඩයක්‌කාරයකු කර ඇත්තේ මහින්දාගමනයේ ශ්‍රේෂ්ඨත්වය ඉස්‌මතු කරලීමේ අරමුණ ඇතිවය. එහෙත් එයින් ශ්‍රේෂ්ඨ නරපතියකු ම්ලේච්ඡ රජ කෙනකුගේ තත්ත්වයට පත්කර ඇත. කෙසේ වුවත් මිහිඳු හිමියන්ගේ පරමාදර්ශී ඥානය හේතුකොටගෙන උන්වහන්සේගේ දූත මෙහෙවරෙහි කාර්ය භාරය මැනවින් ඉටුකරලීමට හැකිවිය.

මිහිඳු හිමියන් දේශනා කළ ධර්මයට සවන් දුන් රටවැසියෝ ලැඡ්ජා බිය දෙක මත පාපයෙන් මිදී යහපත් දිවි පෙවෙතකට යොමුවූහ. ලක්‌වැසියාට අනුබුදු කෙනකු වැනි වූ මිහිඳු හිමියන් අප රට ඉතා පහසුවෙන් සදාචාරවත් රටක්‌ බවට පත්කළ නමුත් වර්තමානය වන විට ඇත්තේ සෑම ක්‍ෂේත්‍රයක කඩාවැටීමකි. එබැවින් එළැඹ ඇත්තේ මිහිඳු දර්ශනය අවබෝධ කොටගෙන නැවත පණගැන්විය යුතු කාලයයි.

සියලු දෙනාටම තෙරුවන් සරණයි.

================================

අනුබුදු මිහිඳු හිමි ලක්‌දිවට වැඩම කළ පොසොන් පෝය අදයි
(02.06.2015 – divaina.com)

“අනුකම්පාව නමැති මේ බෝසත් ගුණයෙන් එදා පෝෂණය ලැබූ මිහිඳු මාහිමියන් හෙළදිවට වැඩම කළේ රටක්‌, ජාතියක්‌ වශයෙන් අප ආගමෙන් දහමෙන්, සංස්‌කෘතියෙන්, ආර්ථිකයෙන් භාෂාවෙන් කලාවෙන්, සාහිත්‍යයෙන් අන්ත අසරණව සිටි බැවිනි. ඉන් අප මුදවා ලෝකයේ පිළිගත් සමෘද්ධිමත් ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්‌ථානයක්‌ ඇතිකර දීම උන්වහන්සේගේ පරමාර්ථය විය.

වෙසක්‌ පුන් පොහෝ දින උණුසුමත් සමඟ උදාවන්නේ පොසොන් පුර පසළොස්‌වක පෝය දිනයයි. වෙසක්‌ පුන් පොහෝ දිනය තුන් ලොවටම අසීමිත සැනසුමක්‌ උදා කළ අසිරිමත් දිනයයි. ජීව අජීවී සෑම වස්‌තුවක්‌ නිවී සැනසුන දිනය ද වෙයි.

පොසොන් පුර පෝය ශ්‍රී ලාංකික ජනතාවට ම ආවේණික වූ සුවිශේෂී වූ දිනය ද වේ. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස නිමල බුදුදහම රැගෙන වැඩම කරවනු ලබන්නේ අද වන් දිනකය. එනම් මිහින්තලා අම්බස්‌තලය වෙතටයි. දේවානම්පියතිස්‌ස රජු ඇතුළු හතළිස්‌දාහක්‌ පිරිස මුණ ගැසෙන්නේ මෙහිදීය. රජු ඇතුළු පිරිස මුව දඩයමේ යෙදී සිටි මොහොතකය. රජු ඇතුළු පිරිස දුටු මිහිඳු මහ රහතන් වහන්සේ,

“සමණාමයං මහාරාජ
ධම්මරාජස්‌ස සාවකා
තමේව අනුකම්පාය
ජම්බුදීපා ඉධාගතා”

මහරජ අපි ධර්මරාජයාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වම්හ. ඔබටම අනුකම්පා පිණිස දඹදිවින් මෙහි පැමිණියෙම්හයි වදාළහ. රජුගේ බිය සැක පහ විය. ධර්ම දූතයකු වශයෙන් තම කාර්ය ඉටුකර ගැනීම සඳහා රජු සුදුස්‌සකු දැයි සොයා බැලීමක්‌ වශයෙන් අඹරුක්‌ උවමින් හා නෑ උවමින් රජු බුද්ධි පරීක්‍ෂණයකට යොමු කළහ. රජුගේ නිරවුල් පිළිතුරින් මිහිඳු මාහිමි තම අනාගත කාර්යභාරයේ සාර්ථකත්වය අවබෝධ කර ගත්හ.

මිහිඳු මාහිමියන් රජුට තමේව අනුකම්පාය (ඔබටම අනුකම්පා පිණිස) ආ බව ප්‍රකාශ කිරීමෙන් එහි ගැඹුරු අරුතක්‌ පෙන්නුම් කරවන්නකි. අප මහ බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්‌ පාරමී දම් පිරුවේ සසර අනේකවිධ දුක්‌ විඳින සත්ත්වයන් ඉන් අත මුදවා සදා සැනසුම ලබාදීමේ හටගත් අනුකම්පාවෙනි. බොදු හදවත් තුළ “අනුකම්පාව, නමැති බීජය රෝපණය වන්නේ මේ අයුරෙනි”

“අනුකම්පාව නමැති මේ බෝසත් ගුණයෙන් එදා පෝෂණය ලැබූ මිහිඳු මාහිමියන් හෙළදිවට වැඩම කළේ රටක්‌, ජාතියක්‌ වශයෙන් අපි ආගමෙන් දහමෙන්, සංස්‌කෘතියෙන්, ආර්ථිකයෙන් භාෂාවෙන් කලාවෙන්, සාහිත්‍යයෙන් අන්ත අසරණව සිටි බැවින් මින් මුදවා ලෝකයේ පිළිගත් සමෘද්ධිමත් ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්‌ථානයක්‌ ඇතිකර දීමේ හටගත් අනුකම්පා සහගත සිතින් යුතුවය.

අටමස්‌ථාන, සොළොස්‌මස්‌ථාන ආදී ඓතිහාසික වෙහෙර විහාරස්‌ථාන, සමුදුර පරයන වැව් අමුණු, වේලි, කෙත්වතු, උයන්වතු කියා පාන්නේ මිහිඳු මාහිමියන්ගේ සිත තුළ පහළ වූ අසීමිත අනුකම්පාවේ, දෝංකාරයේ අසිරිමත් බවයි. භෞතික වශයෙන් රටක්‌ දියුණු කිරීමට පළමුව රජු ඇතුළු පිරිස ආධ්‍යාත්මික වශයෙන් හැඩ ගස්‌වා ගැනීම මූලික පියවර වන්නේ යෑයි සිතූ මිහිඳු මාහිමි ඔවුන් තෙරුවන් සරණ ගන්වා පංචශීලයෙහි පිහිටුවූහ. මිනිසා හදා රට ගොඩනඟමු. යන සංකල්පයේ ආරම්භය අප රට තුළ සමාජගත වන්නේ මේ සිද්ධියෙන් පසු බව වැටහේ. හෙළදිව පළමුව තෙරුවන් සරණ ගිය පන්සිල් රකින පිරිස බවට මොවුහු ඉතිහාසයට එක්‌ව ඇත.

දෙවන පෑතිස්‌ රජතුමා ඇතුළු පිරිසට පළමුව මිහිඳු මාහිමි දෙසූ සුත්‍රය වන්නේ, චුල්ලහත්ථිපදොaපම සූත්‍රයයි. තුනුරුවනේ උසස්‌කමද භික්‍ෂුවගේ චාම් ජීවිත පැවැත්ම ද ශ්‍රේෂ්ඨ ගුණගරුක ජීවිතය ද සිවුසස්‌ දහම් ද විස්‌තර වේ.

මේ සූත්‍රයට අනුව ජානුස්‌සෝනි බ්‍රහ්මණයා හා පිලෝතික පරිබ්‍රාජකයා අතර ඇතිවන සංවාදයේදී පිලෝතික පරිබ්‍රාජකයා ජානුස්‌සෝනි බ්‍රාහ්මණයාට බුදුහිමි හඳුන්වා දෙයි. ඇතුන් වසන වනයේ වාසය කරන දක්‍ෂ වූ පුරුෂයෙක්‌ දිගු පුළුල් ඇත්පිය ලකුණක්‌ දැක එය මහ ඇතකුගේ යෑයි නිශ්චය කොට දැන ගන්නා මෙන් මමත් බුදුහිමිගේ ඥාණ පද සතර දැකීමෙන් උන්වහන්සේ සම්මා සම්බුද්ධ කියා ද. උන්වහන්සේගේ ධර්මය ස්‌වාක්‌ඛාත, මනාකොට වදාරණ ලද නිසාද, ශ්‍රාවක සංඝයා සුප්‍රතිපන්න මනාකොට සම්‍යක්‌ ප්‍රතිපදාවේ පිළිපන් නිසාද. බුදුන් ප්‍රමුඛ තෙරුවනට පැහැදුනෙමියි දීර්ඝ විස්‌තරයක්‌ කරයි. මෙය ඇසූ ජානුස්‌සෝනි බමුණා රියෙන් බැස උතුරු සළුව එක්‌කොට පොරවා බුදුහිමි වැඩ සිටි දිසාවට වැඳ තුන්වරක්‌ නමස්‌කාර පාඨය කියා නමස්‌කාර කළහ. පසු දිනක බුදුහිමි මුණගැසුන ජානුස්‌සෝනි බමුණාට හස්‌ථිපදෝපම ධර්ම දේශනාව අංග සම්පූර්ණව දෙසූහ.

අද වන් දිනක මිහිඳු මාහිමියන් වහන්සේ දෙවනපෑතිස්‌ රජුට මේ සූත්‍රය දෙසීමෙන් ද රජු ද තෙරුවන් සරණ ගිය උපාසකයකු බවට පත්විය. තෙරුවන් සරණ ගිය උපාසක තෙමේ මින්පසු නිති පන්සිල් රකින්නකු විය යුතුයි.

ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාම මිථ්‍යාචාරයෙන් වැළකීම, බොරුකීමෙන් වැළකීම, රහමෙර පානයෙන් වැළකීම.

මේ පංචශීල ප්‍රතිපදාවයි. පන්සිල් ආරක්‍ෂා නොකිරීම පස්‌ පවයි. මිහිඳු මාහිමි, රජු ඇතුළු පිරිස පන්සිල් හි පිහිටුවා දැමුණු හික්‌මුණු පිරිසක්‌ බවට පත්කර ගත්හ. දෙවනපෑතිස්‌ රජු මුවන් මැරීමේ චේතනාවෙන් පසුපස හඹා යැමෙන් සිදුකර ඇත්තේ බලවත් වරදක්‌ බවෙ මේ මොහොතේ ඔවුහු සිතට තදින් දැනුණා විය හැක. ලොවක්‌ රටක්‌ සමාජයක්‌ පවුලක්‌ තුළ ජීවත්වන මානවයා බුදු දහමේ ඉගැන්වෙන මූලික ප්‍රතිපදාව වන පංචශීලය අනුව ජීවිත හැඩ ගස්‌වා ගන්නේ නම් නිරවුල් සුන්දර ලොවක්‌ නිර්මාණය කරගත හැකි වේ.

බලකාමය, වස්‌තුකාමය ඉදිරියේ මේ ශික්‍ෂාපද රැකීමේ දුර්වලකම් නිසා සමාජයේ ශීඝ්‍ර පරිහානියක්‌ නිර්මාණය වී ඇත. උපන් දා පටන් අප පංසලේදීත්, පාසලේදීත් ආගමික මුහුණුවරක්‌ ගන්නා උත්සවයකදීත් පන්සිල් සමාදන් වෙන්නෙමු. මෙය කරන්නන් වාලේ කරන චාරිත්‍රයක්‌ බවට අද පත්ව ඇත. මෙයින් ලැබෙන යහපත අයහපත ගැන කෙනකු මනා අවබෝධයෙන් කටයුතු කරන්නේ නම් සාරධර්ම අගයන ගුණාත්මක සමාජයක්‌ කරා යා හැක. එවන් සමාජයක අඬදබර, කල කෝලාහල, මිනීමැරුම්, අසමගිකම්, හිංසා පීඩා, බියවැද්දීම්. දූෂණ, පළිගැනීම් ආදී දුර්ගුණ මතු නොවේ.

බුදුදහම අහිංසා ප්‍රතිපදාවකි. හිංසාව හෙළාදකී. මිහිඳු මාහිමි දෙවනපෑතිස්‌ රජුට ඉඳුරාම ප්‍රකාශ කර හිටියේ “මහරජ, ඔබ මේ වනයේ අයිතිකරු නොවේ. භාරකරු පමණි” යනුවෙනි. මිනිසාට පමණක්‌ නොව සතා සිවුපාවටත් සොබාදහමටත් නිදහසේ ජීවත් වීමේ සම අයිතියක්‌ ඇති බව මින් ගම්‍ය වේ. බුදුහිමි ද අවධාරණය කළේ තමා උපමා කොට සෑම සත්වයකුටම හිංසා පීඩා, බිය වැද්දීම්, මැරීම් නොකටයුතු බවයි. මිනිසා විසින් මිනිසා මැරීමට ඇතැම් පුද්ගලයන් අද දරුණු වී ඇති බව පෙනේ. තම දරුවා දෙමාපියන් ද, දෙමාපියන් තම දරුවන්ද, ශිෂ්‍යා ගුරුවරයා ද ගුරුවරයා ශිෂ්‍යා ද සැමියා බිරිඳ ද බිරිඳ සැමියා ද අමු අමුවේ ඝාතනය කරනු ලබයි. මේ සිදුවීම් රටේ පුවත් මැවීමට තරම් ප්‍රධාන කරුණු බවට පත්ව ඇත.

කෙනකු තම ජීවිතය කැප කර යම් වස්‌තුවක්‌ උපයා ගන්නේ තම පවුලේ නඩත්තුව වෙනුවෙනි. මේ බලාසිටින තවෙකකු සොරා ගන්නේ මේ මොහොතේ අපරාධ රාශියක්‌ කරමිනි. ගෙහිමි බිරිඳ, වැඩිවියට පත් හා නොපත් මල් කැකුළුවන් දූවරු දූෂණය කර ඉන් අනතුරුව සියලු දෙනා ඝාතනය කරමිනි.

තම බිරිඳගෙන් සෑහීමකට පත් නොවන ඇතැම් පුරුෂයන් දැන දැන විෂම කාමාචාරයේ යෙදෙති. ඇතැම් ස්‌ත්‍රීන් ද මෙයම අනුගමනය කරති. මින් මතුවන සැකය ඉදිපොකුර බිම ගැසුවා සේ පවුල් සංස්‌ථාව දෙදරා සුණු විසුණු වී යයි. මේ ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලය වන්නේ තම ලෙයින් උපන් දරුවන් මහමඟ අසරණ වීමය.

බොරුවෙන්ම ජීවත් වන්නෝ ද රට තුළ සැරිසරති. අනුන් රවටා මැණික්‌ ගල් යෑයි කියා දිළිසෙන තිරුවානා කැට පෙන්වයි. ගජමුතු යයි නොවටිනා දේ පෙන්නා චතුර ලෙස කතා කර මුළා කර මිල මුදල් ලබා සැඟව යන්නෝ කොතරම් ද මෙබඳු කපටින්ගෙන් බේරීමට ඔබ අප තැනට සුදුසු නුවණින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.

සුරාපානය මුළුමහත් සමාජයම දුගඳගස්‌වන්නකි. සෑම නගරයකම සුරාසල් බහුලව ඇත. මෙය වැඩි උනා යෑයි කියන්නේ පානය කරන්නන්ගේ ප්‍රවණතාවයයි. මින් සිදුවන අනිටු විපාක බොහෝ වෙති. දිළිඳුකම, අසමගිය හඳුනාගත නොහැකි රෝග, සමාජයේ කොන් කිරීම ආදියයි. මෙය හා බැඳුණු මත්කුඩු, අප පාසල්වල ඇතැම් දරුවන්, තරුණයන් විනාශ කර හමාරයි. ඇතැම් දෙමාපියන් කරගත නොහැකි තැන දැත් එකතුකර ඔසවා, දෙස්‌ දෙවොල් කියන්නේ ගෙන්වන්නන්ට, අනුබල දෙන්නන්ට, අලෙවි කරවන්නන්ට ශාප වේවා යනුවෙනි. මෙයම ප්‍රමාණවත් වේදැයි සිතිය යුතුය.

මිහිඳු මාහිමි පොසොන් පෝදා වැඩම කොට පෑතිස්‌ රජු හා පිරිසගෙන් බලාපොරොත්තු වූයේ භෞතික දියුණුවට වඩා මිනිසා හදා රට හදා ගැනීමයි. එනිසා රජු හා පිරිස තිසරණ ගන්වා පන්සිල්හි පිහිටු වූහ. ධර්ම රාජ්‍යයේ මූලික අත්තිවාරම මේ පංචශීලයයි.

පෙරදා අප රට සාරධර්ම පිරුණු තැනකි. යුග ගණනාවක්‌ යනතුරු එසේ විය. ඉතිහාසය එය ප්‍රත්‍යක්‍ෂ කරවයි. වර්තමානය අතිශයින් දුක්‌මුසුය. හොඳ ලොවක්‌ තනා ගැනීමට නම් රාජ්‍ය පාලකයන් අදාළ ආයතන, ගුරු දෙගුරු, භික්‍ෂුන්, වැඩිහිටියන්. ක්‍රියා කළ යුතුව ඇත. නීතිය බලගැන්විය යුතුය. දහම් පාසල් පෝෂණය කළ යුතුය. මේ සඳහා ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලිය. ඇතැම් රටවල වරදකරුවන්ට කස පහර දෙති. ප්‍රසිද්ධ තැන්වල සිටුවා ගල් ගසා මරති. මෙය දකින ඇතැම්හු නැවත අපරාධ නොකරති.

අනුරාධපුර ලංකාරාමාධිකාරි,
උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
රළපනාවේ ධම්මජෝති හිමි

=================================

අශෝක අධිරාජයාගේ ධර්ම දූත සේවාවෙන් ශ්‍රී ලංකාව ලත් දායාද
(02.06.2015 – divaina.com)

ශ්‍රී ලංකාවේ රජකම් කළ දේවානම්පියතිස්‌ස රජුත් භාරත දේශයේ රජකම් කළ අශෝක රජුත් අතර පැවැති සම්බන්ධතාවය මත ක්‍රි. පූ. 03 වැනි සියවසේ මිහිඳු මාහිමියන් මෙම රටට පැමිණීමෙන් බුද්ධාගම මෙහි ප්‍රචලිත විය. මිහිඳු මාහිමියෝ අශෝක රජතුමාගේ පුත්‍රයෙකි. මේ ගැන චීන දේශාටකයන් කියන්නේ උන්වහන්සේ අශෝක රජුගේ සහෝදරයකු බවයි.

මෞර්ය අධිරාජ්‍යයේ සීමාවන් ඉන්දියාවේ පුලිකට්‌හි සිට නැගෙනහිර ඉන්දියාවේ චිතල්ඩ්‍රග් දක්‌වා විහිදී තිබීමෙන්, අශෝක අධිරාජයාගේ 13 වැනි ශිලා ලේඛනයට අනුව සිරියාව, මිසරය, මැසිඩෝනියාව, සිරින්, එපිරස්‌, සයිරේනියාව ආදී විදේශ රටවල්වල පවා තම සම්බන්ධතාවයන් පුළුල්කර තිබිණි.

ශ්‍රී ලංකාවේ රජු අශෝක රජු වෙත පුද පඬුරු සමඟ දූතයින් යෑවීමත්, අශෝක රජු යළි අභිෂේකයක්‌ කරන ලෙසට දන්වා අභිෂේකෝපකරණ ලංකාවට එවීමත් පිළිබඳව වංශ කතාවලින් දැක්‌වෙයි. දේවානම්පියතිස්‌ස රජු ද ලක්‌ රජවරුන් භාවිත කළ “දෙවනපිය” විරුද නාමය ද මින් ලබා ගත්තේය. එය අශෝක රජුගෙන් ලැබුණ නාමයකි. අශෝක රජු ලංකා රජුට එවන ලද පණිවුඩයේ මෙසේද කියා තිබිණි. “මම බුදු සසුනෙහි තෙරුවන් සරණගිය උපාසකයකුව සිටිමි. ඔබත් තෙරුවන් සරණ යන්න” යටකී කරුණු අනුව මිහිඳු මාහිමියන්ගේ පැමිණීමෙන් පසු ලංකාවේ බුද්ධාගම රාජ්‍යාගම බවට පත්විය.

අශෝක රජතුමා ඉන්දියාවෙන් වෙනත් රටවලට බුදු දහම (ධර්ම පණිවුඩය) බෙදාදීමට පෙර එහි පිවිතුරු බව සහතික වනුවස්‌ ධර්ම සංගීතියක්‌ පැවැත්වීය. මෙය බෞද්ධ ඉතිහාසයේ තෙවැනි ධර්ම සංගීතියයි.

අශෝක රජුගේ නව රට ධර්ම දූත මෙහෙවර පිළිගැනෙන සාධකයන් ඉන්දියාවේ පුරාවිද්‍යාත්මක කැණීම් වලින් සොයාගෙන තිබේ. ආචාර්ය කනින්හැම් කියන පරිදි ධර්මදූත ව්‍යාපාරයට සම්බන්ධිත උදවිය සත්‍ය ඓතිහාසික පුද්ගලයන් බව සාංචියේ අංක 02 දරණ ස්‌ථූපය කැණීමේදී සොයාගෙන ඇති ධාතු කරඬුවල ලියෑවුණ අභිලේඛන යන්ගෙන් සනාථ කරයි.

ශපුරිශ (ශ) මොගලි ප්‍රතශ (මෙම කරඬුවෙ තැන්පත් ධාතුන් මොග්ගලී පුත්ත තිස්‌ස නම් සත්පුරුෂයාණන්ගේය) යනුවෙන් එන සඳහන මෙම ධර්ම දූත මෙහෙය මෙහෙයවීයෑයි වංශ කථාවල සඳහන් මොග්ගලී පුත්ත තිස්‌ස මාහිමියන්ද ශපුරිශ (ශ) වඡ්ජි වශ (වඡ්ඡ්ව නම් සත් පුරුෂයාණන්ගේය) යනුවෙන් එන සඳහන ආදී විස්‌තර දීප වංශයෙන් අනාවරණය වෙයි.

මිහින්තලයේ තිබී හමුවූ ශිලා ලේඛනයක වංශ කතාවන්හි ලංකාවට ධර්ම දූතයන් ලෙස පැමිණි මහින්ද, භද්දසාල, ඉට්‌ඨිය, උත්තිය යන තෙරවරුන්ගේ නම් තිබුණ බවට වාර්තාවෙයි. මහින්දා ගමනයට අනතුරුව එහි ප්‍රතිඵලයක්‌ ලෙසින් මිහිඳු මාහිමියන්ගේ නැඟණියක වූ සංඝ මිත්තා මෙහෙණිය විසින් ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩමවාගෙන ආ පුවතද මහින්දා ගමනය තවදුරටත් සනාථ කරයි.

මෙම කරුණු මත ලංකාවේ බිහිවූ රාජ්‍ය ආගම පිළිබඳ සංකල්පය ක්‍රි.පූ. 03 වැනි ශත වර්ෂයේ පටන් සිංහල රාජ්‍යයේ අවසානය වූ 09 වැනි ශත වර්ෂය දක්‌වා වූ කාලය තුළ ලක්‌ සිහසුන බෞද්ධයෙකුට මිස අන් අයෙකුට හිමි වූයේ නැත. මේ වනවිට රජය විසින්ද බුද්ධාගම සුරක්‍ෂිත කොට පෝෂණය කළ යුත්තේය යනුවෙන් 1972 ජනරජ ව්‍යවස්‌ථාවෙන්ද 1978 ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවෙන්ද සහතික කර ඇත.

එළාරයන් අසේල රජු මරණයට පත්කර රාජ්‍ය උදුරාගෙන රජකම් කළේ බෞද්ධයින්ගේ සිත් දිනාගෙනය. වංශ කථාකරුවන් එළාර රජු දැහැමින් රාජ්‍ය කළ රජෙකු හැටියට සලකයි. ෙච්තියගිරිය නොහොත් මිහින්තලයට වන්දනා ගමනක යෙදුණ මොහු පෙර සිරිත් අනුව භික්‍ෂුන් වහන්සේලා හමුවී පුද පූජා කළේය. තම රිය ගමන් ගනිද්දී, රිය කෙළවර ස්‌ථූපයක වැදී කොටසක්‌ කැඩීයැම නිසා ඇමැතිවරුන් ඒ බව රජු වෙත දන්වා සිටින ලදුව, ඔහු රියෙන් වහා බැස රෝදයට යටකර තම හිස සිඳින්නැයි කියා තිබේ. මහරජ පරහිංසාවට බුදුන් වහන්සේ නොකැමැති හෙයින් ස්‌ථූපය යළි සංරක්‍ෂණය කරවා ප්‍රකෘති තත්ත්වයට පත්කිරීම මැනවැයි දන්වන ලදුව එසේ කරන ලදී.

අනුරාධපුර පුවරු ලිපියකින් හෙළිවන තොරතුරුවලට අනුව ක්‍රි.ව. 05 වැනි සියවසේදී ලක්‌දිව රජකම් කළ බුද්දපාරින් නමැති ද්‍රවිඩ රජු තමන් බුදු සමයට අවනත බව පෙන්වීම සඳහා බුදඋස (බුද්ධදාස) යන උපපදනාමය ගත් බව කියෑවෙයි.

මිහිඳු මා හිමියන්ගේ සම්ප්‍රාප්තියෙන් පසු බුදු දහම ලංකාව පුරාම ඉතා ඉක්‌මනින් විසිරී පැතිරී ගියේය. වංශ කථාවල දැක්‌වෙන පරිදි ලංකාව ඇතුළු කාශ්මීර ගන්ධාර දේශය, මහිස මණ්‌ඩලය, වනවාසය, යවන අපරාන්තය, මහා රාෂ්ට්‍රය, යවනරට, හිමවත, සුවණ්‌ණ භූමිය යන දේශවලටද අශෝක රජතුමා විසින් ධර්මදූත මෙහෙවර යෙදීය. හැම රටකටම පාහේ ප්‍රධාන ධර්මදූතයන් වහන්සේ නමක්‌ සමඟ තවත් ධර්මදූතවරු 04 නමක්‌ වැඩියහ.

ලංකාව හා බුරුමයෙන් සොයාගෙන ඇති ශිලා ලේඛනයන්ගෙන්ද අශෝක රජුගේ ධර්ම දූතයන් ඒ ඒ රටවලට ගොස්‌ ධර්මය ප්‍රචාර කළ හැටි ගම්‍යවෙයි. අශෝක රජුගෙන් පසු තම පුතු රජකමට පත්වන්නට සිටියදී පැවිදි බිමට පත්කර බුද්ධාගම ප්‍රචලිත කිරීමට ගත් උත්සාහයත්, සංඝමිත්තා නම් තම දියණිය ලංකාවේ බෞද්ධාගම උසස්‌ තත්ත්වයකට පත්කිරීමට උනන්දු කරවීමත් නිසා අශෝක රජතුමා මෙරටේ බුද්ධාගමට මහත් මෙහෙවරක්‌ කළේය.

දැනට පිරිසිදු ථෙරවාදය පවතින ප්‍රධාන රටවල් දෙකක්‌ ලෙසින් බුරුමය හා ලංකාව ගිණිය හැකිය. බුදු දහම ව්‍යාප්ත කිරීමට අශෝක රජුගේ ධර්ම දූත මෙහෙවර ප්‍රබල විය. මෙම රජතුමා විසින් බෞද්ධ ලොවක්‌ බිහිකරලීමේ කාර්යයට බෞද්ධ කලා ශිල්පයද උපයෝගී කරගත්තේය. කලා ශිල්පයන් මානව වර්ගයාගේ සන්තානයන් කෙරේ බලපෑ හැකි ප්‍රබල මාධ්‍යයක්‌ බව අවබෝධ කරගත් අශෝක රජ තම ජීවිතය පුරාම බෞද්ධ කලා ශිල්පයන් දියුණු කිරීමට ප්‍රයත්න දැරීය. වංශ කථාවලට අනුව අශෝක රජු ලංකාව ඇතුළු අවට ප්‍රදේශවල අසූහාරදහසක්‌ වෙහෙර විහාර කරවූ බවට වංශ කථාවලින් හෙළිවෙයි. සාංචියේ අද දක්‌වාත් ආරක්‍ෂිතව පවතින ස්‌ථූපයද අශෝකයන් විසින් කරවන ලද්දකි.

(බෞද්ධ සංස්‌කෘති ලිපි සරණිය ඇසුරින්)

මීරිගම – ආර්. ඇම්. ටී. බී. රත්නායක

================================

මහින්දාගමනය ශිෂ්ටාචාරය හා සංස්‌කෘතිය
(02.06.2015 – divaina.com)

ශිෂ්ටාචාරය හා සංස්‌කෘතිය යන වචන දෙක වෙනස්‌ අරුත් දෙන පද සේ හැඳින්වීම දුෂ්කරය. එය එසේ වූවත් ඇමෙරිකානු සමාජ විද්‍යාඥ මාක්‌ අයිවර්ගේ හා ඡේඡ්ගේ නිර්වචනය උපුටා දැක්‌වීම වැදගත්ය. ඔවුහු ශිෂ්ටාචාරය උපකරණ අර්ථයෙන්ද සංස්‌කෘතිය සාරධර්ම අර්ථයෙන්ද හඳුන්වනු ලැබූහ. මේබර් නම් දාර්ශනිකයාගේ අදහස නගරය තුළ ඇතිවන ශිෂ්ටත්වය විද්‍යාත්මක හා කාර්මික දැනුම ශිෂ්ටාචාරය බවයි. මෙසපොතේමියානු ශිෂ්ටාචාරය තුළ ජීවත්වූ ජනයා දඩයම් එඩේර යුග පසු කරමින් ගොවි යුගයට එළඹුනාහ. ඒ සමඟම ඔවුහු නව උපකරණ මගින් දියුණුවක්‌ ලැබූහ. එය ශිෂ්ටාචාරයේ දියුණුව ලෙස ඉතිහාසඥයෝ හඳුන්වති.

ඒ අනුව මහින්දාගමනයත් සමඟ ශ්‍රී ලාංකික ජනතාව ශිෂ්ටාචාරයේ දියුණුවක්‌ ලැබූහ. විශේෂයෙන් ගෘහ නිර්මාණ ශිල්පයෙහි ප්‍රවීණයන් වීමට අපට හැකියාව ලැබිණි. අනුරාධපුරයෙහි වටදාගෙය, නගර නිර්මාණ, චෛත්‍ය නිර්මාණ දෙස බැලූ විට එය තවත් සනාථ කිරීමට අවශ්‍ය නොවුණු ඇත. රුවන්මැලි සෑ රජුන්ගේ මනෝහර බව, එහි විද්‍යාමානවන ඉංජිනේරු තාක්‍ෂණය නූතන ලෝකයේ තිබේ දැයි සැක සහිතය.

සමාධි බුදුපිළිමය, පොළොන්නරුවේ ගල් විහාරය ඉදිකිරීමේ දියුණුව පමණක්‌ නොව ශ්‍රේෂ්ඨ කලා නිර්මාණවල කෞෂල්‍ය දැක්‌වීමකි. එවැනි නිර්මාණ ලෝකයේ කොතැනක හෝ තිබේ දැයි සැකයකි.

කෘෂිකර්මය සඳහා නවීන උපකරණ නිර්මාණය කළ ශ්‍රී ලාංකිකයා නොයෙක්‌ නොයෙක්‌ නවීන උපකරණ මිහිතලයට දායාද කිරීමට සමත්විය. ලේඛන කලාවෙහිද අපූර්වත්වයක්‌ පෙන්නුම් කළ හෙළයා වෛද්‍ය විද්‍යාවේද බොහෝ හාස්‌කම් කිරීමට සමත් විය. මේ ආදී වශයෙන් විශිෂ්ට ගණයේ ශිෂ්ටාචාරයක මිහිර විඳ දරාගැනීමට ශ්‍රී ලාංකිකයන්ට වාසනාවේ මංපෙත් විවර වූයේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයත් සමගය.

සංස්‌කෘතිය යනු කුමක්‌ද යන්න බොහෝ වියතුන් මත දරණු ඇත. ඔක්‌ස්ෆඩ් ඉංග්‍රිසි ශබ්ද කෝෂයෙහි “මානසික රුචි හා හැසිරීම පුහුණු කිරීම හා ශෝධනය, සංස්‌කෘති යෑයි නිර්වචනය කොට ඇත. විශේෂයෙන් මලිනොව්ස්‌කි නම් මානව විද්‍යාඥයාගේ සංස්‌කෘතිය පිළිබඳ කළ විග්‍රහය ඉතා වැදගත්ය. විවිධ සමාජ කණ්‌ඩායම් වලට අයත් සංස්‌ථා සන්නස්‌ මනුෂ්‍ය අදහස්‌ හා ශිල්ප විධි, විශ්වාස හා සිරිත් විරිත් සංස්‌කෘතියයි. මෙම නිර්වචනය බොහෝ වියතුන්ගේ සිත් ගත් නිර්වචනයන් බව සිහිපත් කළ යුතුය. සංස්‌කෘතියේ විශේෂ ලක්‍ෂණ කිහිපයක්‌ ඇත. සංස්‌කෘතිය උපතින් ලැබෙන්නක්‌ නොව උගන්නා දෙයකි. එය පරපුරෙන් පරපුරට උගන්වනු ලැබේ. එය සාමාජීය දෙයකි. තෘප්තිය ලබා දෙන්නකි. සමගිය ඇති කරවන සුළුය. මේ සංස්‌කෘතිය ශ්‍රී ලාංකිකයන් සතුව කෙසේ පවතින්නේද යන්න විමසා බැලිය යුතුය.

මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට පා තැබූ මොහොතේම ශ්‍රී ලාංකිකයාට ලබාදුන් පළමු සංස්‌කෘතිමය දායාදය වූයේ සත්වයා කුරිරු ප්‍රාණඝාතයෙන් මුදා ගැනීමේ දායාදයයි. එය කොතෙක්‌ දුරට අප රට තුල සාර්ථක වී ඇත්දැයි තම හෘද සාක්‍ෂියෙන් විමසිය යුතුය. දිනකට මේ පුණ්‍යභූමිය ලක්‍ෂයකට අධික සත්තු ප්‍රමාණයක්‌ ඝාතනය වෙති. නේපාලයේ මහා භූමි කම්පාවට ප්‍රධානම හේතුව වූයේ ඊට පෙර දින පූජාවක්‌ සඳහා කරන ලද ලක්‍ෂ ගණනක සත්ත්ව ඝාතනයයි. අනුබුදු මිහිදු හිමි අපට ලබාදුන් මුල්ම දායාදය රැක ගැනීමට අප උත්සාහ කළ යුතුයි.

මවුපියවරු, දූ දරුවන්, බිරින්දැවරු අෙන්‍යාන්‍ය වශයෙන් කටයුතු කළයුතු ආකාරය පහදා දුන්හ. නිවසක සමාජයක ජීවත් විය යුතු ආකාරය පෙන්වා දුන්හ. පංචශීලයෙහි උදාරත්වය පෙන්වා දෙමින් සමාජයේ පාරිශුද්ධභාවය පෙන්වා දීමට කටයුතු කළහ. මේ සියලු සංස්‌කෘතීන් මහින්දාගමනයත් සමඟ අපට ලැබුණු විශිෂ්ට ගණයේ දායාදයන් බව සිහිතබා ගත යුතුය.

ලෝකයේ කොතැනකවත් දක්‌නට නැති ඉතා අපූර්ව සංස්‌කෘතියක්‌ අප සතුව ඇත. එනම් පුබ්බභාසි, පුබ්බගාසී, පුබ්බකාරි යන ත්‍රිත්වයයි. ශ්‍රී ලාංකිකයා සියල්ලන්ටම පෙර අන් අය සමඟ කතා කරයි. සියල්ලටම පෙර සිනාසෙයි. සියල්ලටම පෙර ක්‍රියාත්මක වෙයි. සිනහව මිල කළ නොහැකි ඉතා අගනා සංස්‌කෘතියකි. එය අප ලාංකිකයා සතුව තිබෙන මිණි පහනක්‌ බව සැවොම සිහි තබාගත යුතුය. මේ උදාර සංස්‌කෘතිය ආරක්‍ෂා කර ගැනීම වර්ධනයකර ගැනීම අප සතු ප්‍රබල වගකීමකි. ඒ සඳහා අප කුමක්‌ කළයුතුද? යන්න සොයා බැලිය යුතුය.

ඔබට යමෙක්‌ ප්‍රශංසා කළොත් ඒ ප්‍රශංසාව හිතින් අත් අරින්න. ඒත් ඒ ප්‍රශංසාව කරපු කෙනාව හොඳින් මතක තියාගන්න. ඒ කෙනා අපට හරිම වැදගත්. මේ තුළින්ම අපේ සංස්‌කෘතිය වර්ධනය වීමට එක්‌ හේතුවක්‌ වෙනු ඇත. එසේම ඔබට කෙනෙක්‌ බැන්නොත් ඒ බැනපු කෙනාව අමතක කර දමන්න. ඒත් ඔබට බැනපු හේතුව හොඳට මතක තියා ගන්න. ඒ බැනපු දේ අපට හරි වැදගත් අපේ සංස්‌කෘතිය සංවර්ධනය කර ගැනීමට පමණක්‌ නොව අනුබුදු මා හිමියන්ගේ ප්‍රකාශයක්‌ මෙසේ සටහන් කරමි. එනම් ළිඳට අත දමා ළිඳ ඉතා ගැඹුරු බව කියයි. නමුත් තමාගේ අත ඒ තරම් දිග නැති බව කියන්නේ නැත. තමාගේ වැරදි තේරුම් නොගෙන අන්අයගේ වැරදි දැකීම තුලින් සංස්‌කෘතිය සංවර්ධනය නොවන බව සිහිකටයුතුය.

සතුට ප්‍රීතිය රැඳී පවතින්නේ ඔබට ලැබෙන දේවලින් නොව, ඔබ අනුන්ට දෙන දේවලිනි. එම ප්‍රකාශය මහත්මා ගාන්ධිතුමන්ගේය. දන්දීම ඉතා අගනා සංස්‌කෘතියක්‌ බව අප පුන පුනා කිවයුතු නැත. දන් දීමේ වටිනාකම බුදුපියාණන් වහන්සේ තරම් දේශනා කළ ශාස්‌තෘවරයකුද නැත. ත්‍රිරෝද රථයක පිටුපස ලියා තිබූ ඉතා වැදගත් වැකියක්‌ මට සිහිවිය.

“දොරවල් විවෘතව තිබුණත් පන්සල්වල මිනිසුන් නැත. සිරගෙවල් වසා තිබුණත් මිනිසුන් එහි පිරී ඇත.“

මෙය සත්‍යයකි. මිහිදු මහරහතන් වහන්සේ පෙන්වාදුන් සංස්‌කෘතියේ සුන්දරත්වය කෙළෙසු නිසා එම ඉරණමට මුහුණදීමට සිදුවූ බව අප මතක තබාගත යුතුය.

ඉමර්සන් නමැති දාර්ශනිකයා කළ ප්‍රකාශයකින් ලිපිය අවසන් කරමි. ශිෂ්ටාචාරයේ සංස්‌කෘතියේ විනාශය යනු මිනිස්‌ සංහතියේම විනාශය බව ඔහු පවසා තිබිණි. අප එය රැකගත යුත්තේ ඒ නිසාවෙනි.

ආචාර්ය ගෝඨයිම්බරගම විජයවංශ හිමි
ශ්‍රී ලංකාරාමය
වාද්දුව

========================================

මහින්දාගමනය සමරමු
(02.06.2015 – divaina.com)

ලෝවැසි සියලුම බෞද්ධයෝ බුදුරජාණන් වහන්සේ පිළිබඳ උපත, බුදුවීම හා පිරිනිවීම යන තෙමඟුල් කරුණු සිහිපත්කරමින් වෙසක්‌ උත්සව හා පිංකම් පවත්වති. ශ්‍රී ලංකා වැසියන්ට ද එය අතිශය වැදගත් කරුණකි. කුමක්‌ හෙයින්ද යත් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවැනි අවුරුද්දෙහි කැලණියට වැඩම කළේ වෙසක්‌ පොහෝ දිනයෙහි නිසයි. මුල් දෙවතාවම වැඩම කළේ බුදුරජාණන් වහන්සේගේම වුවමනා වෙන්වුවද තුන්වැනි වරට කැලණියට වැඩම කළේ එදා කැලණි ප්‍රදේශයේ සිටි නායකයාවූ මණිඅක්‌ත නම් නාග ගෝත්‍රිකයාගේ ආරාධනාවෙන් වීමද අපට අතිශය වැදගත් කරුණකි. අපේ කෙනෙකුගේ ආරාධනයෙන් බුදුරදුන් අපේ රටට වැඩම කළ නිසයි ඒ.

වෙසක්‌ පොහොය මෙන්ම අපට ශ්‍රී ලංකාවට වැදගත් වනුයේ පොසොන් පොහොයයි. වෙසක්‌ පෝදා මුල්කරගෙන බුදුහිමියන් සිහිකර පින්කම් උත්සව පවත්වන අතර පොසොන් පොහොය මුල්කරගෙන ශ්‍රීලංකාවේ අපි අනුබුදු මිහිදු මාහිමියන් සිහිකරමු. තවත් විදියකින් කියතොත් පොසොන් සමයෙහි අපි මහින්දාගමනය එනම් මිහිදු මහරහතන් වහන්සේ අපේ රටට වැඩමවීම සිහිකරමු. එම සැමරීම මහින්දාගමනය පිළිබඳ තතු නුවණින් දැන සිදුකිරීම අතිශයින්ම වැදගත්ය. බුද්ධාගමනය තුන්වරක්‌ සිදුවිය. එය අප රටට අදත් ආශිර්වාදයක්‌ අපට මහා ශක්‌තියකි. මහින්දාගමනය අපේක්‍ෂිත අරමුණු සඵල කර ගැනීමටද බුද්ධාගමනයන් පිටිවහලක්‌ වූවාට සැක නැත.

අපට රටට මිතුරු වෙසින් මෙන්ම සතුරු වෙසින්ද සිදුවූ ආගමන රාශියක්‌ම ඉතිහාසයෙහි වාර්තා වී ඇත. බුද්ධාගමනයන්, විජයාගමනය හා මහින්දාගමනයද අපට මිතුරු වෙසින් සිදුවූ ආගමනයන් ලෙස සැලකිය හැකිය. බුද්ධපරිනිර්වානය සිදුවූ දිනයෙහිම විජයාගමනය සිදුවූ බව මහාවංශ ආදී ඓතිහාසික වාර්තාවල සඳහන් වෙයි. එහෙත් සිංහල ජාතිය විජයගෙන් පැවැතෙන්නේය යන්නෙහි කිසිදු පදනමක්‌ හෝ සත්‍යයක්‌ නොමැත. විජයාගමනය නිසා භාරතය සමඟ ඇතිවූ සබඳතා හේතුවෙන් ශාක්‍යවංශික කුමරියක්‌වූ භද්දකච්ඡානාගේ පැමිණීමත් ඇය විවාහකරගත් එවකට මෙහි රජකම් කළ පණ්‌ඩු දේව රජුගේ දියණියගේ පුත්‍රයාවූ පණ්‌ඩුකාභය මහනුවර රාජධානිය ඇරඹීමත් එවකට මෙහි සිටි යක්‍ෂ, නාග, දේව හා සිංහ යන ජන කොටස්‌ හතර සිවුහෙළයන් එක්‌කොට සිංහල ජාතිය බිහිකිරීමත් පණ්‌ඩුකාභය රජතුමා සිදුකළ ඓතිහාසික මෙහෙවරයි. මහින්දාගමනය සිදුවන විට මෙහි විසුවේ සිංහලයන්ය. ඒ සිංහල ජාතිය අදත් මෙරට බහුතර ජන කොටසයි.

මිහිදු හිමියන් අනුරාධපුර මිහින්තලේ මිස්‌සක පව්වට වැඩම කර එහිදී මුණගැසුණේ එකල මෙරට රජකම්කළ දේවානම්පියතිස්‌ස රජතුමාය. එතුමා දඹදිව ධර්මාශෝක අධිරාජයාගේ නොදුටු මිතුරෙකු වීමද විශේෂ කරුණකි. ඒ නිසා මහින්දාගමනය ධර්මදූත මෙහෙවරක්‌ වශයෙන් සිදුවූවද රජෙකුගේ පුත්‍රයෙක්‌ (මිහිදු හිමියන් ධර්මාශෝක අධිරාජයාගේ පුත්‍රයාය) එම රජුගේ හිත මිතුරු රජුගේ රටට පැමිණීම රාජකීය බවක්‌ද එම ගමනට එක්‌කළ සුවිශේස කරුණක්‌ සේ සැලකිය හැකිය. හොඳම දේ දරුවන්ට වගේම මිතුරන්ටද මිතුරන් විසින් හොඳම දේ දියයුතුය. ඒ අනුව ධර්මාශෝක අධිරාජයා එතුමන්ගේ රටෙහි තිබුණු හොඳ දේ වන බුදුදහම එතුමන්ගේ මිතුරු දේවානම්පියතිස්‌සගේ රටට තම පුත්‍රරත්නය හරහා හොඳම විදියට ලබාදීමක්‌ ලෙස මහින්දාගමනය සිදුවී ඇත. එපමණක්‌ නොව මහින්දාගමනයෙන් පසුව එනම් එම වසරේම උදුවප් මාසයේදී ධර්මාශෝක රජතුමාගේ දියණිය වූ සංඝමිත්තා මහරහතන් මෙහෙණින් වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක්‌ද රැගෙන වැඩම කිරීම එනම් බෝධි ආගමනයද මහින්දාගමනය හා බැදුණු තවත් අපට මිතුරු ආගමනයකි.

වර්තමානයේ බොහෝවිටම කිසියම් රටකින් තවත් රටකට විශේෂයෙන් බලගතු රටවලින් ආධාර උපකාර දායාද ලබාදෙනුයේ ඒවා ලබන රටවල් තුළ තම ආධිපත්‍යය තහවුරු කරගැනීමේ අරමුණින්ය. අඩුම ගණනේ එම රටවල් තමන්ට අවශ්‍ය විදියට ක්‍රියාත්මක වනු දකින අදහසිනි. 2015 ජනවාරි 08 දා ඇතිකළ මෙරට පාලනයෙ වෙනසක්‌ ඇතිකිරීමට සහාය වූ අමෙරිකාව, එංගලන්තය ඇතුළු බටහිර රටවල් හා ඉන්දියාවද මීට හොඳම නිදසුනකි. දැන් මෙරට සිදුවනුයේ එම රටවලට අවශ්‍ය පරිදි මෙරට රාජ්‍ය තන්ත්‍රය මෙහෙයවීමයි. එය කිසිසේත්ම රටට හිතකර නොවේ. මහින්දාගමනය හා බෝධිආගමනය නිසා එවැනි කිසිදු බලපෑමක්‌ ඇතිවූයේ නැත. එම කරුණු පදනම් කරගෙන ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක්‌ ලෙස හෝ ඉන්දියාවේ අවශ්‍යතා පරිදි ක්‍රියාකරන රටක්‌ ලෙස පවත්වාගෙන යැමට ධර්මාශෝක අධිරාජයා කිසිදු උත්සාහයක්‌ දරා නැත. මිහිදු මහරහතන් වහන්සේද ඉන්දියානු පන්සල් මෙහි පවත්වාගෙන යැමට උත්සාහයක්‌ තමා එවැනි හැඟීමක්‌ හෝ ඇතිකරගත් බවට කිසිදු සාධකයන් නොමැත. ඒ වෙනුවට උන්වහන්සේ කළේ බුදුදහම හා බුදු සසුන ආරක්‍ෂා කිරීම හා පවත්වාගෙනයාම සිංහලයන්ට බාරදීමයි. එසේ බාරදුන් හැටිද ඉතිහාසයේ මෙසේ සටහන්වී ඇත.

දේවානම්පියතිස්‌ස රජතුමා ඇතුළු රජ පවුලේ අය හා වැසියන්ද බුදුදහම වැළඳගෙන වෙහෙර විහාරද ඉදිකර ස්‌වාමිනී දැන් මගේ රටෙහි බුදුසසුන පිහිටියේදැයි මිහිදු හිමියන්ගෙන් ඇසූවිට උන්වහන්සේගේ පිළිතුර වූයේ “නැත” යන්නයි. ඒ සඳහා කුමක්‌ කළ යුතු දැයි රජතුමා විමසූ විට උන්වහන්සේ දුන් පිළිතුර හා වැඩපිළිවෙල අතිශයින්ම වැදගත්ය. “මහරජ ඔබේ රටේ දෙව්පියතිස්‌ දරුවෙක්‌ පැවිදි වී විනය දේශනා කරනතුරු ඔබගේ රටෙහි බුදුසසුන පිහිටියාවන්නේ නැතැයි උන්වහන්සේ වදාළහ. ඒ අනුව අරිට්‌ඨ කුමාරයා පැවිදිකරවා මහා විහාර සීමාව ඉදිකරවා උන්වහන්සේ ලවා එහි විනය දේශන කිරීමට රජතුමා කටයුතු යෙදීය. එසේ කරන ලෙස උපදෙස්‌ දීමෙන් මිහිදු හිමියන් කළේ බුදුසසුන ආරම්භකර පවත්වාගෙන යාමේ සම්පූර්ණ වගකීම සිංහල ජාතියට බාරදීමයි. මෙරට සිංහල රජවරු සිංහල බෞද්ධයෝ ඒ මහා භාරදූර කාර්යය වසර දෙදහසකට වැඩිකලක්‌ තිස්‌සේ මැනවින් ඉටුකළහ. අදත් ඉටුකරති. මතුවටද ඉටුකළ යුතුය. මහින්දාගමනය සැමරිය යුත්තේ ඒ උතුම් කාර්යය මතුවටද ඉටුකිරීමේ උතුම් අරමුණ ඇතිවයි.

ආක්‍රමණිකයන්ගේ ආගමනද 16 ක්‌ පමණ ඉතිහාසයෙ සිදුවී ඇත. එයින් ඉතා පැහැදිලිව 10 ක්‌ම දකුණු ඉන්දියානු ආක්‍රමණයි. ඔවුන් සියල්ලෝම පැමිණියේ අපට රටට එරෙහිවයි. රට අත්පත්කරගෙන මංකොල්ල කෑමටයි. චීන ආක්‍රමණය හා බවත් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි) තුනක්‌ද සිදුවී ඇත. ඔවුහුද අප රට පැමිණ විශාල විනාශයන් සිදුකළහ. ඒ සියලුම විනාශයන්ට වඩා ඔවුන් කළ විනාශය වනුයේ මෙරට පැවිදි ගිහි සබඳතාව බිඳ දමා ඔවුන්ගේ මිථ්‍යාදුෂ්ටික මතවාද අපේ ජනතාව තුළ ඇතිකිරීමයි. ඒ හේතුකොටගෙන අද වනවිට ඔලුගෙඩි වශයෙන් සිංහල බෞද්ධයන් බහුතරය වූවද සිංහලකම බෞද්ධකම හද තුළ රදවාගෙන ඒ අනුව ක්‍රියාකරන බුදුසසුන රැක ගැනීමට සිතන අය අඩුබව නොකියාම බැරිය. මේ තත්ත්වය උදාවීමට දකුණු ඉන්දියානු ආක්‍රමණවලට වඩා තදින්ම බලපෑවේ බටහිරයන්ගේ ආගමනයන්ය. මහින්දාගමනයෙන් මනස පුබුදුවාගෙන ඉතිහාසයක්‌ පුරා සම්‍යයක්‌ දුෂ්ටිකයන් ලෙස රට දැය සමය සුරැකීමට ක්‍රියාකළ සිංහල බෞද්ධයන් ඉතිහාස පොතට පමණක්‌ සීමාවන පිරිසක්‌ වේදැයි සැකක්‌ බියක්‌ අප සිත්තුළ ඇතිවෙයි.

මහින්දාගමනය සමරමින් මිහිඳු පෙරහැරවල් හා වෙනත් පිංකම් ආදිය පැවැත්වීම නරක දේ නොවේ. එහෙත් එපමණකින් මහින්දාගමනය සැමරුවාවෙන්නේ නැත. මිහිදු හිමියන්ගේ උපදෙස්‌ මත රට තුළ තහවුරු කළ දුටුගැමුණු රජතුමා විසින් ව්‍යවස්‌ථාපිත කොට එය ආරක්‍ෂා කිරීමට පදනම දැමීම නිසා මෙතෙක්‌ රැකුණු බුද්ධශාසනය බොහෝ දෙනාගේ සුවසෙත පිණිස මතුවටද ආරක්‍ෂා කර තැබීමට මහින්දාගමනය සමරන සෑම සිංහල බෞද්ධයකුම තමුන්ම සිතට ගතයුතුය. ඒ වෙනුවෙන් තම තමන්ට හැකි දෙයක්‌ම කළ යුතුයි. බෞද්ධ පිළිවෙත්වල යෙදිය යුතුය. මහින්දාගමනය සැමරීමේ උතුම්ම පිළිවෙත එයයි.

මහින්දාගමනය හා බැදුණු භාරතයේ ශ්‍රේෂ්ඨ උගතෙකුගේ ප්‍රකාශයක්‌ මෙසේය. මිහිදුහිමි ලබාදුන් දායාදය රැකගැනීම පිළිබඳව ඉන්දියාව ලංකාවට ණය ගැතිය – මහාචාර්ය භාරතසිංහ උපාධ්‍යතුමා. එහෙත් ඉන්දියාව අද සිදුකරනුයේ ඊට හාත්පසින්ම වෙනත් දෙයකි. ඒ උතුම් දායාදය රැකගත් සිංහලයන් ගැන නොතකා බෙදුම්වාදී දෙමළ කණ්‌ඩායම්වලට සහයදීමයි. එහිදී බෙදුම්වාදීන්ට ඉඩදී ශ්‍රී ලංකාවේ පාලකයන්ද ඉන්දියාව පිට හිට ගැනීමද මහා ඛේදවාචකයකි.

– පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

=========================================

දන්සල්වලින් ද… පිංකම්වලින් ද… පිරීගිය අනුරපුර මිහිඳු දවස
(02.06.2015 – divaina.com)

පොසොන් පෝදා හෙවත් “මිහිඳු දවස” සමස්‌ත බෞද්ධ ජනතාව දහම් ගත විය යුතු සිල්වත් විය යුතු වසරේ උතුම්ම දවසයි. සම්බුද්ධ ශාසනයේ ආශිර්වාදය, දර්ශනය හා බෞද්ධ ශිෂ්ඨාචාරය රට පුරා පැතිරුණු අති උතුම් දවස ලෙස “මිහිඳු දවස” අප සලකනු ලැබේ. රාවණා යුගයේ සිට පැවත එන “සූර්ය මංගල්‍යය” මෙන් මිහිඳු යුගයේ සිට පැවත එන බුද්ධාගම හා බෞද්ධ සංස්‌කෘතිය සරණ ගිය බෞද්ධ ජනතාවට අවුරුද්දේ උතුම්ම දිනය ලෙස සැලකිය හැක්‌කේ මිහිඳු දවසයි.

වසර පුරා පැවැත්වෙන සුවිශේෂ කරුණුවලදී එම කරුණට අදාළව වසරේ දිනයක වෙන්කර ඇති පරිද්දෙන්ම බෞද්ධයන්ට සුවිශේෂ වූ පොසොන් දිනය “මිහිඳු දිනය” ලෙස රජය මගින් ප්‍රකාශයට පත්කිරීම සම්බුද්ධ ධර්මයට ද මිහිඳු මාහිමිපාණන්ට ද බෞද්ධ ජනතාවට ද කෙරන රාජ්‍ය ගෞරවය වන්නේය. බොහෝ දරුවන් දිවංගත මවුපියන් සිහිපත් කොට වසරකට වරක්‌ “මව්පිය වන්දනාව” පවත්වන පරිද්දෙන්ම සම්බුද්ධ ධර්මය හා මිහිඳු මාහිමිපාණන් සිහිපත්කොට පොසොන්දාට හෙවත් “මිහිඳු දවස” ට පෙහෙවස්‌ සමාදන් වීමෙන් ද ආගමානුගත වීමෙන් ද සිය දුවා දරුවන්ට සම්බුද්ධ ධර්මය කියාදීමෙන්ද, මිහිඳු අගය කියාදීමෙන් ද දරුවන් ධර්මානුගත කිරීමේ පින්කම් කටයුතු ඉටුකරමින් දුවා දරුවන් බුද්ධ ධර්මයට අනුගත කිරීම හා පෙළගැස්‌වීම ඉතාම වැදගත් වේ. මේ අන්දමට සමස්‌ත බෞද්ධ ජනතාව “මිහිඳු දවස” තුළ කටයුතු කරන්නේ නම් අදට වඩා හොඳ තරුණ බෞද්ධ පරපුරක්‌ හෙට දවසේ අපට දකින්නට ලැබෙනු ඇත.

“මිනිසාට උපකාර කිරීම මිනිසාගේ පරම පිවිතුරු ගුණය බව” සම්බුදු පියාණන් වහන්සේ ලොවට පැහැදිලි කර දී ඇත.

බෞද්ධ දර්ශනයයි. ඉන්දියාවේ මහත්මා ගාන්ධිතුමා ලංකාවේ අනගාරික ධර්මපාලතුමා සහ එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා ද මේ උතුම් බුදු ගුණය නිතර නිතර ජනතාවට සිහිපත් කරදී ඇත. අපේ රටේ සෙසු නායක කාරකාදීන් ද මේ ‘සම්බුදු දහම‘ අනුකරණය කරන්නේ නම් අපේ රට මුළු මහත් ලෝකය තුළම විනීත, සදාචාරානුගත දැහැමි මිනිසුන් වෙසෙන බෞද්ධ රාජ්‍යයක්‌ ලෙස සම්මානයට පාත්‍ර වනු ඇත. මිනිසාට උපකාර කිරීම මිනිසාගේ පරම යුතුකම යෑයි බෞද්ධ දර්ශනයෙන් උගත් පාඩම අදටත් බොහෝ බෞද්ධයෝ අනුකරණය කරති.

මිහිඳු දවසේදී දිවයිනේ හතර දිග්බාගයෙන් අනුරපුරට හා මිහින්තලේට පැමිණ දන්සල් ආදිය පවත්වමින් දාන මානයෙහි යෙදෙන්නේ අපේ උතුම් බුදු බණට අනුගතවීමෙනි. මෙවර මිහිඳු දවස තුළ මිහින්තලේ ද අනුරපුරයේදී ද දන්සල් සියයකට වැඩි ප්‍රමාණයක්‌ පැවැත්වෙන බව වාර්තා වී ඇත. සංවරයෙන් හා ආචාරශීලීව පවත්වනු ලබන දන්සල්වලට ඊට දායක වන බෞද්ධ ජනතාව හදවතින්ම පිං පමුණුවනු නිසැකය. දිය කලගෙඩි 99 ක්‌ ඇද සියවැනි කලය බිඳ නොගැනීමට දන්සල් පවත්වන සැදැහැවතුන් සැලකිලිමත් විය යුතුය.

අනුරපුර පිංබිමේ පිහිsටි අටමස්‌ථානය ඇතුළු සියලු වෙහෙර විහාර ද මිහින්තලේ වෙහෙර විහාර ද බෞද්ධ ජනතාවට පිංකම් කර ගැනීමට විවෘතව පවතී. විශේෂයෙන් අටමස්‌ථානයට ඇතුළු වන දොරටුව ලෙස සැලකිය හැකි ජයන්ති මාවතට යාව ජයන්ති විහාරය පිහිටුවා ඇත. විශේෂයෙන් මිහිඳු සතිය තුළ මිහින්තලේ රාජමහා විහාරස්‌ථානයේ සර්වඥ ධාතු මුල්කොට “මිහිඳු ධාතු” ප්‍රදර්ශනයක්‌ ද පැවැත්වීමට විහාරාධිපති හිමියන් කටයුතු කර ඇත.

පසුකාලීනව “අභයගිරි” මහ සෑරදුන් ඉදිකළ චෝල ආක්‍රමණය නිසා සිය බිසව “සෝමා දේවිය” සමඟ පලායමින් සිටි වට්‌ටගාමිණී අභය රජු ලංකාරාම පෙදෙසේදී සෝමා දේවියට නවතින්නට සලස්‌වා පලාගොස්‌ නැවත චතුරාංග සේනාව එක්‌රැස්‌ කරගෙන චෝලයන් පළවාහැර “මහ කළු සිංහලයා පලා යනවා” යෑයි තමන්ට සමච්චල් කළ “ගිරි” නම් වූ නිගන්ඨයාගේ නම ද සිය නාමය ද ගොනුකොට “අභයගිරි” මහ සෑරදුන් ඉදිකිරීමෙන් ඉක්‌බිතිව සෝමාදේවිය විසූ තැන ලංකාරාමය ද පිහිටුවා ඇත. ලංකාවේ ඉපැරණි චෛත්‍යය වූ ථූපාරාමය ද, දුටුගැමුණු රජතුමන් ඉදිකළ රුවන්මැලි සෑ රදුන්ද, එතුමා විසින්ම ඉදිකළ මිරිසවැටිය සෑ රදුන්ද, අභයගිරි සෑ රදුන්ද, ලංකාරාම සෑ රදුන් ද ඡේතවනාරාම සෑ රදුන් ද අනුරපුර පිංබිමේදී වැඳ පුදා ගැනීමට පුළුවන. එසේම මෑතකදී පැවති යුද්ධයෙන් මියගිය මිතුරු පසමිතුරු සියලු රණවිරුවන්ට පිං පමුණුවමින් “සඳහිරු සෑය” දැන් ඉදිවෙමින් පවතී. මෙම පූජනීය සෑ රජුන් වහන්සේ තුළ ද සර්වඥ ධාතූන් තැන්පත් කර ඇති හෙයින් මෙම නව දාගැබ් වශයෙන් ද වැඳ පුදා ගැනීමට පුළුවන.

මෙවර මිහිඳු සතියේදී අනුරපුර හා මිහින්තලේ පුණ්‍ය භූමිවලට සැදැහැවත් බෞද්ධ ජනතාව හාරලක්‍ෂයක්‌ පමණ පැමිණෙනු ඇතැයි අනුමත කර තිබේ. ඒ කාලපරිච්ඡේදයන් තුළ වැඩිම ජනාකීර්ණත්වයක්‌ එක්‌රැස්‌ වන්නේ අනුරාධපුරය, බුද්ධාලම්බන ප්‍රීතියෙන් සැදැහැ සිතින් එන මේ මහා ජනගංගාව පිළිගැනීමට ඔවුන්ට ආරක්‍ෂාව ලබාදීමට, ආහාරපාන හිඟයකින් තොරව ලබාගැනීමට සෞඛ්‍ය පහසුකම් සලසා දීමට අනුරපුර නව දිසාපති කුමාරසිරි මහතා ඇතුළු මිහිඳු උපසත්කාරක මණ්‌ඩලය පියවර ගෙන තිබේ.

අනුරපුර පිං බිමට එන ජනතාව දැනුවත් කිරීම සඳහා කරුණු කීපයක්‌ සඳහන් කළ යුතුව තිබේ. තමන්ට නිදහස ඇති නිසාම වෛවාරණ ඇඳුම් පැළඳුම්, අඩ නිරුවත් ඇඳුම් ඇඳ පැළඳගෙන, මිහිඳු මහ රහතන් වහන්සේ වැඩ විසූ අනුරපුර පිං බිමට නොපැමිණීමට කවුරු කවුරුත් සැලකිලිමත් විය යුතුව තිබේ. ඇඟ පුරා වැසී යන සුදු ඇඳුම් ඇඳගෙන විහාර දොරටුවෙන් ඇතුළුවන්නේ නම් ඔවුන් සම්බුද්ධ ධර්මයට හා මිහිඳු මාහිමිපාණන්ට ගරු බුහුමන් කළා වන්නේය. සිල්වත් බව, සදාචාරශීලී බව, විනීතබව සිය හැසිරීම් තුළින් ගලා යන්නේ නම් එය ද සම්බුද්ධ හිමිපාණන්ට ගරු කළා වන්නේය.

මේ දිනවල පැවැති අධික වර්ෂාව නිසා තිසාවැව, නුවරවැව, මල්වතු ඔය අතුළු වැව (කුම්බිච්චකුලම්) ලෝකයේ ප්‍රථම වාපිය වූ අභයවැව ආදිය උතුරා යමින් පවතී. “දියේ ගැඹුර නොදැන දියට පනින්න එපා” යෑයි ද පනින්නට පෙර සිතා බලන්න යෑයි ද විශේෂයෙන් නව යොවුන් වියේ ගැටවර පරපුරෙන් ඉල්ලා සිටීමට කැමතිය. විශේෂයෙන් අනුරපුර වැව් හඳුනාගත් පොලිසිය සහ හමුදාව සුරක්‍ෂිතව ස්‌නානය කළ හැකි තැන් දැන්වීම් පුවරු පිහිටුවා ප්‍රදර්ශනය කර ඇත. මෙම සුරක්‍ෂිත ස්‌ථානවලදී වුවත් විශේෂයෙන් ගැටවර වියේ දරුවන් පරිස්‌සම් වීම වටී.

විශේෂයෙන් තවත් අවධාරණය කළයුතු කරුණක්‌ වන්නේ තමන් ගෙන එන සිලි සිලි බෑග්, පොලිතින් බෑග්, ප්ලාස්‌ටික්‌ බඳුන් ආදිය අනුරපුර පිංබිමේ කොතැනකවත් නොදැමීමට සැලකිලිමත් වීමයි. අපේ දේශීය නිෂ්පාදනයක්‌ වූ පැදුරු, හුනු මළු, මාගල් ආදිය අතහැර දමා යන්නේ නැත. එපරිද්දෙන්ම ඵලක්‌ නොවුවත් තමා රැගෙන එන සිලි සිලි බෑග් ආදිය ආපසු රැගෙන ගොස්‌ පිංබිමෙන් පිටතට දමන ලෙස හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිමු. මිහිඳු සතිය පටන් ගැනීමට පෙර පින්බිම මුළුමනින් ශුද්ධ පවිත්‍ර කර ඇත. බෞද්ධ ජනතාව පිංබිමෙන් පිටවී ගිය පසුත් පිංබිමේ ශුද්ධ පවිත්‍රතාව රැකෙන පරිදි කටයුතු කිරීම බෞද්ධ ජනතාවගේ යුතුකමකි.

සාකච්ඡා සටහන : එප්පාවල : රත්න බී. ඒකනායක
පණ්‌ඩිත නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමි
උතුර, උතුරුමැද
දෙපළාතේ ප්‍රධාන
සංඝනායක

==========================================

අටසැටලෙනින් ඇරැඹි මෙරට ලෙන් පූජාව
(02.06.2015 – divaina.com)

ශ්‍රී ලංකා ද්වීපයෙහි සම්බුද්ධ ශාසන ආරම්භය සිදු වූයේ ක්‍රි. පූ. 236 වැන්නේ දී දඹදිව ධර්මාශෝක රජුගේ පුත් මිහිඳු මාහිමි ප්‍රමුඛ ධර්මදූත පිරිසේ ආගමනය සහ මිහින්තලා පර්වත භූමිය ද මුල්කර ගෙනය. ගල් සහ පස්‌ මිශ්‍ර වීමෙන් සෑදුන උස්‌ බිම යන අර්ථයෙන් මෙම ස්‌ථානය මිස්‌සක පබ්බත යන වෙනත් නමකින්ද හැඳින්වේ. අනුරාධපුරයේ සිට සැතපුම් අටකට පමණ දුරින් නැගෙනහිර දිසාවේ පිහිටි මෙම භූමිය සතර බුදුවරයන් වහන්සේලාගේ කාලයන්හි දී දේව කූට, සුමණ කූට, සුභ කූට, පිලය කූට යන නම් වලින් හැඳින්වුණ බව බෞද්ධ පොතපතේ සඳහන්ය.

බුදු සමය පැමිණි සමයේ මෙරට රජ කළ දේවානම් පියතිස්‌ස රජු හමුවීමට මිහිඳු මාහිමි ප්‍රමුඛ ධර්මදූත පිරිස සෘද්ධි බලයෙන් මෙ ස්‌ථානයට වැඩම කළ බවට මහාවංශයේ 13 වැනි පරිච්ඡේදයේ 18.19.20 යන පාලි ගාථාවන්ගෙන් ප්‍රකාශ වේ. පොසොන් පුන් පොහොය දිනක මිහිඳු මාහිමියෝ ඉට්‌ඨිය, උත්තිය, භද්දසාල, සම්බල යන තෙරුණ්‌ වහන්සේලා සිව් නමද සුමණ සාමණේරයන් ද භණ්‌ඩුක උපාසක ද සමඟ සෘද්ධි බලයෙන් පිලයකූටය නම් වූ අබ්බස්‌ තලයෙහි වැඩසිටියේ යෑයි එකී ගාථාවල සඳහන්ය.

එසේ පැමිණි මිහිඳු මාහිමියෝ

සමණා මයං මහා රාජ – ධම්ම රාජස්‌ස සාවකා
තමේව අනුකම්පාය – ජම්බුදීපා ඉධාගතා

යනුවෙන් තමා කවරෙක්‌ද කුමක්‌ සඳහා කොහි සිට පැමිණියේද යන්න මුව දඩයමෙහි පැමිණි දෙවන පෑතිස්‌ රජුට පැහැදිළි කළහ.

මිත්‍ර රජු විසින් තමා හමුවට එවන ලද දූත පිරිස හඳුනාගෙන ගෞරව සහිතව පිළිගත් දෙවන පෑතිස්‌ රජු එම පිරිසට තාවකාලිකව ලැඟුම් ගැනීමට සිය මගුල් ඇත්හල වහා පිළියෙල කර දුන් අතර පිරිසට වස්‌ විසීමට අවශ්‍ය වූ අවස්‌ථාවේ ඒ සඳහා මිහිඳු මාහිමියන්ගේ අනුශාසනය පරිදි මිහින්තලයේ පිහිටි අටසැටලෙන් වස්‌ විසීමට සුදුසු වන සේ සකස්‌ කර පූජා කළ බවටද සඳහන්ය. මේ අන්දමට එදා ලක්‌දිව ආරම්භ වූ ලෙන් පූජාව සතර දිසාවෙහි ම පැතිර ගියෙන් ශ්‍රද්ධා සම්පන්නයෝ භාවනානුයෝගී භික්‍ෂූන් වහන්සේලා උදෙසා ස්‌වභාවික පිහිටි ගල්ලෙන් කටාරම් කොටා පූජා කළහ. ඒ බවට රට පුරා ඒ ඒ ප්‍රදේශයන්ගෙන් හමුවන සාධක අති මහත්ය.

මිහිඳු මාහිමියන් මෙරටට ගෙන ආවේ සම්බුද්ධ ශාසනය පමණක්‌ම නොවේ. ඒ සමඟ එවකට දඹදිව පැවැති බ්‍රාහ්මී අක්‍ෂර මාලාවද මෙරටට ලැබිණි. එම කාලසීමාව තුළම උන්වහන්සේගේ සහෝදරිය වූ සංඝමිත්තා තෙරණිය ශ්‍රීමහා බෝධියේ දක්‍ෂිණ ශාඛාව මෙරටට වැඩම කරවීම ද සිදුවිය. එම ගමනේ දී දහඅට කුලයක කර්මාන්තකරුවන්ද මෙහි පැමිණි බවට ද සඳහන්ය. ගල්වඩු, හීවඩු, කුඹල්, ලොහොකම් ආදියෙහි නිපුණ වූ ඔව්හු මෙහි පැමණීම සමඟම මෙරට විශාල සමාජ පෙරළියකට ලක්‌ වී ඇත. මේ නිසා සංඝයාට ලෙන් පිදීමේ දී ද වැඩි ප්‍රමාණයක ලෙන්හි පූජා කළ අයගේ නම් ගොත් ආදිය සඳහන් වන ලෙස අකුරු කොටා දක්‌වා ඇත.

වැසි දිය ලෙන තුළට කාන්දු වීම් වැළැක්‌වීමට ලෙනෙහි උඩ කොටසේ කටාරම් කොටා ලෙන ඉදිරි පසින් මැටි බිතක්‌ (ගල් කැබලි සහිත මැටි යොදා) තනා වාසය සඳහා සැකසූවේ ලෙන් කලාතුරකින් අවස්‌ථාවක දී එක්‌ භික්‍ෂුවක්‌ මුල් කොට පූජා කළ බවක්‌ දක්‌නට ඇතත් බොහෝ අවස්‌ථාවන්හි “අගත අනගත චතුදිස සගස දිනේ” (ආවාවූද නොආවාවූද සතර දිහාවෙහි සංඝයාට පූජා කරන ලදී) යන පාඨය ලෙනෙහි කොටා ඒ අනුව සතර දිශාවෙහිම භික්‍ෂු සංඝයාට පූජාවක්‌ ලෙස පූජා කර ඇත. සොළී බලය මුලිනුපුටාදමා යළි රාජ්‍යත්වයට පත් වීමට වලගම්බාවනට සහාය වූ මහා තිස්‌ස තෙරුන්ට අභයගිරි විහාරයද එලෙසම කොහොන්තිස්‌ස නම් තෙරුණට මහසෙන් රජු ඉදිකළ ඡේතවන විහාරයද එක්‌ භික්‍ෂුවක්‌ මුල් කොට පූජා කළ බවට සඳහන් වෙනත් ගල්ලෙන් පූජා කිරීමේදී සඟ පුරපුරටම පූජා කිරීම සම්ප්‍රදායක්‌ බවට පත්ව තිබිණි. එසේ වී මුත් එකී සම්ප්‍රදාය ඉක්‌මවා එක්‌ භික්‍ෂුවක්‌ මුල්ගොට ගල්ලෙන් ඵූජා කළ අවස්‌ථාද කලාතුරකින් දැකිය හැකිය. එබඳු අවස්‌ථාවක්‌ ලෙස “සමන බරචද සිලික නගරියන” (බරචන්ද නම් ශ්‍රවණයන් වහන්සේට සිලික නගරවාසීන් විසින් පූජා කරන ලදී) යන බ්‍රාහ්මි අක්‍ෂර කෙටූ ගල් ලෙනක්‌ තිස්‌සව කෝරලේ බැද්දේගමට සමීප ස්‌ථානයක පිහිටා ඇත. මෙහි තවත් විශේෂත්වයක්‌ නම් ඒ සමයෙහි මෙහි “සිලික” නම් වූ නගරයක්‌ තිබීම සහ සමූහයක්‌ එක්‌වී ලෙන සකස්‌ කර පූජා කිරීමත් ය.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේම ඉබ්බාගමුව ආසන්නයේ රංකිරිමඩ නම් වූ රජමහා විහාර භූමියෙහි පිහිටි ගල්ලෙනක බත… උපතිසහ… හා අබනගරි යන … සගස… (උපතිස්‌ස භික්‍ෂුවගේ ගුහාව අබ නගර වැසියන් සංඝයාට පූජා කරන ලදී) යනුවෙන් සඳහන් ව ඇති පාඨයෙන් ද මෙරට පිහිටි “අබ” නම් වූ නගරයක්‌ ගැන සඳහන් වේ.

මෙරටට බුදු සමය පැමිණි සමයේ දී සඟ සතු කර ගල්ලෙන් පිදීම ස්‌ත්‍රී පුරුෂ භේදයකින් තොරව සිදුකර ඇති බවට ද සාධක හමුවේ. “උති අයහ ජිතහ උපශික තිශස ලෙණෙ” (උතිය නම් කුමරුගේ දියණිය තිස්‌සාගේ ලෙන) කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ කුඹුක්‌ගැටේ සිට පොල්පිතිගමට යන ප්‍රධාන මාර්ගයේ පිහිටි කබලෑලෙන (දාගම) විහාර භූමියේ පිහිටි ලෙනක “ගම්කමිතපලස ජිත රේවතී සමතිය ලෙණේ” (මිත්තපාල නම් ගම් ප්‍රධානියාගේ දුව රේවතී විසින් පූජා කළ ලෙන) ආදී වශයෙන් සඳහන් වීමෙන් ස්‌ත්‍රී පක්‍ෂයද ලෙන් පූජාවේදී මුල්වී කටයුතු කළ බවක්‌ දැකිය හැකිය.

අල්පේච්ඡ බව ගල්ලෙන්වල විසූ භාවනානුයෝගීන්ගේ සුවිශේෂී ලක්‍ෂණයකි. දැඩි අධිෂ්ඨානයෙන් නොපසුබට වීර්යයෙන් ක්‍රියා කළ උන්වහන්සේලා බොහෝ විට දැඩි වෘත සමාදන්ව සිටියහ. මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා ලියූ එක්‌ ග්‍රන්ථයක ඒකාසන වෘතය (නිදීම හිඳීම ආදී ඉරියව් සඳහා එකම අසුනක්‌ පරිහරණය කිරීම) ගත පච්චාගත වෘතය (භාවනා අරමුණකින් යම් ස්‌ථානයකට වඩින විට අරමුණ වෙනස්‌ වී නම් ආපසු ගොස්‌ නැවත අරමුණෙහි පිහිට යළි ගමන ආරම්භ කිරීම) පිණ්‌ඩපාතික වෘතය (පිඬු සිඟා ගැනීමෙන් පමණක්‌ම යෑපීම) ආදී වූ දැඩි වෘත ගැන සඳහන්ය. මහනුවර යුගයේ වැඩවිසූ සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේ ද මෙම පිණ්‌ඩපාතිකව ජීවත් වීමේ වෘතය සමාදන් වී සිය ජීවිත කාලය පුරාවටම එය ආරක්‍ෂා කළ බවට පොත්වල සඳහන්ය. අරන්කෙළිය හෙවත් ආරණ්‍ය ක්‍රීඩාව යනු කලින් සඳහන් කළ ලෙස වන සෙනසුනක පිහිටි ගල්ලෙනකට වැඳ තනිව භාවනානුයෝගීව විසීමය. සිංහල සාහිත්‍යයෙහි දහම්ගැට යනුවෙන් හැඳින්වෙන පද්‍ය විශේෂයෙකි. ඒ අතරින් එකකි.

පෙර එක්‌ දෙමස්‌සෙක්‌ – දන්දීලාම සමණේ
දැන් සතරක්‌ ලද්දු – වරෝරන් කෙළියට දැරියනේ

මෙහි වචනාර්ථය ඉක්‌ම යන වෙනත් අරුතක්‌ ද ඇත. පෙර මස්‌ඇස්‌ දෙකක්‌ දන් දුන් බෝසතාණෝ පසුව උතුම් වූ ශාස්‌තෲ පදවිය ලැබූහ. බුද්ධිමතුනි ආරණ්‍ය ක්‍රීඩාවට හෙවත් ආරණ්‍යගතව භාවනා කිරීමට යොමුවන්න යනු එහි සැබෑ අරුතය. මෙකල ද රැවන්ගිරිකන්ද, නාථගනේ, මාලිගාතැන්න, දිඹුලාගල ආදී ස්‌ථානහන්හි භාවනානුයෝගී භික්‍ෂූහු වැඩවාසය කරති.

ඩී. ඒ. ටී. බී. දේවසිංහ
විශ්‍රාමික විදුහල්පති

=================================================

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *