ඉන්දියාව උගුල අටවයි….

(11-03-2013 12:02 +0530 – lankacnews.com)

ජිනීවාහිදි පැවැත්වෙන 22 වැනි මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡන්දය ප‍්‍රකාශ කරන බව මේ වන විට නිවේදනය කොට ඇත. නමුත් එවැනි තීන්දුවකට පසුව ශ‍්‍රී ලංකාවේ මහජනතාව අතර ප‍්‍රබල ඉනන්දියානු විරෝධයක් ගොඩනැගෙන බව ඉන්දියාව ඉතා හොඳින් දන්නා කරුණකි. එම තත්වයට මුහුණ දීම සඳහා ඉන්දියාව විසින් ඉතා සුක්ෂම සැලසුමක් සකස් කොට ඇති බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයින් සැක පහළ කරමින් ඇත. එම සැලසුමට අනුව ඉන්දියාව කරන්නට බලාපොරොත්තු වෙනවා යැයි සැක කෙරෙන්නේ මුලින් දැඩි ස්ථාවරයක් පෙන්වා පසුව මෘදු ස්ථාවරයක් දක්වා ගමන් කිරීම හරහා ශ‍්‍රී ලංකාව උගුලකට කොටු කර ගැනීමයි. වෙනත් වචන වලින් කියනවා නම් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බිම හෙලීමේ උපාය මාර්ගයක් අනුගමනය කොට ශ‍්‍රී ලංකාව අමාරුවේ දමන අතර ශ‍්‍රී ලාංකික ජනතාව අතර තම ප‍්‍රතිරූපයද බේරා ගැනීමට ඉන්දියාව සැලසුම් කරන බව පෙනේ.

දැනට යම් පමණකට එළිදරව්වී ඇති එම උපාය මාර්ගයට අනුව ඉන්දියාව සහ ඇමෙරිකාව අන්න්‍යෝන්‍ය එකඟතාවයෙන් යුතුව ශ‍්‍රී ලංකාවට විරුද්ධව ගෙන එන යෝජනාවට බරපතල කාරණා ඇතුල් කරනු ඇත. ඉන් පසුව ඉන්දියාව ’’හොඳ මිනිසාගේ’’ භූමිකාව රඟපාමින් එම යෝජනාවලියේ බරපතලකම අඩුවී පෙනෙනලෙස ඒවා සංශෝධනය කිරීමට ඉදිරිපත් වනු ඇත. ඉන්පසු තවත් රටවල් කිහිපයකද මැදිහත්වීම මත එම ’’සංශෝධිත යෝජනාවට’’ ඡුන්දයකට නොගොස් එකඟ වන ලෙස ශ‍්‍රී ලංකාවට බලපෑම් කෙරෙනු ඇත. එහිදි ඇමෙරිකානු යෝජනාවට එරෙහිව ඡුන්දයක් ඉල්ලා සිටියහොත් ශ‍්‍රී ලංකාව අනිවාර්යෙන්ම පරාජයට පත් වන නිසා ඡුන්දයකට නොගොස් ඒවා බාර ගැනීම වඩා සුදුසු බවට විවිධ පාර්ශව වලින් තර්ක ඉදිරිපත් වනු ඇත. එම තර්ක සාධාරණීකරනය කිිරීම සඳහා දැනටමත් ශ‍්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයේ යම් නිලධාරීන් කණ්ඩායමක් තාක්ෂණීකව කරුණු ඉදිරිපත් කරන බවද මේ වන විට වාර්තා වේ. එසේ යටත් වීම මගින් ශ‍්‍රී ලංකාවට සහනයක් ලබා ගත හැකි බව ඔවුන් ඉදිරිපත් කරන ප‍්‍රධාන තර්කයක් බව පෙනේ.

නමුත් ශ‍්‍රී ලංකාව ඉන්දියානු-ඇමෙරිකානු යෝජනාවට කැමැත්තෙන්ම එකඟ වුවහොත් එහි අඩංගු කරුණු සියල්ල ඉටු කිරීමට අන් රටවල් ඉදිරියේදී දැඩි සදාචාර බැදීමක් ඇතිවේ. එම තත්වය යෝජනාවට විරුද්ධ වීමේන් පසුව එය බලහත්කාරයෙන් ශ‍්‍රී ලංකාව මත පැටවීමට වඩා බරපතල තත්වකි. ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග ශ‍්‍රී ලංකාවට එරෙහිව දියත් කොට ඇති යටත් කිරීමේ මෙහෙයුම තුළ ඔවුනට ඉතා වැදගත් වන්නේ ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීම සඳහා නීතිමය සහ සදාචාරමය ඉඩක් විවෘත කර ගැනීමය. ඔවුන්ගේ අවසාන අරමුණ වන රට බෙදා වෙන් කිරීමේ ‘‘සුඩාන ක‍්‍රමවේදය‘‘ සැබැවින්ම ආරම්භ වන්නේ ඒ ආකාරයට ජිනීවා යෝජනා හරහා ශ‍්‍රී ලංකාවට අත පෙවීමට ඉඩ ලබාගත් පසුවය.

ඒ අනුව මෙවර යෝජනාවේ ප‍්‍රධාන අංගය වන්නේ එක්සත් ජාතීන්ගේ විශේෂ බලයලත් නිලධාරීන්ට ඕනෑම අවස්ථාවක ශ‍්‍රී ලංකාවට ඇතුල්වී ක‍්‍රියාමාරි්ග ගැනීම සඳහා විවෘත ආරාධනාවක් ලබා ගැනීමය. මීට පෙරද එවැන්නක් සඳහා උත්සාහයක් ගැණුනු බව රහසක් නොවේ. ශ‍්‍රී ලංකා රජය එදා ඒ උගුලෙන් බේරුණත් මෙදා නැවත වටයකින් වඩාත් ප‍්‍රභල ලෙස ඒ දෙසට රජය තල්ලූ කිරීමට ක‍්‍රියා කරන බවට සැකයක් නැත. දෙවන අංගය මානව හිමිකම් කොමසාරිස්ගේ කාර්යාලයේ ශාඛාවක් ශ‍්‍රී ලංකාවේ විවෘත කිරීමය. ඒ සඳහාද 2008 වසරේදී ඉල්ලීමක් ඉදිරිපත් කෙරුණු නමුත් ප‍්‍රතික්ෂේප විය. නමුත් මෙවරද වඩාත් වැඩි පීඩනයක් යටතේ එම උත්සාහය ගනු ඇත. ඉන්දියානු-ඇමෙරිකානු යෝජනාවේ තුන්වෙනි අංගය විය හැක්කේ ශ‍්‍රී ලංකාවේ නිලධාරීන් සහ මුලින් සඳහන් කළ එක්සත් ජාතීන්ගේ විදේශ බලයලත් නිලධාරීන් එකට එක්ව ඒකාබද්ධ ක‍්‍රියාකාරී යාන්ත‍්‍රණයක් සකස් කිරීමය.

මෙම ඒකාබද්ධ යාන්ත‍්‍රණය සාධාරණීකරනය කිරීම සඳහා පසුගිය මර්තු මස සම්මත වු ඇමෙරිකානු යෝජනාවට අදාල පසු විපරම් වාර්තාවද යොදාගනු ඇත. පසුගිය වතාවේ යෝජනා වුයේ විවෘත ආරාධනාවක් නොමැතිව විශේෂ ඉල්ලීම මත පැමිණෙන එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් ශ‍්‍රී ලංකාවට උපදෙස් දිය යුතු බව සහ ශ‍්‍රී ලංකාව එම උපදෙස් භාර ගත යුතු බවකි. හැනී මෙහාලී නැමැති විශේෂ බලයලක් නිලධාරියා ශ‍්‍රී ලංකාවට පැමිණියමුත් ශ‍්‍රී ලංකාවෙන් ඉදිරිපත් වු ක‍්‍රියාකාරී සැලැස්ම ක‍්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීමට හෝ ඊට ඍජුව මැදිහත්වීමට එම නිලධාරියාට අවස්ථාව ලැබුනේ නැත. ඒ අනුව මෙවර ඔවුන් ඒ වැරදි දෙකම නිවැරිදි කිරීම සඳහා මෙම ඒකාබද්ධ යාන්ත‍්‍රණය යොදා ගනු ඇත. එනම් ඒකාබද්ධව ක‍්‍රියාකාරී සැලසුම නැවතත් සකස් කිරීමට සහ ඒකාබද්ධව එම ක‍්‍රියාවලිය අධික්ෂණය කොට වාර්තා කිරීමට ඔවුන් උත්සාහ ගනු ඇත.

ශ‍්‍රී ලංකාව ඔවුනට අවශ්‍ය ප‍්‍රමාණයට යටත් නොවුවහොත් ඊළඟ සමුළුවේදී එනම් ලබන ජනාධිපතිවරණය ආශ‍්‍රීතව ඔවුන් දියත් කිරීමට නියමිත මෙහෙයුමට සාපේක්ෂව ජාත්‍යන්තර යාන්ත‍්‍රණයක් සඳහා යෝජනා ගෙන එනු ඇත. එහෙත් ඉනදියාව සහ ඇමෙරිකාව එක්ව අටවන මෙම උගුලට මෙම මාර්තුවේදීම පය තැබුව හොත් ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග වලට වැඬේ පහසු වනු ඇත. ඔවුනට පළමු වටයේදී අවශ්‍ය වන්නේ ශ‍්‍රී ලංකාවේ අභයන්තර කටයුතු වලට ඇඟලි ගැසීමට ඉඩ සලසා ගැනීමය. යුධ අපරාධ චෝදනා එන්නේ ජනාධිපතිවරණයට පසුව බව ඇලන් කීනත් නැමැති ජාත්‍යන්තර බෙදුම්වාදී විශේෂඥයා පසුගියදා පවසා තිබුණි.

කෙසේ වෙතත් මෙවර සමුළුවේදී බලපෑම් වලට ශ‍්‍රී ලංකාව යටත්වී ඉන්දියානු උගුලට පය තැබුවහොත් උදාවන්නේ යුද්ධය පැවැති කාලයේදී තිබු තත්වය බවට කිසිදු සැකයක් නැත. එනම් එරික් සොල්හයිම් ඇතුලූ ඊනියා සම සභාපතිවරුන් ශ‍්‍රී ලංකාවේ කටයුතු වලට මැදිහත් වු ආකාරයේ තත්වයකි. එය කිසිසේත්ම ආපසු හැරවිය නොහැකි තත්වයක් බව ඉතා පැහැදිලිය. පය තැබීමට ඉඩ දුනහොත් දිගින් දිගටම තම කටයුතු දිගු කර ගැනීමට ඔවුන් කටයුතු කරනු ඇත. එවිට ඔවුන් ආපසු යැවීම හෝ වීසා නොදී සිටිම හෝ ඔවුනට බාධා කිරීම පහසු වන්නේ නැත.ඒ නිසා කළ යුතුව ඇත්තේ උගුල කුමක්දැයි ඉතා හොඳින් තේරුැම් ගෙන ඊට පය නොතබා සිටීමය. එවිට මතුවන තර්කය වන්නේ යෝජනාවෙන් ශ‍්‍රී ලංකාව පරාජය වු පසුව එම බලපෑමෙන් මිදෙන්නේ කෙසේද යන්නයි. නමුත් එවිට ඉන්දියාවට සහ ඇමෙරිකාවට සිදු වන්නේ බලහත්කාරය යෙදවීමටය. නමුත් එය යටත්වීමේදී පෑගිම තරම් පහසු ක‍්‍රියාවක් නොවේ. ඊට මුහුණදීම සඳහා ප‍්‍රධාන වශයෙන්ම අවශ්‍ය වන්නේ මහජන සහයෝගයයි. ඒ නිසා අද රට ඉදිරියේ අටවා ඇති උගුල පිළිබඳව රජය විසින් මහජනයා ඉතා හොඳින් දැනුවත් කළ යුතුව ඇත. ඒ දැනුවත් කිරීමට සාපේක්ෂව රජය ස්ථීරසාරව කොන්ද කෙලින් තබා ගෙන ජාත්‍යන්තර බලපෑමට මුහුණ දෙන්නේ නම් ජනතාව රජය සමඟ එකට සිටගනු ඇත.

නමුත් දැන් සිදුවන ආකාරයට 13 වැනි සංශෝධනය තුළ පවතින භයානක බෙදුම්වාදී ලක්ෂණ එසේ තිබියදීම උතුරේ පළාත් සභා පවත්වන බව යම් පාර්ශව විසින් ප‍්‍රකාශ කිරීම මඟින් ජනතාවගේ විශ්වාසය පළුදු කරනු ඇත. බෙදුම්වාදයේ ජයග‍්‍රහණයට අවශ්‍ය පළමු පුර්ව කොන්දේසිය උතුරේ පළාත් සභා බෙදුම්වාදී බලවේග විසින් අත්පත් කර ගැනීමය. එය සුනාමි සහන මණ්ඩලය හෝ තාවකාලික ආණ්ඩුව පිහිටුවීමට වඩා බරපතල තත්වයක් බව ජනතාව වැඩි කලක් නොගොස් තේරුම් ගනු ඇත.

එම නිසා එම වරද ජිනීවාවලදී වරද්දවා ගැනීමටත් වඩා විශාල වරදක් බවට සැකයක් නැත. ජිනීවා වලදී ඉන්දියාව සහ ඇමෙරිකාව අපෙන් උදුරා ගන්නේ යතුර නම් බෙදුම්වාදී ලක්ෂණ සහිත පළාත් සභාව පිහිටුවීම යනු බෙදුම්වාදී දොර ඇරීම සඳහා පාවාඩ එලීමක් ලෙස හඳුනා ගැනීමේ වරදක් නැත. එය ඉතා පැහැදිලිවම යුද ජයග‍්‍රහණය පාවාදීමක් ලෙස ජනතාව හඳුනා ගනු ඇත. එසේ වුවහොත් ජාත්‍යන්තරයට ඉතිරි ගනුදෙනු බේරා ගැනීමට සිදු වන්නේ ජන පදනමක් නොමැති රජයක් සමඟය. එසේ වුවහොත් ජත්‍යාන්තර බෙදුම්වාදී බලවේග පැත්තෙන් ගත් විට එය දැන් පවතින තත්වයට වඩා ඉතා පහසු තත්වයක් උදාවීමකි. ඒ අනුව යුද්ධයෙන් රට බෙදීමට වසර 30 ක් ගතවුවත් මානව හිමිකම් හරහා රට බෙදීමට වසර 03 ක් වත් ගත නොවෙනු ඇත.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
(මහ ලේකම්, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *