හලාල්කරණයෙන් ආහාර සංස්කෘතිය වැනසේ ද ? – උදය ගම්මන්පිල සූරීන් විසින්

(12-03-2013 – lankacnews.com)

මා යොවුන් විය ගත කළේ අතුරුගිරියේ සඳසිරිපුරයි. අපේ නිවස ඉදිරිපිට විසූ ජයසිංහ පවුල සිංහල බෞද්ධ ය. වම් පසේ නිවෙසේ වසන සීනන් පවුල මැලේ ඉස්ලාම් ය. දකුණු පස වසන අලි පවුල මුස්ලිම් ඉස්ලාම් ය. පසුපස නිවෙසේ වසන මස්ප‍්‍රට් පවුල බර්ගර් කතෝලික ය. ආගම ජාතිය වෙනස්වීම අපේ සුහදතාවයට බාධාවක් නො විණි. අප වෙන්වී කළේ ජාතික ආගමික උත්සව සැමරීම පමණි. එහෙත් එම උත්සව ද අපේ සමඟිය වඩාත් තහවුරු කිරීමට හේතු විය.

සිංහල අලුත් අවුරුද්දට අපි කැවුම් කිරිබත් දීසි අන්‍යාගමික නිවෙස් කරා ගෙන ගියෙමු. එමෙන් ම නත්තල් සමයේ කේක් සමඟ නත්තල් සාදයක් භුක්ති විඳීමට අපට හැකි විය. රාමසාන් සමයේ දී ඉස්ලාම් නිවෙස්හි බුරියානි සහ වටලප්පන් සමඟ අපට දිව පිනවන ආහාර වේලක් අනිවාර්යයෙන් ම ලැබේ. වෙසක් සමයේ අප සංවිධානය කරන දන්සැල් හි ආරාධිත අමුත්තන් වන්නේ අන්‍යාගමික අසල්වැසියෝ ය. ඔවුන් අපේ දන්සැල් භුක්ති විඳීමෙන් අපි අපමණ සතුටක් ලැබුවෙමු. අපේ උත්සව සමයන්හි එම නිවෙස්වලට ආහාර පිඟන් යවමින් ද ඔවුන්ගේ උත්සව සමයන්හි ආහාර පිඟන් ලබමින් ද ජාතික සහ ආගමික උත්සව සැමරීමෙන් එකී උත්සව ජාතික සමඟිය වැඩීමට හේතු විය.

මට පාසලෙන් ලැබුණේ ද ඊට සමාන අත්දැකීමකි. මා උගත් කොළඹ ඞී.එස්. සේනානායක විදුහලේ සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි මාධයයන්ගෙන් ඉගෙන ගත් සෑම ආගමික කණ්ඩායමක් ම සිටියහ. කොළඹ සහිරා විදුහලට පමණක් දෙවැනි වූ මුස්ලිම් සිසුන් පිරිසක් සිටි එක ම ජාතික පාසල අපේ පාසලයි. සිංහල හඬ නඟන ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් ධූරය මට ලැබෙන විට මුස්ලිම් හඬ නඟන මුස්ලිම් කොංග‍්‍රසයේ නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් ධූරය ලැබුවේ අප පාසලේ සොහොයුරෙකු වන නිසාම් කාරියප්පර් ය.

ඇසළ පෝ දිනට බෞද්ධ අපි දස සිල් සමාදන් වුණෙමු. අපට දන් බෙදා උවැටන් කළේ අපේ මුස්ලිම් සොයුරෝ ය. එදිනට කවුරුත් කෑවේ දන් බත් ය. අපි නත්තල් කැරොල් අසමින් කේක් කෑ අතර රාමසාන් උත්සවයේ දී බුරියානි බත් මුල කිසි දින අපට වැරැදී නැත. එමෙන් ම තෛපොංගල් දිනයට විවිධ වඩේ වර්ග අපි රස බැලූවෙමු. එබැවින් ඞී. ඇස්. විදුහලේ බෞද්ධයින් මෙන් ම අබෞද්ධයින් ද ඇඟිලි ගනින්නේ ඇසළ පෝ දින උදාවනතුරු ය. ඒ සිල් ගැනීමට නො ව දන් බත් ගිලීමට ය. එමෙන් ම දිව පිනවන හෙයින් බෞද්ධ අපට තෛපොංගල්, රාමසාන් හා නත්තල් ද අතිශයින් ම වැදගත් උත්සව විය.

ආහාර හුවමාරු සංස්කෘතිය ජාතික සමඟිය ගොඩනැඟුවේ කිසි ම බල කිරීමකින් තොර ව නිහඬව ය. නෝර්වේ ආධාර ලබන රාජ්‍ය නො වන සංවිධානයක් කිසි ම දවසක අපට ජාතික සමඟිය පිළිබඳ දේශන නො පැවැත්විය. ජාතික සමඟිය පිළිබඳ චිත‍්‍රපට අප දැක තිබුණේ නැත. ජාතික සමඟිය පිළිබඳ පොත් අප කියවා තිබුණේ ද නැත. අවම වශයෙන් ‘ජාතික සමඟිය’ යන දෙපදය අප අසාවත් නොතිබුණි. එහෙත් ආහාර හුවමාරු සංස්කෘතිය විසින් අපටත් හොරා අප අතරේ ජාතික සහ ආගමික සමඟිය ගොඩවඟ තිබුණි.

8 ශ්‍රේණියේ දෙමළ මාධ්‍ය පන්තිය වුණේ ‘ඩී’ පන්තිය යි. 1983 දී ජාතිවාදී කලබල විදුහල තුළට පැමිණෙතියි අපි බිය වුණෙමු. එබැවින් 1983 ජූලි 25 දින අපි දෙමළ මිතුරන්ගේ දෙමවුපියන් ඔවුන් රැගෙන යනතුරු 8 ඩී පන්තියට තනි රැක්කෙමු. එදින මා සමඟ සිටි සුගන්දන් ලොව කොතැනක ජීවත් වේදැයි මම නො දනිමි. ඔහු කොතැනක ජීවත් වුවත් මෙම සිදුවීම අනිවාර්යයෙන් ම ඔහුගේ මතකයේ සටහන් වී ඇති බව මට විශ්වාසය. එදා දෙමළ මිතුරන් රැකීමට අප පෙළඹවූයේ ආහාර හුවමාරු සංස්කෘතිය හරහා අප අතර ගොඩනැඟුණු මිතුදමයි.

හලාල්කරණය විසින් විනාශ කරමින් සිටින්නේ මෙම ජාතික සමඟියේ පදනමයි. මෙවර සිංහල අලුත් අවුරුද්දට අපට ඉස්ලාම් මිතුරන්ට කැවුම් කිරිබත් පිඟන් යැවීමට නො හැකි වනු ඇත. අප කිරිබත් පිසින්නේ හලාල් භාණ්ඩ භාවිත නො කර බැවින් මෙම වසරේ අප ආහාර පිඟන් යැව්වොත් ඔවුන් ඒවා ඉවත දමනු ඇත. නව වසරේ නැකතට පිසූ කිරිබත් ඉවත දැමීම අපට අසුභ ලකුණකි. එමෙන් ම මෙවර දන්සැල් ඉඳුල් කිරීමට අපට ඉස්ලාම් මිතුරන්ට ඇරයුම් කළ නොහැක. මන් ද අප දන්සැල් ආහාර සකසන්නේ හලාල් ක‍්‍රමයට නො වන බැවිනි. ඉහත විග‍්‍රහයෙන් පෙනෙන්නේ හලාල්කරණය විසින් අපේ ජාතික සමගියේ පදනම වන ආහාර සංස්කෘතිය බිඳ දමමින් සිටින බවයි.

අපේ ආගමික පිළිවෙත් ප‍්‍රතික‍්‍රියා හරහා බිහිවී ඇත. තරුණ බෞද්ධ සංගමය බිහි වූයේ ඉංග‍්‍රීසි යුගයේ රට පුරා ව්‍යාප්ත වුණු තරුණ ක‍්‍රිස්තියානි සංගමයට ප‍්‍රතිචාරයක් වශයෙනි. එමෙන් ම භක්ති ගීත බිහි වූයේ නත්තල් කැරොල් සඳහා ප‍්‍රතිචාරයක් වශයෙනි. එබැවින් හලාල් ලකුණට ප‍්‍රතිචාරයක් වශයෙන් තමන් පාවිච්චි කරන්නේ පිරිත් කර බුද්ධ පූජාව පවත්වා ඒ බව දැක්වීමට ධර්ම චක‍්‍රය මුද්‍රණය කර ඇති භාණ්ඩ පමණකියි බෞද්ධයන් පැවසීමට ඉඩ ඇත. එමෙන් ම යාඥා කර භාණ්ඩ නිෂ්පාදනය කළ බව දැක්වීමට කුරුස ලකුණත්, ස්තෝත‍්‍ර ගයා භාණ්ඩ නිෂ්පාදනය කළ බව දැක්වීමට ත‍්‍රිශුල ලකුණත් පිළිවෙළින් කිතුණුවන් හා හින්දුන් ඉල්ලීමට ඇත. ඉස්ලාම් බැතිමතුන් ඉල්ලන දෙයක් වෙනත් ආගමිකයින් නො කරතියි සිතිය හැක්කේ කෙසේ ද?

එවිට සමාජයේ සියලු ම අලෙවිසැල් හා ආපනශාලා ආගම අනුව බෙදෙනු ඇත. සමස්ත සමාජය තුළ ආගම් පදනම් කරගත් බෙදීමක් ඇතිවනු ඇත. පිරබාහරන් වෙර දැරුවේ මේ රට භූගෝලීයව බෙදීමට යි. එහි වැඩි බලපෑම තිබුණේ උතුරු සහ නැගෙනහිර ජනතාවටයි. නමුත් උලමාවරුන්ගේ හලාල්කරණය ව්‍යාපෘතිය යටතේ සමස්ත ජනතාව සාමාජීය බෙදීමට හෙයින් එය පිරහාබරන්ගේ භූමිය බෙදීමේ ව්‍යාපෘතියටත් වඩා භයානක ය.

1624 දී පෘතුගීසීන් විසින් වෙරළබඩින් නෙරපූ මුස්ලිම්වරුන් 4,000 ක් සිංහලේ රාජධානියට සෙනරත් රජු විසින් භාරගන්නා විට ඔවුන් හලාල් ආහාර ඉල්ලා සිටියේ නැත. 1990 දී මුස්ලිම්වරුන් උතුරින් නෙරපූ විට පුත්තලම් සහ අනුරාධපුර දිසාවන්ට පැමිණි විට ඔවුන්ට නවාතැන් ලබා දුන්නේ සිංහලයෝ ය. එදා ඔවුන්ට සිංහලයින් පිරිනැමූ ආහාර හලාල් දැයි කිසිවෙකු විමසුවේ නැත.

2004 දී සුනාමි උවදුරට වඩාත් ගොදුරු වුණේ මුස්ලිම්වරු ය. සිය නිවාස අහිමි වී අවතැන් වූ ඔවුන් පදිංචි වූයේ පන්සලේ බණ මඩුවේ ය. සිංහල උරුමය ලෙස අපි ද අවතැන් වූ අයට සංවිධානාත්මක ව ආහාර ලබා දුන්නෙමු. එම ආහාර කිසිවෙක් හලාල් දැයි කිසිවෙක් අපෙන් ප‍්‍රශ්න නො කළහ. තුති පුදමින් එම ආහාර භාරගත්තා මිස කිසිවෙක් එම ආහාර ප‍්‍රතික්ෂේප නො කළහ.

2006 දී කොටි ත‍්‍රස්තවාදීන් විසින් සාම්පූර් හා තෝම්පූර් ප‍්‍රදේශයන්ට ප‍්‍රහාර එල්ල කළ විට කන්ලේ ප‍්‍රදේශයට මුස්ලිම් අනාථයින් පැමිණියේ දස දහස් ගණනිනි. එම අනාථයින්ට පහසුකම් සැපයීම සොයා බැලීමට බැසිල් රාජපක්ෂ සහ විමල් වීරවංශ ඇමැතිවරුන් සමඟ මම ද ගියෙමි. අවතැන් වූවන්ට රාත‍්‍රී ආහාරය සැපයීමට ප‍්‍රාදේශීය ලේකම්වරුන් සතුව මුදල් පැවතියත් ආහාර පිසීමට අවශ්‍ය දැවැන්ත භාජන නොතිබුණි. එබැවින් ග‍්‍රාම නිලධාරීන් මැදිහත්ව ප‍්‍රදේශයේ සිංහල ජනතාව සහභාගී කරගෙන ඔවුන්ගේ නිවෙස්වල භාවිත කරන භාජන යොදා ආහාර පිස මුස්ලිම්වරුන්ට ආහාර පිරිනමන ලදී. එදින ද කිසිවෙක් එම ආහාර හලාල් දැයි ප‍්‍රශ්න නො කළහ. ජල බෝතලයේ සිට තීන්ත බුරුසුව දක්වා සෑම භාණ්ඩයක් ම හලාල්කරණයට ලක්වුණේ මෑතක දී ය.

ඇත්තෙන් ම මුස්ලිම් ආගමික පුනරුදය මෑත කාලීන ප‍්‍රවණතාවකි. එය හුදෙක් ලංකාවට පමණක් සීමා වුණු දෙයක් ද නොව ලොව පුරා පැතිරුණු ක‍්‍රියාදාමයකි. යටත් විජිත යුගයේ සීඝ‍්‍රයෙන් මුස්ලිම් ලොව ද බටහිර කරණයට ලක්විය. ඇඳුම්, සිරිත්, ආහාරපාන මෙන් ම චින්තනය ද බටහිරකරණයට ලක්විය. 1979 දී අයතුල්ලා කොමෙයිනිගේ නායකත්වයෙන් ඉරානයේ සිදුවුණු ඉස්ලාම් ආගමික විප්ලවය බටහිරකරණයට එරෙහි ව මෑත යුගයේ එල්ල වුණු පළමු ගල් පහර විය. ඉන්පසු පර්දාව සහ බුර්කා ඇඳීම සහ රැවුල් වැවීම වැනි ඉස්ලාමීය ලක්ෂණ ලොව පුරා මුස්ලිම්වරු අතර පැතිර ගියේ ය. 2001 දී 9/11 ප‍්‍රහාරයෙන් මුස්ලිම් සමාජයේ ඇති වුණු කුල්මත් බව හේතුවෙන් අන්තවාදී ඉස්ලාම්කරණය තවත් පිම්මකින් ඉදිරියට පනින ලදී.

මුස්ලිම් බහුතරයක් සිටින රටක කුරානය මූලධර්මවාදීව අනුගමනය කිරීමෙන් දැඩි ගැටලු මතු නො වේ. මන්ද සුළුතර අන්‍යාගමිකයින් අපහසුවෙන් වුවත් එය විඳ දරා ගන්නා බැවිනි. එහෙත් මුස්ලිම් සුළුතර රටක් මූලධර්මවාදී වන විට අනිවාර්යයෙන් ම බහුතර ජනතාව සමාජයෙන් කොන්වී හුදකලා වේ. එබැවින් හලාල් ආහාර ගැනීමට මුස්ලිම්වැන්ට ඇති අයිතයට අපි ගරු කරන අතරේ ආගමික සමඟිය වෙනුවෙන් අන්තවාදී හලාල්කරණය නවත්වන මෙන් ඉල්ලමු.

අල්ලා දෙවියන්ගේ නාමයෙන් සැකසූ ආහාර අපට බුද්ධ පූජාවට තැබිය නො හැක. සාංඝික දානයට යොදාගත නො හැක. එබැවින් හලාල් නො වන භාණ්ඩ ඉල්ලීම අපේ අයිතියකි. ඒ අයිතිය වෙනුවෙන් සටන් කරන අතරේ මුස්ලිම්වරුන්ට මූලධර්මවාදී නො වන මෙන් ඉල්ලා සිටීමට ද අමතක නො කරමු.


උදය ගම්මන්පිල යෝ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *