ඇඟට නොදැන මිනී මරන එම්.එස්.ජී. අපිට මොටෝ

ඇඟට නොදැන මිනී මරන එම්.එස්.ජී. අපිට මොටෝ
(15-07-2015 – rivira.lk)

සමාජයේ කොයි කාගේත් සෞඛ්‍යයට බලපාන ඉතා වැදගත් සිදුවීම් කීපයක් පිළිබඳව පසුගියදා අපට අසන්නට ලැබුණි. පළමුවැන්න ලොව පුරා පැතිර ගිය ප්‍රවෘත්තියක් වූ, ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් අධිකරණය විසින් සුප්‍රකට නූඩ්ල්ස් වර්ගයක් අලෙවි කිරීම තහනම් කිරීමේ පුවතයි. ඒ තහනමට හේතුව අදාළ නූඩ්ල්ස්වල 2014 පෙබරවාරියේ නිපදවූ තොගයක අනුමත ප්‍රමාණයට වඩා ඊයම් හා මොනෝසෝඩියම් ග්ලුටමේට් අන්තර්ගතව තිබිමයි.

දෙවැනි ප්‍රවෘත්තිය වාර්තා වූයේ ශ්‍රී ලංකාවෙනි. එයින් පැවසුණේ එක්තරා ප්‍රදේශයක ගොවීන් පිරිසක් රසකාරක විශේෂයක් වල් නාශකයක් වශයෙන් පාවිච්චි කරන බවයි. ඒ රසකාරකය කුමක්දැයි විමසූ අපට එය නූඩ්ල්ස් වර්ගයක් සමග ලැබෙන රසකාරකයක් බව අනාවරණය කරගැනීමට හැකි විය. ලාබදායී නිසාත් වල් නාශකවලට වඩා හොඳ ප්‍රතිපල ලබාදෙන නිසාත් තමන් මේ රසකාරකය වල් නැසීමට පාවිච්චි කරන බව ගොවීන් පවසා ඇත. අපට අසන්නට ලැබුණු තෙවැනි පුවත වාර්තා වූයේ අන්තර්ජාලයෙනි. මුහුණු‍පොත් සමාජිකයකු තම පිටුවේ පළකර තිබූ තොරතුරකට අනුව නැගෙනහිර පළාතේ ලංකාවේ ගොවීහු ජනප්‍රිය රසකාරකයක් වල් නාශකයක් ලෙස පාවිච්චි කරති. මේ පිළිබඳව පර්යේෂණයක් කිරීමට කැමති විද්වතුන් සිටී නම් තමන් ඊට සහයෝගය ලබාදෙන බවද ඔහු පවසා තිබුණි.

ලොව කැලඹූ  ඉන්දියා නූඩ්ල්ස් තහනම හා ශ්‍රී ලංකාවේ රසකාරක සිදුවීම් දෙක අතර විශාල සම්බන්ධයක් තිබේ. ඒ මේ සිදුවීම් තුනටම එක්තරා රසකාරක විශේෂයක් සම්බන්ධ වීමයි. මෙම රසකාරකය පිළිබඳව අපේ රටේ දරුවෝ පවා හොඳින් දනිති. ‘චයිනීස්’ හෝටලවල හැන්දට අල්ලන අල්ලන තරමින් මේවා යොදා ආහාර පිසින බව රහසක් නොවේ.  මෙහි 78% ක් ඇත්තේ මොනෝසෝඩියම් ග්ලුටමේට්  monosodium glutamate MS නමැති රසායනිකයකි. මෙය වඩාත් ප්‍රචලිතව ඇත්තේ එම්එස්ජී නමැති කෙටි නාමයෙනි. මෙම රසකාරකයේ අන්තර්ගත එම්එස්ජී බොහෝ රසකාරක වර්ගවල අඩංගු කෘත්‍රිම රසායනිකයකි.

මොනෝසෝඩියම් ග්ලුටමේට් සොයාගන්නා ලද්දේ ජපාන ජාතික මහාචාර්යවරයකු වූ කිකුනායි ඉකේඩා විසින් 1908 තරම් ඈත කාලයකදීය. ජපාන ජාතිකයන් අතර ඉතා ප්‍රසිද්ධ ආහාරයක් වන ‘කොම්බු’ නම් මුහුදු පැළෑටිය, පැණි රස, ඇඹුල් රස, ලුණු රස, තිත්ත රස යන කිසිදු රසයකට සම නොවීම නිසා එම රසය ‘ඉමාමි’ යනුවෙන් නම් කළ ඔහු එම රසය උපදින්නේ කෙසේද යන්න පිළිබඳ පර්යේෂණ පැවැත්වීය. මේ රසයට හේතුව එහි අඩංගු ග්ලුටමික් අම්ලය බව සොයාගත් හෙතෙම ග්ලුටමික් අම්ලය රසකාරකයක් ලෙස කෘත්‍රිමව නිෂ්පාදනය කිරීමට සමත් විය. සත්ව හා මිනිස් සිරුරුවල මෙන්ම මිනිසා ආහාරයට ගන්නා ඇතැම් එළවුළු පලතුරු චීස් බිම්මල් ආදියෙහි පමණක් නොව මවුකිරිවල පවා අන්තර්ගත ඇමයිනෝ අම්ල විශේෂයක් වන ග්ලුටමික් අම්ලය සොයාගන්නා ලද්දේ ජර්මන් රසායන විද්‍යාඥයකු වූ කාල් හෙන්රිච් රිටවුසන් Karl Heinrich Ritthausen විසින් 1866 දීය.

මොළය, ස්නායු පද්ධතිය, ඇස්, අග්න්‍යාශය වැනි ඉන්ද්‍රියන් ගණනාවක ක්‍රියාකාරිත්වයට ග්ලුටමික් අම්ලය දායක වෙයි. මිනිස් සිරුරට අවශ්‍ය ග්ලුටමික් අම්ලය සිරුර විසින්ම උත්පාදනය කරනු ලබන නිසා ආහාර මගින් එය ලබාගැනීමේ අවශ්‍යතාවක් නැත. මේ හේතුව නිසා කෘත්‍රිමව නිපදවෙන ග්ලුටමික් අම්ලය හෙවත් මොනෝසෝඩියම් ග්ලුටමේට්ද, විෂ රහිත, සෞඛ්‍යාරක්ෂිත ද්‍රව්‍යයක් යැයි පිළිගැනීමට බොහෝ දෙනා පෙලඹී සිටිති. නමුත් එම්එස්ජී නිසා බරපතළ සෞඛ්‍ය ගැටලු උද්ගතවන බව තහවුරු කෙරෙන පර්යේෂණ ගණනාවක් සිදු කර ඇත. එම්එස්ජී පරිභෝජනය නිසා උද්ගත විය හැකි අබල දුබලතා අතර, මොළයේ ස්නායු පද්ධතියේ හා හෘදය වස්තුවේ ආබාධ, ස්ථුලභාවය, අක්ෂි හා ශ්‍රවණ දුර්වලතා, හිසරදය, ආතතිය, හිරිය, දැවිල්ල, මුහුණේ පේශි තදවීම, පපුවේ දැවිල්ල, බඩදැඟලිල්ල, ඔක්කාරය, හදගැස්ම ඉහළයෑම, නිදිමත, ශාරීරික අඩපණකම ආදිය වෙයි. එසේම එය පිළිකාවලටද හේතුවකි.

එම්එස්ජී 78% ක් අඩංගු ලංකාවේ වෙළෙඳ ‍පොළේ තිබෙන රසකාරකයට මුල් යුගයේ විශාල ඉල්ලුමක් නොතිබුණි.

එය ජනප්‍රිය වූයේ දෙවන ලෝක යුද්ධය සමයේදීය. ජපන් හමුදාවේ ආහාර වේල ඇමරිකා සෙබළුන්ට ලැබෙන වේලට වඩා රසවත් බවත් ඊට හේතුව එම්එස්ජී බවත් හෙළිවීම නිසා, මෙය වේගයෙන් ජනප්‍රිය වූයේය. 1956 දී ඇමරිකාවේද මෙම විශේෂය යොදන ශාඛාවක් ඇරඹිණි. 1959 දී ඇමරිකා ආහාර හා ඖෂධ අධිකාරිය එය ආරක්ෂිත (Generally Recognised as Safe) බවට සහතිකයක්ද දුන්නේය. නමුත් වසර 10 කට පසු එහි ආදීනව ලෙස ‘චයිනීස් රෙස්ටුරන්ට් සින්ඩ්‍රෝම්’ යනුවෙන් යෙදුමක් ඇමරිකා වෛද්‍ය ක්ෂේත්‍රයට එක් විය. ඊට හේතුව එකල ඇමරිකාවේ (අද ශ්‍රී ලංකාවේ මෙන්) චීන හෝටලවල අජිනොමොටෝ මුසු කළ ආහාර බහුලවීමයි.

හිසරදය, හෘද ස්පන්දනය, වේගවත්වීම, නිදිමත ආදිය චයිනීස් රෙස්ටුරන්ට් සින්ඩ්‍රෝමයේ ලක්ෂණයි. මේ වන විට මෙය ‘එම්එස්ජී සිම්ටම් කම්ප්ලෙක්ස්’ නමින් හැඳින්වේ. ඇමරිකා ආහාර හා ඖෂධ අධිකාරිය පවසන්නේ එය එම්එස්ජීවල කෙටිකාලීන ප්‍රතිපලයක් බවයි. එහි දිගුකාලීන ප්‍රතිපල කවරේදැයි අධිකාරිය නොකියයි.

‍ප්‍රෝටීන්වලින් තොර කෘත්‍රිම ග්ලුටමේට් ශරීරගත වූ විට සිරුරේ ඇති 50 කට අධික ඇමයිනෝ අම්ල සමග සම්බන්ධයක් ඇති නොවේ. මේ නිසා ජීර්ණ ක්‍රියාවලිය නියමිත පරිදි සිදු නොවන අතර රුධිරයේ කෘතිම ග්ලුටමික් අම්ල ප්‍රතිශතය දස ගුණයකින් පමණ ඉහළ ගොස් විෂ සහිත තත්ත්වයක් හටගනී.

එම්එස්ජී විෂ සහිත බව පෙන්වීමට සිදුකර ඇති පර්යේෂණ රාශියකි. වෛද්‍ය ලූකාස් සහ වෛද්‍ය නිව්හවුස් විසින්, 1957 දී මීයන් යොදාගනිමින් කරන ලද පර්යේෂණයකින් එම්එස්ජී ඇස්වල දෘෂ්ටි විතානයට හානි කරන බව පළමු වරට හෙළිකර ඇත. (AMA Arch Ophthalmol. 1957;58(2):193-201) ඉන්පසුව 1971 දී වෛද්‍ය කැස්පර් විසින් හා 2002 දී වෛද්‍ය ඔගුරෝ විසින් මීයන් මගින් සිදු කෙරුණු පර්යේෂණවලින් (1. J Comp Neurol. 1982 Jul 20;209(1):79-90,  2. Exp Eye Res. 2002;75(3):307-15) එම්එස්ජීවලින් ඇසට හානි සිදුවන බව සනාථ වී තිබේ. ඊට අමතරව මේ සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණ රාශියකි.

එම්එස්ජී නිසා මොළයට හානි කරන බව පළමු වරට හෙළිදරවු කර ඇත්තේ 1969 දී වෛද්‍ය ජේ.ඩබ්ලිව්. ඔල්නේ විසිනි. ඔහු විසින් එම්එස්ජී නිසා මොළයට සිදුවන හානි පිළිබඳව පර්යේෂණ ගණනාවක්ම සිදුකර තිබේ. Olney JW. Brain damage and oral intake of certain amino acids. In: Levi G, Battistin L, Lajtha A, eds.Transport Phenomena in the Nervous System: Physiological and Pathological Aspects.  New York: Plenum Press; 1976. වෛද්‍ය ලිම්කි ජොන්ස්ටන් හා එන්. රෙනෝල්ඩ්ද එම්එස්ජී නිසා මොළයට හා ස්නායු පද්ධතියට සිදුවන හානි පිළිබඳව තොරතුරු අනාවරණය කර ඇත. (J Neuropath Exp Neurol. 1974;33(1):74-97) ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු වන රසල් බ්‍ලේලොක් තම Exitotoxins: The Taste that Kills කෘතිය මගින් එම්එස්ජීවල හානිය පිළිබඳ ඉතා වටිනා තොරතුරු සමූහයක් අනාවරණය කර තිබේ. Exitotoxins යනු සිරුරේ සන්නිවේදන කටයුතුවලට සම්බන්ධ නියුරෝන හෙවත් ස්නායු ෙසෙල විනාශ කිරීමට හා මොළයට දැඩි ලෙස හානි කිරීමට සමත් උග්‍ර විෂ කාණ්ඩයකි. සුෂුම්නාවට හානි කිරීම, ආඝාතය (අංශභාගය), ශ්‍රවණ දුබලතා, ඇල්සයිමර්ස් රෝගය, පාකින්සන් රෝගය වැනි බරපතළ තත්වයන් උද්ගත කිරිමට මේ විෂ කාණ්ඩයට හැකියාව ඇත.

වෛද්‍ය රසල් බ්‍ලේලොක් පෙන්වාදෙන පරිදි හෘදය වස්තුවේ මාංස පේශිවල හා ඊට සම්බන්ධ විද්‍යුත් ජාලයේ පිහිටා ඇති ග්ලුටමේට් ග්‍රාහකවලට එම්එස්ජීවලින් සිදුවන බලපෑම නිසා ඉතා බරපතළ විපාක අත්විඳින්නට සිදු වේ. එම්එස්ජී පමණක් නොව සෝයා ‍ප්‍රෝටීන්, සුවඳකාරක, සෝඩියම් ආදි රසායනික විෂ නිසා ග්ලුටමේට් ග්‍රාහක අධිඋත්තේජනය වී හෘදයාබාධ ඇති විය හැකිය.

විශේෂයෙන්ම තරගවල නිරත ක්‍රීඩකයන්ගේ මැග්නීසියම් මට්ටම අඩු වූ අවස්ථාවක ග්ලුටමේට් ග්‍රාහක අතිශයින් සංවේදී වෙයි. එබඳු අවස්ථාවක එම්එස්ජී බඳු උග්‍ර විෂකාරකයක සුළු ප්‍රමාණයක් නිසා වුව හෘදයාබාධයක් ඇතිවිය හැකිබව වෛද්‍ය බ්‍ලේලොක් පෙන්වාදී ඇත. ඔහුගේ මේ හෙළිදරව්ව පිළිබඳව අපගේ විශේෂ අවධානය යොමු විය යුතුව තිබේ. ඊට හේතුව පසුගිය කාලයේදී ක්‍රීඩා තරග අතරතුරදී දරුවන් කිහිප දෙනකුම මියයෑමයි. පිළියෙල කිරිමේ පහසුව, රසය ආදි කරුණු නිසා මේ වන විට බොහෝ දරුවන් හා දෙමාපියන් රසකාරක යෙදූ ක්ෂණික ආහාර පරිභෝජනයට හුරු වී ඇති නිසා ක්‍රීඩා තරග අතරතුර දරුවන් මියයෑම හා රසකාරක අතර සම්බන්ධයක් තිබේදැයි සොයා බැලීම ජාතික අවශ්‍යතාවක්ව තිබේ.

එම්එස්ජී දරුපල නොලැබිමටද ප්‍රබල හේතුවක් බව පෙන්වාදෙන වෛද්‍ය බ්‍ලේලොක්, එම්එස්ජී නිසා ශුක්‍රාණු ප්‍රමාණය අඩුවෙනවා වගේම එයට ඩිම්බයට ළඟාවීමට ඇති හැකියාවත් අඩු වෙනවා. ඩිම්බයේ පිටත බිත්තියේ තිබෙන ග්ලුටමේට් ග්‍රාහක උත්තේජනය වීම නිසා ඩිම්බවලට හානි සිදු වෙනවා. ජිවිතයේ අප මූණදෙන මෙබඳු කරුණු ගැනවත් ආහාර හා ඖෂධ අධිකාරිය අනතුරුඇඟවීම් කරනවාද? යනුවෙන් ප්‍රශ්න කරයි. එම්එස්ජී නිසා පැලෝපීය නාළවලට බලපෑම් සිදුවන බව වෛද්‍ය ඇන්ඩෲ ඔසයාමි ඉවේකා සහ අබියුවා ඉවේකා විසින් 2010 දී කරන ලද පර්යේෂණයක් මගින්ද පෙන්වා දී ඇත. (N Am J Med Sci. 2010 Mar; 2(3): 146–149)

එම්එස්ජී ප්‍රමුඛ රසකාරක නිසා සිදුවන හානිය පිළිබඳව ක්ෂේත්‍රයේ ජනහිතකාමී උගතුන් කරුණු ඉදිරිපත් කරන විට එයින් ලිස්සායෑමට වෙළඳ සමාගම් අපූරු උපක්‍රම දෙකක් පාවිච්චි කරන්නට පටන් ගත්තේය.

එකක් කුලී උගතුන් ලවා හොර පර්යේෂණ වාර්තා ඉදිරිපත් කරවීමයි. අනෙක තම නිෂ්පාදනවල එම්එස්ජී ඇති බව පාඨකයින්ට හඳුනාගත නොහැකි වන අයුරින් වෙනත් නම් යටතේ ඒවා පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමයි. උදාහරණයක් දක්වතොත් ඇමෙරිකා ආහාර හා ඖෂද අධිකාරියේ රෙගුලාසිවලට අනුව, කිසියම් ආහාරයක මොනෝසෝඩියම් ග්ලුටමේට් අඩංගු නම් ඒ බව ‍ලේබලයෙහි මුද්‍රණය කළ යුතුය. නමුත් කෘත්‍රිම ග්ලුටමික් අම්ලය සහිත සංඝටකයන් ඇති විට ඒ බව සඳහන් කළ යුතුයැයි නීතියක් නැත.

ඇමෙරිකාවේ සීබිසී වබේ අඩවිය 2007 වසරේදී වාර්තා කර තිබූ පරිදි එක්තරා සුප්‍රකට පීසා නිෂ්පාදන අයතනයක් තම නිපැයුම්වල එම්එස්ජී අන්තර්ගත ද්‍රව්‍ය 5ක් ඇති බවට නිල වශයෙන් අනතුරු අඟවා තිබුණත් ඒවායේ එවැනි ද්‍රව්‍ය 9ක් ඇතැයි ඔවුන්ට අනාවරණය කරගන්නට ලැබි ඇත.

මෙම රසකාරක, සුවඳකාරක මාරයන්ගෙන් බේරෙන්නට ඉතා අසීරු බව ඉහත දැක්වූ ලැයිස්තුවලින් පැහැදිලිය. ‘අනුමත’ ‍ලේබල්වලින් එන බොහෝ රසකාරක, සුවඳකාරක විෂකුරුය. එම නිසා ඒවායේ නිෂ්පාදකයෝද ඇත්ත නොදනිති. සාප්පුවෙන් හෝටලයෙන් මිලයට ගෙන කෑමට ඇති බොහෝ ආහාරවල මේවා අඩංගුය.

ළදරු ආහාරවල පවා අඩංගුය. ජනතාවට මෙයින් බේරීමට ඇති එකම විකල්පය මේ පිළිබඳව දැනුවත්වී මේවා අඩංගු ආහාර පරිභෝජනයෙන් වැළකීමයි. දරුවන්ට මේ විෂ කැවීමෙන් වැළකීමයි. අනාගත පරම්පරාවේ නාමයෙන් මේ ද්‍රව්‍ය නොමැතිව ආහාර නිෂ්පාදනය කරන මෙන් ආහාර නිෂ්පාදකයන්ගෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමු. ඉදිරියේදී හඳුන්වාදීමට යෝජිත ජාතික ආහාර ප්‍රතිපත්තියේදී මේ පිළිබඳව සැලකිල්ල යොමු කරන මෙන් බලධරයන්ගෙන් ඉල්ලා සිටිමු.

ඊට අමතරව එම්එස්ජීවල බල නැසීමට වෛද්‍ය බ්‍ලේලොක්ගේ කදිම උපදෙසක්ද ඔබ හමුවේ තබමු. ඒ හැකිතාක් තද කොළපැහැති එළවළු ආහාරයට ගැනීමයි. ඒවායේ යහමින් ඇති ප්‍රතිඔක්සිකාරක එම්එස්ජීවලින් සිදුවන හානිය නිෂ්ක්‍රීය කරන අතර අධිකව ඇති මැග්නීසියම් විසින් ග්ලුටමේට් ග්‍රාහක උත්තේජනයෙන් සිදුවිය හැකි හානි වළක්වයි.

– නාරද කරුණාතිලක

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *