මාවනැල්ල ශ්‍රීලනිප සංවිධායක ගිනි අවි 3 ක් සමඟ අල්ලයි

(19.10.2018 – mawbima.lk)

මාවනැල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක, සබරගමු පළාත් සභාවේ හිටපු සභානායක මොහොමඩ් ඉමිතියාස් කාදර් මහතාගේ කෑගල්ල අෑෂ්ලි පීරිස් මාවතේ පිහිටි නිවෙසෙහි සඟවා තිබූ බලපත්‍ර රහිත විවිධ වර්ගයේ ගිනි අවි තුනක් සමඟ සංවිධායකවරයා ඊයේ (18 දා) රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් ගිනි අවි අතර ටී පනස් හය ගිනි අවියක්, ජීව උණ්ඩ තිහක්, එම්.පී. පහ කේ. වර්ගයේ ගිනි අවියක්, නයින් එම්.එම්. වර්ගයේ ජීව උණ්ඩ හැත්තෑපහක් නොම්මර ‍දොළහ වර්ගයේ පතරොම් තුවක්කුවක් හා එම්.පී. වර්ගයේ ජීව උණ්ඩ දාහතක් වූ බව පොලිසිය කියයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජගිරිය බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එස්. ධර්මප්‍රිය මහතාට ලැබුණු තොරතුරක් අනුව මාවනැල්ල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා එක්ව මෙම වැටලීම කර තිබිණි.

එම්.පී. පහ වර්ගයේ කෙටි දුර වෙඩි තැබිය හැකි ගිනි අවිය ඇඳ යට සඟවා තිබියදීද අනෙක් ගිනි අවි දෙක හා ජීව උණ්ඩ අල්මාරිවලද සඟවා තිබියදී සොයා ගෙන තිබේ.

එම්.පී. පහ වර්ගයේ ගිනි අවිය ඩුබායි රටින් මිතුරකුට රුපියල් ලක්ෂ හතරක් ගෙවා මිලදී ගත් බවත් අනෙක් ගිනි අවි දෙක ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයකුට රුපියල් ලක්ෂ හතරක් ගෙවා මිලදී ගත් බවත් සැකකාර සංවිධායකවරයා ප්‍රකාශ කළ බව පොලිසිය කියයි.

සොයා ගත් ගිනි අවි අතර ඇති කෙටි දුර වෙඩි තැබිය හැකි එම්.පී. පහ කේ. වර්ගයේ ගිනි අවිය ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදා ගන්නා නවීනතම ගිනි අවියකි. එවැනි ගිනි අවි පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහාද ඇත්තේ ඉතා සීමිත ප්‍රමාණයක් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.

මෙම ගිනි අවි විනෝදාංශයක් ලෙස රැස්කර ළඟ තබාගත් බවත් මීට වසර දෙකකට පමණ පෙර ගෙන ආ බවත් සැකකාර සංවිධායකවරයා පොලිසියට ප්‍රකාශ කර තිබේ.

මෙම ගිනි අවි අපරාධ සඳහා යොදා ගෙන ඇද්ද යන්න පිළිබඳව සොයා බැලීමට එම ගිනි අවි රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඒවා පරීක්ෂා කරන බවද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත භාරදී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකා රාජගිරිය බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එස්. ධර්මප්‍රිය, පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.ටී.බී. රාජනායක, උප පොලිස් පරීක්ෂක ඒ.ඒ. කුමාර මහත්වරු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම කළහ.

++++++++++++++++++++++++++++++

*****************************************

රෝගී කතට ලිංගික අතවර කළ කළුබෝවිල වෛද්‍ය විජේරත්නට අත්හිටවූ සිරදඬුවම්

(18.10.2018 – gossiplankanews.com)

චීන කටු ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගී කාන්තාවකට බරපතළ ලිංගික අතවර කිරිමේ චෝදනාවට වරද පිළිගත් කළුබෝවිල රෝහලට අනුයුක්තව තිබූ චීන කටු චිකිත්සක මධ්‍යස්ථානයේ හිටපු වෛද්‍යවරයකු වසර 02 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ඡානකී රාජරත්න මහත්මිය එම දඬුවම වසර 25 ක කාලයකට අත්හිටුවිමට නියම කළාය.

ලිංගික අතවරයකට ලක් වූ රෝගී කාන්තාවට රුපියල් ලක්‍ෂ 02 ක වන්දි මුදලක් ගෙවන ලෙස විත්තිකරුට නියම කළ විනිසුරුවරිය ඔහු රුපියල් 25,000/- දඩයකට ද යටත් කළාය. චෝදනාවට වරද පිළිගැනීම නිසා මෙලෙස දඩුවම් නියම වූයේ කළුබෝවිල රෝහලට අනුයුක්තව තිබූ චීන කටු චිකිත්සක මධ්‍යස්ථානයේ වෛද්‍ය ඩි.පී. විජේරත්නටය.

2006 මැයි මස 07 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කළුබෝවිලදී කාන්තාවකට බරපතළ ලිංගික අතවර කළ බවට විත්තිකාර වෛද්‍යවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

මෙම නඩුව විභාග වෙමින් තිබියදී විත්තිකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා අධිකරණය අමතමින් තම සේවාදායකයා මෙම චෝදනාවට වරඳ පිළිගන්නා බව දැනුම් දුන්නේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනි සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය අමතමින් පීනස් රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා අදාළ කාන්තාව කළුබෝවිල රෝහලට අනුයුක්ත චීන කටු චිකිත්සක ආයතනයට පැමිණි අවස්ථාවේදී විත්තිකාර වෛද්‍යවරයා ඇයට ප්‍රතිකාර කරන මුවාවෙන් බරපතළ ලෙස ලිංගික අතවර කර ඇතැයි කීය. නීතිඥ අනුර ප්‍රේමරත්න මහතා අධිකරණය අමතමින් වූ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි සේ පශ්චාත්තාප වත තම ස්වාදායකයා මෙම චෝදනාවට වරද පිළිගත්තා හෙයින් ඔහුට ලිහිල් දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරිය විත්තිකරුට අදාළ දඬුවම් නියම කළාය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *