අර්ජුන තෙල් සංස්ථාවට පැන වෙඩි තබයි.. දෙදෙනෙකුට මරණාසන්නයි.. සල්ලි හා ෆයිල් උස්සන්න ගිහින්…

(28.10.2018 – 16:40 +0530 – lankacnews.com)

හිටපු ඇමති අර්ජුන රණතුංග සමග පැමිණි පිරිසක් විසින් සිදු කර ඇති වෙඩි තැබීමක් හේතුවෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ උණුසුම් තත්වයක් ඇතිව තිබේ.

සේවයකන් පවසන්නේ හිටපු ඇමතිවරයා ලිපිලේඛණ හා මුදල් තොගයක් රැගෙන යාමට උත්සාහ කල බවත් ඊට සේවකයන් විරෝධය දැක්වී විට වෙඩි තැබීම සිදු කර ඇති බවත්ය.

වෙඩි වැදුනු සේවකයන් දෙදෙනෙකුට බරපතල තත්වයෙන් රෝහල්ගත කර ඇති බවද වාර්තා වෙයි.

https://www.facebook.com/abeetha325/videos/10155920540505677/

+++++++++++++++++++++++++

ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ උණුසුම් තත්වයක් – වෙඩි තැබීමකින් දෙදෙනෙකුට තුවාල

(28.10.2018 – 16:23 +0530 – hirunews.lk/sinhala)

දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළ සිදුවූ වෙඩි තැබීමකින් එහි සේවකයින් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මොවුන් දෙදෙනාගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුණ රණතුංග එම පරිශ්‍රයට අද (28) පස්වරුවේ පැමිණි අවස්ථාවේදී එහි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.

එම අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් එහි සේවකයින් දෙදෙනෙකු තුවාල ලැබූ අතර මොවුන්ගේ හිසට සහ උදරයට තුවාල සිදුවී ඇති බවයි රෝහල් ප්‍රකාශකයා සඳහන් කළේ.

වෙඩි තැබීම සිදුකළ ආරක්ෂක නිලධාරියා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++

ඛනිජ තෙල් සංස්ථාවේ වෙඩි තැබීමකින් තිදෙනෙකුට තුවාල

(28.10.2018 – 16:18 +0530 – lankadeepa.lk)

දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මුලස්ථානයේ දී සිදුකළ වෙඩි තැබීමකින් තිදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

එක් පුද්ගලයකුගේ හිසටත්‍, තවත් පුද්ගලයකුගේ පපුවටත් වෙඩි වැදී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. ‍ඔවුන් දෙදෙනා ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිතය.

හිටපු ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යඅර්ජුන රණතුංග මහතා සංස්ථා පරිශ්‍රයට ඇතුළු වීමට පැමිණි අවස්ථාවේදී එහි සිටි පිරිසක් සමඟ ඇති වු බහින් බස් වීමක් දුරදිග ගොස් එම අවස්ථාවේදී මෙය සිදු වී ඇතැයි පොලීසිය පවසයි.‍

මේ මොහොත වන විට පොලීසිය, කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා අවට ආරක්ෂාව තර කර තිබේ.

ගුවන් පාලම අසලින් මාර්ගය වසා දමා ඇති අතර රැස්ව සිටින පිරිස් අතර දැඩි උණුසුම් තත්ත්වයක් මේ වන විට ඇති වී ඇත.

මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා ඇතුළු ඒකාබද්ධයේ මන්ත්‍රී කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ සිටිති ෴

++++++++++++++++++++++++

අර්ජුන අත්අඩංගුවට නොගත්තොත් තෙල් බෙදාහැරීම නවත්වන්න යයි

(28.10.2018 – 17:45 +0530 – lankadeepa.lk)

දෙමටගොඩ ඛනිජතෙල් නීතීගත සංස්ථාවේ අද (28) සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගෙන නීතීය ක්‍රියාත්ම නොකළහොත් හෙට (29) සිට තෙල් බෙදා හැරීම නවතා වෘත්තීය ක්‍රියා මාර්ගයක නියැලෙන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා පැවසීය ෴

++++++++++++++++++++++++++

සිරවී සිටි ඇමති අර්ජුණ බේරා ගත් STF මෙහෙයුම : වෙඩි වැදුණු පුද්ගලයෙක් ජිවිතක්ෂයට

(28.10.2018 – nethnews.lk)

සිපෙට්කෝ පරිශ්‍රයේ සිරවී සිටි අමාත්‍ය අර්ජුණ රණතුංග මිට සුළු මොහොතකට පෙර ඉන් නිරුපද්‍රිතව බේරා පිටතට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව ඇති බව වාර්තා වනවා.

එම පරිශ්‍රය ඉදිරිපිට විශාල විරෝධතාකරුවන් පිරිසක් රැස්ව විරෝධතාවයේ යෙදී සිටියා.

කාර්යාලය තුල සිටි අමාත්‍යවරයා (?) පොලිස් විශේෂ කාර්ය බලකායේ නිල ඇදුමක් අන්දවා ඉන් පිටතට රැගෙන යාමට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පියවර ගත් බවයි වාර්තා වන්නේ.

මේ අතර අර්ජුණ රණතුංග අමාත්‍යවරයාගේ ආරක්ෂක නිළධාරියාගේ වෙඩි පහරින් තුවාල ලබා රෝහල් ගත කර සිටි එක් පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේදී මිය ගිය බවට රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.

https://1.bp.blogspot.com/-8Pqk-ZvOacc/W9W7xnyGWrI/AAAAAAABC0Y/PRW-7N-WOx4b4fxSgUY1C0XS5Lw8xNLxwCLcBGAs/s1600/aRJUNA%2B1.jpg
https://1.bp.blogspot.com/-9BhlVoudo_U/W9W7xlO2CEI/AAAAAAABC0c/1TEZJbDK5dIfYr5edkNTN_pkgFfm4PkMgCLcBGAs/s1600/Arjuna%2B2.jpg

ඛනිජ තෙල් සංස්ථාව පරිශ්‍රය …

Posted by Prabath Bandara Mawanella on Sunday, October 28, 2018

++++++++++++++++++++++++++

ඛණිජ තෙල් ගැටුමේ තුවාල ලද සේවකයෙකු මරුට සේවකයින් අර්ජුනගේ සරම ගලවා හිරිහැර කළාලු

(28.10.2018 – gossiplankanews.com)

අද සවස ඛණිජ තෙල් සංස්ථාවේ ඇතිවූ‍ වෙඩිතැබීම නිසා තුවාල ලබා රෝහලට ඇතුළත් කර සිටි සේවකයින් තිදෙනාගෙන් එක් අයෙකු මේ වනවිට මරණයට පත්ව ඇති බව වාර්තාවෙයි.

සිද්ධියෙන් පසු එම ආයතන පරිශ්‍රයේ දැඩි නොසන්සුන් තත්වයක් හටගත් අතර සිද්ධිය නිසා වෙඩි තැබූ ආරක්ෂකයා පමණක් නොව අර්ජුනවද අත්අඩංගුවට ගතයුතු බවත් එසේ නොවේ නම් හෙට වනවිට ඛනිජ තෙල් වර්ජනයකට යන බවත් සේවකයින් තර්ජනය කර තිබේ. මන්ත්‍රී ගාමිණි ලොකුගේ ඇතුළු ආධාර කරුවන්ද මෙම අවස්ථාවේ එම ස්ථානයට පැමිණ තිබේ.

අර්ජුන රණතුංගට වටකර පහරදුන් මෙම ගැටුමට අදාල තවත් තොරතුරු මේ වනවිට ලැබෙමින් පවතී.

සිය අමාත්‍ය ධූරය අහිමිවීමෙන් පසු අමාත්‍යංශ පරිශ්‍රයට සවස 4 ට පමණ ආරක්ෂකයින් සමග ඇතුළුවූ හිටපු ඇමති අර්ජුනට බාධා කරන්නට ආ පිරිස් සමග ඔහු බහින්බස්වීමක් ඇති කරගැනීමෙන් පසු මෙම ගැටුම ඇරඹී ඇත.

සේවකයින් අර්ජුනට එලියට යන්නට නොදී ඔවුන්ගේ අඩස්සියේ තබාගෙන ඇත.

එම අවස්ථාවේ සේවකයින් සමග අර්ජුනද පොර බදා තිබෙන අතර සේවකයින් එක්ව අර්ජුනට පරුෂ වචනයෙන් බැණවදිමින් ඔහු ඇඳ පැමිණ සිටි සරම ගලවා කමිසය පිටින් ඔහුව එළවා දමා ලජ්ජාවට පත් කරන්නට උත්සාහ කර ඇත.

ඔහු එම අවස්ථාවේ සිට ඇත්තේ යට ඇඳුම හා කමිසය සමගය. සේවකයින් හූ තබා තිබේ. ඔහුගේ ආරක්ෂකයින් බාධාකාරී සේවකයින්ට එරෙහිව ගිනි අවි පාවිච්චි කර ඇත්තේ ඉන් අනතුරුවයි.

කෙසේ වෙතත් සේවකයින්ට තුවාල ලද පසුවත් අර්ජුනට එලියට යන්නට දී නැත.

කෙසේ වෙතත් කමිසය පිටින් සිටි අර්ජුනට පසුව පැමිනි විශේෂ කාර්ය බලකාය ඔවුනට අයත් කලිසමක් අර්ජුනට අන්දවා විළි වසා ආරක්ෂාව සපයා ඇත.

මේ වනවිට පුද්ගලයෙකු මරණයට පත්ව ඇති නිසා අර්ජුනව අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ පවතී ෴

+++++++++++++++++++++

ඛනිජ තෙල් සංස්ථාව තුළ වෙඩි තැබීමක්…: අයෙක් මරුට දෙදෙනෙක් රෝහලේ….

ඛනිජ තෙල් සංස්ථාවේ වෙඩි තැබීමක් : අයෙක් මරුට දෙදෙනෙක් රෝහලේ…. #lka #news1st #Ceyptco

Posted by Newsfirst.lk on Sunday, October 28, 2018

+++++++++++++++++++++++

කාමරයක සිර කර මාව මරන්න උත්සා කළා – අර්ජුන රණතුංග

(28.10.2018 – 21:03 +0530 – lankadeepa.lk)

තමා කාමරයක හිරකර මරා දමන්නට උත්සාය කළ බවත්, කලහකාරී පුද්ගලයක් ආරක්ෂකයන්ගේ ගිනිඅවිය උදුරාගැනීමට කැත් කිරීමේදී එව වැලැක්වීමට ආරක්ෂක නිලධාරියා වෙඩි තබා ඇති බවත් ඛනිජතෙල් සංවර්ධන හිටපු ඇමැති අර්ජුන රණතුංග මහතා පැවසීය.

රණතුංග මහතා මේ බව පැවසුවේ අරලියගහ මැදුරේ පැවැති මාධ්‍යහමුවකදීය.

ඒ මහතා මෙසේද පැවසීය :

‘‘මම විදේශගත වෙලා ඉඳලා අද උදේ ලංකාවට ආවේ. මම යද්දි මගේ නිලනිවාසයේ යතුරු තිබුනේ තෙල් සංස්ථාවේ හතරවෙනි තට්ටුවේ අමාත්‍යවරයාගේ කාර්යාලයේ තියලා ගියේ. උදේ අමාත්‍යංශ ලේකම්ට කතා කරලා කියලයි යතුරු ගන්න ගියේ. යද්දි පොහොට්ටුවේ නාගරික මන්ත්‍රී කෙනෙක් ඇවිත් බාධා කරද්දි ආරක්ෂකයන් ඔහු ඉවත් කළා. ඉන් පසු වැඩතහනමට ලක්වී සිටින වෘත්තිය සමිති නායකයෙක් ඇතුලු පිරිසක් පොලු අරගෙන ගහන්න ආවා. මාව කාමරේකට දාලා හිර කළා.’’

එම සිද්ධියට මුහුණ දුන් අවස්ථාවේ තමාට ජීවිතයේ පළමු වරට මරණ බිය ඇති වු බවත් සඳහන් කළ හිටපු අමාත්‍යවරයා ඇති වු සිද්ධියේදී පුද්ගලයකු මිය යාමේ සිද්ධිය පිළිබඳව කණගාටුවද පළ කළේය ෴

+++++++++++++++++++++++++

+++++++++++++++++++++++++

ඛනිජ තෙල් සේවකයින් වර්ජනයක

(28.10.2018 – 21:37 +0530 – hirunews.lk/sinhala)

දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුණ රණතුංග අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ඛනිජ තෙල් සේවකයින් වර්ජනයක් ආරම්භකර තිබෙනවා.

ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළ අද සිදුවූ වෙඩි තැබීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

දෙදෙනකු බරපතල තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතර ඉන් එක් අයෙකුයි අද (28) පස්වරුවේ මිය ගියේ.

හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුණ රණතුංග, අවශ්‍ය ලිපි ලේඛන කිහිපයක් රැගෙන යාම සඳහා අද (28) පස්වරුවේ එම පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී සංස්ථා සේවකයින් ඔහුට විරෝධය පළ කළේ නීතිවිරෝධී ක්‍රියාවක් සිදුකරන බව පවසමින්.

එම අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 3 දෙනෙකු තුවාල ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ ආරක්ෂක නිලධාරියා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

+++++++++++++++++++

++++++++++++++++++++++++

හිටපු ඇමති අර්ජුන අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා තෙල් සංස්ථා සේවකයින් තවදුරටත් වර්ජනයේ

(29.10.2018 – 07:41 +0530 – hirunews.lk/sinhala)

දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ඛනිජ තෙල් සේවකයින් ඊයේ (28) රාත්‍රියේ සිට ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.

ඛනිජ තෙල් සංස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ කොළොන්නාව, සපුගස්කන්ද, මුතුරාජවෙල තෙල් බෙදාහැරීමේ සහ තොගතෙල් ගබඩා පර්යන්තයේ සේවකයින් මෙම වර්ජනයට එක්ව සිටින බවයි.

හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග, අවශ්‍ය ලිපි ලේඛන කිහිපයක් රැගෙන යාම සඳහා ඊයේ (28) පස්වරුවේ එම පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී සංස්ථා සේවකයින් ඔහුට විරෝධය පළ කළේ නීතිවිරෝධී ක්‍රියාවක් සිදුකරන බව පවසමින්.

එහිදී දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවුණා.

එම අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 3 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර, එහිදී එක් අයෙකු මියගියා.

මෙලෙස මියගියේ කුරුණෑගල පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධියෙන් තුවාල ලැබූ අනෙක් දෙදෙනාගෙන් එක් අයෙකු තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම සිද්ධියත් සමඟ සංස්ථා සේවකයින් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංගට එරෙහිව දිගින් දිගටම සිය විරෝධය එල්ල කළා.

පැවති තත්ත්වය හමුවේ පැය 3 කට වැඩි කාලයක් හිටපු අමාත්‍යවරයාට තෙල් සංස්ථා පරිශ්‍රය තුළ රැඳී සිටීමට සිදුවුණා.

එම අවස්ථාව වනවිටත් පොලිස් විශේෂ කාර්ය බලකාය, කැරළි මර්දන ඒකකය සහ ජල බවුසර් එම ස්ථානයට කැඳවා තිබූ අතර, පසුව විශේෂ කාර්ය බලකායේ නිල ඇඳුමක් අර්ජුන රණතුංග හිටපු අමාත්‍යවරයාට අන්දවා පිටතට කැඳවාගෙන යාමට කටයුතු කළා ෴

++++++++++++++++++++++++

තෙල් බෙදා හැරීම් නවතියි – ඉන්ධන හල්වල පෝලිම්

(29.10.2018 – nethnews.lk)

මේ වන විට දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම් කටයුතු නවතා දමා ඇති බව ශ්‍රී ලංකා ඛණිජ තෙල් ශාඛාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ උප සභාපති කේ ජී එස් ප්‍රේමන්ත ගමගේ පවසනවා.

ඊයේ (28) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් සිය සේවකයෙකු මියයාමේ සිද්ධියට හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ති‍්‍ර අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් ශී‍්‍ර ලංකා ඛනිජ තෙල් ශාඛාවේ ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමය වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් ඇතැම් ඉන්ධන හල්වල මේ වන විටත් ඉන්ධන පෝලිම් දැක ගත හැකි වනවා.

වර්ජනය හේතුවෙන් ඛණිජ තෙල් සියලූම කාර්යයන්වලින් සිය සේවකයින් ඉවත් වී ඇති බවත් සපුගස්කන්ද තෙල් පිරිපහදු කටයුතු පමණක් සිදුවෙන බවත් සඳහන් කළා. ඉදිරියේදී සිය ඉල්ලීම් කෙරෙහි බලධාරීන් ප්‍රතිචාර නොදැක්වුවහොත් එම කටයුතුවලින්ද ඉවත්වීමට සූදානම් බවත් සඳහන් කරනවා.

මේ හේතුවෙන් ඉදිරියේදී දිවයින පුරා ඉන්ධන හල්වල ඉන්ධන හිඟයක් ඇති වීමක් සිදුවිය හැකි බවත් දැනට ඉන්ධන හල්වල ගබඩා කර ඇති ඉන්ධන පමණක් ජනතාවට නිකුත් කෙරෙන බවත් පෙන්වා දුන්නා ෴

++++++++++++++++++++++++

තෙල් සංස්ථාවේ ගැටුම ගැන වහා නීතිය කි‍්‍රයාත්මක කරන්නැයි පොලීසියට උපදෙස්

(29.10.2018 – nethnews.lk)

ඛනිජ තෙල් සංස්ථාවේ ඊයේ (28) ඇති වූ ගැටුම සම්බන්ධයෙන් නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස පොලීසියට උපදෙස් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර ගාමිණී ලොකුගේ මහතා පවසනවා. මහින්ද රාජපක්‍ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයේ වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා මේ බව කියා සිටියා.

ඊයේ තෙල් සංස්ථාවේ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් වහාම නිතිය ක්‍රියාත්මක කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා නියෝග කළ බව මෙහිදී මන්ත්‍රිවරයා කියා සිටියා. සිදුවීම සම්බන්ධයෙන් සටහන් කර ගෙන තිබෙන ප්‍රකාශ අනුව අමාත්‍යවරයාද, සභාපතිවරයාද යන්න පිලිබදව තරා තිරම නොබලා අවශ්‍ය පියවර ගනු ඇති බවයි මෙහිදී මන්ත්‍රිවරයා වැඩි දුරටත් සදහන් කර සිටියේ.

ඛනිජ තෙල් සංස්ථාවේ ඊයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නැයි බල කරමින් ලංකා ඛනිජ තෙල් ශාඛාවේ නිදහස් සේවක සංගමය මේ වනවිට වැඩවර්ජනයක නිරත වනවා. ඒ හේතුවෙන් දිවයින පුරා ඉන්ධන හිගයක් ඇතිවීමේ අවදානමක් හටගෙන ඇති අතර මේ වනවිටත් ඉන්ධන පිරවුම්හල් ආසන්නයේ දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ.

++++++++++++++++++++++++

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග අත්අඩංගුවට

(29.10.2018 – 16:30 +0530 – hirunews.lk/sinhala)

දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේදී සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බවයි.

ඊයේ පස්වරුවේ ඇති වූ මෙම නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් සේවකයින් 3 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

පසුව එක් අයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, මෙලෙස මියගියේ ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තිදරු පියෙක්.

++++++++++++++++++++++++

අර්ජුනට ඇප

(29.10.2018 – 18:16 +0530 – sinhala.adaderana.lk)

කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගත් හිටපු ඛනිජ තෙල් සංම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඇප මත මුදාහැර තිබේ.

ඔහු අද (29) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය තුළ ඊයේ (28) සවස සිදු වූ වෙඩි තැබීමෙන් එහි සේවකයකු මිය අතර, එම සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා කොළඹ, අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම සිදුවීමට අදාළව විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පොලිස්පතිවරයා විසින් බාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද දෙරණට පැවසීය.

වෙඩි තැබීමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලැබූ අතර, ඉන් එක් පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගියේය.

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගිය අවස්ථාවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් මත ඔහුගේ ආරක්ෂකයෙක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

දෙමටගොඩ ගුවන් පාලම අසල ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සිය බඩුබාහිරාදිය ගැනීමට පැමිණ ඇති අතර එහිදී මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇතිව තිබේ.

එම අවස්ථාවේ හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂකයකු වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලිසිය සඳහන් කළ අතර එම අවස්ථාවේ එහි තත්ත්වය ජංගම දුරකතන කැමරාවක පටිගත වී තිබුණේය.

තත්ත්වය පාලනය කිරීම සඳහා පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය ද යෙදවීමට කටයුතු කළේය.

මේ අතර එම අවස්ථාවේදී සංස්ථා පරිශ්‍රෙය් සිර වී සිටි හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එම බලකායේ නිල ඇඳුමක් අන්දවා ගොඩනැඟිල්ලෙන් පිටතට රැගෙන ගිය ආකාරය දක්නට ලැබිණ.

කෙසේ වෙතත් මෙම තත්ත්වය හේතුවෙන් අද උදෑසන සිට ඛනිජ තෙල් සංස්ථාවේ වර්ජනයක් ආරම්භ කර තිබු අතර, මේ වන විට එය නවතා දමා ඇති බව ද අද දෙරණට වාර්තා විය.

ඛනිජ තෙල් වෘත්තිය සමිති ආරම්භ කර තිබු වර්ජනය අවසන් කර තිබේ ෴

++++++++++++++++++++++++

වෙඩි තබන්නට කිසිදු අණක් නොදුන් දුමින්දට මරණ දඬුවම, වෙඩි තබන්නැයි කෑමොර දුන් අර්ජුන නිදහස්, පොලිසියේ නැමෙන නීතිය ගැන විමල් සලකුණේ දී ප්‍රශ්න කරයි

(30.10.2018 – 10:19 +0530 – hirunews.lk/sinhala)

ඛනිජ තෙල් සංස්ථාවට ඇතුල්වූ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංගට එල්ලවූ විරෝධය හමුවේ ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකු තැබූ වෙඩි පහරකින් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා.

එහිදී අසල සිටි පුද්ගලයන් පවසා තිබුනේ වෙඩි තබන ලෙස හිටපු අමාත්‍ය අර්ජුන් රණතුංග ඔහුගේ ආරක්ෂක නිලධාරියාට කෑමොර දෙමින් පැවසූ බවයි.

ඝාතනයකට අණකළ පුද්ගලයෙකුට විනාඩි කිහිපයක් ඇතුලත ඇප ලැබීමට හේතුව පොලිසිය නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකිරීම බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා හිරු TV සලකුණ දේශපාලන වැඩසටහනේදී ප්‍රකාශ කළේ.

ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේ වෙඩි තැබීමට කිසිදු නියෝගයක් ලබානොදුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම නියමවෙද්දී වෙඩි තබන ලෙස කෑමොර දුන් අර්ජුන රණතුංග හිටපු ඇමතිවරයාට ඇප හිමිවීම ප්‍රශ්න සහගත බවයි.

ඊට පොලිසිය වගකිවයුතු බවත් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළා.

++++++++++++++++++++++++

04.11.2018

++++++++++++++++++++++++

09.11.2018
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *