යළි ජාතික ආණ්ඩුවකට එක්වීමේ අවශ්‍යතාවක් නැහැ – එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්

(31.10.2018 – 20:06 +0530 – hirunews.lk/sinhala)

නැවත ජාතික ආණ්ඩුවකට එක්වීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ අද පස්වරුවේ කොල්ලුපිටියේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

++++++++++++++++++++++++

අගමැති ධුරයේ වෙනස ගැන නීතිපති මතය කථානායකට

(31.10.2018 – 19:40 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය ධුරයේ සහ රජයේ ඇතිවූ වෙනසෙහි නීත්‍යානුකූල භාවය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ භූමිකාව අනුව මතයක් ප්‍රකාශ කිරීම යෝග්‍ය නොවන බව නීතිපති ජයන්ත ජයසුරිය මහතා ලිපියක් යොමු කරමින් කථානායකවරයා වෙත අද දැනුම්දුන්නා.

ඒ, නව අග්‍රාමාත්‍ය ධුරය සහ රජයේ ඇතිවූ වෙනසේ නීත්‍යානුකූල භාවය සම්බන්ධයෙන් තම මතය දැනුම්දෙන ලෙස කථානායක කරූ ජයසූරිය නීතිපතිවරයා වෙත යොමුකළ ලිපියකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර ඇතැම් පාර්ශව පවසන පරිදි ආණ්ඩුව වෙනස් කිරීමේදී අසාධාරණයක් සිදුව ඇත්නම් ජනතාව නැගී නොසිටින්නේ ඇයිදැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ප්‍රශ්න කරනවා.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ යුතුකම සංවාද කවය කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

කථානායක, ජනපති හමුවේ

(31.10.2018 – 19:19 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කථානායක කරූ ජයසූරිය අතර හමුවක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

අද පස්වරු 5 ට පමණ කථානායකවරයා, ජනාධිපතිවරයා හමුවීමට පැමිණි අතර, මේ වනවිට ඔහු ඉන් පිටව ගොස් තිබෙනවා.

කථානායක කාර්යාලය සඳහන් කළේ කල් තබා ඇති පාර්ලිමේන්තුව කැඳවන ලෙසට එහිදී කථානායක කරූ ජයසූරිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි. ඒ පිළිබඳ සළකා බලා ඉදිරියේදී දැනුම් දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව සාකච්ඡාවෙන් අනතුරුව කතානායක කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

එසේම ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ නව අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ අවශ්‍ය පහසුකම් සැළසීමට කටයුතු කරන ලෙසයි.

අදාළ කටයුතු සොයා බලා සිදුකරන බව කථානායක කරූ ජයසූරිය මෙහිදී සඳහන් කළ බව ද හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත හානා සිංගර් මහත්මිය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක්ද ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්වුණා.

එහිදී මේ වනවිට රටේ ඇති වී තිබෙන දේශපාලනික තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් ඇයව දැනුම්වත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

රජයේ සියලු කටයුතු සිදුකර තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බවද මෙහිදී ජනාධිපතිවරයා පැහැදිලි කර තිබෙනවා.

එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියටද ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට සූදානම් බව එම සංවිධනයේ මෙරට නිත්‍ය නියෝජිතවරිය ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

එමෙන්ම, රටේ නීතිය සහ සාමය ආරක්ෂා කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

මේ අතර වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් අතර හමුවක්ද අද ජනාධිපති මන්දිරයේදී සිදුවුණා.

නව රජයේ ඉදිරි වැඩකටයුතු වෙනුවෙන් පූර්ණ සහය ලබාදීමට මෙහිදී සියලූ සංවිධායකවරු කැමැත්ත පළ කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අවශ්‍ය සියලු සහයෝගය සක්‍රියව ලබාදීමට කැපවන බවටද ඔවුන් සහතික වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ෴

+++++++++++++++++++++++++++++++++++++

මම ඉන්නකම් ෆෙඩරල් නෑ – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

(31.10.2018 – 19:37 +0530 – lankadeepa.lk)

‘‘මම මේ පුටුවේ ඉන්නකම් උතුරු නැගෙනහිර එකතු කරන්නෙත් නැහැ, ෆෙඩරල් කරන්නෙත් නැහැ.’’ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවේදී ප්‍රකාශ කර ඇත.

එම කරුණු දෙක ඉටු කර ගැනීමට නම් තමා මරා දැමිය යුතු යැයිද ජනාධිපතිවරයා පවසා තිබේ.

එසේ වුවද උතුරු නැගෙනහිර එකතු කරනා බවට හා ෆෙඩරල් දෙන බවට සමහරුන් සපථ කර ඇතැයි ද ජනාධිපතිවරයා පවසා ඇත.

මහින්ද රාජපක්ෂ මහතාත්, තමාත් අවබෝධයෙන් කටයුතු කරන බව පවසා ඇති ජනාධිපතිවරයා ඉදිරියේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර ඇතැයි කී ජනාධිපති සිරිසේන මහතා ඒ ගැන බියක් ඇතිකර නොගන්නැයි ඉල්ලීමක්ද කර ඇත.

මෙම හමුව ජනාධිපති මන්දිරයේදී අද (31) දහවල් පැවැත්විණි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *