දුමින්දට නොනැමුනු, අර්ජුනට නැමෙන නීතිය ගැන තෙල් සේවකයන් ප්‍රශ්න කරයි

(31.10.2018 – 19:25 +0530 – hirunews.lk/sinhala)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය සේවකයාගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා.

ඒ, උඩුනුවර – ගෙළිඔය – කොස්සින්න පොදු සුසාන භූමියේදියි.

හිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග සිය ආරක්ෂකයින් සමඟ පසුගිය ඉරිදා පස්වරුවේ එම අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේදී ඇතිවූ නොසන්සුන්තාව අතරතුර හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂකයෙකු සිදුකළ වෙඩි තැබීමකින් මොහු ජීවිතක්ෂයට පත්වුණා.

එහිදී තවත් දෙදෙනෙකු රෝහල් ගත කිරීමටයි පියවර ගැනුනේ.

මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වුණේ උඩුනුවර – ගෙළිඔය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි එක්දරු පියෙකු වන රංගන පුෂ්පකුමාර රාජපක්ෂ නැමති තෙල් සංස්ථා සේවකයෙක්.

වෙඩි තැබීම සිදුකළ හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂකයා එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගත් අතර, හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට ගත්තේ පෙරේදා පස්වරුවේයි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු හිටපු අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත මුදාහැරුණු අතර, ආරක්ෂක නිලධාරියා ලබන මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

අද පැවති අවමංගල්‍ය උත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශෝක පණිවුඩයක් එවා තිබූ අතර, එය අවමංගල සභාවට ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා විසින්.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම සහ දිලූම් අමුණුගම යන මහත්වරු ඇතුලූ පිරිසක්ද එක්ව සිටියා.

*****************************************

ත්‍රීරෝද රථ ගාස්තු හෙට සිට අඩු කෙරේ

(31.10.2018 – 14:32 +0530 – hirunews.lk/sinhala)

මිල සූත්‍රය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තීරණයක් ගන්නා බව ප්‍රකාශ කිරීමත් සමඟ හෙට සිට ත්‍රී රෝද රථ ගාස්තු සංශෝධනය කරන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය පවසනවා.

එහි සභාපති සුනිල් ජයවර්ධන කියා සිටියේ දෙවන කිලෝමීටරයේ සිට සෑම කිලෝමීටරයකින්ම අය කෙරෙන ගාස්තුව රුපියල් 05 කින් අඩු කරන බවයි

*****************************************

විධායක නිළධාරිනියක් සමඟ අනියම් සම්බන්ධතාවක් පටන් ගත්ත රියදුරා කළ සෙල්ලම නතරවූ තැන

(31.10.2018 – 13:21 +0530 – hirunews.lk/sinhala)

විධායක ශ්‍රේණියේ රැකියාවේ නිරත රූමත් විවාහක කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ රියදුරෙකු විසින් අදාළ නිලධාරිනිය ගෙන් කප්පම් ලබාගත් පුවතක් මීගමුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාළ රියදුරා එම ආයතනයේම සේවයේ නිරත අයෙකු බවටයි වාර්තා වන්නේ.

අනතුරුව වරින් වර අදාළ රියදුරාට කප්පම් මුදල් ලබාදී ඇති කාන්තාව විසින් පසුව මේ පිළිබඳව පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකාර රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාරවිල පහළ කොට්‌ටරාමුල්ල පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකුයි.

සැකකරු විසින් මෙලෙස තර්ජනය කර ඇත්තේ රූමත් විවාහක දරුවන් නොමැති කාන්තාවකගෙන්.

සැකකරු විසින් අදාළ රූමත් කාන්තාව සමඟ අනියම් පෙම් සම්බන්ධතාවක් ගොඩනගාගෙන අනතුරුව ඇය සමඟ කිහිප අවස්ථාවකම සමීප ඇසුරක් පවත්වා තිබෙනවා.

එම අවස්ථාවලදී ඔහු රහසිගතව එම අවස්ථාවල ඔවුන් එක්වන ආකාරය දැක්වෙන ඡායරූප ලබාගෙන ඇති අතර අනතුරුව ඒවා අදාළ කාන්තාවගේ සැමියා වෙත ලබාදෙන බව පවසා තර්ජනය කරමින් මෙලෙස මුදල් සහ ස්වර්ණාභරණ කප්පම් ලෙස ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවලදී රුපියල් පනස්‌ දහසක්, එක්‌ ලක්‍ෂ තිස්‌ හතර දහසක්‌ වටිනා රන් මාලය සහ රුපියල් හතළිස්‌ පන්දහසක්‌ වටිනා රන් මුදුව ද බලෙන් ලබාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මෙම කරදරකාරී තත්වයෙන් බේරීම සඳහා ඇය සියදිවි හානිකරගැනීමටද උත්සහ ගෙන ඇති බවද සඳහන්.

පසුව අදාළ පුද්ගලයා විසින් ඇයගෙන් රුපියල් ලක්ෂයක් කප්පම් වශයෙන් ඉල්ලා ඇත්තේ අදාළ ඡායාරුප අන්තර්ජාලයට එක්කරන බවට තර්ජනය කරමින්.

එම අවස්ථාවේ මේ පිළිබඳව කාන්තාව විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මීගමුව පොලිසියේ නිළධාරීන් සිදුකළ රහසිගත මෙහෙයුමකින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිදුකල විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ ඔහු මීට පෙර අවස්ථා ගණනාවකදී මෙලෙස කාන්තාවන් රවටා මුදල් ලබාගෙන ඇති බවයි.

සැකකරු ඉන් එක් අවස්ථාවක කාන්තාවකට අතවර කිරීම සම්බන්ධයෙන් අත්හිටුවූ සිරදඬුවම් ලැබූ අයකු බවට අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මීගමුව පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *