නව විදේශ ලේකම් රවිනාථ ආර්‍ය්‍යසිංහ වැඩ අරඹයි

(31.10.2018 – 21:09 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රි ලංකා විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන තානාපති රවිනාථ ආර්‍ය්‍යසිංහ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස අද දින (31) සිය ධුරයේ වැඩ භාරගත්තේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඒ මහතා මෙම තනතුරට පත්කරන ලදී.

අද දින උදෑසන අමාත්‍යාංශයට පැමිණි නව විදේශ ලේකම් ආර්‍ය්‍යසිංහ මහතා අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබිය.

ආර්‍ය්‍යසිංහ මහතා මීට පෙර 2018 අප්‍රේල් මස සිට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු හා වෙළෙඳාම පිළිබඳ අතිරේක ලේකම්වරයා වශයෙන් කටයුතු කළේය.

1988 වසරේ ශ්‍රී ලංකා විදේශ සේවයට බැඳුණු ඒ මහතා, නව දිල්ලියේ දෙවැනි ලේකම්වරයා ලෙසත් (1989-1991), වොෂිංටන් නුවර නියෝජ්‍ය තානාපතිවරයා ලෙසත් (2002-2006) කටයුතු කළේය.

2008 අප්‍රේල් සිට 2012 ජුනි දක්වා කාලයේ බෙල්ජියමේ හා ලක්සම්බර්ග්හි ශ්‍රී ලංකා තානාපතිවරයා මෙන්ම, යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද ඒ මහතා කටයුතු කළේය.

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස හා ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස 2012 ජුලි මස සිට 2018 මාර්තු මස දක්වා කටයුතු කළ ආර්‍ය්‍යසිංහ මහතා ඊට සමගාමීව වතිකානුවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද සේවය කළේය.

ආර්‍ය්‍යසිංහ මහතා 1995–2000 හා 2007–2008 යන කාලය තුළ පොදු සන්නිවේදන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරද හෙබවීය.

1993–1995 කාලය තුළ විදේශ සේවයෙන් නිවාඩු ලබාගත් ඒ මහතා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ ජාතික තොරතුරු නිලධාරියා ලෙස සේවය කළේය.

ශ්‍රී ලංකා විදේශ සේවය හා එක්වීමට පෙර ඒ මහතා ජාතික රූපවාහිනී නාලිකාව ස්ථාපිත කිරීමෙහිලා පුරෝගාමියෙකු ලෙස කටයුතු කර ඇත. 1982 සිට 1988 දක්වා ඔහු ජාතික රූපවාහිනියේ ජ්‍යෙෂ්ඨ දේශපාලන වාර්තාකරුවෙකු හා ප්‍රවෘත්ති සංස්කාරකවරයෙකු ලෙස සේවය කළේය.

විදේශ ලේකම් ආර්‍ය්‍යසිංහ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිධාරියෙකු වන අතර කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියෙකි.

ඔහු 2001 සිට 2002 දක්වා වොෂිංටන් නුවර ඇමෙරිකා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සේවා විද්‍යායතනයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ‘හර්ස්ට්’ ශිෂ්‍යත්වධාරියෙක්ද විය ෴

*****************************************

මහා රෑ යතුරුපැදියකින් ආපු අයියලා දෙන්නා වෙඩි ප්‍රහාරයක් එල්ලකරමින් පින්නදූව පිරවුම්හල කොල්ල කයි

(01.11.2018 – 07:57 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – පින්නදූව නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ගිනි අවි පෙන්වා මුදල් කොල්ලකා පලාගොස් තිබෙනවා.

ෆුල්ෆේස් හෙල්මට් පැළඳ ඊයේ (31) රාත්‍රියේ මොවුන් පැමිණ ඇත්තේ අංක තහඩු රහිත යතුරුපැදියකින් බවටයි අනාවරණ වී ඇත්තේ.

රාත්‍රී 9.15 ට පමණ පිරවුම්හලෙන් ඉන්ධන ලබාගන්නා මුවාවෙන් සැකකරුවන් පැමිණ ඇති අතර, පසුව එහි පොම්පකරු බියවද්දා අහසට වෙඩි තබමින් මෙම කොල්ලය සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

කොල්ලකරුවන් පොම්පකරු අත තිබූ රුපියල් 32,000 කට අධික මුදලක්ද පැහැරගෙන ගොස් තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *