පොලිස් ලොක්කන් 53 කට දුන් වැරදි ස්ථාන මාරු කොමිසමෙන් නවත්වයි

(31.10.2018 – 23:00 +0530 – lankadeepa.lk)

පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් සහකාර පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් අධිකාරීවරුන් 53 දෙනකුට හදිසියේම ලබා දුන් ස්ථාන මරු නියෝග වහාම අවලංගු කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව අද (31) දැනුම් දුන් බව පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙම ස්ථාන මාරු නියෝග නිකුත් කරනු ලැබ ඇත්තේ හෙට (01) සිට මාසයක කාලයක් සඳහා තාවකාලිකව ක්‍රියාත්මක වීමේ පදනම මතය.

සහකාර පොලිස් අධිකාරීවරුන් 27 දෙනකුට 2018 ඔක්තෝබර් 30 වැනි දා තමින් ද, තවත් සහකාර පොලිස් අධිකාරීවරුන් 19 දෙනකුට සහ පොලිස් අධිකාරීවරුන් 07 දෙනකුට 2018 ඔක්තෝබර් 29 වැනි දා තමින්ද මෙම ස්ථාන මාරු නියෝග නිකුත් කර තිබේ.

එම ස්ථාන මාරු නියෝග වල සඳහන් කර ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව 2018 නොවැම්බර් පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි සේවයේ අවශ්‍යතා මත මාසයක කාලයක් සඳහා ඔවුන් තාවකාලික පදනම මත අනියුක්ත කරන බවයි.

එම මාරුවීම් වලට අදාල නියෝගය නිකුත් කළ පසු පොලිස්පතිවරයා ඊට අනුමැතිය ගැනීම පිනිස ජාතික පොලිස් කොමිෂන් සභාවට යැවූ බව පොලිස් ආරංචි කියයි.

ඒ අනුව අද (31) රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියක් නැතිව සිදු කරනු ලැබ තිබූ එම ස්ථාන මාරුවීම් 53 වහාම අත්හිටුවන ලෙස නියෝග කර ඇතැයි කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

සහකාර පොලිස් අධිකාරී ධුරයෙන් ඉහළ නිලධාරීන් ස්ථාන මාරු කිරීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව වාර්ෂික ස්ථාන මාරු ක්‍රමවේදයක් සකස් කර තිබිය දී හදිසියේ මෙම ස්ථාන මාරු කිරීම් කර ඇතැයි පෙලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

මීට පෙර ද මෙලෙසම පොලිස් කොමිසමේ අනුමැතියක් නැතිව සිදු කළ ස්ථාන මාරු සහ වැඩතහනම් කිරීම් කිහිපයක් නතර කරන ලෙස පොලිස් කොමිසම නියෝග කර තිබිණි. කල්මුණේ පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත් මහතාගේ වැඩ තහනම් කළ අවස්ථාවේ දී පොලිස් කොමිසමේ අනුමැතියක් නැතිව සහකාර පොලිස් අධිකාරී නිලයෙන් ඉහළ නිලධාරීන් වැඩ තහනම් කිරීමට හා ස්ථාන මාරු කිරීමට පොලිස්පතිවරයාට බලයක් නැති බව පෙන්වා ඇතැයි ද, කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීව සිටි (දැන් නියෝජ්‍ය පොලිස්පති) පාලිත සිරිවර්ධන මහතාට ස්ථාන මාරුවක් දීමට යන බව කියමින් නඩු පැවරූ අවස්ථාවේ නීතිපතිවරයා ද එය තහවුරු කර ඇතැයි ද පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය ෴

+++++++++++++++++++++++++++++++++++++

කතානායක හමුවෙන්න ගිය පූජිත මහින්දත් හමුවෙයි

(31.10.2018 – 21:54 +0530 – lankadeepa.lk)

කතානායක කරු ජයසූරිය මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට කැඳවා අද (31) සාකච්ඡාවක් පවත්වා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

රටේ ආරක්ෂාව ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙන බවද එම ආරංචි මාර්ග කියයි.

පොලිස්පතිවරයා කතානායකවරයා හමුවීමට පෙර අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඒ පිළිබඳව දැනුම් දී ඇත.

කතානායකවරයා හමුවීමෙන් පසුවද පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අගමැතිවරයා නැවත වරක් හමුවී තිබෙන බව දැනගන්නට ඇත.

ජනාධිපතිවරයා හා කතානායකවරයා අතරද විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්විණි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *