රුපියල ඔළුව උස්සයි – ඩොලරයක විකුණුම් මිල රු. 175.8240

(02.11.2018 – 13:22 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (02) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 171.9317 ක් හා විකුණුම් මිල රු. 175.8240 ක් ලෙසින් සටහන් විය.

ඊයේ (02) දිනයේ දී ඩොලරයක ගැණුම් මිල රු. 173.4281 ක් හා විකුණුම් මිල රු. 177.3261 ක් වශයෙන් සටහන් වූ අතර එය මෙතෙක් ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් නියම වූ වැඩිම රුපියල් අගය ලෙසින් වාර්තා විය.

මේ අතර අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේ රුපියලේ අවප්‍රමාණය වැළැක්වීම සඳහා ඊයේ දිනයේ දී සංචිතවලින් ඩොලර් මිලියන 50 ක් වෙළෙඳපොළට මුදා හැර ඇති බවයි ෴

*****************************************

වව්නියාව, ඉරට්ටපෙරියකුලම ප්‍රදේශයේදී රු. රුපියල් ලක්ෂ දහයක මුදල් මංකොල්ලයක්

(02.11.2018 – 07:29 +0530 – sinhala.adaderana.lk)

වව්නියාව, ඉරට්ටපෙරියකුලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඉන්ධන පිරවුම්හලක මුදල් බැංකුගත කිරීමට රැගෙන යන අවස්ථාවේ කිසියම් කණ්ඩායමක් අදාළ මුදල් සොරාගෙන ගොස් ඇති බව වව්නියාව පොලීසිය පවසයි.

‍පොලීසිය පැවසුවේ ඉන්ධන පිරවුම්හලක සේවකයෙකු ඉන්ධන පිරවුම්හලේ ගනුදෙනු මඟින් එක්වු රුපියල් ලක්ෂ දහයක මුදලක් බැංකුගත කිරීමට රැගෙන යන අවස්ථාවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අදාළ සේවකයාගෙන් මුදල් පැහැරගෙන ගොස් ඇති බවයි.

වව්නියාව නුවර මාර්ගයේ වව්නියාව තේක්කවත්ත ප්‍රදේශය ආසන්න ප්‍රදේශයේදී ඊයේ(01) සවස අදාළ මුදල් පැහැරගැනීම සිදුකොට ඇති බවද පොලීසිය පැවසීය.

මුදල් පැහැරගත් පිරිස අතුරුමාර්ග ඔස්සේ පළාගොස් ඇති බව පොලීසිය අනාවරණය කොටගෙන ඇත.

මුදල් සොරාගත් පිරිස අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි ෴

*****************************************

කිලිනොච්චිය ප්‍රදේශයේදී කිඹුලෙකුගේ ප්‍රහාරයට ලක්ව තුවාල ලබා සිටි වන අලි පැටවා …

(01.11.2018 – sinhala.adaderana.lk)

කිලිනොච්චිය ප්‍රදේශයේදී කිඹුලෙකුගේ ප්‍රහාරයට ලක්ව තුවාල ලබා සිටි වන අලි පැටවෙකු කිලිනොච්චි වනජීවී නිලධාරීන්ගේ මැදිහත්වීම මත බේරා ගෙන තිබේ.

එම වනඅලි පැටවා වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වන විට ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන විත් ඇති අතර එම බරපතළ ලෙස තුවාල ලබා සිටින වන අලියාට ප්‍රතිකාර කිරීම් කටයුතු ගිරිතලේ වනජීවී පශුවෛද්‍ය රෝහල භාර වනජීවී පශු වෛද්‍ය දිනූෂා ද සිල්වා මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් ගිරිතලේ වනජීවී පශුවෛද්‍ය ඒකකයේ වනජීවී නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ කිලිනොච්චිය වනරක්ෂිතයේ සැරි සැරූ වයස මාස 5-6ත් අතර පසුවන උස අඩි තුනක් පමණ වන වන අලියෙක් බව වනජීවී නිලධාරීන් සදහන් කර සිටියි.

කිඹුලාගේ ප්‍රහාරයෙන් මෙම වන අලි පැටවාගේ පාද තුනකට දැඩි ලෙස හානි සිදු වී ඇති බවත් ඒ හේතුවෙන් මෙම වන අලි පැටවාට ඇවිදීමට අමාරු තත්ත්වයක් උදා වී ඇති බවත් අද දෙරණ වාර්තාකරු පවසයි.

කෙසේ නමුත් මේ වන අලි පැටවා සුවය ලබමින් පසුවන බවත් වන අලි පැටවාට අඛණ්ඩව ප්‍රතිකාර කිරීම් කටයුතු සිදු කරන බවත් වනජීවී පශු වෛද්‍ය දිනූෂා ද සිල්වා මෙනෙවිය වැඩිදුරටත් පවසා සිටියි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *