පාර්ලිමේන්තුව කැඳවන්න : එක්සත් ජාතීන්ගේ මහලේකම් ජනපතිට දැනුම් දෙයි

(03.11.2018 – nethnews.lk)

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා පාර්ලිමේන්තුව කැඳවන්නැයි ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අවධාරණය කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

ඉකුත් නොවැම්බර් 01 වෙනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් අතර පැවැති දුරකතන සංවාදය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ බව සඳහන් කර සිටිනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේ සදහන්ව තිබෙනවා :

“නොවැම්බර් 1 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් දුරකතන සංවාදයක නියැළුණා. තමන් ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනය තත්ත්වය සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින බවත් ඇති ව තිබෙන අර්බුදය සියලු පාර්ශව හා පක්ෂ සමඟ සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට සහයෝගය දීමට සූදානම් බව මෙහිදී මහලේකම්වරයා ජනාධිපතිවරයාට දැනුම් දුන්නා.

සාමය, ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍යයට ගෞරව කිරීම සුරක්ෂිත කිරීමේ රජයේ වගකීමක් බවත් මහලේකම්වරයා එහිදි පෙන්වා දුන්නා. පාර්ලිමේන්තුව කැඳවා පාර්ලිමේන්තු ක්‍රියාදාමය අනුගමනය කරමින් කඩිනමින් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පවත්වන්නැයි මහලේකම්වරයා එම දුරකතන සංවාදයේදී ජනාධිපතිවරයාට අවධාරණය කළා. ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවලට අනුව මානව හිමිකම්, යුක්තිය සහ සංහිඳියාව සම්බන්ධයෙන් දුන් පොරොන්දු හා එම බැඳීම් හා වගකීම් ඉටු කිරීම සම්බන්ධයෙන් අවධානය කළ යුතු බව ද මහලේකම්වරයා එහිදි ජනාධිපතිවරයාට කියා සිටියා”.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *