මා අගමැති ලෙස පිලිගන්නේ රනිල් වික‍්‍රමසිංහයි.. කතානායක නිල වශයෙන් නිවේදනය කරයි.. පාර්ලිමේන්තුව බලෙන් කැඳවන බවටත් ඉඟි..

(05.11.2018 – 11:20 +0530 – lankacnews.com)

පාර්ලිමේන්තුව තුල නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්වය පිළිගැනීමට තමන් කටයුතු කරන බව කතානායක කරු ජයසුරිය මහතා පවසයි.

කතානායකවරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත.

කෙසේ වෙතත් ප‍්‍රවීණ ව්‍යවස්ථා විශාරදයන් පවසන්නේ පාර්ලිමේන්තුව වාරාවසාන කල පසු කතානායකට මේ අකාරයෙක් කටයුතු කල නොහැකි බවත් ව්‍යවස්ථා අර්ථ නිරූපනයන් සිදු කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය පමණක් බවත්ය.

අගමැතිවරයා පත් කිරීම ජනාධිපතිවරයා සතු ව්‍යවස්ථානුකූල බලයක් බවත් ඒ සම්බන්දයෙන් ඕනෑම පාර්ශවයකට අධිකරණයට යා හැකි බවත් ඔවුන් පෙන්වා දෙති.

ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය නොතකා 14 වැනිදාට කලින් පාර්ලිමේන්තුව බලහත්කාරයෙන් කැදවෙනු ඇතැයිද ඉඟි කරමින් කතානායකවරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය :

2018.11.05

අප මාතෘ භූමිය පෙර නොවූ විරූ ආකාරයේ අර්බුධකාරී තත්වයකට මුහුණ දී ඇති අවස්ථාවක මා මෙතෙක් නිහඬව සිටි නමුත් පාර්ලිමේන්තුවේ විපක්ෂනායකතුමා ඇතුළු බහුතර මන්ත්‍රී තුමන්ලාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහාත් අප මෙතෙක් රැකගත් ප්‍රජාතන්ත්‍රවාදය විනාශවනු වැළැක්වීම සඳහාත් ඉදිරිපත්ව හෘදයශාක්ෂියට එකඟව ක්‍රියාකිරීම මේ මොහොත් මා සතු ජාතික යුතුකමක් කොට සළකමි.

එක්සත්ජාතික පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතාවිමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොන්ග්‍රසයට අයත් මන්ත්‍රීවරුන් 116 දෙනෙකුගේ අත්සන් සහිතව අතිගරු ජනාධිපතිතුමා ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් සඳහන් කරමින් තමන් එය අනුමත නොකරන හෙයින් පාර්ලිමේන්තුව වහා කැඳවා එහි අනුමැතිය ලබා ගන්නා ලෙස සඳහන් කරමින් මා වෙත ඉදිරිපත්කොට ඇති ඉල්ලීම අතිශයින් සාධාරණ බව මාගේ හැඟීමයි.

මා නොවැම්බර් මස පළමුවන දින අතිගරු ජනාධිපතිතුමන් හමු වූ අවස්ථාවේ දී එතුමා දන්වා සිටියේ පාර්ලිමේන්තුව කැඳවන ලෙස මවිසින් කරන ලද ඉල්ලීම කෙරෙහි අවධානය යොමුකොට එදින රාත්‍රියේදී මා දැණුවත් කරන බවයි.

එය එ‍ලෙසම සිදු නොවූ නමුත්, පසු දින පෙරවරු 10.30 ට පමණ එතුමා දුරකථනයෙන් මා අමතා නොවැම්බර් 07 වන දින පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය ගැසට් නිවේදනය නිකුත් කරන බව දන්වාසිටි අතර එදින පෙරවරුවෙහි එතුමා හමු වූ ජපන්, ප්‍රංශ, ඇමරිකානු සහ ඇෆ්ගනිස්තාන් තානාපතිවරුන් හමුවේ ද එතුමන් තහවුරුකර තිබුණේ නොවැම්බර් 05 වන දින පාර්ලිමේන්තුව කැඳවන බවයි.

ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් නොවැම්බර් මස 05 වන දින පාර්ලිමේන්තුව කැඳවන බව තමා හමු වූ විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන් පිරිසක් හමුවේද සනාථ කර තිබිණ.

අතිගරු ජනාධිපතිතුමන් වාචිකව ලබා දුන් පොරොන්දුව අනුව කටයුතු කරන්නේනම් නොවැම්බර් 07 වන දින වනවිට පාර්ලිමේන්තුව කැඳවා රට ස්ථාවර කිරීම කථානායකවරයා වශයෙන් මාගේ යුතුකමවේ. ඒ සඳහා මාහට සහය වීම ගරු ජනාධිපතිතුමාගේ ද යුතුකමක් බව හඟිමි.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම බරපතල ලෙස උල්ලංඝනය කරමින් මාධ්‍ය ආයතන ඇතුළු සෙසු රාජ්‍ය ආයතන පරිපාලනය බලහත්කාරයෙන් පැහැරගෙන මධ්‍යස්ථ සේවකයන් පිටුදකිමින් ගරු මහජන නියෝජිතයිනට වරදාන ලබාදෙන බවට ලැබෙමින් පවතින තොරතුරු දෙස නිහඬව බලා සිටීම අසීරු වේ.

පාර්ලිමේන්තුව නීත්‍යානුකූලව රැස්කිරීමට ඉඩ නොතබා ගරු මන්ත්‍රීවරුන් සතු අයිතීන් පැහැරගෙන ඇති බවට බහුතරය විසින් පෙන්වා දෙනු ලැබ ඇති අවස්ථාවක යුක්තියේ හා සාධාරණත්වයේ නාමයෙන් මාගේ ස්ථාවරය ලෝකයට පළකළ යුතුව තිබේ.

පාර්ලිමේන්තුවේ ඇතිකළ වෙනස්වීම් සියල්ල ව්‍යවස්ථා විරෝධීව සහ සාම්ප්‍රදාය විරෝධීව සිදුකර ඇති බව බහුතරයේ අදහස වන බැවින් මෙම වෙනස්වීම් වලට පෙර පැවති තත්වය පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා ඇති ‍හෙයින් ඔවුනට හා නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්වය පිළිගැනීමට මා හට සිදුවන බව අවධාරණය කරමි.

අවසාන වශයෙන් කිව හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සිදු නොවිය යුතු මෙම සිද්ධිය අවිහරඹ වලින් තොරව සිදු වූ අප්‍රසන්න සංසිද්ධියක් බවයි.

කරු ජයසූරිය
කථානායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

කරූගේ නිවේදනය ආණ්ඩුවෙන් හෙළා දකී

(05.11.2018 – 13:02 +0530 – sinhala.adaderana.lk)

කථානායකවරයා පක්ෂග්‍රාහීව සහ පක්ෂයකට වාසි වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම ව්‍යවස්ථා විරෝධී මෙන්ම සම්මතයට පටහැනි බව විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

මේ මොහොතේ කොළඹ පැවැත් වෙන ආණ්ඩු පක්ෂයේ, මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

අද උදෑසන කථානායක කරූ ජයසූරිය මහතා, නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්ත්වය පිළිගැනීමට තමාට සිදුවන බවයි.

මෙම නිවේදනය හෙළා දකින බව ද සරත් අමුණුගම මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ, මෙය කථානායකවරයා විසින් ගන්නා ලද පෞද්ගලික හා දේශපාලනික පළිගැනීමක් වන බවත්, එය කථානායකවරයෙකුට කිසිසේත් සුදුසු නොවන බවයි.

කිසිදු පක්ෂයට වාසි වන ලෙස ප්‍රකාශ කිරීම ව්‍යවස්ථා විරෝධී වන බව ද අමුණුගම මහතා කියා සිටියේය.

සමහර ප්‍රශ්නවලට ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන අනුව කටයුතු කළ යුතු වන බව ද කියා සිටි සරත් අමුණුගම මහතා, ජනාධිපතිවරයා විසින් 16 වන දා දක්වා කල්දමා තිබු පාර්ලිමේන්තුව නොවැම්බර් මස 14 වන දින දක්වා නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ, හුදෙක් අයවැය සකස් කිරීමට අවශ්‍ය කාලය සැකසා ගැනීමට බව ද පැවසීය.

ඒ තුළින් මෙහි ඇති ප්‍රායෝගික තත්ත්වය වැටහෙන බවත්, කථානායකවරයාට කිසි විටෙකත් එය විවේචනය කිරීමට නෛතික හැකියාවක් නොමැති බව ද කියා සිටියේය.

ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට මාස 2 දක්වා පාර්ලිමේන්තුව කල් දැමීමේ හැකියාව පවතින මොහොතක මෙවැනි තීරණයක් ගනු ලැබූවේ ද මුදල් අමාත්‍යවරයාට අයවැය සැකසීමට අවශ්‍ය ලේඛන සකසා ගැනීමට කාලය ලබා දීමට බවත්, කථානායකවරයාට අගමැති පුටුවේ අසුන් ගන්නා පුද්ගලයා තීරණය කිරීමට පවා කථානායකවරයාට හැකියාවක් නොමැති බව ද පැවසීය.

දේශපාලන ඕපාදුව අනුව රටක් ගෙන යා නොහැකි බවත්, ජනාධිපතිවරයා සමඟ පැවති පෞද්ගලික සාකච්ඡාවක් ගැන පවසමින් නිවේදනයක් නිකුත් කිරීමේ කිසිදු නෛතික හැකියාවක් නොමැති බව ද සරත් අමුණුගම මහතා කියා සිටියේය.

මේ අතර, දේශපාලන වශයෙන් අර්බුදකාරී තත්ත්වයක් රට තුළ ඇති කිරීමේ අරමුණින් මෙවැනි නිවේදනයක් කථානායකවරයා විසින්, නිකුත් කර ඇති බව මෙම මාධ්‍ය හමුවට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

මෙම මාධ්‍ය හමුවට අමාත්‍ය විජේදාස රාජපක්ෂ, මහින්ද සමරසිංහ, තිලංග සුමතිපාල හා අමාත්‍ය සරත් අමුණුගම මහතා එක්ව සිටියේය ෴

++++++++++++++++++++++++

කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා – ජී.එල් පීරිස්

(05.11.2018 – 15:00 +0530 – lankadeepa.lk)

කතානායකවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව අමු අමුවේම දෙවතාවක් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපති මහාචාර්ය ජී එල් පීරීස් මහතා පැවසීය.

මේ වන විට බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වෙන ‘රටම රකින ජන මහිමය’ රැලිය අමතමින් මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා පත්කිරීමෙන් පසු එය වෙනස් කිරීමට කතානායකවරයාට බලයක් නැතැයිද ජී එල් පිරීස් මහතා පැවසීය.

කතානායකවරයා විසින් අද නිකුත් කළ නිවේදනයේ සඳහන් පරිදි කතානායකවරයාට උපකාරකිරීමට ජනාධිපතිවරයා බැදී සිටිනවා යන්න සඳහන් කිරීමම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කණපිට හැරවීමක් බව පැවසු ජි.ල් පිරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ කතානායක වරයා කටයුතු කරන්නේ කතානායක හැටියට නොව එක්සත් ජාතික පාක්ෂිකයෙක් ලෙස බවයි ෴

+++++++++++++++++++++++++++++++++++++

සභානායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය ධුරයේ වැඩ අරඹයි

(05.11.2018 – 13:06 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ නව සභා නායක ලෙස නම් කළ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද සිය ධුරයේ රාජකාරි ආරම්භ කරනු ලැබුවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ සභානායක කාර්යාලයේදී පෙරවරුවේ මොහු සිය රාජකාරි ආරම්භ කළ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

මෙම අවස්ථාවට අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියා.

එමෙන්ම ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ එස්.වියාලේන්ද්‍රන් මහතා සහ අශෝක ප්‍රියන්ත මහතා ද අද සිය අමාත්‍ය ධුරයේ වැඩ භාරගනු ලැබුවා.

+++++++++++++++++++++++++++++++++++++

05.11.2018
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *