අගමැතිට පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ලබා දුන් කථානායක දැන් සිහිවිකල් භාවයෙන් හැසිරීම විහිළුවක්

(06.11.2018 – mawbima.lk)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පත් කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත පාර්ලිමේන්තුවේ හිටි වරප්‍රසාද හා පහසුකම් පසුගිය සතියේ ලබාදුන් කථානායකවරයා ඊයේ (5දා) වන විට සිහිවිකල් භාවයෙන් හැසිරීම විහිළුවක් බව හිටපු නියෝජ්‍ය කථානායක පියංකර ජයරත්න මහතා ‘මව්බිම’ට පැවැසීය.

අද වන විට වත්මන් කථානායකවරයා එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරමින් ගෞරවනීය තනතුරක් හෑල්ලුවට ලක් කරමින් සිටින බවද හිටපු නියෝජ්‍ය කථානායකවරයා කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පියංකර ජයරත්න මහතා මෙසේද පැවැසීය :

“පසුගිය බදාදා අපි ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු ගියා නව අගමැතිතුමගේ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ පහසුකම් ගැන හොයල බලන්න. ඊට පස්සේ එතුමා අගමැති කාර්යාලය අපට භාර දුන්නා. ඒවගේම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු හැටියට අපේ ආසන වෙන්කරන්නත් නව අගමැතිතුමාගේ ආසනය පනවන්නත් පොරොන්දු වුණා. එහෙම කියපු කථානායක ඊයේ වෙන කොට මාධ්‍ය නිවේදන නිකුත් කරනවා. නව කණ්ඩායම බහුතරය පෙන්වන තුරු පෙර පැවැති තත්ත්වයම පිළිගන්නවා කියලා. මේ කථානායකට සිහි විකල් වෙලා ද කොහෙද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවයි ජනාධිපතිතුමා මහින්ද මහත්තයව අගමැති කළේ. ඒකට අභියෝග කරන්න ඕනෙ නම් කාටහරි උසාවි යන්න පුළුවන්.

මේ පාර්ලිමේන්තුවේ කථානායකට ඒක අභියෝගයකට ලක්කරන්න බෑ. එතුමාට බලය තියෙන්නෙ පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන්න පමණයි. එතුමා යූ.එන්.පී. කාරයෙක් වගේ හැසිරෙනවා. ආණ්ඩු හදන්න හදනවා. මොකක්ද මේ විහිළුව. අපි කථානායකවරුන් දැක්කා මෙහෙම කොන්ද පණ නැති කථානායකවරයෙක් දැක්කෙ නැහැ.

පාර්ලිමේන්තුවේ වාර අවසන් කරල තියෙන්නෙ ජනාධිපතිතුමා. එය නැවත පටන් ගන්න කිසිම කෙනෙකුට බලයක් නෑ.

මේ රූකඩ කථානායකතුමාට ඒක තේරෙන්නෙ නෑ. මමත් ඔය මූලාසනයේ හිටියා. අපිට බලය තියෙන්නේ සභාව ඇතුළේ කටයුතු පමණයි. ආණ්ඩු හදන්න බලයක් අපට ව්‍යවස්ථාවෙන් දීල නෑ. දැන් මේ කථානායක කරන්නේ කථානායක පුටුවෙ ඉඳන් ආණ්ඩු හදන එක. වැරැදි තීන්දු අනුව වැඩ කළොත් පාර්ලිමේන්තුවේ මහ ලේකම් හිරේ යනවා. මේ වගේ පිස්සු කථානායක කෙනෙකුගේ තීන්දු ක්‍රියාත්මක කළොත් ඒ නිලධාරීන්ට හිරේ යන්න වෙනවා. අපි මේ කථානායකවරයාට කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වෙන්නෙ නැතිව පාර්ලිමේන්තුවේ කථානායක පුටුවෙ ගෞරවය රකින්න කියලා.”

++++++++++++++++++++++++

මම වැඩ කරන්නේ ජනපතිගේ ගැසට් එකට අනුවයි – පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී

(06.11.2018 – mawbima.lk)

තමන් සහ නිලධාරීන් පාර්ලිමේන්තුවේ කටයුතු කරන්නේ ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව බව පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ‘මව්බිම’ට පැවැසීය.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ නව අගමැතිවරයාටත් නව අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ටත් අසුන් පැනවීම සිදුකරන බවත් හෙතෙම කීවේය.

රජයේ නිලධාරීන් හැටියට තමන් ඇතුළු නිලධාරීන්ට කටයුතු කිරීමට සිදුවන්නේ ගැසට් නිවේදනයට අනුව බවත් මේ අවස්ථාවේ තමාගේ උපදෙස් පැතීමට අවශ්‍ය නැතැයි කථානායකවරයා දැනුම් දී ඇතැයිද පවතින තත්ත්වය පිළිබඳව අප කළ විමසීමකදී ප්‍රධාන වේත්‍රධාරිවරයා කියා සිටියේය. ඒ අනුව නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දී අවසන් වූ වහාම ඔවුන්ට හිමි අසුන් පැනවීම සිදුකරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++++

ශ‍්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි සහ කථානායක අතර හමුවක්

(06.11.2018 – mawbima.lk)

ශ‍්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී ටිප්ලිට්ස්, අද (06) උදෑසන කථානායකවරයා මුණගැසී තිබෙනවා.

අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ ට්වීටර් පණිවුඩයක දැක්වෙන්නේ පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බවයි.

පවතින තත්ත්වය නිරාකරණය කර ගැනීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවීමේ වැදගත්කම පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම හමුව සිදු වූ බවයි අමෙරිකානු තානාපති කාර්යාලය පැවසුවේ.

කෙසේවෙතත් ලබන 14 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා මේ වනවිටත් ගැසට් මගින් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *