සුදු පිරුවට අවසන්.. කතානායක නාඩගම හිර ගෙදර ජම්පරයෙන් කෙලවර වෙයි..

(10.11.2018 – 18:48 +0530 – lankacnews.com)

පිවිතුර හෙල උරුමයේ නායක ඇමති උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.

අල්ලස් පනතේ හැත්තෑ වන වගන්තියේ කියනවා යම්කිසි කෙනෙක් තමන්ගේ තනතුර ආණ්ඩුවට අවාසියක් වන ආකාරයෙන් හෝ වෙන යම් පුද්ගලයෙකුට වාසියක් වන ආකාරයට භාවිතා කරනවා නම් දූෂණය නැමැති වරද කරනවා කියා.

ඒ වගන්තියේ ම සඳහන් වන ආකාරයට එවැනි වරදක් සඳහා උපරිම වශයෙන් බරපතළ වැඩ සහිතව දස වසරක් හිරේ දමන්නට පුළුවන්.

කතානායකතුමා ප්‍රසිද්ධියේ අමු අමුවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තමන්ගේ තනතුර රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වාසිදායක අයුරින් භාවිතා කරමින් ඉන්නවා. එය ඉහත වරදට හසු වෙනවා.

ගරු කතානායකතුමනි, ඔබේ දිගු කාලීන සුදු පිරුවට ජීවිතය අවසන් කරලා පසුගිය සති දෙකේ කොල පාට ඇඳගෙන කරනු ලබන මේ නාඩගම අවසන් වෙන්නේ සිපිරිගෙදරින් කියන එක අපි එතුමන්ට අනතුරු ඇඟවීමක් විදිහට ඉතාම කනගාටුවෙන් වුණත් සිහිපත් කරන්න කැමතියි.

– අරවින්ද අතුකෝරල

+++++++++++++++++++++++++++++++++++++

මැතිවරණ කොමිසමේ බලය ගැන ඇමති විජේදාසගෙන් පැහැදිලි කිරීමක්

(10.11.2018 – 18:41 +0530 – hirunews.lk/sinhala)

මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට මැතිවරණ කොමිසමට නීතිමය බලයක් නොමැති බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

එම කොමිසම සතු එකම කාර්යය ජනාධිපතිවරයා නිකුත් කරන දිනයේදී මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් කිරීම බවයි ඔහු කියා සිටියේ.

අමාත්‍යවරුන් පිරිසක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

+++++++++++++++++++++++++++++++++++++

මැතිවරණ කොමිසම ඡන්දයට සූදානම්

(10.11.2018 – 18:38 +0530 – hirunews.lk/sinhala)

අවශ්‍ය ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

ප්‍රශ්නය – ‘මේක නීති විරෝධීයි – ව්‍යවස්ථා විරෝධීයි’ කියලා කියනවා නම් ඔබතුමාට මැතිවරණය පවත්වනවා හැර වෙන විකල්පයක් තියෙනවාද?

පිළිතුර – නෝ කමෙන්ට්ස්

ප්‍රශ්නය – ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. දැන් දිනේකුත් තීරණය කරලා තියෙනවා මැතිවරණය සම්බන්ධයෙන්. එතකොට මැතිවරණයකට සූදානම්ද?

පිළිතුර – අපි ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම් නිසා ඒ ප්‍රශ්නය පැන නගින්නේ නැහැ.

ප්‍රශ්නය – පහුගිය කාලයේ මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් කතා කළා. මේ මැතිවරණයක් ඇවිල්ලා තියෙන්නේ.

පිළිතුර – මැතිවරණ කොමිෂන් සභාව කොයි වෙලාවකවත් මැතිවරණ කල් දාලා නැහැනේ. මැතිවරණයක් තියන්න එපා කියලත් නැහැ.

ප්‍රශ්නය – ලංකාවේ මහ මැතිවරණය සඳහා කොපමණ මුදලක් වැයවෙයිද?

පිළිතුර – කෝටි හාර පන්සීයයක් යයි. ඒක එච්චර මුදලක් නෙවෙයිනේ අද බැලුවාම.

ප්‍රශ්නය – ජනවාරි 5 ඡන්දයට ගැසට් එක නිකුත් කරන්න කලින් ජනාධිපතිතුමා හෝ කවුරුන් හරි ඔබගෙන් උපදෙස් ලබාගත්තාද ඒ පිළිබඳව.

පිළිතුර – ඊයේ සවස මට දුරකථන පණිවිඩයක් ලැබුණා එතුමා හම්බවෙන්න කියලා. හමුවුණා. එතකොට එතුමා මේ ගැසට් නිවේදනය සකස් කරලා තියෙනවා. විසුරුවලා තියෙන බව මම ඒක දැනගත්තා. නැතුව කොමිෂන් එකෙන් උපදෙස් ගන්න ඕනෑ නැහැ විසුරුවන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ සුදුසු වාතාවරණයක් ඡන්ද විමසීමට ඇති කරලා දෙන්න කියලා.

ප්‍රශ්නය – දැන් ඒ වාතාවරණය තියෙනවාද?

පිළිතුර – රටේ එහෙම කලබලයක් නැහැනේ ඡන්දයක් තියන්න. නමුත් වැහි පිරිත අහන්න යනවා නම් කුඩයක් අරන් යන්න ඕනේ. මම විශ්වාසය උඩ, හෘද සාක්ෂිය උඩ ජීවත් වෙන මිනිහෙක්.

ප්‍රශ්නය – සර්ල ඒ කියන්නේ නියම දිනයට ….?

පිළිතුර – වැහි පිරිත කියනකොට කුඩේ ඉහළන් යන්න ඕනෑ. මොකද දන්නවාද කිසිම දෙයක් ස්ථිර නැති ලෝකෙ කිසිම දෙයක් ස්ථිරයි කියන්න බැහැ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *