ප්‍රබල රටවල් 8 ක නියෝජිතයෝ විදෙස් දූත මණ්ඩල රැස්වීම වර්ජනය කරති

(13.11.2018 – 21:24 +0530 – lankadeepa.lk)

ශ්‍රී ලංකාවේ පවතින වර්තමාන දේශපාලන තත්ත්වය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීන්දුව පිළිබඳව කරුණු දැක්වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ඊයේ (12) කොළඹ දී පැවැත්වූ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ හමුවට බටහිර රටවල් 8 ක නියෝජිතයන් සහභාගී වී නැතැයි වාර්තා වේ.

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වූ එම රාජ්‍ය තාන්ත්‍රික හමුවට බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ කැනඩාව යන රටවල මහ කොමසාරිස්වරුන් සහ නෙදර්ලන්තය, ඉතාලිය, ප්‍රංශය සහ නෝර්වේ යන රටවල තානාපතිවරුන් හෝ වෙනත් නියෝජිතයකු හෝ සහභාගී වී නැතැයි ද රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිවරුන්, බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාව යන රටවල මහ කොමසාරිස්වරුන් එම හමුවට සහභාගී වීමෙන් වැළැකී සිට ඇත.

ඇමෙරිකා තානාපති කාර්යාලයේ සහ කොළඹ යුරෝපා සංගම් කාර්යාලයේ නියෝජිතයෙක් හමුවට සහභාගී වී ඇති අතර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ කිසිවකුත් එම හමුවට සහභාගී වී නොමැත.

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති තුන්ග් ලායි මාගේ මහතා විදෙස් ගත වී ඇතැයි මේ පිළිබඳව කරන විමසීමක දී දැනගන්නට ලැබිණි.

මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරෝධය පළ කිරීමක් ලෙස බටහිර රටවල් අටක රාජ්‍ය තාන්ත්‍රිකයන් විදේශ අමාත්‍යවරයා හා රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර පැවැති හමුවට සහභාගී වීමෙන් වැළැකී සිට ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ශ්‍රී ලංකාවේ විදෙස් දූත මණ්ඩල 43 ක ප්‍රධානීන් කැඳවා තිබූ බව ද රාජ්‍ය තාන්ත්‍රික සහ රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි. එහෙත් ඊට සහභාගී වූයේ අතළොස්සක් පමණක් බව ද එම පුවත් වාර්තාවේ දැක්විණි.

බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ කැනඩාව යන රටවල මහ කොමසාරිස්වරුන් සහ නෙදර්ලන්තය, ඉතාලිය, ප්‍රංශය සහ නෝර්වේ යන රටවල තානාපතිවරුන් මෙම හමුවට සහභාගී නොවූ බව ද රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි. යුරෝපා සංගමය, ඇමෙරිකාව සහ ජර්මනිය නියෝජිතයන් එම හමුවට යැවූ බව ද රොයිටර් පුවත් සේවය සඳහන් කර තිබිණි.

ශ්‍රී ලංකාවේ ප්‍රධානම අසල්වැසියා වන ඉන්දියාව ද මෙම හමුවට කනිෂ්ට නියෝජිතයකු යැවූ බව ද රොයිටර් වාර්තාවේ තවදුරටත් දැක්විණි ෴

*****************************************

මුහුණට මුහුණ යතුරුපැදි ගැටී මහනුවර සිදුවූ අනතුර CCTV (13.11.2018)

කාන්තාව හරියට හෙල්මට් එක දාල පටිය තද කරලා තිබුන. එයාගේ ඔලුවට හානි උනේ නෑ. හප්පපු මනුස්සය හෙල්මට් එක උඩින් තියන් ආව විතරයි, පටි තද කරලා තිබුනේ නෑ. හැප්පිච්ච ගමන් මිනිහට කලින් හෙල්මට් එක ගියා. මූණ බිම ඇනුන. ඔලුවට නම් අවුලක් නෑ ඇතුල හිස් වගේනේ. – gossiplankanews.com පාඨකයෙක්

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *