පාර්ලිමේන්තුව හෙට (15) උදෑසන 10 දක්වා කල්තැබේ

(14.11.2018 – 10:23 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුව හෙට උදෑසන 10 දක්වා කල්තැබීමට පියවර ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ උණුසුම් තත්වයක් සමඟ මෙලෙස පාර්ලිමේන්තුව කල්තැබීමට හේතුවී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

උදෑසන 10 ට පාර්ලිමේන්තුවේ නව සැසිවාරය කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට වෙන් කළ ආසනවල අසුන්ගෙන සිටියා.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අසුන් ගනු ලැබුවේ විපක්ෂයට හිමි ආසනවලයි.

මේ අතර, පසුගියදා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහය පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර ද විපක්ෂයේ අසුන්ගෙන සිටි අතර, පසුගියදා රාජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දුන් ඒ.එච්.එම් ෆවුසි සහ පියසේන ගමගේ ද අද (14) දිනයේ විපක්ෂයේ අසුන් ගැනීම විශේෂත්වයක්.

සභාව ආරම්භ වීමෙන් පසුව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුවන ලෙස යෝජනාවක් ඉදිරිපත් කළා. එම අවස්ථාවේදී නැගී සිටි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉල්ලා සිටියේ හෙට දක්වා පාර්ලිමේන්තුව කල් දමන ලෙසටයි.

කෙසේ වෙතත්, ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව සම්බන්ධයෙන් කතානායකවරයා ඡන්ද විමසීමක් සිදුකළ අතර, එය වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.

පසුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර එය ස්ථිර කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින්.

අනතුරුව, ඒ සදහා ඡන්ද විමසන බව කතානායකවරයා ප්‍රකාශ කළා.

ඒ සමඟ යළිත් පාර්ලිමේන්තුව උණුසුම් වූ අතර, කතානායකවරයා කියා සිටියේ හඬ අනුව පෙනී යන්නේ මෙම විශ්වාසභංග යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත වූ බවයි.

++++++++++++++++++++++++

අගමැතිට එරෙහි විශ්වාසභංගය සම්මතයි – පා.ම. කිරිඇල්ල : ජන්ද විමසීමක් උනේ නැහැ- අමාත්‍ය අනුර ප්‍රියදර්ශන

(14.11.2018 – nethnews.lk)

පාර්ලිමේන්තුවේ හඬ අනුව සිදුකරන ලද ජන්ද විමසීමට අනුව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට බහුතරය නොමැති බව පවසමින් කතානායක කරු ජයසුරිය මහතා හෙට (15) උදැසන 10 දක්වා පාර්ලිමේන්තුව කල් තබනු ලැබුවා.

අගමැතිවරයාට සහ නව කැබිනට් මණ්ඩලයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙනා විශ්වාසභංග යෝජනාව පාර්ලිමෙන්තුවේ හඬ අනුව සම්මත වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාඨලී චම්පික පවසා සිටිනවා.

මේ අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා කියා සිටින්නේ අද දිනයේදී කිසිදු ජන්ද විමසීමක් සිදු නොවූ බවත් පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ස්ථාවර නියෝග අනුව සිදුනොවූ බවයි ෴

• ආණ්ඩුවට බහුතරයක් නොමැති බවින් තමා සිය ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වන බව වඩිවේල් සුරේෂ් පවසා සිටිනවා.

• ආණ්ඩුවට බහුතරය නොමැති නිසා තමන් අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බව වසන්ත සේනානායක පවසයි.

• ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබන අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි , අමාත්‍ය පියසේන ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානායක්කාර පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ අසුන් ගනියි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *