රන්ජන්ට සහ තෙවරප්පෙරුමට ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් චෝදනාවක්

(15.11.2018 – 20:52 +0530 – hirunews.lk/sinhala)

අද පාර්ලිමේන්තුවේදී ඇති වූ උණුසුම් තත්ත්වය අතරතුර රන්ජන් රාමනායක හා පාලිත තෙවරප්පෙරුම යන එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ට පිහිවලින් පහරදීමට උත්සාහ දැරූ බවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා කරනවා.

ඔවුන් මෙම චෝදනාව සිදුකළේ අද පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

+++++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට පිහියෙන් අනින්න උත්සහ කළා – මන්ත්‍රී සනත් නිශාන්ත

(15.11.2018 – 16:12 +0530 – lankadeepa.lk)

මැතිසබයේ ගැටුම අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පිහි රැගෙනවිත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇනීමට උත්සාහ දැරූ බව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පැවසීය.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සිය ඉණෙන් පිහියක් ඇද ඉන්දික අනුරුද්ධික මන්ත්‍රීවරයාට ඇනීමට උත්සාහ දැරූ බවත් තමා එය වැළැක්වූ අවස්ථාවේදී රාමනායක මහතා පිහියද රැගෙන ඉන් ඉවත් වූ බවත් නිශාන්ත මහතා කීය.

රන්ජන් රාමනායක හා පාලිත තෙවරප්පෙරුම විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනාගේ ඉණවල පිහි ගසා සිටි බව තමාද දුටුවේ යැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී කාංචන විජේසේකර මහතා පැවසීය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් මැතිසබයේ ලොකු ලේ වැගිරීමක් කිරීමට පැමිණ සිටි බව මින් පැහැදිලි වන බව කී විජේසේකර මහතා මොවුන් සභාවට පිහි රැගෙන ආවේ කාගේ අවසරයක් ඇතිව දැයි සොයා බැලිය යුතු බවද ප්‍රකාශ කළේය ෴

+++++++++++++++++++++++++++++++++++++

එජාප මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම පිහියක් සමග පාර්ලිමේන්තුවේ

(15.11.2018 – 16:22 +0530 – hirunews.lk/sinhala)

අද පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය අතරතුර එකසත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම පිහියක් වැනි යමක් රැගෙන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට පහර දීමට පැමිණි ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට නිකුත් වී තිබෙනවා.

ඔහුගේ ප්‍රහාරයෙන් වැළකීමට ඇතැම් මන්ත්‍රීවරුන් විවිධ ආකාරයෙන් උත්සහ කරන ආකාරයයි එම ඡායාරූප වල දැක්වෙන්නේ.

මන්ත්‍රීවරයා අත තිබු පිහියක් වැනි ආයුධයෙන් ප්‍රහාරයක් එල්ල වූයේ නම් තත්ත්වය දරුණු විය හැකි බවයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පැවසුවේ.

මෙම සිද්ධියෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ද මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම පිහියක් වැනි ආයුධයක් රැගෙන පාර්ලිමේන්තුවට පැමිණි බවට චෝදනා කළා.

+++++++++++++++++++++++++++++++++++++

පාර්ලිමේන්තුවේ ගැටලුවලට හේතුව කථානායකවරයාගේ හැසිරීමයි

(15.11.2018 – 16:09 +0530 – lankadeepa.lk)

කථානායකවරයා කිසි දේකට එකඟ නොවී ඒකාධිපති ස්වරූපයකින් කටයුතු කරමින් පාර්ලිමේන්තුව තව තවත් අවුල් කරන්නේ යැයි ද පවතින සියලූ ගැටලුවලට හේතුවී ඇත්තේ කථානායකවරයාගේ හැසිරීම යැයි ද මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය එස් බී දිසානායක මහතා ප‍්‍රකාශ කළේය.

මේ වනවිට පාර්ලිමේන්තුව තුළ විශාල අර්බුදයක් මතුවී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

අගමැතිවරයා හා ජනාධිපතිවරයා සමඟ තම කන්ඩායම මේ පිළිබඳව සාකච්ඡා කරන බව ද ඔහු කීය.

විශ්වාස භංග යෝජනාව අදම ගෙන ආවත් තමන් කැමති යැයි කී දිසානායක මහතා එහෙත් එය ගෙන ආ යුත්තේ පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුල් කොට දින හතරකට පහකට පසු ඡන්දය විමසීමෙන් යැයි ද පැවසීය.

එසේ විශ්වාස භංග යෝජනාවක් ගෙන ආවොත් මනෝ ගනේෂන් මහතා ගේ කණ්ඩායම, දෙමළ ජාතික සංන්ධානය, මුස්ලිම් කොන්ග‍්‍රසයේ හතර පස්දෙනෙක් මෙන්ම රිෂාඞ් ගේ කණ්ඩායම ම හෝ එයින් තුන් දෙනෙක් තමන් සමඟ සිටිනු ඇතැයි විශ්වාස කරන බව ද හෙතෙම සඳහන් කළේය.

එසේ බලද්දී විශ්වාස භංගය ජය ගැනීම එතරම් අපහසු නොවන බව කී අමාත්‍යවරයා පවතින ප‍්‍රශ්නය වන්නේ විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවක් මෙසේ යලි රැස් කිරීම යැයි ද කියා සිටියේය.

අධිකරණ නියෝගයෙන් පාර්ලිමේන්තුව සක‍්‍රිය කර නැති බව පෙන්වා දුන් දිසානායක මහතා එය සක‍්‍රිය කළ යුත්තේ ජනාධිපතිවරයා විසින් යැයි ද කීය.

ඊයේ පාර්ලිමේන්තුව තුළ සිදුවූ දේ පිළිබඳව තමන් දුකටත්, ලැජ්ජාවට හා කම්පාවටත් පත්වී හිඳින බව කී අමාත්‍යවරයා කවර මත දැරුවත් තමන් මිතුරන් බව එක් පිරිසකට අමතක වී ඇතැයි ද හරකුන් මී හරකුන් මෙන් පොරයකට වැටුනේ ඒ නිසා යැයි ද සඳහන් කළේය.

පාර්ලිමේන්තුවට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු හා තවත් මන්ත‍්‍රීවරයෙකු පිහිදෙකක් රැගෙන ආ බවත් දිලූම් අමුණුගම හා ආනන්ද අලූත්ගමගේ මන්ත‍්‍රීවරුන් තුවාල ලැබු බවත් ඔහු කීය.

මහින්ද රාජපක්ෂ මහතා ට බහුතරය නැත්නම් ඊළඟට බහුතරය ඇතැයි ජනාධිපතිවරයා විශ්වාස කරන කෙනෙක් අගමැති ලෙස පත් කරනු ඇතැයි ද කථානායක නැති බලයක් ආරූඪ කරගෙන බහුතරය අහන්නේ කුමකට දැයි තමන් ට නොතේරෙන බව ද හෙතෙම සඳහන් කළේය.

නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් මේ පෙත්සම්වල අහන්න දෙයක් නැහැ විසිකරන්නැයි කියු නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය එසේ නොකළ බවත් නඩුව අහන්නට තීරණය කළ බව ද කී දිසානායක මහතා එය ඉතා හොඳ තීරණයකැයි තමන් සිතන බව ද කියා සිටියේය.

නමුත් රනිල්, කථානායක, එජාපය ජවිපෙ මෙන්ම ටී එන් ඒ එක ද නඩුව දිනුවා යැයි සිතා සිටින බව ද පැවසු අමාත්‍යවරයා මේවා මානසික රෝග බව ද සඳහන් කළේය.

මේ පිළිබඳව අධිකරණය හොඳ තීන්දුවක් දෙනු ඇතැයි විශ්වාස කරන බවත් ජනාධිපතිවරයා කළේ 225 කට විස`දන්න බැරි ප‍්‍රශ්නය ලක්ෂ 150 කට දීම වන අතර එය නීති විරෝධී යැයි කිසිවෙක් සිතන්නේ නැතැයි ද හෙතෙම කියා සිටියේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මේ නඩුව අහන්න ගනිද්දි අතුරු තහනම් නියෝගයට පාර්ලිමේන්තුවත් ඇතුළත් කළා නම් මේ ගැටලූ කිසිවක් මතුවන්නේ නැතැයි අමාත්‍යවරයා තව දුරටත් කියා සිටියේය.

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අගමැතිවරයා හෝ ඇමතිවරු තමන් පිළිනොගන්නා බව කියා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ට කථාව කරන්නට අවස්ථෘව දුන් කථානායකවරයා මානසික ප‍්‍රශ්නයකට ලක්ව ඇතැයි ඕනැම කෙනෙකුට පෙනී යන බව පැවසු දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේ දී කථානායකවරයා ස්ථාවර නියෝග අනුපිලිවෙළ පවා කඩ කළේ යැයි ද කීය.

ජාතික ආණ්ඩුවෙන් තම පක්ෂයේ ඉතිරි පිරිස එළියට පැමිණිදා කැබිනට් මණ්ඩලය අකර්මන්‍ය බව ඕනැම අයෙකුට වැටහෙන්නේ යැයි ද ජනාධිපතිවරයා නව අගමැති පත් කළේ ඒ අවස්ථාවේ යැයි ද කී අමාත්‍යවරයා ජාතික ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය අහෝසි වීම පමණක් නොව ජනාධිපතිවරයා විසින් ලිපියකින් අගමැති ඉවත් කිරීම ද නව අගමැතිවරයෙක් පත් කිරීමට ඉවහල් වූ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ බත්තරමුල්ල මඟනැගුම මහගෙදර අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි ෴

+++++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

මන්ත්‍රී දිලුම්ට ශල්‍යකර්මයක්

(15.11.2018 – 16:44 +0530 – lankadeepa.lk)

මහනුවර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතාට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී අද (15) පෙරවරුවේ ශල්‍යකර්මයක් සිදුකර තිබේ.

දිලුම් අමුණුගම මහතාගේ ඇඟිල්ලකට සහ අතක අල්ලට තුවාල සිදුව තිබූ අතර ඇඟිල්ලේ ස්නායු වලට හානි වී තිබූ බවද ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා පැවසීය.

ඒ අනුව මන්ත්‍රීවරයා අද සුළු ශල්‍යකර්මයකට ලක්කළ බවද ඔහුට පැය කිහිපයකින් රෝහලෙන් පිටව යා හැකි බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසීය.

පාර්ලිමේන්තුවේ අද (15) ඇති වූ ගැටුම්කාරී අවස්ථාවේදී දිලුම් අමුණුගම මන්ත්‍රීවරයාගේ ඇඟිල්ලකට හා අත්ලට හානි පැමිණ තිබුණේ සභාවේ තිබූ මයික්‍රෆෝනයක වයරයට යැයිද වාර්තා වේ ෴

+++++++++++++++++++++++++++++++++++++

පාර්ලිමේන්තුවේ සිදුවීම් ගැන නීතීඥ මතය

(15.11.2018 – 20:26 +0530 – hirunews.lk/sinhala)

ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වා ආණ්ඩු පෙරලා දැමීමේ හැකියාවක් මෙරට ව්‍යවස්ථාවේ නොමැති බව නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *