අදත් (16) පාර්ලිමේන්තුව නොසන්සුන් – පොලිස් ආරක්ෂාව මැද පැමිණි කථානායක විශ්වාසභංගය සම්මත වූ බව කියයි

(16.11.2018 – 18:46 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව අද (16) ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව සම්මත වූ බවට තමන් පිළිගන්නා බව කතානායක කරූ ජයසූරිය ප්‍රකාශ කළා.

අදත් පාර්ලිමේන්තුව උණුසුම් වූ අතර, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායක අසුන අත්පත් කරගනිමින් විරෝධතාවක නිරත වීම හේතුවෙන් කතානායකවරයා පාර්ලිමේන්තුවට පිවිසියේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේයී.

ඊට පෙර කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබුණේ ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා සමඟ සිදුකළ සාකච්ඡාවේදී ගත් තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායී.

කෙසේ වෙතත්, එය එකඟතාවයකින් තොරව අවසන් වූ බව ප්‍රකාශ කරමින් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ඉන් ඉවත්ව ගියා.

හිටපු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරයා සමඟ ඊයේ පැවති සාකච්ඡාවේදී පැමිණි එකඟතාවන්ට අනුව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය වූ බවයි.

ඒ අනුව ජනාධිපතිවරයා දැනුම්දුන් පරිදි මීට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ පළමු වගන්තිය ඉවත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද නව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට භාර දී තිබුණා.

අද පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී එය ඉදිරිපත් කිරීමටයි නියමිතව තිබුණේ.

පස්වරු 1.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබූ නමුත්, ඊට පෙර සිටම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතාවයේ නිරත වුණේ ඊයේ පාර්ලිමේන්තුව තුළට පිහි රැගෙන ආ එක්සත් ජාතික පක්ෂයේ පාලිත තෙවරප්පෙරුම සහ රංජන් රාමනායක යන මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින්.

එහිදී අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කතානායක අසුනේ, අසුන්ගෙන සිටි අතර, ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පුවරු රැගෙන විරෝධතාවයේ නිරත වුණා.

විරෝධතාවය අතරතුර අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, පවිත්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ කතානායක අසුන අසල සිට සභාව අමතනු ලැබුවා.

ඒ වනවිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ අග්‍රාමාත්‍යවරයාට හිමි අසුනේ අසුන්ගෙන සිටියා.

පස්වරු 2.15 ට පමණ පොලිස් කණ්ඩායමක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු වන දොරටුවකින් සභා ගර්භයට පැමිණි අතර, කතානායකවරයා ඔවුන්ගේ ආරක්ෂාව මධ්‍යයේ සභාවට ඇතුළු වුණා.

එම අවස්ථාවේදී ඇතැම් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විවිධ ද්‍රව්‍ය පොලිසිය දෙසට එල්ල කළා.

තවත් මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක අසුන වෙනත් ස්ථානයකට රැගෙන ගිය අතර, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පියවර ගත්තේ කතානායකවරයාට වෙනත් ස්ථානයක අසුනක් පැනවීමටයි.

කෙසේ වෙතත්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු විසින් එම අසුන රැගෙන පොලිසිය දෙසට එල්ල කළ අතර, තවත් මන්ත්‍රීවරයෙකු පොලිසිය වෙත මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කළා.

පසුව, පොලිසියේ සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහිතව කතානායක කරූ ජයසූරිය මයික්‍රෆෝනයකින් සභාව අමතනු ලැබූ අතර, ස්ථාවර නියෝග අත්හිටුවා විශ්වාසභංගයට ඡන්දය විමසන බවයි කතානායකවරයා එහිදී ප්‍රකාශ කළේ.

ඡන්දයට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කළ අතර, එය පිළි ගන්නා බව ප්‍රකාශ කළ කථානායකවරයා ලබන සඳුඳා දක්වා පාර්ලිමේන්තුව කල් තබන බවයි කියා සිටියේ.

පසුව කතානායකවරයා පොලිස් ආරක්ෂාව මධ්‍යයේම පැමිණි දොරටුවෙන් පිටත්ව ගිය අතර, ඉන් පසුවද ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර විටින් විට ගැටුම් ඇතිවුණා.

එහිදී ගාමිණී ජයවික්‍රම පෙරේරා, මලික් සමරවික්‍රම සහ විජිත හේරත් යන මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩු ප්‍රහාරයක්ද එල්ල වී තිබූ අතර, විජිත හේරත් මන්ත්‍රීවරයාගේ නලලටද තුවාල සිදුවුණා.

පාර්ලිමේන්තු පොලිසිය සඳහන් කළේ ගැටුමට මැදි වීමෙන් පොලිස් නිලධාරීන් 07 දෙනෙකුද සුළු තුවාල ලබා ඇති බවයි.

+++++++++++++++++++++++++++++++++++++

වැලිකඩ පොලීසිය කථානායක හමුවීමට සැරසේ

(16.11.2018 – 18:39 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම අතරතුර මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පිහි රැගෙන ඒම සම්බන්ධයෙන් වන පරීක්ෂණ, කථානායකවරයාගෙන් අවසර ලබා ගැනීමෙන් අනතුරුව සිදුකරන බව වැලිකඩ පොලීසිය පවසනවා.

පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශයයි වැලිකඩ පොලීසියට මෙම පරීක්ෂණ භාර දී තිබුණේ.

ඊයේ ගැටුම අතරතුර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පිහියකින් පහරදීමට උත්සාහ කළ බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පාර්ලිමේන්තු පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා.

ඊට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ද පිහියක් අතැතිව රැදී සිටි බවටයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

මේ අතර, පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාට එරෙහිව අද පොලිස් මූලස්ථානයට ද පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ආචාර්ය විමල් ගීගනගේ විසින්.

එමෙන්ම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ පාර්ශවය වෙනුවෙන් නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා ද අද පොලිස් මූලස්ථානයේ පිහිටි පොලිස් සහන මැදිරියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

අද සිදුකළ මෙම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් කථානායකවරයා ද දැනුවත් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.

මේ අතර, පාර්ලිමේන්තුවේ ඊයේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වය අතරතුර තුවාල ලැබූ මන්ත්‍රී දිලූම් අමුණුගම මහතා ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *