මැතිවරණයට බිය නැතිනම් ශ්‍රේෂ්ඨාධිකරණයට දැමු පෙත්සම් ඉවත් කරගනු…

(18.11.2018 – 06:30 +0530 – lankacnews.com)

මැතිවරණයකට ගොස් ජනතා මතය උරගා බැලීමට බියක් නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් ඉවත් කර පෙන්වන්නැයි එක්සත් ජාතික පක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණට අභියෝග කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

අද ජනතාවගේ ඒකායන පැතුම වී ඇත්තේ මහ මැතිවරණයක් බව පෙන්වා දුන් රණතුංග මහතා ඉදිරි මහ මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මැතිතුමාට තුනෙන් දෙකක් ඉක්ම වූ ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබාදී රට ඉදිරියට ගෙනයාමට ඉඩ සැලසීමට රටේ ජනතාව සූදානමින් සිටින බවත් අවධාරණය කළේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ උඩුගම්පොළ රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමිනි. රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

මෙම බල මණ්ඩල රැස්වීම කැදවන විට තිබුණු දේශපාලන වාතාවරණය නෙමෙයි අද තියෙන්නේ. මහින්ද මහත්තයා පැරදුණ දා ඉදලා අපි හැමෝටම ඕනේ වුණේ එතුමා නැවත වරක් නායකත්වයට ගේන්නයි. අපි එතුමා වෙනුවෙන් පාරට බැස්සා. උද්ඝෝෂණ කළා. පෙළපාළි ගියා. ඒ ගමනට හයියක් වුණේ මිනුවන්ගොඩ ජනතාවයි. මිනුවන්ගොඩ ජනතාව තමයි මට කිව්වේ තනතුරු තානාන්තර අතහැරලා මහින්ද මහත්තයා එක්ක ඉන්න කියලා. මම ඒ ප්‍රතිඥාව කවදාවත් වෙනස් කළේ නැහැ.

පහුගිය පළාත් පාලන මැතිවරණයේ දී මිනුවන්ගොඩ අපි පෝස්ටර් ගැහුවේ මහින්ද මහත්තයා අගමැති කරන සටන ගම්පහින් ආරම්භ කරමු කියලා. පළාත් පාලන මැතිවරණය දින්නා කියලා මහින්ද මහත්තයට අගමැතිකම ලැබෙන්නේ නැති වුණත් අපි දැනන් හිටියා එතුමගේ දේශපාලන ගමනට හයිය ඒ ජයග්‍රහණය තුළින් ලැබෙන බව. අපි ගම්පහ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ දෙලක්ෂ හැටපන්දහසකට වැඩි ඡන්ද සංඛ්‍යාවකින්.

පහුගිය කාලයේ දේශපාලන වාතාවරණය වෙනස් වුණා. යහපාලන පූට්ටුව ජාතික ආණ්ඩුව කඩා වැටුණා. ජනාධිපතිවරයා මහ බැංකු හොරකම ගැන කතා කරන විට, ඇමැතිවරුන් ආයෝජකයන්ගෙන් පගාව ගත්ත ඒවා හෙලි වන විට ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂය අතර තිබුණු හිතවත්කම බිද වැටුණා. ඒ අතරම එළියට ආවා ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන සැලැස්මක්. ඒකට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් සම්බන්ධයි කියලා සාක්ෂි සහිත හඩ පට එළියට ආවා.

එතැන දී ජනාධිපතිවරයාට සිද්ධ වුණා රටේ දේශපාලන ස්ථාවරත්වය ගොඩනගන්න තමන්නට විශ්වාසවන්ත පුද්ගලයකු තෝරාගන්න. මහින්ද මහත්තයා මේ අගමැතිකම බලෙන් ගත්තේ නැහැ. කරු ජයසූරියට, සජිත් ප්‍රේමදාසට කතා කළා. ඔවුන් ඒක ප්‍රතික්ෂේප කළා. අවසානයේ පාර්ලිමේන්තුවේ තිබුණු ප්‍රධාන බලවේගය වන ඒකාබද්ධ විපක්ෂයට නායකත්වය දෙන මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ රටේ අගමැතිකම භාර ගන්න ආරාධනා කරන්න සිද්ධ වුණා.

මහින්ද මහත්තයා ඉන්නේ රටේ දේශපාලන වාතාවරණය ගැන අවබෝධයකින් ඉන්න නායකයෙක්. අපි එතුමට කිව්වා මැතිවරණයකින් තුනෙන් දෙකක බලයක් අරගෙන රජෙක් වගේ රජ ගෙදරට යන්න පුළුවන් කියලා. එතකොට මහින්ද මහත්තයා මට කිව්වේ ප්‍රසන්න මට යන්න රජ ගෙදරක් ඉතුරු වෙන්නේ නෑ මේ විකුණන් යන විදියට කියලයි. රටේ ජනතාවගේ ප්‍රශ්න විසදලා, ජනතාවට සහන දීලා, කඩිනමින් මැතිවරණයකට යන්නයි මේ භාරකාර ආණ්ඩුවේ අගමැතිකම එතුමා භාර ගත්තේ.

එක්සත් ජාතික පක්ෂයයි, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය එකතු වෙලා මැතිවරණයට තහනම් නියෝගයක් ගත්තා. අද ව්‍යවස්ථාදායකයේ අර්බුදයක් ඇති වෙලා තියෙනවා. මේ තත්ත්වයට මූලිකවම වගකිව යුත්තේ කොන්ද පණ නැති කරු ජයසූරිය නමැති කතානායකවරයායි. මේ කතානායකවරයා මානසික රෝගයකින් පෙළෙන කෙනෙක්. මහින්ද මහත්තයට විශ්වාසභංග යෝජනාවක් ගේනවා නම් ඒකට ක්‍රමවේදයක් තියෙනවා.

එදා දි. මු. ජයරත්න මහතා අගමැති ධුරයෙන් ඉවත් කරලා රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරන විට චමල් රාජපක්ෂ මහතා මේ විදියට හැසිරුණේ නැහැ. මහින්ද මහත්තයා ජනාධිපතිවරණයේ ප්‍රතිඵල එන්නත් ඉස්සර අරලියගහ මන්දිරයෙන් බැහැලා ගෙදර ගියා. අද ජනාධිපතිවරයා තමන්ට විශ්වාසදායක කෙනෙක් අගමැති ධුරයට පත් කළාම රනිල් වික්‍රමසිංහ මහත්තයා අරලියගහ මන්දිරයේ බලහත්කාරයෙන් රැදී සිටිනවා.

එදා කරුණානායක මුදල් ඇමැතිවරයාට විරුද්ධව ගෙනාපු විශ්වාසභංග යෝජනාව සාකච්ඡාවට ගන්න මාස දෙකහමාරක් ගියා. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට විරුද්ධව ගෙනාපු විශ්වාසභංග යෝජනාව සාකච්ඡාවට ගන්න මාසයකට වඩා කල්ගියා. හැබැයි මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට විරුද්ධව ගෙනාපු විශ්වාසභංග යෝජනාව එක දවසෙන් සම්මත කරන්න හැදුවා. විශ්වාසභංග යෝජනාවක් ගේන ක්‍රමවේදයක් තියෙනවා. ජනාධිපතිවරයා ඒ බව පැහැදිලිව කියලා තියෙනවා. ඒ නිසා අපිට අකමැත්තෙන් වුණත් පාර්ලිමේන්තුව තුළ අපේ අයිතිවාසිකම් රැකගන්න කටයුතු කරන්න සිදුවුණා.

කරු ජයසූරිය මහතා සාමකාමීව එනවා නම් අපි ඒවට මුහුණ දෙන්න සූදානම්. මහින්ද මහත්තයා කියන්නෙත් 113 ක බහුතරයක් කාට හරි තියෙනවා නම් ඒක පැහැදිලිව පෙන්වන්න කියලයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස අපිත් මේ සිද්ධ වෙන දේවල්වලින් අපහසුතාවයට පත් වුණත් අපේ අයිතින් වෙනුවෙන් සටන් වදින්න සිද්ධ වෙලා තියෙනවා. මන්ත්‍රිවරුන් 225 දෙනාම මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ කරු ජයසූරිය නමැති මානසික රෝගියා නිසයි.

පොලිසියත් එක්ක පාර්ලිමේන්තුවට ඇවිත් යෝජනා සම්මත කරන කතානායකවරයා හොරෙක් වගේ පැනලා දුවනවා. මේ වගේ පාර්ලිමේන්තුවක් රටට අවශ්‍ය නැහැ. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණයට යන්න බය ජනතාව ඉන්න මතය දන්න නිසයි. අපි රනිල් හාමුටයි රනිල් හාමුට කඩේ යන ජවිපෙටයි අභියෝග කරනවා මැතිවරණයට බය නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තියෙන පෙත්සම් ටික පුළුවන් නම් ඉවත් කරගන්න කියලා.

එදා රෝහණ විජේවීර බොරැල්ල කනත්තේ දාලා පණ පිටින් පුච්චපු එක්සත් ජාතික පක්ෂය සමග මේ කරන ගනුදෙනුව ගැන ජනතා විමුක්ති පෙරමුණ ලැජ්ජා විය යුතුයි. අද පාර්ලිමේන්තුවේ තියෙන්නේ පක්ෂ දෙක තුනක සටනක් නෙමෙයි. අද තියෙන්නේ රටට ආදරය කරන සහ ආදරය නොකරන දෙපිරිසක් අතර සටනක්. ඒ සටන ජයග්‍රහණය කරන්න ජනතාවගේ ශක්තිය අපට අවශ්‍යයි. ඒ සදහා එක් වෙන්න කියලා මම තමුන්නාන්සේලා හැමෝටම ආරාධනා කරනවා.

– ප‍්‍රදීප් අනුර කුමාර

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *