අගමැති වැය ශීර්ෂය කපන යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට

(21.11.2018 – 13:51 +0530 – lankadeepa.lk)

ජනරජයේ මුදල් කිසිදු වියදමක් සඳහා අනුමත කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට බලයක් නැතැයි සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට භාර දුන් යෝජනාව අට වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇතැයි පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග කියයි.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාව සම්මත වී ඇති හෙයින් නොවැම්බර් 15 වැනි දා සිට ජනරජයේ අරමුදලෙන් කිසිම වියදමක් අනුමත කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට බලයක් නැතැයි ද, එය උල්ලංඝණය කරන කවර හෝ තැනැත්තකුට එරෙහිව නීතිමය පියවර ගත හැකි යැයි ද සඳහන් කරමින් මෙම යෝජනාව භාර දී තිබේ.

මෙම යෝජනාව න්‍යාය පුස්තකයේ 2018 නොවැම්බර් 29 වැනි බ්‍රහස්පතින්දා දිනට නියමිත කටයුතුවලට ඇතුළත් කර ඇතැයි පාර්ලිමේන්තුව සඳහන් කරයි.

නවීන් දිසානායක, රවී කරුණානායක, නාලක ප්‍රසාද් කොලොන්නෙ, වෛද්‍ය කාවින්ද හේෂාන් ජයවර්ධන , හෙක්ටර් අප්පුහාමි සහ චතුර සංදීප සේනාරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම යෝජනාව බාර දී තිබේ.

න්‍යාය පුස්තකයට ඇතුළත් කළ යෝජනාව පහත දැක්වේ :

*****************************************

සම්බන්ධන් ජාත්‍යන්තර මැදිහත් වීමක් ඉල්ලයි

(21.11.2018 – 15:54 +0530 – lankadeepa.lk)

පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව බලහත්කාරයෙන් බලයේ සිටින රජය පලවා හැරීම සදහා ජාත්‍යන්තර රටවල් මැදිහත් වී කටයුතු කළයුතු යැයි දෙමළ ජාතික සන්ධානය මෙරට විදේශීය තානාපතිවරුන් මාර්ගයෙන් ඉල්ලා සිටිති.

වත්මන් දේශපාලන අර්බුධකාරී තත්වය නිරාකරණය කිරීම සදහා ජාත්‍යන්තර රටවල් වල මැදිහත් වීම ඉතා වැදගත් බවද මෙහිදී අවධාරණය කොට තිබේ.

මෙරට සිටින විදේශීය තානාපතිවරුන් ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රිකයින් හා දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් කොලඹ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ දී ඊයේ(20) පැවති අතර එහිදී දෙමළ ජාතික සන්ධානය මෙම ඉල්ලීම සිදුකොට තිබේ.

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් පලකල දෙමළ ජාතික සන්ධනයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා මෙසේද කීය.

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කළ නිසා රටේ දේශපාලන වශයෙන් හටගෙන තිබෙන අර්බුදකාරී තත්වය ගැන කොලඹ සිටින විදේශීය රටවල තානාපතිවරුන් හ රාජ්‍ය තාන්ත්‍රිකයින් වෙත අපි පැහැදිලි කර දුන්නා.

අග්‍රාමාත්‍ය ධූරයේ සිටි රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ඔක්තෝබර් 26 වැනි දා ඉවත් කිරීමත්, නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමත්, පාර්ලිමේන්තුව වාර අවසාන කර කල් තැබීමත්, ඉන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත්, ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමත්, අධිකරණය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව අතුරු තහනමක් පැනවීමත්, කෝටි ගණන් දී මන්ත්‍රීවරුන් ගනිමින් බහුතරය පෙන්වීම සදහා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පාර්ශවය ගත් උත්සහායත්, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජයට එරෙහිව පාර්ලිමේන්තුව රැස්වූ තෙදිනක කාලය තුල සම්මත කරගත් විශ්වාසභංගත්, එකී විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමත්, ඒ හේතුවෙන් රට තුළ හටගෙන තිබෙන දේශපාලන අර්බුධකාරී තත්වය ගැනත් මෙහිදී සාකච්ඡා කළා.

රටේ දැන් රජයක් නැහැ. අගමැතිවරයෙක් නැහැ. ජාතික ගැටළුවට දේශපාලන විසදුම් ගෙන ඒම සදහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ උත්සහායද මෙම තත්වය මැද නැවතී තිබෙනවා.එමෙන්ම රජය විසින් ඉටුකරන බවට පොරොන්දු වූ කාර්යන්ටද බාධා එල්ල වුනා.

උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් මේ දෙසැම්බර් 31 කට පෙර මුළුමනින්ම නිදහස් කරන්න ඕනෑ.දෙමළ දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුයි. අතුරුදහන් වූවන් සෙවීම සදහා ස්ථාපිත කළ කර්යාලය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි. සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීමට පියවර ගත යුතුයි.

ලබන වසරේ මාර්තු මාසය අවසන් වන්නට පෙර ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රීලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කරන්න ඕන. මේ කාර්යන් ශ්‍රීලංකවේ රජයක් නොමැතිව අගමැතිවරයකු නොමැතිව අඩපණ වී තිබීම අනුමත කළ නොහැකීයී. මේ කාර්යන් ප්‍රමාදයකින් තොරව කඩිනමින් සිදුවිය යුතුයි.

රටේ මේ වනවිට හටගෙන තිබෙන දේශපාලන අස්ථාවරභාවය තවදුරටත් පැවතිය හොත් රටේ නීතිය හා සාමයටද බාධා විය හැකීයි. එමෙන්ම සමාජ විරෝධී ප්‍රචන්ඩ ක්‍රියාවන්ද ඉහළ යනු ඇති. එවන් අවස්ථාවක දී සුළු ජන කොට්ඨාසවලට විශේෂයෙන් දෙමළ ජනතාවට බලපෑම් එල්ල විය හැකීයි.

බහුතරය නොමැති බලයක් නොමැති ආණ්ඩුවක් අහිතකර මෙන්ම අති භයංකරයි.එනිසා මේ පාලනය කඩිනමින් ඉවත් කරලීමට ජාත්‍යන්තරය මුල්වී කටයුතු කළ යුතුයි කියල අපි ජාත්‍යන්තර රටවලින් ඒ රටවල්හි තානාපතිවරුන් මාර්ගයෙන් ඉල්ලා සිටියා. ඔවුන්ගේ රටවල්වල සහාය මේ මොහොතේ ලබා දෙන්න කියල අපි ඉල්ලා සිටියා.

මේ කාරණාවන් සම්බන්ධයෙන් විදේශීය තානාපතිවරුන් අපෙන් ප්‍රශ්න ගණනාවක් ඇසුවා. ඒ ප්‍රශ්නවලට අපි නිසි පිළිතුරු ලබා දුන්නා. දේශපාලන අර්බුධය සමථය කිරීමට් මැදිහත් වන බව ඔවුන් අප වෙත සහතික වුනා. මේ සාකච්ඡාව ගැන අපි තෘප්තිමත් වෙනවා. කියන්න ඕන හැම දෙයක්ම අපි එයාලට කියුවා යැයිද විපක්ෂනායකවරයා අවසන් වශයෙන් සදහන් කළේය.

මෙම සාකච්ඡාව සදහා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනාම සහභාගී වූ අතර සාකච්ඡාව පැය එකහමාරක පමණ කාලයක් පැවතිනි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *