උපකාරක පංති ගිය සිසුවාට සිදු වු අවාසනාවන්ත ඉරණම – CCTV දර්ශන සහිතයි

(24.11.2018 – 16:48 +0530 – sinhala.adaderana.lk)

මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පාසල් සිසුන් තිදෙනෙකු තවත් පාසල් සිසුවෙකු ඝාතනය කර තිබේ.

අද (24) දහවල් පෞද්ගලික උපකාරක පංතියක් අවසන් වී යමින් සිටි සිසුන් පිරිසකට යතුරුපැදියකින් පැමිණි තවත් සිසුන් පිරිසක් පහරදී ඇති බව වාර්තා වේ.

පහරකෑමෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එක් සිසුවෙකු රෝහලට රැගෙන යන අතර තුර ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ තිහගොඩ ප්‍රදේශයේ පදිංචි මාතර ප්‍රධාන පෙලේ පාසලක 13 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු බව පොලීසිය සඳහන් කරයි.

සිද්ධියෙන් තුවාල ලැබු අනෙක් සිසුවා මේ වන විට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබනමින් සිටියි.

කුමන හේතුවක් මත මෙම ඝාතනය සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර පහරදීම සිදුකළ සිසුන් තිදෙනා මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

පාසල් සිසුවාගේ ඝාතනයට අදාල සාක්ෂියක් මාතර නගරය අසලින් සොයා ගැනේ

(25.11.2018 – 13:36 +0530 – hirunews.lk/sinhala)

මාතර – ඇළවේල්ල පාර, ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාල සැකකාර සිසුන් තිදෙනා පැමිණි යතුරුපැදිය සොයාගෙන ඇති බව අප වාර්තාකරු පවසනවා.

මාතර නගරයට අසන්න ස්ථානයක එය දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ පොලිසිය විසින් යතුරුපැදියේ හිමිකරුගේ අනන්‍යතාවය ද මේ වනවිටත් තහවුරු කරගෙන ඇති බවයි.

මේ වනවිට මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මාතර මහ රෝහලේ දී සිදුකරන බවද වාර්තා වනවා.

ඊයේ (24) පස්වරුවේ මියගිය සිසුවා ඇතුළු ඔහුගේ මිතුරන් පිරිසක් උපකාරක පංතියකට සහභාගි වීමට පැමිණි අවස්ථාවේ මෙම ඝාතනය සිදුවුණා.

ඝාතනය සිදුකළ සැකකාර සිසුවා ඇතුළු තුන්දෙනා මේ වනවිට පොලිසිය මඟ හැර සැඟ වී සිටින බව පොලිසිය පවසනවා.

සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා විමර්ශන කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

ඊයේ (24) මෙලෙස ඝාතනයට ලක්වුණේ තිහගොඩ – නායිම්බල – මාහේන ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි සිසුවෙක්.

++++++++++++++++++++++++

මාතර ඝාතනයේ සැකකාර සිසුවන් ගැන, සියළුම පොලිස් ස්ථාන දැනුවත් කරයි

(25.11.2018 – 18:53 +0530 – hirunews.lk/sinhala)

මාතර – ඇළවේල්ල පාර, උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී 19 හැවිරිදි සිසුවා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකාර සිසුන් තුන්දෙනා සම්බන්ධයෙන් දිවයිනේ සියළුම පොලිස් ස්ථාන දැනුවත් කර තිබෙනවා.

මීට අමතරව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක්, ගන්දර සහ තිහගොඩ පොලිස් ස්ථාන මෙන්ම බුද්ධි අංශ ද පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි මාතර පොලීසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් ඝාතනය සිදුකිරීම සඳහා සිසුන් පැමිණි යතුරුපැදිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

එය අතහැර දමා ගොස් ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

සැකකාර සිසුන් තුන් දෙනාගේ දෙමව්පියන්ගෙන් ද මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඔවුන් එහිදී සදහන් කර ඇත්තේ තම දරුවන් පිළිබද කිසිදු තොරතුරක් නොදන්නා බවටයි.

ඝාතනයෙන් පසුව සිසුන් තුන් දෙනා පළා ගොස් සැඟව සිටින බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මෙම ඝාතනයට හේතුව මීට පෙර ඇතිවු ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලිසිය අනාවරණය කර ගත්තා.

ඝාතනයට ලක්වූ සිසුවාගේ බාල සොහොයුරෙකු සම්බන්ධයෙන් ඇතිවු ගැටුමක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි මාතර පොලිසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

ඊයේ (24) පස්වරුවේ මියගිය සිසුවා ඇතුළු ඔහුගේ මිතුරන් පිරිසක් උපකාරක පන්තියකට සහභාගි වීමට පැමිණි අවස්ථාවේ මෙම ඝාතනය සිදුවුණා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තිහගොඩ – නායිම්බල – මාහේන ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි පාසල් සිසුවෙක්.

මේ අතර, පාසල් සිසුන් දෙදෙනෙකු අතර ගැටුමකින් බේරුවල ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුවෙක් ද ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් වාර්තා වුණා.

පාසලේදී සිදුවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් සිදුකළ පහරදීමක් හේතුවෙනුයි මෙම පාසල් සිසුවා මියගොස් ඇත්තේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ බේරුවල – මරක්කලාවත්ත ප්‍රදේශයේ සිසුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පහරදීම සිදුකළ බව කියන 15 හැවිරිදි සිසුවෙකු බේරුවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

++++++++++++++++++++++++

මාතර සිසු ඝාතනයේ තුන්වන සැකකරුත් රක්ෂිත බන්ධනාගාරයට

(28.11.2018 – 15:16 +0530 – hirunews.lk/sinhala)

මාතර – ඇලවේල්ල පාර ප්‍රදේශයේ, උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් තුන්වන සැකකාර සිසුවා ලබන මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, ඔහු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන 17 හැවිරිදි පාසල් සිසුවා සහ අනෙක් සිසුවාද ලබන මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

ඝාතනයට ලක්වූ පාසල් සිසුවාගේ අවසන් කටයුතු මාතර – නාඉම්බල පිහිටි සිසුවාගේ පවුලේ සුසාන භූමියේදී ඊයේ (27) සිදු කෙරුණා.

ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් එක්ව සිටි බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

*****************************************

වෙස්වළාගත් කණ්ඩායමක් පැමිණ වැලිකඩ සිරගෙදරින් සිරකරුවෙකු රැගෙන ගොසින්

(22.11.2018 – gossiplankanews.com)

ව්‍යාජ ලෙස සකස්කරන ලද බන්ධනාගාර බස් රථයකින් පමිණ වැලිකඩ රක්ෂිත බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව සිරගතකර සිටි සැකකරුවෙකු රැගෙන පළා යාමේ සිද්ධියක් වාර්තාවේ.

බන්ධනාගාර නිලධාරීන් ලෙස වෙස්වලාගත් මෙම කණ්ඩායමට ආරක්ෂක නිලධාරීන්ගේ ඇස් රවටා ඇතුළුවීමට අවසර ලැබී තිබෙන අතර මීට මාස 6 කට පමණ ඉහත අත්අඩංගුවට ගෙන ඇති සුනිල් ශාන්ත නම් සැකකරු ඔවුන් රැගෙන ගොස් ඇති බව කියැවේ.

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ 2 ක් සමග හොරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ලෙස සැලකෙන අතර ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස සැලකෙන සුසෙව් හා සිද්ධික් නැමැත්තන්ගේ ප්‍රධාන ගෝලයෙකු ලෙස හඳුනාගෙන තිබුණි.

කළුතර බන්ධනාගාරයෙන් පැනයාමට ද සැකකරු කිහිප වතාවක්ම උත්සාහ කර තිබී ඇති අතර කෝටි 5 ක අල්ලසක් දී පළායාමට තැත් කිරීමේ සිද්ධියක්ද වාර්තාවී තිබිණි. පසුව ඔහු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට මාරු කර තිබිණි.

සැකකරු රඳවා සිට ඇත්තේ ද විශේෂ ගණයේ සැකකරුවන්ගේ රැඳවුම් මැදිරියකය. නමුත් ඉතා සූක්ෂ්ම සැලසුමක් අනුව එම පරිශ්‍රයේ රෝහල ආසන්නයේ දී ව්‍යාජ බන්ධනාගාර බස්රථයට ඔහුව ඇතුලුකරගෙන පැනයාමට සමත්ව ඇත.

කෑගල්ල බන්ධනාගාරයේ සිට ඉකුත් 07 වැනිදා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබූ මෙම සැකකරු නැවත කලුතර බන්ධනාගාරයේ රැඳවීමට නියම වී තිබී ඇත. එයට හේතුවී ඇත්තේ මතුගම අධිකරණයේ විභාග වෙන නඩුවක් සඳහා පෙනී සිටීමටය.මේ නිසා අතුරුදන්වූ සිරකරු එදින කළුතරට මාරුවී ඇති බව වැලිකඩ සටහන් පොත්වල සටහන්ව ඇති අතර ඔහු වැලිකඩින් නික්ම ගොස් ඇත්තේ කලුතරට ගෙනයන බසයේ නොව වෙස්වළාගත් කණ්ඩායමට අයත් බසයේ බව හඳුනාගන්නා විට පැනගොස් අවසන්ය.

ඔහු බන්ධනාගාර බස් රථයෙන් රහසේ පළායාම සිද්ධවුවත් බන්ධනාගර නිලධාරීන් ඒ ගැන එකවර දැනුවත්වී නැත.

පෙරේදා (20) කළුතර නඩුව විභාග වීමට නියමිතව තිබිදී නඩුවට අදාළ සැකකරු පැමිණ නොමැති හේතුව කළුතර බන්ධනාගාරයෙන් සොයා බැලීමේදී මේ පිළිබඳ මුලින්ම අනාවරණය වී තිබෙයි.

සැකකරු අතුරුදහන් වී ඇත්තේ කුමන ස්ථානයකින්ද යන්න පසුව කළ සීසීටීවී විමර්ශන වලින් අනාවරණය වී ඇත.

බන්ධනාගාර නිලධාරින්ගේ ඇස්වලට වැලි ගසා උපක්‍රමශීලිව සැකකරු පැනයාම ගැන පරීක්ෂණ ආරම්භවී තිබේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • What else do you expect from kids when the leaders of the country are behaving like criminals in the parliament bringing in weapons and using them against fellow MPs? Monks are no different, having joined one arty or the other and getting involved in public brawls, denigrating the yellow robe they are wearing and breaking vinaya disciplinary rules for them. First monks and leaders must set the right examples for the kids. Some teachers too go beyond their limits; they wear their emotions and anger in their sleeves and assault children in class rooms without thinking of the consequences of their actions. No point of preaching, if they cannot act as their preachings.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *