හබරකඩ වසන්තගේ හා මීගොඩ උපුල්ගේ පෙර වැරදි රැසක් හෙළිවෙයි

(27.11.2018 – 19:07 +0530 – sinhala.adaderana.lk)

ප්‍රබල පාතාල සාමාජිකයින් දෙදෙනෙකු වන හබරකඩ වසන්ත සහ මීගොඩ උපුල් යන දෙදෙනා පොලිස් විශේෂ කාර්යය බලකාය සමඟ ඊයේ (26) රාත්‍රියේ කොට්ටාව රුක්මල්ගම අධිවේගී මාර්ගයේ ගුවන් පාලම අසල ඇති වූ වෙඩි හුවමාරුවකදී ජිවිතක්ෂයට පත් විය.

සිද්ධියෙන් මියගිය එක් අයෙකු වන හබරකඩ වසන්ත, පසුගිය ජුනි මාසයේ මාතර රන් භාණ්ඩ වෙළෙඳසැලක් කොල්ලකෑම අතරතුර සිදුවූ පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවකුද වෙයි.

කොට්ටාව – අතුරුගිරිය මාර්ගයේ රුක්මල්ගම , අධිවේගී ගුවන් පාලම අසල පිහිටි ගසක් යට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් රැදී සිටින බවට පොලිස් විශේෂ බලකා නිලධාරින්ට ඊයේ රාත්‍රියේ තොරතුරු ලැබී තිබුණි.

ආයුධ සන්නද්ධ භට පිරිස් කිහිපයක් ඊයේ රාත්‍රී 9.45 ට පමණ එම ස්ථානය වෙත ළඟා වී ඇත්තේ ඒ අනුවයි.

එහිදි විශේෂ බලකා භට පිරිස් සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනිමට සූදානම් වූ විට එක්වරම සැකකරුවන් එම භට පිරිස් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඊට ප්‍රතිප්‍රහාර වශයෙන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ද වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් දෙදෙනා බරපතළ තුවාල ලැබූ බව පොලිසිය සඳහන් කළේය.

පසුව ඔවුන් දෙදෙනා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කෙරුණත් ඒ වනවිටත් දෙදෙනාම මිය ගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසුවේය.

වෙඩි හුවමාරුව සිදුවූ ස්ථානය අවට පරිශ්‍රයේ විමර්ෂණ කටයුතු අද පෙරවරුවේත් ආරක්ෂක අංශ විසින් සිදුකරනු ලැබීය.

මියගිය පුද්ගලයින් දෙදෙනාට අයත් ස්වයංක්‍රීය වර්ගයේ තුවක්කුවක් සහ මයික්‍රෝ වර්ගයේ ගිනිඅවියක් ද පොලීසිය එම ස්ථානයේ තිබී සිය භාරයට ගෙන තිබේ.

හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් උපතිස්ස මඩපාත මහතා අද දහවල් වෙඩි හුවමාරුව සිදුවූ ස්ථානයේ මූලික මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කළේය.

හෝමාගම මූලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර තිබු මිය ගිය දෙදෙනාගේ මෘත ශරිර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා අද දහවල් කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත රැගෙන යනු ලැබීය.

මෙලෙස ජිවිතක්ෂයට පත්වුනේ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙක් වන අබේසිංහ ආරච්චිගේ වසන්ත කුමාර පෙරේරා හෙවත් හබරකඩ වසන්ත සහ මඩපාත කංකානම්ගේ උපුල් පුෂ්පකුමාර හෙවත් මීගොඩ උපුල් යන අයයි.

වෙඩි හුවමාරුවේදී මියගිය හබරකඩ වසන්ත පසුගිය ජූනි 22 වැනිදා මාතර නගරයේ රන් භාණ්ඩ වෙළෙඳසැලක් කොල්ලකෑම අතරතුර සිදු වූ පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අයෙක් බවටද හඳුනාගෙන තිබේ.

මීට අමතරව හෝමාගම ප්‍රදේශයේ වෙඩි තබා ඝාතනයක් සිදුකිරිම , මහරගමදී වෙඩි තබා ඝාතනයක් සිදුකර රුපියල් ලක්ෂ 17 ක මුදල් කොල්ල කෑම ,කොට්ටාව හා මහරගම යන ප්‍රදේශ වලදී ජීව අත්බෝම්බ ළඟ තබා ගැනීම , මොරටුවේ මූල්‍ය ආයතනයක් කොල්ල කා රුපියල් කෝටි එක හමාරකට අධික රන් ආභරණ සහ මුදල් කොල්ල කෑම, මීරිගම ප්‍රදේශයේ බැංකුවක් කොල්ල කෑම ආදී නඩු ගණනාවක් හබරකඩ වසන්ත නැමැත්තාට එරෙහිව ගොනු වී ඇතැයි පොලිසිය සඳහන් කළේය.

මීගොඩ උපුල් නැමැත්තාටද මහරගම ප්‍රදේශයේදි වෙඩි තබා ඝාතනයක් සිදුකර රුපියල් ලක්ෂ 17 ක කොල්ල කෑම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *