ජනපති කරූ සාකච්ඡා අවසන් – හෙට (30) තවත් සාකච්ඡා කීපයක්

(29.11.2018 – 17:16 +0530 – sinhala.adaderana.lk)

හෙට (30) දිනයේ දී විපක්ෂ නායකවරයා හා එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයින් සමඟ වෙන වෙනම සාකච්ඡා කර කඩිනම් විසඳුමකට එළඹීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට ජනාධිපතිවරයා එකඟ වු බව කථානායක මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කතානායක කරූ ජයසූරිය මහතා අතර සාකච්ඡාවක් අද (29) පස්වරුවේ පැවැත් විය.

අදාළ සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරු 04.00 ට ආරම්භ වු අතර, එහිදී පාර්ලිමේන්තුවේ ඇතිවී ඇති අර්බුදකාරි තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

රට තුළ උද්ගතව පවතින අවුල්සහගත දේශපාලන වාතාවරණය පිළිබඳව ජනාධිපතිවරයා සහ කථානායකතුමා හමු වී සාකච්ඡා කර කඩිනම් විසඳුමකට එළඹීම යෝග්‍ය බවට අද පාර්ලිමේන්තුවේ දී පාර්ශව ගණනාවක් සහ පක්ෂ නායකවරු විසින් ද පලකරන ලද අදහස් සැලකිල්ලට ගනිමින් කථනායකවරයා මෙලෙස ජනාධිපතිවරයා හමුවු බව කථානායක කාර්යාලය නිවේදනය කරයි.

සෑම අංශයකින්ම රට තුළ අස්ථාවර තත්ත්වයක් ඇති වෙමින් පවතින බවත්, විශේෂයෙන්ම රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම, ආයෝජන ක්ෂේත්‍රය හා සංචාරක කර්මාන්තයේ බිඳවැටීම රටට තවදුරටත් දරා ගැනීමට අපහසු වන බැවින්, අවිනිශ්චිත තත්වයට ඉක්මන් විසඳුමක් ලබාදීම කල යුතු බව කථානායවරයා මෙහිදී පෙන්වා දී ඇත.

මෙහිදි කථානායකවරයා පෙන්වා දුන් කරුණු පිළිබඳව ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් පල වූ අතර, විසඳුමකට එළ‍‍ඹීමෙහිලා කථානායකවරයා ඉටු කරමින් සිටින කාර්ය භාරයද ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්ව ඇත.

++++++++++++++++++++++++

අගමැති හෝ ආණ්ඩු වෙනසක් නෑ.. ජනපති කතානායකට යලිත් අවධාරණය කරයි..

(29.11.2018 – 22:21 +0530 – lankacnews.com)

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ක්‍රියාත්මක වන මොහොතක නව අගමැතිවරයකු ආණ්ඩුවක් පත් කිරීමට හැකියාවක් නැති බව ජනාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත දන්වා ඇත.

කතානායකවරයා සහ ජනාධිපතිවරයා අතර අද පස්වරුවේ පැවති සාකච්ඡාවේදී මේ බව දැන්වූ බව ජනාධිපති කාර්යාලයේ සමීප ආරංචි මාර්ග කියා සිටී.

ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ පවතින තත්ත්වය අධිකරණයෙන් විසඳුමක් දෙනතෙක් ලබන දෙසැම්බර් 10 වන දින දක්වා පාර්ලිමේන්තුව කල් දමන ලෙසයි.

ඉන් පසුව අධිකරණ නියෝගයෙන් පසු තත්වයන් ගැන සලකා බැලිය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

එමෙන්ම මේ මොහොතේ නව අගමැතිවරයෙක් පත් කිරීම සඳහා අගමැති ධුරය පුරප්පාඩු වී නැති බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

19 සංශෝධනයෙන් වූ පසු තමනට අගමැතිවරයා ඉවත් කිරීමට නොහැකි බවත් රනිල් වික්‍රමසිංහගේ අගමැති ධුරය අහෝසි වූයේ ජාතික ආණ්ඩුවෙන් සන්ධානයට ඉවත්වීමත් සමග කැබිනට් මණ්ඩලය අහෝසි වීම නිසා බවද ජනාධිපතිවරයා සදහන් කර තිබේ.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව විධිමත් ලෙස අගමැතිවරයා ඉවත් කිරීමට විශ්වාස භංගයක් සම්මත කල හැකි බවත් ජනාධිපතිවරයා යලි අවධාරණය කර ඇතැයිද වාර්තා වෙයි.

කෙසේ වෙතත් හෙට දිනයේ එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් සමඟ ද ජනාධිපතිවරයා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද සඳහන්ය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *