රනිල්ට අගමැතිකම දෙන්නේ නෑ.. නැවත ඒ ගැන කතා එපා.. ජනපති හමුවේ විස්තරය මෙන්න..

(01.12.2018 – 00:23 +0530 – lankacnews.com)

රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත්ම නැවත වතාවක් තමන් විසින් අගමැති ධුරය ලබා නොදෙන බව එක්සත් ජාතික පෙරමුණ නායකයන් සමග පැවති සාකච්ඡාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි අවධාරණය කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම හමුව සඳහා සජිත් පේ‍්‍රමදාස, රවි කරුණානායක, කබීර් හසීම්, මලික් සමරවික්‍රම, අකිල විරාජ් කාරියවසම්, මනෝ ගනේෂන්, දිගම්බරන්, බදුර්දීන්, චම්පික රණවක, රවුෆ් හකීම්, ගයන්ත කරුණාතිලක යන එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් එක්ව සිටියහ.

සාකච්ඡාව ආරම්භයේදීම ජනාධිපතිවරයා විනාඩි තිහකට ආසන්න කාලයක් මේ කරුණු පැහැදිලි කරමින් පසුගිය වසර තුනහමාරක කාලයේ දී රටට සිදුවූ විනාශය සහ ආර්ථික පසුබෑම ගැන දීර්ඝ විස්තරයක් සිදු කළේ එක්සත් ජාතික පෙරමුණේ කිසිදු නියෝජිතයෙක් බාධා කිරීමකින් තොරවයි.

රනිල් වික්‍රමසිංහ වෙනුවට වෙනත් අයකු පත් කරගන්න තමන් අවස්ථා ගණනාවක යෝජනා කළ ද අද වනතුරු එම කටයුත්ත සිදු කර ගැනීමට හැකි වී නැති බවද පවසා ඇති ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත්ම තමන් අගමැති ධුරය ලබා නොදෙන බව දැඩිව අවධාරණය කර ඇත.

ජනාධිපතිවරයා සිය දීර්ඝ අදහස් දැක්වීම අවසන් කරමින් එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ට අදහස් දක්වන්න කී පසු ඔවුන් විනාඩි තුන හතරක් කටඋත්තර නැති ව සිට ඇති බවද වාර්තාවෙයි.

අනතුරුව කබීර් හෂීම් මන්ත්‍රීවරයා විසින් යෝජනා කර ඇත්තේ පොදු වැඩපිළිවෙළක් යටතේ එක්වී කටයුතු කරන කිරීමට හැකිද කියයි.

ජනාධිපතිවරයා ද එය හොඳ අදහසක් බවත් සඳහන් කර ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කර එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ නොහැකි බව ද සඳහන් කළේය.

එහිදී ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයා විසින් පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ බලය ඇත්තේ එක්සත් ජාතික පෙරමුණට නිසා නව අගමැතිවරයෙක් පත් කළ යුතු බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ අගමැති පත් කිරීමේ බලය ඇත්තේ තමනට මිස පාර්ලිමේන්තුවට නොවන බවත් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම තමන් පත් කර අගමැතිගේ කටයුත්තක් බවත්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අදහස් දක්වමින් පවසා ඇත්තේ ‘ඔබතුමා නායකත්වය අරගන්න. අපි ඔබ කියන විදිහට කරන්නම්. රනිල් වික්‍රමසිංහ මහතා නාමිකව හෝ අගමැති ලෙස තියාගෙන ඉදිරි කාල සීමාව ආණ්ඩුව කරගෙන යමු’ යනුවෙනි.

ඊට ද ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් කිසිසේත්ම අගමැතිවරයා ලෙස යළි රනිල් වික්‍රමසිංහ මහතාට කිසිම හේතුවක් මත පත් නොකරන බවයි.

පැය දෙකකට ආසන්න කාලයක් පැවති එම සාකච්ඡාව අවසන් වී ඇත්තේ කිසිදු විසඳුමකින් තොරවයි ෴

+++++++++++++++++++++++++++++++++++++

රනිල් අගමැති කරන්න ආ දෙමල සන්ධානයට ජනපති ගිනි පන්දමක් හිසේ බැද ආපසු යවයි.. ඒ හීනෙත් අහවරයි..

(30.11.2018 – 22:19 +0530 – lankacnews.com)

වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට බහුතරයක් නැත්තේ නම් නැවත වතාවක් විධිමත් ආකාරයෙන් විශ්වාසභංගයක් ගෙනවිත් එය සම්මත කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් වෙත සඳහන් කර තිබේ.

අද පස්වරුවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව ඉදිරියේදී ඉදිරිපත් වන විශ්වාස භංගයේ ප්‍රතිඵල මත තමන් තීරණයක් ගන්නා බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

පසුගිය දා සම්මත කළේ යැයි කියන විශ්වාසභංගයක් පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයක් මත පිහිටා සම්මත කළ ඒවා නොවන නිසා මෙවර හෝ ඒ මත පිහිටා විශ්වාසභංගය ගෙන එන ලෙස ද ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කර ඇත.

මේ තත්ත්වය මත එළඹෙන 07 දා නඩු විභාගයට පෙර විධිමත් ක්‍රමවේදයට විශ්වාසභංගයක් ගෙන ඒම දැඩි අසීරු තත්ත්වයකට පත්ව තිබේ.

මුලින්ම කතානායකවරයා විසින් අගමැති මහින්ද රාජපක්ෂ සහ සන්ධාන ආණ්ඩුව පිළිගත යුතු අතර ඉන් අනතුරුව පාර්ලිමේන්තු තේරීම්කාරක සභා ඇතුළු සියලු කාරක සභා පත් කර විශ්වාසභංග යෝජනාවක් න්‍යාය පුස්තකයට ඇතුළත් කර දින පහක පමණ සාධාරණ කාලයක විවාදයක් ද ලබා දී ඡන්ද විමසීමකට ගත හැක.

එම කාලය ගත වන විට අධිකරණයේ නඩු තීන්දුව බොහෝ දුරට ලබා දී තිබෙනු ඇත ෴

+++++++++++++++++++++++++++++++++++++

30.11.2018

+++++++++++++++++++++++++++++++++++++

කරූගේ අපේක්ෂාව ගැන SB කියයි

(30.11.2018 – 18:43 +0530 – sinhala.adaderana.lk)

කථානායක කරු ජයසූරිය මහතා එළැඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වීමේ අපේක්ෂාවෙන් පසුවන බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

අද (30) පාර්ලිමේන්තු සංකීර්ණයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළේය.

අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන මෙම කැබිනට් මණ්ඩලයේ කිසිදු වෙනසක් සිදු නොවන බවත් පවතින ආණ්ඩුවේ අගමැති පුරප්පාඩුවක් හෝ ඇමති පුරප්පාඩුවක් නොමැති බව ඒ මහතා පවසයි.

මේ අතර අද දින පාර්ලිමේන්තු සභා ගර්භයේ පවත්වන රැස්වීම ස්ථාවර නියෝග හා ව්‍යවස්ථාවට පටහැනිව කථානායක කරූ ජයසූරිය මහතා විසින් චන්ඩිකමට පවත් වන රැස්වීමක් බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

+++++++++++++++++++++++++++++++++++++

රවී වහා අත්අඩංගුවට ගතයුතු බව බන්දුල කියයි

(30.11.2018 – nethnews.lk)

රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ති‍්‍ර රවී කරුණානායක වහා අත්අඩංගුවට ගත යුතු බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ අද (30) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ පිළිබඳ අදහස් දැක්වූවා.

ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂයට සහය දැක්වීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *