තෙල් තට්ටුවක් හේතුවෙන් කාසල්රී අවධානමේ

(03.12.2018 – 07:59 +0530 – sinhala.adaderana.lk)

ජාතික විදුලි බල පද්ධතියට විදුලි උත්පාදනය සඳහා ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශයට දින කිහිපයක සිට විශාල වශයෙන් තෙල් ගලා එන බව එම ජලාශ භාර ආරක්ෂක අංශ නිලධාරින් කියා සිටියි.

එසේ ගලා එන තෙල් ජලාශ වේල්ල අභියස තැන්පත් වන බවත්, විදුලි උත්පාදනයට ජලය නිකුත් කිරිමෙන් පසු එම තෙල් තට්ටු කැලණි ගඟට ගලා යන බව ආරක්ෂක අංශ නිලධාරින් කියා සිටියේය.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ සිට ගලා බසින කෙසෙල් ගමුඔයෙන් සහ හැටන් සිට කාසල්රි ජලාශයට දික්ඔය ඇළ මාර්ගය ඔස්සේ ජලය ගලා බසි.

කෙසෙල්ගමුඔය මේ දිනවල නොර්වුඩ් ප්‍රදේශයෙන් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් පුළුල් කිරිමේ කටයුතු සිදු කරන අතර කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින ගංගා සහ ඇළ මාර්ග අවට තේ කර්මාන්ත ශාලා ගණනාවක්ද පිහිටා තිබේ.

කාසල්රි ජලාශයට ජලය සපයන ප්‍රධාන ඇළ මාර්ග සහ ගංගාවලට මෙසේ ඉතා සුක්ෂම ලෙස තෙල් මුදා හැරිම නිසා කාසල්රි ජලාශයට තෙල් තට්ටු වශයෙන් ගලා එන බව ආරක්ෂක අංශ කියා සිටියේය.

තෙල් තට්ටු ගලා එම සම්බන්ධයෙන් පරිසර අධිකාරිය වෙත දැනුවත් කර ඇති බවත්, පරිසර නිලධාරින් මේ වන තෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවද ආරක්ෂක අංශ නිලධාරින් කියා සිටියි.

කාසල්රි ජලාශයට ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරිය මඟින් මිරිදිය මසුන් විශාල ප්‍රමාණයක් මුදා හැරි බවත්, ජලාශයේ මෙසේ තෙල් ගලා එන්නේ නම් එම ජලාශයේ වෙසෙන මත්ස්‍යයන්ටද දැඩි බලපැමක් එල්ල වන බව ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරියේ නිලධාරින් කියා සිටියි.

*****************************************

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් (03) ඇරඹෙයි

(03.12.2018 – 06:37 +0530 – sinhala.adaderana.lk)

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (03) ආරම්භ වෙයි.

අද ආරම්භ වන සාමාන්‍ය පෙල විභාගය එළඹෙන 12 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර විභාගය මධ්‍යස්ථාන 4661 කදී පැවැත්වෙන අතර අපේක්ෂකයන් හයලක්ෂ 56,641 දෙනෙකු මෙවර සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටින බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 541 ක් පිහිටුවා ඇති අතර රත්මලාන, තංගල්ල, මාතර , හලාවත සහ කොළඹ මැගසින් බන්ධනාගාරයේ විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගයට අදාළව විභාග දෙපාර්තමේන්තුව විසින් පසුගියදා උපදෙස් මාලාවක් ද නිකුත් කරනු ලැබුවේය.

ඒ අනුව විභාගය පෙරවරු 8.30 ට ආරම්භ වන අතර පෙරවරු 8.00 ට පෙර සියලුම අයදුම්කරුවන් විභාග මධ්‍යස්ථානය වෙත පැමිණිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අයදුම්කරුවන් ස්මාර්ට් අත්ඔරලෝසු, ජංගම දුරකථන සහ විද්‍යුත් උපකරණ මඟින් විභාග වංචා සිදු කරන්නේද යන්න පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙසට විභාග දෙපාර්තමේන්තුව විසින් ශාලාධිපතිවරුන් දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බවද සඳහන්ය.

විභාග වංචා සිදුකරන අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන සියලු විභාග සඳහා පෙනී සිටීම වසර 05 කට තහනම් වන බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

විභාගය පවත්වන අවස්ථාවේදී බාහිර පාර්ශවයන්ගෙන් අයදුම්කරුවන්ට කිසියම් බාධාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳ වහාම විභාග දෙපාර්තමේන්තුවට සහ පොලිස් මූලස්ථානයට දැනුම් දීමට කටයුතු කරන ලෙස සියළු ශාලාධිපතිවරුන් වෙත දැනුම්දී ඇති බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර අද දිනයේ ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විභාග කටයුතු සඳහා විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

සෑම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක්ම සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයක්ම වෙත පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *