අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලයට, අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

(03.11.2018 – 15:42 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය මණ්ඩලයට එම ධුර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඒ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරු 122 දෙනෙකු ගොනු කළ පෙත්සම සලකා බැලූ අවස්ථාවේදියි.

මෙම පෙත්සම් සලකා බැලීම අභියාචනාධිකරණයේ සභාපති පී‍්‍රති පද්මන් සූරසේන සහ අර්ජුන් ඔබේසේකර යන විනිසුරුවරුන් හමුවේ අදත් සිදුවූ අතර, මෙහි තීන්දුව පස්වරු 3 ට ප්‍රකාශයට පත් කරන බවයි විනිසුරු මඩුල්ල අද පෙරවරුවේ දැනුම් දුන්නේ.

දින දෙකක කරුණු දැක්වීමෙන් අනතුරුව විනිසුරුවරුන් ඊට අදාළ නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ පාර්ලිමේන්තුවේ බහුතරයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ රජයට විශ්වාසය පළ නොකරන බව පෙත්සම්කාර පාර්ශවය සදහන් කර ඇති බවයි.

එම නිසා ව්‍යවස්ථාවේ 48, 2 වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් සම්මත වී ඇති අවස්ථාවක රජය සහ අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරෙන බව ද එම නියෝගයේ සඳහන්.

එමෙන්ම අභියාචනාධිකරණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් 49 දෙනාගෙන් විමසා සිටින්නේ කුමන බලතල මත තම ධුර දැරුවේ ද යන්නයි.

එම ප්‍රශ්නයට පිළිතුරු ලබන 12 වන දා අභියාචනාධිකරණය හමුවේ ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාව ප්‍රකාරව සදහන් කරන ලෙසට අභියාචනාධිකරණය නියෝග කරනු ලැබුවා.

අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩයට සිය ධුර දැරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත්සම්කාර පාර්ශවය ඉල්ලීමක් කර තිබුණා.

ඒ පිළිබදව අභියාචනාධිකරණය සදහන් කළේ ප්‍රශ්නගත තත්ත්වයක් ඇති අග්‍රාමාත්‍යවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් ගනු ලබන තීරණ දේශීයව සහ ජාත්‍යන්තර වශයෙන් රටට බරපතල බලපෑමක් එල්ල කරන බවයි.

එවන් තීරණ බොහොමයක් යළි අහෝසි කළ නොහැකි බව ද එම නියෝගයේ සඳහන්.

එමෙන්ම අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ තහනම් නියෝගයක් ලබාදී රටේ අග්‍රාමාත්‍යවරයෙකු සහ කැබිනට් මණ්ඩලයක් තාවකාලිකව නොමැති තත්ත්වයක් බවට පත් කිරීමෙන් ඇති වන තත්ත්වයට වඩා, වත්මන් තත්ත්වය පවත්වාගෙන යාමට ඉඩ දුනහොත් ඉන් රටට සිදුකරන බලපෑම ඉතා විශාල බවයි.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයාට සහ කැබිනට් මණ්ඩලයට සිය ධුර දැරීමට ඉඩ ලබාදී යම් හෙයකින් ඔවුන් නීත්‍යානුකූල නොවන ලෙස සිය ධුර දරා ඇති බවට අභියාචනාධිකරණය තීන්දු කළහොත් එම තීන්දුවේ ඵලක් නොමැති බව එම නියෝගයේ සඳහන්.

එබැවින් අභියාචනාධිකරණය නියෝග කළේ පෙත්සම් විභාගය අවසන් වන තෙක් අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් 49 දෙනාට තනතුරු දැරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමටයි.

එම නියෝගය නිසා පුරප්පාඩු වන ධුරවලට පත් කළ යුත්තේ කවුරුන්ද යන්න තීරණය කිරීම අදාළ පත් කිරීමේ බලධාරියාගේ කටයුත්තක් බව ද අභියාචනාධිකරණය නිකුත් කළ නියෝගයේ සඳහන්.

++++++++++++++++++++++++

අගමැති මහින්ද ඇතුළු කැබිනෙට්ටුවට ධුර දැරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

(03.12.2018 – 15:41 +0530 – sinhala.adaderana.lk)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළුඅමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනෙකුට එම තනතුරු දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

දීර්ඝ කරුණු විමසීකින් පසුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් මගින් මෙම නියෝගය ලබා දුන්නේය.

ඒ අනුව පෙත්සම විභාග කිරීම සඳහා අවසර ලබා දුන් විනිසුරු මඩුල්ල පෙත්සම සම්බන්ධයෙන් ලබන 12 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි වගඋත්තරකරුවන් වෙත නොතීසිද නිකුත් කළේය.

නිකුත් කර තිබෙන තහනම් නියෝගය නඩු විභාගය අවසන් වනතුරු බලපාන බවද නියෝගයේ සඳහන් විය.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය , සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියා සිටින්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොමැති බවත් ඒ බව කථානායකවරයා විසින් ද තහවුරු කර ඇති බවයි.

මේ හේතුවෙන් ආණ්ඩුකම ව්‍යවස්ථාව 19 වන සංශෝධනය ප්‍රකාරව මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව පෙත්සම්කරුවන් කියා සිටියේය.

මේ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දු කොට ඔහුගේ සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ පත්වීම බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන්ද පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඉකුත් සිකුරාදා පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කරුණු දක්වමින් පෙත්සම්කරුවන් විසින් සඳහන් කරනු ලබන විශ්වාසභංග යෝජනාව විධිමත් ආකාරයට සම්මත වී නොමැති බව කියා සිටියේය.

මුලින්ම ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව කටහඬ පදනම් කරගෙන සම්මත වී ඇති බව කථානායකවරයා නිවේදනය කළ බව කී ජනාධිපති නීතිඥ මාරපන මහතා ස්ථාවර නියෝග 47(1) යටතේ කතානායකවරයා එම යෝජනාව අති බහුතරයකින් සම්මත කර ඇති බව නිවේදනය කලේ යයි ද කියා සිටියේය.

අදාල විශ්වාසභංග යෝජනාව විවාදයට ගනු ලැබුවේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවීමෙන් පසුව බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ස්ථාවර නියෝග අත්හිටුවා තිබියදී ස්ථාවර නියෝග 47(1) යටතේ කටහඬ පදනම් කරගෙන ඡන්ද විමසීම සිදු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර තිබුණි.

පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන අවස්ථාවක මෙවැනි යෝජනාවක් සම්මත කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ මාරපන මහතා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නීත්‍යානුකූල භාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයක් පැවැත්වෙන හෙයින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක් ලැබෙන තුරු මෙම පෙත්සම් සලකා නොබලන මෙන්ද ඉල්ලා තිබුණි.

එමෙන්ම අදාළ විශ්වාසභංග යෝජනා විධිමත් ආකාරයට සම්මත වී නොමැති හෙයින් මෙම පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන මෙන්ද ජනාධිපති නීතිඥ මාරපන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හතළිස් නව දෙනෙකු නම් කර තිබේ.

++++++++++++++++++++++++

අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

(03.12.2018 – 19:31 +0530 – hirunews.lk/sinhala)

කැබිනට් මණ්ඩලය අත්හිටවමින් අභියාචනාධිකරණය දුන් අතුරු තහනම් නියෝගයට එකඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක්

කැබිනට් මණ්ඩලය අත්හිටවූ බව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය අද ලබාදුන් අතුරු තහනම් නියෝගයට එකඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එහි දැක්වෙන්නේ එම අතුරු තහනමට එරෙහිව හෙට දින ආරම්භක පැයේදී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීම සහ ඊට අදාළ අවසානාත්මක තීන්දු තීරණ ගැනීමේ පරම අයිතිය ව්‍යවස්ථානුකූලව පැවරී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බවයි.

රටේ දේශපාලන ස්ථාවරභාවය ආරක්ෂා කිරීම සඳහා වූ අරගලය, එනම් මහමැතිවරණයක් හරහා ජනතාවගේ මතය දිනා ගැනීම සඳහා වූ වැඩපිළිවෙළ වෙත මෙම තීරණාත්මක මොහොතේදී ඔබගේ කැපවීම වඩාත් අවශ්‍ය බැවින් ඒ සඳහා කැපවන ලෙසද මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මව්බිමට ඇති ආදරයද, නීතියට ඇති ගෞරවයද දේශප්‍රේමී දේශපාලනයට ඇති අවංක භාවයද පෙරදැරිව රටේ ජනතාව මෙම තීරණාත්මක මොහොතේදී සාමකාමීව සහ ධෛර්ය සම්පන්නව සහ වගකීමෙන් කටයුතු කරනු ඇතැයි අපෙක්ෂා කරන බවද මහින්ද රාජපක්ෂ මහතා සිය නිවේදනයෙන් පෙන්‍වා දෙනවා.

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *