වම දකුණ මාරු වුණ ජාතික රෝහලේ සැත්කම

(04.11.2018 – 19:12 +0530 – sinhala.adaderana.lk)

දකුණු පාදයේ ආබාධයකට ශල්‍යකර්මයක් සිදු කර ගැනිමට කොළඹ ජාතික රෝහලට ඇතුළත්වූ රෝගියෙකුගේ වම්පාදයේ එම ශල්‍යකර්මය සිදුකිරීමේ සිද්ධියක් අද දෙරණට වාර්තා වෙයි.

අද දෙරණ කළ විමසීමකදී ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමිද්දි සමරකෝන් මහතා සඳහන් කළේ රෝගියාගෙන් ලද පැමිණිල්ලක් මත පරීක්ෂණයක් සිදු කෙරෙන බවයි.

පානදුර නිවුඩාව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයි.පී.චමින්ද කුමාර වෘත්තියෙන් වඩු කාර්මිකයෙක්.

2001 වසරේදී යතුරුපැදි අනතුරක් හේතුවෙන් ඔහුගේ දකුණු පාදයේ දණහිසේ ශල්‍යකර්මයක් සිදු කර ඇති අතර එහි හානි වී ඇති පටල ඉවත් කිරීම සඳහා නැවතත් ශල්‍යකර්මයක් සිදු කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන් පවසා තිබේ.

චමින්ද කුමාර ඉකුත් නොවැම්බර් 29 වනදා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කෙරුණේ ඒ අනුවයි.

ඊයේ(03) රාත්‍රියේ ඔහුව අදාල ශල්‍යකර්මයට භාජනය කර ඇති අතර එයින් පසුව ඔහු දැක ඇත්තේ සිය දකුණු කකුලේ දණහිස වෙනුවට වම් පාදයේ දණහිස ශල්‍යකර්මයට භාජනය කර ඇති ආකාරයයි.

ඔහුගේ මෙම චෝදනා පිළිබඳව ඔහු සිටි රෝහල් වාට්ටුව භාර වෛද්‍යවරිය අප සමඟ අදහස් පළ කළේය.

ඇය පවසා සිටියේ, හරි කකුල වෙළුම්පටිවලින් ඔතා ගෙන ගොස් ඇතත් රෝගීයාගෙන් මේ පිළිබඳ විමසීමක් නොකිරීම මෙයට හේතුව වී ඇති බවත්, තමා වරදක් වු බව පිළිගන්නා බවත්ය.

මේ සම්බන්ධයෙන් අද දෙරණ විමසීමකදී ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සමිද්දි සමරකෝන් මහතා පැවසුවේ රෝගියාගෙන් ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතින බවයි.

වෛද්‍යවරු දෙවිවරු ලෙස සමාජයේ පිළිගැණුනද එවන් වෛද්‍යවරයෙකුගෙන් සිදුවන අත්වැරදීමක් පුද්ගලයෙකුගේ සහ ඔහුගේ ජීවිතයම විනාශ කිරීමට ගත වන්නේ සුළු වේලාවක්.

චමින්දට සිදු වූ මේ අසාධාරණයට වගකියන්නේ කවුද ?

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *