පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වළක්වන අතුරු තහනම දිනකින් දීර්ඝ කෙරේ – පෙත්සම් විභාගය හෙටත් (07)

(06.12.2018 – 17:06 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය හෙට දිනය දක්වා නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය අනිද්දා දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාග කිරීම අද තුන්වන දිනටත් අවසන් කිරීමට නොහැකි වීම හේතුවෙන්.

පෙත්සම් අදත් විභාගයට ගැණුනේ අගවිනිසුරු නලීන් පෙරේරා මහතා ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේයී.

අද පෙත්සම් විභාගය ආරම්භයේදී කරුණු දැක්වීම සිදුකළේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකළ පෙත්සම්වලට අතරමැදි පෙත්සම් ගොනුකළ පාර්ශවයන්ගේ නීතිඥයින්.

ඒ අනුව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62/2 වගන්තියේ බලතල ප්‍රකාරව ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ හැකියාව ඇති බවයි.

අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා කරුණු දැක්වූවා.

ඔහු සඳහන් කළේ නීතිපතිවරයා ඉදිරිපත් කළ සියලු දේශන හා තමන් එකඟ වන බවත් මෙම පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිදු හැකියාවක් නොමැති බවයි.

එසේම මෙම පෙත්සම් මගින් මැතිවරණයක් නොපවත්වන ලෙස ඉල්ලා සිටීම ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස ඔහු එහිදී අර්ථකථනය කළා.

ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ නියමිත කාලයට පෙර මැතිවරණයක් පැවැත්වීම ජනතාවගේ අයිතිය හා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් නොවන බව පූර්වාදර්ශ නඩු තීන්දු මගින් ශ්‍රේෂ්ඨාධිකරණයම තහවුරු කර ඇති බවයි.

ව්‍යවස්ථාවේ උත්තරීතර බලය ජනතාවට ඇති බවත්, ඔවුන්ගේ සේවකයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය එම බලය උදුරා ගැනීම නොකළ යුතු බවත් මනෝහර ද සිල්වා මහතා එහිදී සඳහන් කළා.

අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ. සුමන්දිරන් කරුණු දක්වමින් නීතිපතිවරයා සිදුකළ දේශනවලට අදාළව විරෝධයක් මතු කළා.

එහිදී ඔහු සඳහන් කළේ ඊයේ දිනයේ නීතිපතිවරයා දැක්වූ කරුණු ඔහු මීට පෙර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ප්‍රථම අධිකරණයේදී දැක්වූ කරුණු හා ප්‍රතිවිරුද්ධ වන බවයි.

ඊට පිළිතුරු දෙමින් නීතිපතිවරයා කියා සිටියේ අවශ්‍ය නම් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමට තමා සූදානම් බවයි.

අනතුරුව අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කරුණු දැක්වීම සිදුකළා. ජනාධිපතිවරයා මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුකළේ නම් ලබන වසරේ මැතිවරණයක් පැවැත්වීමෙන් පසුව වූවද, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවිය හැකි දැයි පෙත්සම්කාර පාර්ශවය විසින් නගන ප්‍රශ්නය සඳහා ඔහු එහිදී පිළිතුරු ලබාදුන්නා.

එය අර්ථ විරහිත තර්කයක් බව පෙන්වා දුන් අලි සබ්රි නීතිඥවරයා සඳහන් කළේ ජනාධිපතිවරයාට ඕනෑම පුද්ගලයෙකුට පොදු සමාව ලබාදීමේ හැකියාව තිබුණද, නම ගිය අපරාධකරුවන්ට පොදු සමාව ලබා නොදෙන බවයි. ඒ අනුව අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දැක්වීම අද අවසන් කෙරුණු අතර, හෙට දිනයේදී පෙත්සම්කාර පාර්ශවයට පිළිතුරු ලබාදීමේ අවස්ථාව හිමි වනවා.

පෙත්සම් විභාගය හෙටට (07) කල් තැබූ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් හෙට දිනය දක්වා දී තිබූ අතුරු තහනම් නියෝගය අනිද්දා දක්වා දීර්ඝ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *