දින දෙකකින් ආහාර නොගත් දරුවන් තිදෙනෙක් පොතුවිල් පොලිසියට එති

(06.12.2018 – 18:20 +0530 – lankadeepa.lk)

පොතුවිල් ගම්මානයේ දරුවන් තිදෙනෙකු තමන්ට බඩගිනි බව පවසමින් පොතුවිල් පොලිසියට පැමිණ ආහාරය ඉල්ලා තිබෙන පුවතක් පොතුවිල් ප්‍ර‍දේශයෙන් වාර්තාවේ.

අද (06) පිරිමි ළමුන් දෙදෙනෙකු සහ කුඩා ගැහැණු දරුවෙකු පැමිණ දින දෙකකින් ආහාර නොගත් බව පවසා පොලිසියෙන් ආහාර ඉල්ලා තිබේ.පසුව පොතුවිල් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාරසිංහ මහතා විසින් මෙම දරුවන්ට ආහාර ලබාදීමට කටයුතු කර ඇත.

මෙම දරුවන් පිලිබඳව පොලිසිය කරුණු සොයා බැලිමේදී මෙම දරුවන් තිදෙනාගේ පියා විදේශ ගතව ඇති අතර මව මෙම දරුවන්ට නොසලකන බව සොයාගෙන තිබේ.

තම මවට වෙනත් පුද්ගලයෙක් ආහාර ගෙනත් දෙන බවත් තමන්ට එම ආහාර ලබා නොදෙන බවත් මෙම දරුවන් තිදෙනා පොලිසියට පවසා තිබේ.ඉකුත් 05 වැනිදා ආහාර ගැනීමෙන් පසුව කිසිම ආහාරයක් මෙම දරුවන් ලබාගෙන නැති අතර පොලිස් නිලධාරීන් විසින් මෙම දරුවන්ට ආහාර ලබාදී තිබේ.

මෙම දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක් පිරිමි දරුවන් වන අතර ඔවුන් වයස අවුරුදු 14 සහ 13 වියෙහි පසුවෙති ගැහැණු දරුවාට වයස අවුරුදු 07 කි.

පොතුවිල් පොලිසිය මගින් මෙම දරුවන්ගේ මව අත්අඩංගුවට ගෙන දරු තිදෙනා සමඟ පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර පොතුවිල් මහේස්ත්‍රාත් මොහමඩ් රාෆි මහතා විසින් මවමෙම මස 12 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර මෙම දරුවන් තිදෙනා ළමා ආරක්ෂණ අධිකාරියේ රැකවරණය යටතේ ඔවුන් ගේ මාමාට භාරදි තිබේ.

මෙම මස 12 වෙනි දින මෙම දරුවන් නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබේ ෴

++++++++++++++++++++++++

gossiplankanews.com වෙතින් …

*****************************************

ගාලු කොටුවේ ගොඩනැගිලි 100 ක් විදේශිකයන් මිලට ගනී..ජනගහනයත් හරි අඩකින් අඩුවෙයි

(06.12.2018 – nethnews.lk)

ගාලු කොටුවේ ඇති ගොඩනැගිලි 450 ක පමණ ප්‍රමාණයෙන් ගොඩනැගිලි 100 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට විදේශිකයන් මිලට ගෙන සංචාරක ව්‍යාපාර පවත්වාගෙන යන බව ගාලු උරුමය පදනම පවසයි.

මින් පෙර තුන්දහසකට ආසන්න ජනගහනයක් විසූ ගාලු කොටුවේ මේ වන විට එය 1500 වඩා අඩුව ඇති බවද වාර්තාවේ.

එමෙන්ම කොටුවේ පර්චසයක් රුපියල් එක්කෝටි හැත්තෑලක්ෂයක පමණ මුදලකට අලෙවි වන බවත්, නඩු තිබෙන ගොඩනැගිලි ද තැරැව්කරුවන් විසින් විදේශිකයින්ට රවටා විකිණිම නිසා ඒවා මිලට ගෙන ඇති විදේශිකයින් ගැටලු රැසකට මුහුණපා ඇති බවද වාර්තාවේ ෴

*****************************************

මධුෂ්ගේ ගෝලබාලයෝ හිර ගෙදරත් පාතාල බලය පතුරුවයි…! රැඳවියන් පීඩනය පත්කරමින් මධුෂ්ගේ ගෝලයෝ කරන වැඩ ගැන ආරංචියක් ..!

(06.12.2018 – nethgossip.lk)

රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගේ ගෝලයින් විසින් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ පාතාල බලය පතුරවමින් එහි පාලනය සියතට ගෙන ඇති බවට බුද්ධි අංශ වෙතට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වනවා.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින මධුෂ්ගේ ගෝලබාලයන් පිරිසක්‌ විසින් මෙලෙස බන්ධනාගාරය තුළදී රාත්‍රියට මත්පැන් පවා භාවිත කරමින් සුපිරි ජීවිත ගත කරන බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇති බවයි සඳහන් වන්නේ. එසේම ඔවුන් ජංගම දුරකථන ඔස්‌සේ ඩුබායිහි සිටින මාකඳුරේ මධුෂ් සමග ප්‍රසිද්ධියේ කතා බහ කරන බවත්, මෙම කල්ලියේ මැරකම් හමුවේ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින සෙසු රැඳවියන් දැඩි පීඩනයකට මුහුණ දී සිටින බවත් බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතර අදාල පාතාල සාමාජික රැඳවියන්ගේ කටයුතුවලට කිසියම් බන්ධනාගාර නිලධාරියකු එරෙහි වුවහොත් එම නිලධාරියාට මෙන්ම ඔවුන්ගේ පවුලේ අයටත් මාකඳුරේ මධුෂ් ඩුබායිහි සිට මරණීය තර්ජන එල්ල කරන බවටද තොරතුරු වාර්තා වී ඇති බව සඳහන් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *