අපේ පොදු සතුරා UNPයයි; පොහොට්ටුය අභියෝගයක් නොවෙයි – ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම්

(08.12.2018 – 11:29 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමඟ නිර්මාණය කරන්නා වූ නව සන්ධානයක් හරහා ඉදිරියට යාමට බලාපොරොත්තු වන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් , මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

ඊයේ (07) පස්වරුවේ පැවැති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ඊයේ පස්වරුවේ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදි ආරම්භ විය.

ඒ නිදහස් පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

රැස්වීමෙන් අනතුරුව ඊට සහභාගි වූ නිදහස් පක්ෂ නියෝජිතයින් මාධ්‍ය වෙත අදහස් පල කළේය.

එහිදි මාධ්‍ය වෙදියෙකු කළ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේ එක්සත් ජාතික පක්ෂය තම පර්ශවයේ පොදු සතුරා බවයි.

එමෙන්ම ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු අවස්ථාවකදි අභියෝගයක් නොවන බවත් එදිරියෙදි එම පක්ෂය සමඟ සන්ධානගතව කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

*****************************************

වතු කම්කරුවන්ගේ වැඩ වර්ජනයට අදට දින 4 යි

(08.12.2018 – 12:33 +0530 – sinhala.adaderana.lk)

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසකින් වැඩි කරන ලෙස බලකරමින් පවත්වනු ලබන අඛන්ඩ වැඩ වර්ජනය අද (08) සිව්වන දිනටත් ක්‍රියාත්මක වේ.

මේ අතර ඊයේ (07) පස්වරුවේ හැටන් ස්ටාඩන් තේ වත්තේ සිට තේ කර්මාන්ත ශාලාවට ගෙන යමින් තිබූ තේදළු කිසියම් පිරිසක් විසින් භූමිතෙල් දමා විනාශ කර තිබේ.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසකින් වැඩි කරන දෙන ලෙස ඉල්ලා පවත්වනු ලබන අඛන්ඩ වැඩ වර්ජනය අද සිව්වන දිනටත් හැටන් ඇතුළු වතුකරය පුරා ක්‍රියාත්මකයි.

ඒ අනුව දිනකට ගෙවන රුපියල් 530 ක මුලික වැටුප රුපියල් 600 දක්වාත්,පැමිණීමේ දීමනාව වශයෙන් දැනට ගෙවන රුපියල් 75 ක මුදල රුපියල් 140 දක්වා වැඩිකර සියලු දීමනා සමග රුපියල් 1012 වැටුපක් ලබා දෙන මෙන් වතු කම්කරුවන් අධිකාරිවරුන්ගෙන් ඉල්ලා සිටියි.

මේ අතර නාදුනන පිරිසක් විසින් ඊයේ පස්වරුවේ හැටන් ස්ටාඩන් තේ වත්තේ සිට තේ කර්මාන්ත ශාලාවට ගෙන යමින් තිබූ රුපියල් එක්ලක්ෂ විසිදහස් නවසිය හැටක් වටිනා තේදළු ප්‍රමාණයක් භූමිතෙල් දමා විනාශ කර තිබේ.

මේ සම්බන්යෙන් වතුඅධිකාරිවරුන් හැටන් පොලීසියට පැමිණිල්ලක් කර ඇති බව වාර්තා වේ ෴

*****************************************

කුරිරු වෙඩි පහරින් මිය ගිය පුංචි මුගලන් ඇත් පැටවා වෙනුවෙන් මතක වස්ත්‍ර පූජාවක්

(08.12.2018 – 11:14 +0530 – sinhala.adaderana.lk)

උඩවලව ජලාශයේ පිටවාන අසල දී වෙඩිතබා ඝාතනය කරන ලද උඩවලව ඇත් පැටවා වෙනුවෙන් මතක වස්ත්‍ර පූජාවක් සහ දානමය පුණ්‍ය කර්මයක් මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

කුරිරු වෙඩි පහරින් මිය ගිය පුංචි මුගලන් වෙනුවෙන් මතක වස්ත්‍ර පූජාවක්

ආචාර්ය ඕමල්පේ සොභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය තරුණ බෞද්ධ සංගමය එක්ව මෙම පිං පැමිනවීමේ කටයුත්ත සිදු කර ඇත.

මේ සඳහා මහා සංඝරත්නය පනස්නමක් පමණ වැඩ සිටින ලදී.

ඇඹිලිපිටිය සෙවනගල ප්‍රාදේශීය ලේකම්වරුන් මෙන්ම ඇඹිලිපිටිය අවට පොලිස් ස්ථානාධිපතිවරුන් මහවැලි නිළධාරීන්ද මෙම පිං කමට පැමිණ ඇත.

ප්‍රථමයෙන් මහා සංඝරත්නය ඇතුලු පිරිස උඩවලව ඇත් අතුරු සෙවනට ගොස් අලි පැටවුන් සඳහා රුපියල් 75,000 කට වඩා වැඩි වටිනාකමකින් යුත් කිරිපිටි දානමය පුණ්‍ය කර්මයක් සිදු කරන ලදි.

පසුව උඩවලව ජලාශයේ පිටවාන අසල ඇත්පැටවා වෙඩිතබා ඝාතනය කල ස්ථානයට ගොස් එම ස්ථානයේ ආගමික වතාවත් සිදු කිරීම මහා සංඝරත්නය විසින් සිදු කරන ලදී.

ඉන් අනතුරුව මතක වස්ත්‍ර පුජා කර පැන් වඩා අටපිරිකර හා සෙසු පිරිකර පූජාකර ඇත්පැටවාට පිං අනුමෝදන් කිරීම සිදු විය.

මෙම අවස්ථාව සඳහා විදේශිකයන්ද පැමින සිටිනු දක්නට හැකි විය.

මෙහිදී උඩවලව ජීප් රථ සංගමය මෙන්ම වනජීවී නිළධාරීන් උඩවලව හෝටල් හිමියන්ද මේ පිංකම සඳහා සහභාගී විය ෴

++++++++++++++++++++++++

උඩවලවේදී වෙඩි උණ්ඩයකට බිළිවූ ඇත් පැටවාගේ තොරතුරු හෙළිවෙයි

(01.12.2018 – nethnews.lk)

උඩවලව ජලාශයේ පිටවාන අසලදී වෙඩි තබා ඝාතනය කෙරුණු ඇත් පැටවාගේ පශ්චාත් මරණ පරික්ෂණය උඩවලව වනජීවී පශූ වෛද්‍ය මාලක අබේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් අද (01) සිදු කෙරුණා. එහිදී අනාවරණ වූයේ බෙහෙත් කොටන තුවක්කුවකින් ඇත් පැටවාට වෙඩි තබා ඇති බවයි. ඇත් පැටවාගේ හිසට සහ තවත් ස්ථාන 03කට මෙහිදී වෙඩි ප‍්‍රහාර එල්ල වී තිබුණා.

පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසුව ඇත් පැටවාගේ සිරුර වළ දැමුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. අවුරුදු 10 ත් 12 ත් අතර වයසේ පසුවන ඇත් පැටවෙකු මෙලෙස ඝාතනය කර තිබෙනවා. ඊයේ (30) පස්වරුවේ මෙම ඇත්පැටවා උඩවලව රක්ෂිතයේ අලි වැටෙන් පිටත සීමාවට පැමිණ පහේ කණුව ගම්මානයට යන ආකාරය ද ප‍්‍රදේශවාසීන් දැක තිබෙනවා. ඒ පිළිබඳව උඩවලව වන ජීවී කාර්යාලයට දැනුම් දුන්න ද ඔවුන් කි‍්‍රයාත්මක නොවූ බවයි ප‍්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. ඝාතනය කෙරුණු ඇත් පැටවා පිරිමි සතෙකු බවත්, දැනට වසරක පමණ කාලයක සිට රෑනෙන් වෙන්ව හුදෙකලාව වාසය කළ බවත්, අනාවරණ වී තිබෙනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කර සතියක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙසයි වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර වනජීවී නිලධාරීන්ට නියෝග කර ඇත්තේ. ඇත් පැටවාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *