මේක ව්‍යවස්ථා අර්බුදයක්ම නෙමෙයි රට රකින රට වනසන දෙපිලේ යුද්ධයක් – නීතිඥ කල්‍යානන්ද තිරාණගම

(09.12.2018 – divaina.com)

= මේක ව්‍යවස්ථා අර්බුදයක්ම නෙමෙයි රට රකින රට වනසන දෙපිලේ යුද්ධයක් – මානව හිමිකම් පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ කල්යානන්ද තිරාණගම =

rata

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අංශක 180 කින් නොව අංශක360 කින්ම භ‍්‍රමණය වී ගත් දැඩි පියවර දැන් රට රකින සහ රට වනසන දෙපිලේ යුද්ධයක් බවට පත්ව ඇති බව මානව හිමිකම් පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි. අපේ රටේ වර්තමාන දේශපාලන ගමන්මග පිළිබඳ දිවයින ඉරිදා සංග‍්‍රහය ඒ මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකි මේ.

මේවනවිට අපේ ජනාධිපතිතුමා රටේ එක් පාර්ශ්වයක දෝෂ දර්ශනයටත් අනෙක් පාර්ශ්වයේ ප‍්‍රශංසාවටත් ලක් වූ කෙනෙක්. 2015 දි අපේ රටේ එක්සත් ජාතික පක්ෂ රජයක් බිහිකිරීමට පුරෝගාමියෙකු වූ එතුමා අද එම කණ්ඩායමේ බලවත් විවේචනයට ලක්වී තිබෙනවා.

කළගුණ නොදන්නා අකෘතඥ පුද්ගලයකු ලෙස අද එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිතුමාට පහර ගැසුවත් ඔවුන් එතුමාට එසේ නොකළ යුතු බවයි මගේ අදහස. අද එජාපය ජනාධිපතිතුමාට කියන්නෙ ‘අපේම උදව්වෙන් බලයට ඇවිත් අපටම කෙළියා’ කියලයි. ඒත් ඇත්ත තත්ත්වය එක නෙමෙයි. පසුගිය අවුරුදු තුනහමාර තුළ ජනාධිපතිතුමා එජාපයට ඕනෑවටත් වඩා උදව් කළ කෙනෙක්.

2005 ඡන්දයේදී එජාපය ද්‍රවිඩ සංධානයට සහ මුස්ලිම් කොංග‍්‍රසයට මේ රටේ ඒකීයභාවයට තර්ජනයක් වන විදිහේ පොරොන්දු දුන්නා. හකීම් මහතා සමග කොන්දේසි 67 ක් සහිත ගිවිසුමක් අත්සන් කර තිබුණා. සන්ඩේ ටයිම්ස් පත‍්‍රයේ පළවුණු එම වාර්තාවට අනුව එහි එක් කොන්දේසියක් වූයේ නැගෙනහිර පළාතට මුස්ලිම් කලාපයක් දීමයි. වතුකරයේ සම්පූර්ණ පාලන කටයුතු තොණ්ඩමන්ට දීමටත් එයින් පොරොන්දු වී තිබුණා. එහෙම කරලත් එජාපයට බලයට එන්න බැරිවුණා පමණක් නෙමෙයි 2010 දී ඡන්දෙට එන්නවත් කෙනෙක් හොයාගන්න බැරිවුණු නිසා සරත් පොන්සේකා මහතා බිල්ලට දුන්නා. ඒ සියල්ල කරලත් බලයට එන්න බැරිවුණු නිසා තමයි ඔවුන් 2015 දී මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයෙක් බවට පත්කරගෙන ඡන්දෙට ආවෙ. ජනාධිපතිතුමා 2015 ජනවාරි 9 වැනිදා රනිල් මහතා අගමැති කර එජාප ආණ්ඩුවක් ඇතිකළා. එජාපය දැන් මොනවා කිව්වත් මේ තමයි මෑත ඉතිහාසයේ එජාපයේ දේශපාලන ගමන් මගේ ස්වභාවය.

මෛත‍්‍රීපාල සිරිසේන මහතාත් තමන් ජනාධිපති තනතුරට පත් කළ එජාපයට අවස්ථා ගණනාවකදි ඉතාම ඉහළින් කෘතගුණ සලකල තියෙනව. රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත් කරල අද ජනාධිපතිතුමාට දෙස්දෙවොල් තියන එජාප කණ්ඩායමට ඇමති තනතුරු දුන්නෙ ජනාධිපතිතුමායි. ඒ පළමුවැනි අවස්ථාව. ජනාධිපතිතුමා උදව් නොකළානම් රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කරන්න බෑ. මගේ අදහස නම් එය ජනාධිපතිතුමා නොකළ යුතුව තිබූ දෙයක්. එහෙත් එජාපය වෙනුවෙන් එතුමා ඒක කළා. ඒ දෙවැනි අවස්ථාව.

2015 අගෝස්තු මහමැතිවරණය එජාපයට දිනන්න උදව් කළේත් ජනාධිපතිතුමායි. ඒ ඡන්දයෙන් මහින්ද රාජපක්ෂ කණ්ඩායමට ආසන 115 ක් ලැබෙන බවට ජනාධිපතිතුමාට බුද්ධි අංශ වාර්තාවක් ලැබුණා. ඒ වෙලාවෙදි ජනාධිපතිතුමා ‘මේ ඡන්දයෙන් මහින්ද දිනුවත් මම එයාට අගමැතිකම දෙන්නෙ නෑ’ කියල ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කළා. ඡන්දයට සතියකට කලින් එතුමා ඒ ප‍්‍රකාශය කළා පමණක් නෙමෙයි ඡන්දයට දින හතරකට කලින් උසාවි යන්නත් බැරිවෙන විදිහට ශ‍්‍රීලනිපයේ මහලේකම් සහ එජනිස මහ ලේකම් ඉවත් කරල රනිල් මහතාට දිනන්න අවශ්‍ය පසුබිම සකස් කළා. ඒ තුන්වැනි අවස්ථාව.

ජනාධිපතිතුමා එජාපයට කළගුණ සලකපු හතරවැනි අවස්ථාව තමයි බැඳුම්කර මහා බැංකු වංචාව ගැන ඩිව් ගුණසේකර මහතාගේ කෝප් කමිටු වාර්තාව එළිදක්වන්න සූදානම්කර තිබූ අවස්ථාවේදි ආණ්ඩුව විසුරුවා හැරීම. පසුව මහබැංකු වංචාව හොයන්න ජනාධිපති කොමිසමක් පත් කළත් එදා එතුමා ආණ්ඩුව විසුරුවා නොහැරියා නම් අද එජාපෙ හුඟදෙනෙක් ඉන්නෙ හිරේ. බැඳුම්කර කොමිසමේ වාර්තාව එළියට දැම්ම නම් එජාප මන්ත‍්‍රීවරු වැඩිදෙනෙක් චූදිතයො. මේ අපරාධකාරයො කවුද කියල ජනතාව තවම දන්නෙ නැත්තෙ ජනාධිපතිතුමා අදටත් ඔවුන් ආරක්ෂා කරන නිසයි. මේ රටේ ජනතාවගෙ අයිතිවාසිකම් පවා කඩකරමින් ජනාධිපතිතුමා එජාපයට කෘතගුණ සලකලා තියෙනවා. ඒ නිසා ‘අපේ කරපිටින් ජනාධිපතිවෙලා අපිටම කෙළියා’ කියල ජනාධිපතිතුමාට දොස් කියන්න එජාපෙට පුළුවන් කමක් නෑ.

අපේ රටේ බැඳුම්කර වංචා දෙකක් සිදුවෙලා තියෙනවා. ජනාධිපති කොමිසමෙනුත් පරීක්ෂා කළේ බිලියන 10 ක් වූ බැඳුම්කර වංචාව ගැන පමණයි. එනම් 2015 පෙබරවාරි 27 සහ මාර්තු 29 යන දෙදින සිදුවූ බැඳුම්කර ගනුදෙනු ගැනයි. 2016 සිදුකර තිබෙන දෙවැනි බැඳුම්කර වංචාව බිලියන 50 ක එකක්. තාම ඒක ගැන කිසිදෙයක් සොයල නෑ. රටට කෝටි 11 ක් අහිමි වෙලා තියෙන්නෙ බිලියන දහයේ බැඳුම්කර ගනුදෙනුවෙන්. බිලියන 50 ගනුදෙනුවෙන් කරල තියෙන වංචාව ගැනත් ජනාධිපතිතුමා පරීක්ෂා කළා නම් අද එජාපයේ කෑගහන ඔය හැමෝම මේවෙන කොට හිරේ කියලයි මගේ අදහස.

දෝෂාභියෝගයක් කියල එකකුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙ තියෙනව කියල එජාපයේ සමහරු අද කතාකළත් පසුගිය අපේ‍්‍රල් මාසෙ රනිල් වික‍්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත්වුණු විශ්වාසභංගයෙනුත් ඒ මහතා බේරාගත්තෙ ජනාධිපතිතුමයි. ඒ විශ්වාශභංගය වෙලාවෙදි ජනාධිපතිතුමා ශ‍්‍රීලනිප කණ්ඩායමට කිව්ව තමන්ට කැමති විදිහට ඡන්දය දෙන්න කියල. ඒ හින්ද ඒ කණ්ඩායමේ ප‍්‍රධානියො ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැළකී හිටියා. ඒ අයත් ඡන්දය ප‍්‍රකාශ කළා නම් රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැතිකම අහිමිවෙන්නෙ එදා. ඊට පසුවත් 2017 සැප්තැම්බර් මාසෙන් පසු සුසිල් පේ‍්‍රමජයන්ත මහතා තම කණ්ඩායමත් සමග ආණ්ඩුවෙන් ඉවත්වෙන්න සූදානම් වෙද්දිත් මා වෙනුවෙන් දෙසැම්බර් වෙනකම් ඉන්න කියල යාප්පු වෙලා යහපාලන ආණ්ඩුව රැකගත්තෙ ජනාධිපතිතුමයි. ඒ නිසා ජනාධිපතිතුමා එජාපයට කරල තියෙන උදව් මේවගේ එක සාකච්ඡාවකින් දෙකකින් පැහැදිලි කරන්න බෑ.

ඔබ මේ කියන විදිහට පසුගිය අවුරුදු තුනහමාරම ජනාධිපතිතුමා එජාපයට උදව් කළත් එතුමා අද කියන්නෙ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු 225 ම අත්සන් කර දුන්නත් යළිත් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත් නොකරන බවයි. ජනාධිපතිතුමාට එහෙම කරන්න පුළුවන්ද? නීත්‍යානුකූල බලයක් තියෙනවද?

පුළුවන්. මේ රට ආයතනයක් නම් ඒ ආයතනයේ ප‍්‍රධානියා ජනාධිපතියි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව අගමැති කියන්නෙ ඔහු යටතේ ඉන්න සේවකයෙක්. කිසිම ආයතන ප‍්‍රධානියෙක් තම ආයතනයේ නීතිරීති පිළිපදින්නෙ නැති හිතුවක්කාර සේවකයෙක් තියාගන්නෙ නෑ. එහෙම සේවකයෙක් තියාගන්න යැයි නියෝග කළ හැකි නීතියකුත් අපේ රටේ නෑ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ ආණ්ඩුවේ ප‍්‍රධානියා ජනාධිපති. තමන්ගෙ ආණ්ඩුවේ අගමැති තමන්ට ඕනවිදිහට වැඩ කරන්නෙ නැත්නම් ඔහු ඉවත්කරන්න ආණ්ඩක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම ජනාධිපතිට බලය දීල තියෙනව. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව විධායකයේ ප‍්‍රධානියා ජනාධිපති. ආණ්ඩුවේ ප‍්‍රධානියා ජනාධිපති. කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා ජනාධිපති. ඒ අනුව තම ආණ්ඩුවේ අගමැති පත්කිරීමේ සම්පූර්ණ බලයත් හිමි ජනාධිපතිටයි.

එහෙත් එජාපය කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ හිටපු අගමැතිට බවයි?

ඔවුන් එසේ ප‍්‍රකාශ කළත් හිටපු ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් නොවූ ජවිපෙ සහ ටීඑන්ඒ කණ්ඩායම් හිටපු අගමැතිගේ බහුතරය හැටියට පෙනී ඉන්න බෑ. ඔවුන් විපක්ෂයේ කණ්ඩායම් හැටියට පෙනී සිටිමින් ආණ්ඩුවේත් බහුතරය විදිහට ඉන්නෙ කොහොමද? මගේ අදහස නම් ඔවුන් පසුගියදා මන්ත‍්‍රීවරු 122 ක බහුතරයක් සහිත ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කළේ කුමන්ත‍්‍රණකාරී ලෙසයි.

දැන් රටේ මේ තියෙන්නෙ ව්‍යවස්ථා අර්බුදයක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනතුරක් විදිහට හඳුන්වල ව්‍යවස්ථාව රකින්න එන්න කියල එජාපය සහ අනෙක් කණ්ඩායම් කෑගැහුවත් මේක මේ 2015 දි පටන්ගත්තු කුමන්ත‍්‍රණකාරී වැඩපිළිවෙළේම කොටසක්. අර්බුදය පිපිරුවෙ ජනාධිපතිතුමා ඊට විරුද්ධ වූ නිසයි. දැන් මේ යන්නේ මේ රට අස්ථාවර කරල විදේශීය මැදිහත්වීමකට ඉඩකඩ ලබාගැනීමේ වැඩපිළිවෙළක්. අද මේ අර්බුදය ඇතිකර තිබෙන්නේත් එදා 2010 මැතිවරණයෙදි සරත් පොන්සේකා මහතා මැතිවරණයට ගෙන ආ ‘ටීඑන්ඒ, මුස්ලිම් කොංග‍්‍රසය සහ ජවිපෙ’ හවුල සහ ඔවුන්ට එදා මෙන්ම අදත් උදව් කරන ‘එන්ජී ඕ සංවිධාන’ සමග සිටින විදේශ බලවේගයි. එදා යුද්ධයට නායකත්වය දීල ප‍්‍රභාකරන් මරපු සරත් පොන්සේකාට ටීඑන්ඒ සංවිධානය ඡන්දය දුන්නෙ ඇයි? 2015 දී මෛත‍්‍රීපාල සිරිසේන මහතා බලයට පත් කළෙත් ඒ බලවේගයමයි. රනිල් අගමැති තනතුරෙන් පහකරල පෙඩරල් පාලන ව්‍යවස්ථාව සම්මත කරගැනීමට ඉඩ නොදුන් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට අද එරෙහි වී සිටින්නෙත් ඒ බලවේගයමයි. ජනතාව මෙය තේරුම් ගත්තොත් මේ රට රැකෙයි. නැතිනම් විනාශ වෙයි.

සාකච්ඡා කළේ : පාලිත සේනානායක

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • I am amazed that SF is still supporting UNP after all the derogatory insults that they hurled at the army (especially Ranil and Karu) during the war years, and now given the UNP alliance with TNA for the division of the country, which the army under SF leadership liberated from the terrorist VP. Now SF is willing to divide the country with the help of army’s arch enemy the UNP? I cannot see his logic. He must be crazy, if noit is time he walked out of UNP alliance and set his own party or retire.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *