සුළි කුණාටුව : ඉදිරි පැය 24 තුල ප්‍රදේශ රැසකට තද සුළං

(15.12.2018 – 17:58 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි පැය 24 තුල උතුර, උතුරු මැද, ත්‍රිකුණාමලය සහ මඩකලපුව ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 60 ත් 65 ත් අතර වේගයකින් ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම දිවයිනේ අනෙක් ප්‍රදේශවල ද විටින් විට හමන පැයට කිලෝමීටර් 50 ක පමණ තරමක් තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

නිරිතදිග බෙංගාලබොක්ක ප්‍රදේශයේ මේ වන විට පවතින ගැඹුරු පීඩන අවපාතය අද දහවල් වන විට ත්‍රිකුණාමලයට ආසන්නව ඊසාන දෙසින් පැවතුනා.

මෙම පද්ධතිය ඉදිරි පැය 24 ක කාලය තුල සුළි කුණාටුවක් දක්වා ද ඉන් අනතුරුව පැය 24 තුල චන්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවටයි බලාපොරොත්තුවන්නේ.

මේ අතර නිරිතදිග බෙංගාල බොක්කේ පවතින පීඩන අවපාතය තවදුරටත් සක්‍රියව පැවතීම හේතුවෙන් දිවයිනට නැගෙනහිර සහ ඊසාන දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීම තවදුරටත් අනතුරුදායක විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 60 ත්, 70 ත් පමණ විය හැකි අතර, වැසි සහිත තත්ත්වයක් පැවතියහොත් එය පැයට කිලෝමීටර් 90 දක්වා වැඩි විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

++++++++++++++++++++++++

Satellite Images From :
India Met. Dept. – (Asia Sector – INSAT-3D-IR1)

Tropical Cyclones

*****************************************

සා.පෙළ වැරදිකරුවන්ගේ ප්‍රතිඵල අත්හිටුවනවා – විභාග කොමසාරිස්

(15.12.2018 – 12:48 +0530 – hirunews.lk/sinhala)

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ අක්‍රමිකතා සිදුකළ බවට චෝදනා එල්ල වූ අපේක්ෂකයින්ගේ විභාග ප්‍රතිඵල අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මේ වන විට විශේෂ විමර්ශනයක් ද ක්‍රියාත්මක බවයි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය පළමු වන කොටසේ ප්‍රශ්න පත්‍රය සඳහා අයදුම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි තවත් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, තණමල්විල – බෝදාගම ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයකින් සහ කල්මුණේ – සයින්දමරදු ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානකදියි.

මාතර – තිහගොඩ ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයකින් ද ගණිත ප්‍රශ්න පත්‍රයේ පළමු කොටස සඳහා අයදුම්කරුවෙකු වෙනුවෙන් විභාගයට පෙනී සිටි තවත් තරුණයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම පසුගිය දා බලංගොඩ ප්‍රදේශයෙන් අයදුම්කරුවෙකු සහ ගුරුවරියක් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සඳහා අදාළ ගුරුවරියක විසින් ජංගම දුරකථනයකින් පිළිතුරු සැපයීම හේතුවෙන්.

විභාග දෙපාර්තමේන්තුව පවත්වන සෙසු විභාගවලට පෙනී සිටීම ද මෙම අපේක්ෂකයින්ට තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළා.

මේ අතර, මෙවර සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ලබන 23 වන දා ආරම්භ කිරීමට නියමිතයි.

එහි පළමු අදියර ජනවාරි 1 වන දා දක්වා ක්‍රියාත්මක අතර, දෙවන අදියර ජනවාරි 8 වන දා සිට 17 වන දා දක්වා සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පසුගිය 3 වන දා ආරම්භ වූ මෙවර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය බදාදා අවසන් වුණා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *