10 වන ලෝක කායවර්ධන තරඟාවලියේ සමස්ථ ශුරතාව ආසියාවේ කළු සිංහයාට

(16.12.2018 – 19:17 +0530 – hirunews.lk/sinhala)

10 වන ලෝක කායවර්ධන තරඟාවලියේ සමස්ථ ශුරතාවය හිමිකර ගැනීමට කායවර්ධන ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ් මහතා සමත්ව තිබෙනවා.

මෙම තරඟාවලිය පැවැත්වුනේ තායිලන්තයේදීයි.

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

17.12.2018

++++++++++++++++++++++++

ලෝකය දිනූ ආසියාවේ කළු සිංහයා මව්බිමට පැමිණෙයි

(19.12.2018 – 07:01 +0530 – hirunews.lk/sinhala)

තායිලන්තයේ පැවති 10 වන ලෝක කායවර්ධන තරඟාවලියේ සමස්ථ ශුරතාවය හිමිකර ගත් කායවර්ධන ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ් මහතා කටුනායක ගුවන් තොටුපලෙන් ඊයේ (18) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 407 දරණ ගුවන් යානයෙන් ඔහු මෙරටට පැමිණි බවයි ගුවන් තොටුපොළ හිරු වාර්තාකරු පැවසුවේ.

ලූෂන්ව පිළිගැනීමට මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා ඇතුළු විශාල පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

ලූෂන් මහතා මෙම තරඟාවලියට එක්වුණේ කිලෝග්‍රෑම් 100 ට වැඩි බර පන්තිය නියෝජනය කරමින්.

මීට පෙරද අවස්ථා කිහිපයකදී ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ශ්‍රී ලංකාවට හිමිකර දීමට ලූෂන් පුෂ්පරාජ් මහතාට හැකියාව ලැබුණා.

++++++++++++++++++++++++

ලූෂන් පුෂ්පරාජ්ට රු. මිලියනයක්

(20.12.2018 – 19:31 +0530 – sinhala.adaderana.lk)

10 වන ලෝක කාය වර්ධන ලෝක ශූරතා තරඟාවලියේ සමස්ත ශූරතාවය දිනා ගත් ලූෂන් පුෂ්පරාජ් මහතාගේ ඉදිරි කායවර්ධන කටයුතු සිදු කර ගැනීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් රුපියල් මිලියනයක මුදලක් පිරිනැමීම එම අමාත්‍යංශයේදී සිදු කෙරුණි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ වැදගත් පුද්ගයින් වෙනුවෙන් ගුවන්තොටුපල ස්ථාපිත විශේෂිත අමුත්තන් පිළිගැනීමේ පර්යන්තය ලොව දිනා ගත් ක්‍රීඩකයා වෙනුවෙන් වෙන් කිරීමට නොහැකි වීම කණගාටුවට කරුණක් බවයි.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසූවේ රටට අභිමානයක් අත් කරදෙමින් ඔහු ලැබූ ජයග්‍රහණය හා එම සතුට තමන් වැඩභාර ගන්නා අවස්ථාවේ තම පළවෙනි කටයුත්ත ලෙස ඉෂ්ඨ කරන බවයි.

++++++++++++++++++++++++

“කෑම වලටම මාසෙට ලක්ෂ දෙකක් යනවා, කීයක් හරි දෙන්නේ ඩිලන්ත මාලගමුව විතරයි” ලෝකෙන්ම එක වූ ලූෂන් මුල්ම වරට රහසක් කියයි!

(23.12.2018 – nethgossip.lk)

WBPF කායවර්ධන ෆෙඩරේෂනය විසින් සංවිධානය කළ දසවැනි WBPF කායවර්ධන ශූරතාවලියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් සමත් වුනා. පසුගිය 16 වන දින තායිලන්තයේදි මෙම තරගාවලිය පැවැත්වුනා.

මෙහි ශූරතාවය දිනූ ලූෂන් පසුගිය 18 වනදා ශ්‍රී ලංකාවට පැමිණියා. එලෙස පැමිණි ලූෂන් තමන් පැමිණි කටුක ගමන්මග පිළිබඳ මෙන්ම අභියෝග පිළිබඳවද මාධ්‍යයට පවසා තිබුනා.

“ආසියානු ශූරතාවය දිනුවට පස්සේ මගේ අරමුණ වුණේ ලෝක ශූරතා තරගාවලියට තරග කරන එක. ඒක වෙනුවෙන් තමයි මම පුහුුණුවීම් කළේ. හරියාකාරව පුහුණුවීම් කරලා කොහොම හරි ඒක මගේ රටට ගේන්න පුලූවන් වුණා. කවදා හරි අනිවාර්යයෙන් මම ලෝක ශූරතාවක් ගේනවා කියන අදහස මගේ හිතේ තිබුණා. මේ මගේ හිතේ තිබ්බ බලාපොරොත්තු ඉටුවීමක්.”

“සම්මේලනය මාව සම්බන්ධ කර ගන්නාවානම් අනිවාර්යයෙන්ම ඉදිරි තරග සඳහා මම සම්මෙලනය හරහා සහභාගි වෙනවා. සම්මේලනයත් එක්ක මගේ කිසිම ඝට්ටනයක් නැහැ. වෛරයකුත් නැහැ. අපි හමෝම කී‍්‍රඩා කරන්නෙ රට වෙනුවෙන්. ලබන අවුරුද්දේ ජූලි මාසයේ සහ සැප්තැම්බර් මාසයේ මගේ ඊළග තරග තියෙනවා. මම දැන් සූදානම් වෙන්නේ ඒ තරග වෙනුවෙන්. කොහොම හරි මම ඒකටත් තරග කරනවා.”

“මේ වගේ ඇගක් හදාගන්න පෝෂ්‍යදායි ආහාර ගන්න ඕනේ. අපේ රටේ ගොඩක් පෝෂ්‍යදායි ආහාර තියෙනවා. හරි ආකාරයෙන් පුහුණුවීම් කරන්න ඕනේ. නිසියාකාරව ශරීරය පාලනය කළොත් තමයි මේ ආකාරයේ ශරීරයක් හදාගන්න පුලූවන්. සාමාන්‍යයෙන් දවසට පැය දෙකක් විතර තමයි මම පුහුණුවීම්වල නිරතවෙන්නෙ. සමහර වෙලාවට උදේ හවස පුහුණුවීම් කරනවා. ඒක වෙනස් වෙනවා ශරීරයේ ස්වභාවයත් එක්ක. හැමදාම ජිම් එකට නොගියා කියලා මේ ඇගට මොකුත් වෙන්නෙත් නැහැ. අපේ ඇග වගේම හදවතත් ශක්තිමත් කරගෙන තමයි අපි මේ ඉන්නේ. අවුරුද්දක් ව්‍යායාම නොකර හිටියත් අපිට කිසි ප‍්‍රශ්නයක් නැහැ.”

“මාසෙට මගේ පෝෂ්‍යදායි ආහාර වලට පමණක් රුපියල් ලක්‍ෂ දෙකක් පමණ වැය වෙනවා. එක තරගාවලියකට සූදානම් වෙද්දී සමාන්‍යයෙන් ලක්‍ෂ දහ අටක් විස්සක් විතර යනවා. දැනට මට සුලු මුදලක් ලැබෙනවා ඩිලන්ගෝ ටැක්සි එකෙන්. ඒ කියන්නෙ මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවගෙන්. ඔහු තමයි දැනට මට අනුග‍්‍රහය දක්වන්නේ. ඔහුගෙන් ලැබෙන මුදල හැරුණම ඉතිරි වියදම් ඔක්කොම මගේ අතින් තමයි කරගන්නේ. මම වෙනත් රැකියාවක් කරන්නෙ නැහැ. කාය වර්ධනය තමයි දැන් මගේ වෘත්තිය ම්ටටමට පත්වෙලා තියෙන්නේ. ජයග‍්‍රහණය අරන් ලංකාවට අවට පස්සේ කී‍්‍රඩා අමාත්‍යංශය මට කතාකරලා සුබ පැතුවා. එයාලා සමහරවිට මට උදව් කරයි. එහෙත් දැනට ඒක හරියටම කියන්න බැහැ.”

“තහනම් උත්තේජක කියන එකයි සප්ලිමන්ට් කියන එකයි ලොකු විෂයක්. ඒක ගැන සුලූවෙන් කතා කරන්න බැහැ. ඒ නිසා ලෝක කුසලානයකට වගේ ලොකු තරගායවලියකට යනකොට අනිවාර්යයෙන් තහනම් උත්තේජක සම්බන්ධයෙන් පරීක්‍ෂණයකයට අපිට මුහුණ දෙන්න වෙනවා. අපි මේ පාර යදිදිත් එහෙම පරීක්‍ෂණයකට මුහුණ දුන්නා. එකේ කිසි ගැටලූවක් නැහැ.”

නොයෙකුත් බාධක දුෂ්කරතා මැද මවුබිමට අභිමානයක් ගෙනා ලූෂන්ට නෙත් ගොසිප් වෙතින් මවුබිම වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්!

*****************************************

මඩකලපුවේදී පහරදීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තුවාල

(16.12.2018 – 09:02 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව – ඌරනි ප්‍රදේශයේදී සිදුවූ පහරදීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ මෙම පහරදීම සිදුව ඇති බවයි මඩකලපුව පොලීසිය ප්‍රකාශ කළේ.

ඌරනි ප්‍රදේශයේදී හිස් වැසුම් නොමැතිව යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් තුන්දෙනෙකු පොලීසියෙන් නවතා තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරීන් සහ යතුරුපැදියේ පැමිණි තුන්දෙනා අතර බහින්බස්වීමක් සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

එම අවස්ථාවේදී යතුරුපැදියේ පැමිණි පුද්ගලයෙකු තමන් සතුව තිබූ වීදුරු බෝතලයක් සහිත බෑගයකින් පොලිස් නිලධාරීන් දෙදෙනාට පහරදී තිබෙනවා.

මෙහිදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

පහරදීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් පුද්ගලයා පලාගොස් තිබෙනවා.

*****************************************

හපුතලේදී මෝටර් රථයක් අඩි 100 ක ප්‍රපාතයකට පෙරළෙයි

(16.12.2018 – 16:59 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරවෙල ඔත්තකඩේ ප්‍රදේශයේදී මෝටර් රථයක් අඩි 100 ක් පමණ ප්‍රපාතයකට පෙරලියාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද (16) දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෝටර් රථය අනතුර ලක්වන අවස්ථාවේ රථය පදවා ඇත්තේ වෛද්‍යවරයෙකු විසින් බවයි පොලීසිය පැවසුවේ.

අනතුරින් තුවාල ලැබු වෛද්‍යවරයා දියතලාව මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

බණ්ඩාරවෙල පොලීසිය අනතුර පිලිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *