පදිකවේදිකා අවහිර වන ලෙස නවත්වන වාහන පොලිසියෙන් ඉවත් කරන්න යයි

(17.12.2018 – 20:55 +0530 – lankadeepa.lk)

උත්සව කාලය තුළ දී මහා මාර්ග, පදිකවේදිකා අවහිර වන සේ ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි වාහන නවතා තැබීමෙන් වළකින ලෙසට පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

මෙලෙස නවතා තැබෙන වාහන ඉවත් කර රැගෙන යාමට සියලු පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙසේ රථ ගාල් කිරීමෙන් ප‍්‍රධාන නගර තුළ අනවශ්‍ය රථවාහන තදබදයක් නිර්මාණය වී මහජනයාට විශාල අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

පොලිසිය විසින් මෙලෙස ඉවතට රැගෙන යාමේ දී එහි වියදම රථයේ හිමිකරු විසින් දැරිය යුතු බවත් පොලිසිය වාහන ඉවත් කිරීමේ දී සද්භාවයෙන් යුතුව සිදු වූ හානියකට කිසිදු පොලිස් නිලධාරියකු අලාභ ගෙවීමකට යටත් නොවන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය ෴

*****************************************

මාදුරුඔය රක්ෂිතයත් විනාශයට

(17.12.2018 – 15:26 +0530 – lankadeepa.lk)

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මාදුරුඔය රක්ෂිතයේ අභ්‍යන්තරයේ මහා වන සංහාරයක් සිදුවෙමින් පවතිතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.

හෙක්ටයාර පනස් අට ලක්ෂ අසූ හතරදහස් නවසිය නවයක (5,884, 909) භූමි ප‍්‍රමාණයකට හිමිකම් කියන මාදුරුඔය රක්ෂිතයට බලපත‍්‍රයක් නොමැතිව ඇතුළු වීම , කැළෑ එළි කිරීම , ගිනි තැබීම , සතුන් දඩයම් කිරීම , පතල් හැරීම හා වගා කිරීම සපුරා තහනම් වන නමුත් රජයේ අවසරය මත හෙලි කරන බව පවසමින් මෙම වන සංහාරය සිදු කෙරෙතියි පැවැසේ.

අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට තහනම් නියෝගය නිකුත්ව ගත වූ සති කිහිපය තුළ මෙම වන සංහාරය සිදු වී ඇති බවත් ඩෝසර් ඇතූළු මහා පරිමාණ යන්ත්‍රෝපකරණ යොදා ගනිමින් වනය කපා ඇති බවත් පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා ලංකාදීපයට පැවැසීය.

වසර සිය ගණන් පැරණි පලූ වීර බුරුත කළුවර වැනි දැවැන්ත වෘක්ෂයන් පෙරලා දමා ඇති බවත් මේ විනාශය වසර ගණනාවකට ආපසු හැරවිය හැකි නොවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන යටතේ ගොවිතැන් කිරීමට යැයි පවසමින් මෙම කැලෑ එළි කරන බවත් ජනාධිපතිවරයාගේද නම අවභාවිත කරමින් මෙම මහා වන සංහාරය සිදු කෙරෙන බවත් පරිසරවේදීහු පෙන්වා දෙති.

කන්දේගම සිට බෝඅත්ත දක්වා ඉදිකර තිබු අලිවැට විනාශ කර එය කැලෑව තුළ සඟවන්නට මෙම කැලෑ පාලූවන් කටයුතු කර ඇතැයි පෙන්වා දෙන පරිසරවේදීහු මේ තත්ත්වය යටතේ අලි මිනිස් ගැටුම බරපතල තත්ත්වයට පත්වීමට ඉඩ ඇතැයි පෙන්වා දෙති.

වටිනා වනාන්තර ප‍්‍රදේශයක් මෙන්ම මෙහි පුරා වස්තුද බහුල බවත් ගල් කණු සහා පුරාවස්තු කැලෑ පාලූවන් විසින් විනාශ කරන තිබෙන අයුරුද එහි යන අයට දැක ගත හැකි බවත් ඔවුහු පවසති.

*****************************************

රැප් සංගීතය පාලනයට රුසියාව තීරණය කරයි

(17.12.2018 – 21:01 +0530 – lankadeepa.lk)

රුසියාවේ රැප් සංගීතය පාලනය කිරීමට එරට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

එය ඉතා අපහසු කාර්යයක් වුවත් එය පාලනය කිරීම සඳහා සිය රජය කටයුතු කරනු ඇතැයිද ඔහු සඳහන් කර තිබේ.

මේ සම්බන්ධව කටයතු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් එරට සංස්කෘතික අමාත්‍යංශයටද දැනුම් දී ඇති බව සඳහන්ය‍.

මෙම රැප් සංගීතය තුළින් තරුණ පරම්පරාව වැඩි වශයෙන් මත් ද්‍රව්‍යට ඇබ්බැහි කරවිමට , ලිංගිකත්වයට, එහි භාවිත වන අසභ්‍ය වචන ප්‍රචණ්ඩකාරී මානසිකත්වය පෙළඹවීමක් ඇති කරනු බව පුටින් පවසා ඇතැයිද මාධ්‍ය වාර්තා කර තිබිණි.

පසුගිය දිනෙක රුසියානු රැප් ගායකයකු වන හුස්කිගේ ප්‍රසංගයක් වළැක්වීම නිලධාරීන් කටයුතු කිරීමෙන් පසු එහිදී ඇති වු ගැටළුවකින් පසු හුස්කි පොලිස් අත්අඩංගුවට පත්විය. ඔහුට දින 12ක කාලයක් සිරගතවී සිටීමට ද සිදු විය.

ඒ හේතුවෙන් ඔහුගේ ප්‍රසංග ගණනාවක් අවලංගු කිරිමට සිදු බවද මාධ්‍ය වාර්තා කර තිබේ.

( බීබීසී ඇසුරෙනි )

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *