විපක්ෂ නායක ධුරය මහින්දට – විජයමුනි සොයිසා, ඉන්දික සමග ලක්ෂ්මන් සෙනෙවිරත්න පැති මාරු කරයි

(18.12.2018 – 18:45 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස අද පත් කෙරුණා.

එහිදී කතානායක කරූ ජයසූරිය ප්‍රකාශ කළේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පත් කරන බවයි.

එසේම, සභානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පත් කරන බවද අද පාර්ලිමේන්තුව ආරම්භයේදී කථානායකවරයා නිවේදනය කළා.

පාර්ලිමේන්තුව ආරම්භයට පෙර සන්ධාන මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර, එහිදී ඒකමතිකව තීරණය කර තිබුණේ විපක්ෂ නායක ධුරය සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමටයි.

එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රැස් වී තිබුණා.

මේ අතර, සන්ධාන මන්ත්‍රීවරුන් 3 දෙනෙකු අද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්තා.

පාර්ලිමේන්තුව රැස්විමෙන් පසු සභා ගර්භය හරහා ගොස් මෙලෙස ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්තේ විජිත් විජයමුණි සොයිසා, ඉන්දික බණ්ඩාරනායක සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මන්ත්‍රීවරුන්.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධුරය දැරිය නොහැකි බවට පාර්ලිමේන්තුව තුල මන්ත්‍රීවරුන් විරෝධතා ඉදිරිපත් කිරිමත් සමග යම් සංවාදාත්මක තත්ත්වයක් ඇති වුනා.

පළමුව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල විරෝධතාවක් මතු කල අතර එහිදි ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඇති බැවින් ඔහුට විපක්ෂනායකම දැරිය නොහැකි බවයි.

මේ අතර විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වන කල් තැබීමේ යෝජනාවක් ජනතා විමුක්ති පෙරමුණ අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

මේ අතර, යාපනයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ සම මහලේකම් සී.වී.කේ. සිවඥානම් කියා සිටියේ මහින්ද රාජපක්ෂට විපක්ෂ නායක ධුරය ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවයි.

++++++++++++++++++++++++

නිදහස් පක්ෂ සාකච්ඡාවේ තීරණ

(18.12.2018 – 20:29 +0530 – hirunews.lk/sinhala)

අද (18) ආණ්ඩුවට එක් වූ සහ ජනාධිපතිවරයාට අපහාස කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිලිබඳ එළඹෙන මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රෝහණ ලක්ෂමන් පියදාස මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යමකාරක සභා රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

ඌව පළාත් මහ ඇමතිගෙන් නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට යෝජනාවක්

(18.12.2018 – 19:52 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ විනය පරීක්ෂණයක් පවත්වා ඔහුගේ මන්ත්‍රී ධුරය ඉවත් කරන ලෙසට අද දින මධ්‍යම කාරක සභාවට තමා යෝජනා කරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ පක්ෂ මූලස්ථානයේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *