නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉඩ නොතබන බව යාපා කියයි

(18.12.2018 – 18:27 +0530 – hirunews.lk/sinhala)

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට කිසිවිටෙකත් ඉඩ ලබානොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

බත්තරමුල්ල – නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින අහිතකර වගන්ති වෙනස් කරමින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නේ නම් ඊට සහය ලබාදීමට සූදානම් බවයි.

+++++++++++++++++++++++++++++++++++++

යුතුකම සංවාද කවයෙන් චෝදනාවක්

(18.12.2018 – 21:32 +0530 – hirunews.lk/sinhala)

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනතා පරමාධිපත්‍ය සොරාගෙන ඇති බව යුතුකම සංවාද කවය චෝදනා කරනවා.

එම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා මේ බව සදහන් කළේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

+++++++++++++++++++++++++++++++++++++

කැබිනට් මණ්ඩලය අද ජනපතිට – තුන් දෙනෙකු එපා කියයි

(18.12.2018 – 18:26 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වන මනෝ ගනේෂන්, රිෂාඞ් බදියුදීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර භාර නොගැනීමට තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්, පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී තමන් මේ බව දැනුම් දුන් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ප්‍රකාශ කළේ.

මෙහිදී 19 වන සංශෝධනයට අනුව අමාත්‍ය මණ්ඩලය 30 දෙනෙකුට සීමා කිරීමට සිදුව ඇති බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කැබිනට් අමාත්‍ය ධුර දැරූ මන්ත්‍රීවරුන්ගෙන් විමසා ඇත්තේ ස්වෙච්ඡාවෙන් කැබිනට් මණ්ඩලයට එක් නොවීමට කැමැත්තෙන් පසුවන්නේ කවුරුන් ද යන්නයි.

එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන් සහ රිෂාඞ් බදියුර්දීන් මේ බව සදහන් කර තිබෙනවා.

මේ අතර 30 දෙනෙකුගෙන් යුත් කැබිනට් අමාත්‍යවරුන්ගේ නාම ලේඛණය අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඉල්ලා සිටින්නේ වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව ඇති මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධුර පිරිනැමීමෙන් වළකින ලෙසයි.

+++++++++++++++++++++++++++++++++++++

කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම කල් යයි

(18.12.2018 – 12:26 +0530 – hirunews.lk/sinhala)

නව අමාත්‍ය මණ්ඩලය බොහෝදුරට හෙට (19) දිනයේ දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

ඒ අනුව අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව අද (18) දිනයේ ජනාධිපතිවරයා වෙත යැවීමට නියමිත බවයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ආරක්ෂක අමාත්‍යාංශයට අමතරව වත්මන් ජනාධිපතිවරයාට දැරිය හැක්කේ පරිසර හා මහවැලි අමාත්‍ය ධුරය පමණක් වන අතර, ඒ අනුව ජනාධිපතිවරයා පවරා ගත් නීතිය හා සාමය මෙන්ම ජනමාධ්‍ය අමාත්‍ය ධුර සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් යෝජනා කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

අමාත්‍ය මණ්ඩලය 30 කට සීමා කිරීමට සිදුව ඇති නිසා කැබිනට් නොවන අමාත්‍ය ධුර කිහිපයක් ඇති කිරීමට යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.

කෙසේ වෙතත්, අමාත්‍ය මණ්ඩලයේ නාම ලේඛනය ජනාධිපතිවරයා විසින් අනුමත කිරීමෙන් පසු කඩිනමින් අමාත්‍ය මණ්ඩලය ද දිවුරුම් දීම සිදුවනු ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා කියා සිටියේ ෴

+++++++++++++++++++++++++++++++++++++

30 ට වැඩි වුණොත් ජවිපෙ දැඩි තීරණයක

(18.12.2018 – 12:58 +0530 – hirunews.lk/sinhala)

නව අමාත්‍ය මණ්ඩලය 30 දෙනෙකුට වඩා වැඩි කළහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එලෙස සිදු වුවහොත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව කටයුතු කරන බවයි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය, මුස්ලිම් කොංග්‍රසයේ එක් මන්ත්‍රීවරයෙකු සමඟ පමණක් එකතු වී ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ උත්සාහයක නිරත වන බව නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා සදහන් කළා.

ව්‍යවස්ථානුකූල නොවන ආකාරයට කටයුතු කිරීමට වත්මන් අග්‍රාමාත්‍යවරයා උත්සාහ දැරුවහොත් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට ද සූදානම් බවයි නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා වැඩිදුරටත් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

+++++++++++++++++++++++++++++++++++++

ඡන්දයකට සූදානම් – මැ.කො.

(18.12.2018 – 18:36 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි 9 වනදායින් පසු ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණය කැදවීමේ හැකියාව ජනාධිපතිවරයා සතුව පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මැතිවරණ රාජකාරියේ නිරත වන රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීම වෙනුවෙන් ගාල්ලේ අද පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු සදහන් කළේ ඕනෑම මැතිවරණයකට කොමිසම සූදානම් බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *