මුදල් වංචා කළ කාන්තාව 21 තෙක් රිමාන්ඩ්

(18.12.2018 – 18:32 +0530 – hirunews.lk/sinhala)

රැකියා සඳහා කැනඩාවට යවන බව පවසමින් මහා පරිමාණයෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඇය අද කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම කාන්තාව ඊයේ රාත්‍රියේ නවගමුව – රනාල ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හදුනා ගැනීමට නොහැකි අයුරින් ඇය හිස මුඩු කර සිටි බවයි පොලීසිය සදහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු තිලක් කුමාර ජයවීර නමැති මාළඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු කාය වර්ධන උපදේශකවරයෙකු ලෙස සහ චිත්‍රපට කිහිපයක සටන් නළුවෙකු ලෙස කටයුතු කර තිබූ බවයි පොලීසිය සදහන් කළේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ සැකකාර කාන්තාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ග්‍රෑම් 350 ක් බරැති රන් ආභරණ තොගයක්, පාස්පෝට් 72 ක්, බැංකු පොත් 50 ක් සහ ඒ.ටී.එම්. කාඞ් පත් 50 ක් ද පොලිස් භාරයට ගත් බවයි.

ඇයට එරෙහිව ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව 71 ක්.

++++++++++++++++++++++++

රට සිහින පෙන්වා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

(18.12.2018 – 10:35 +0530 – hirunews.lk/sinhala)

රැකියා සඳහා කැනඩාවට යවන බව පවසමින් මහා පරිමාණයෙන් මුදල් වංචා කළ 46 හැවිරිදි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ නවගමුව ප්‍රදේශයේ නිවසක සැගව සිටියදී ඊයේ (17) ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සන්තකයේ තිබී ග්‍රෑම් 350ක් බරැති රන් ආභරණ තොගයක්, පාස්පෝට් 72ක්, බැංකු පොත් 50ක් සහ ඒ.ටී.එම්. කාඩ් පත් 50ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මහා පරිමාණෙන් මෙම ජාවාරම කරගෙන ගොස් ඇති මෙම කාන්තාවට එරෙහිව පැමිණිලි 51 ක් ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙම සැකකාරිය යම් ප්‍රදේශයකට ගොස් එම ප්‍රදේශයේ නිවසක කාමරයක් කුලී පදනම මත ලබාගෙන එහි පදිංචිවීම සිදු කරනු ලබනවා.

ඇය එම නිවැසියන්ට ප්‍රකාශ කරනු ලබන්නේ පවුල් ආරවුල් මත ආරක්ෂාව පතා මෙලෙස පදිංචියට පැමිණෙන බවයි.

එමෙන්ම ඇය ධනවත් කාන්තාවක් බවට හැඟෙන ආකාරයෙන් කටයුතු කරන අතර සමාජයේ වැදගත් පුද්ගලයන් හඳුනන බවට ද හැඟෙන ආකාරයෙන් කටයුතු කර ඇති බවටයි පොලිසිය හෙළිකරගෙන ඇත්තේ.

එමෙන්ම තමන්ට කැනඩාවේ නොයෙක් සම්බන්ධතා තිබෙන අතර පදිංචිව සිටින නිවසේ නිවැසියන් මාර්ගයෙන් කැනඩාවේ රැකියා සඳහා යැවීමට පුද්ගලයන් සම්බන්ධ කර ගන්නා බවට අනාවරණ වී තිබෙනවා.

සැකකාරිය අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැඟවී සිටීම සඳහා හිස ද මුඩුකරගෙන සිට තිබුනා.

මේ අතර මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශණ සිදු කරනවා.

ඔහු තලාහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු කායවර්ධන උපදේශකවරයෙක් මෙන්ම චිත්‍රපට කිහිපයක සටන් නළුවෙක් ලෙසට ද කටයුතු කර ඇති බවයි පොලිසිය කියාසිටියේ.

මෙම සැකකාරිය සතුව තිබු බැංකු පොත් සහ විදේශ ගමන් බලපත්‍ර රැසක් ද සොයා ගැනුනා.

ඒවායෙහි හිමිකරුවන්ගේ නම් ලැයිස්තුවක් ද පොලිසිය ප්‍රකාශයට පත්කර ඇති අතර ඔවුන් අතුරින් මෙතෙක් පැමිණිලි ඉදිරිපත් කර නොමැති පුද්ගලයන්ට මෙන්ම වංචාවලට හසුවු තවත් පුද්ගලයන් සිටී නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙසට පොලිසිය දැනුම් දෙනවා.

සැකකාරිය සතුව තිබූ බැංකු පොත්වල හිමිකරුවන් නම් ලැයිස්තුව :

විදෙස් ගමන් බලපත්‍ර හිමියන්ගේ නම් ලැයිස්තුව :

++++++++++++++++++++++++

කැනඩා මුදල් වංචාවට පොලිසිය සිනමා නළුවෙකුත් සොයයි

(18.12.2018 – nethnews.lk)

කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ ගණනින් මුදල් වංචා කළ කාන්තාව ලබන 21 වනදා දක්වා අද (18) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, සැකකාරිය කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණේ නවගමුව ප‍්‍රදේශයේදීයි.

ඇය මෙම වංචාව සිදු කළ ආකාරය පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මෙලෙස පැහැදිලි කළා.

මෙම වංචාව සම්බන්ධයෙන් සිනමා නළුවෙකු බව කියන පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගැනීමට සොයන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

සැකකාරිය සතුව තිබී ගුවන් ගමන් බලපත‍්‍ර 72 ක්, බැංකු සටහන් පොත් 50 ක්, ඒ ටී එම් කාඩ්පත් 50 ක්, රුපියල් 50,000 ක මුදලක් සහ රුපියල් ලක්ෂ 26 ක් වටිනා ස්වර්ණාභරණ තොගයක්, වංචා කළ මුදලින් ලබාගත් සුඛෝපභෝගී මෝටර් රථයක් ද සොයා ගැණුනා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය හඳුනාගත නොහැකි වන සේ හිස මුඩු කර සිටි බවද පොලිසිය පැවසුවා ෴

++++++++++++++++++++++++

කැනඩාව පෙන්වා මුදල් ගැරූ කාන්තාව රිමාන්ඩ්

(22.12.2018 – divaina.com)

කැනඩාවේ උසස්‌ රැකියා ලබාදෙන බව පවසා රටපුරා සමාජයේ ඉහළ තලයේ පුද්ගලයන් ඇතුළු පනහකට අධික පුද්ගලයන් පිරිසක්‌ මුලා කර රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර පොලිසිය මගහරිමින් නවගමුව ප්‍රදේශයේ නිවසක කාමරයක්‌ කුලියට ගෙන, හිස මුඩුකර සැඟවී සිටි බව කියන කාන්තාව ලබන 2019 ජනවාරි 03 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කඩුවෙල වැඩ බලන මහෙස්‌ත්‍රාත් ජී. ඩී. කරුණාරත්න මහතා ඊයේ (21 දා) නියෝග කළේය.

ඊට අමතරව සැකකාරියට නවාතැන් ලබාදී රැවරණය සැලසූ නවගමුව ප්‍රදේශයේ පිහිටි නිවසක අයිතිකරුවන් බව කියන අඹු සැමි යුවළක්‌ ද එදින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ.

කාලයක්‌ තිස්‌සේ පවත්වාගෙන ආ මෙම මහ පරිමාණ වංචාවේ සැකකාරිය කනගරත්න සෙකිලදා ඩිලානි ද සිල්වා නමැති 46 හැවිරිදි කාන්තාවකි. අනෙක්‌ දෙදෙනා නිවස හිමි මහින්ද පුෂ්පකුමාර හා දිල්හානි පෙරේරා යන අය බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේය.

සැකකරුවන් තිදෙනාට එරෙහිව පැමිණිල්ල කඩුවෙල අධිකරණයේ මහෙස්‌ත්‍රාත් නිල මැදිරිය හමුවේ කැඳවූ අවස්‌ථාවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බී වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් පොලිසියට ලැබී තිබූ පැමිණිලි 52 ක්‌ ඔස්‌සේ සිදු කරනු ලැබූ විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ සැකකාර කාන්තාව ස්‌ථිර පදිංචියකින් තොරව වරින් වර පදිංචිය වෙනස්‌ කරමින් රහසිගත ජීවිතයක්‌ ගත කරමින් පොලිසිය මගහැරීමට උපාය මාර්ග අනුගමනය කිරීමට උත්සාහ ගෙන ඇති බවයි.

තවද තමා කැනඩාවේ හා ශ්‍රී ලංකාවේ ප්‍රභූ පුද්ගලයන් සමග සමීප සම්බන්ධතා පවත්වමින් කැනඩාවේ ඉහළ පංතියේ රැකියා ලබාදෙන බව පවසා එක්‌ අයකුගෙන් රුපියල් ලක්‍ෂ පහ දක්‌වා ලබාගෙන රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර ඇති බවද පොලිසිය අධිකරණයට වාර්තා කළේය.

සැකකාරියගෙන් ප්‍රශ්න කිරීමේදී පොලිසිය භාරයට ගෙන ඇති ඇය සතුව තිබූ රුපියල් ලක්‍ෂ 26 ක්‌ වටිනා ස්‌වර්ණාභරණ, රුපියල් 50000 ක මෙරට මුදල්, විදෙස්‌ ගමන් බලපත්‍ර 72 ක්‌, අන්සතු බැංකු ගිණුම් පොත් 50 ක්‌, ඒටීඑම් කාඩ් පත් 50 ක්‌, බැංකු ගිණුම්වලට අදාළ රහස්‌ තොරතුරු සහිත ලේඛන 39 ක්‌, ජංගම දුරකථන 07 ක්‌, අයිපෑඩ් යන්ත්‍ර 02 ක්‌ හා සුඛෝපභෝගී මෝටර් රථයක්‌ ද නඩු භාණ්‌ඩ වශයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවද පොලිසිය වැඩිදුරටත් දන්වා සිටියේය.

සියලු කරුණු සැලකිල්ලට ගත් වැඩ බලන මහෙස්‌ත්‍රාත් ඩී.ජී.පී. කරුණාරත්න මහතා වැඩිදුර විමර්ශන ලබන 2019 ජනවාරි 03 දිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් එදින දක්‌වා සියලු සැකකරුවන් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කෙරිණි.

සැකකාරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ නුවන් ජයවර්ධන හා සාලින්ද අමරසිංහ යන මහත්වරු පෙනී සිටියහ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *