අධික වැසි සහ ගංවතුරෙන්ව විපතට පත් සැමට කඩිනමින් සහන සලසන ලෙස ජනපති උපදෙස් දෙයි

(23.12.2018 – pmdnews.lk)

අධික වැසි සහ ගංවතුරෙන් විපතටපත්වූ මුලතිව්, කිලිනොච්චි සහ මන්නාරම දිස්ත‍්‍රික්කවල ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

ගංවතුර තර්ජනය පහවයනතෙක් තර්ජිත ප‍්‍රදේශවල වැසියන් සියලු දෙනාවෙත අවශ්‍ය සියලු පහසුකම් නොපමාව සලසන ලෙසත්, ඒ වෙනුවෙන්අවශ්‍ය ප‍්‍රතිපාදන කඩිනමින් දිස්ත‍්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින ලෙසත් අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු අදාළ අංශවලට උපදෙස් දී ඇති ජනාධිපතිතුමා, උතුරු පළාත් ආණ්ඩුකාරතුමා දිස්ත‍්‍රික් ලේකම්වරුන්, යුදහමුදාපතිවරයා සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන එක්ව මෙම සහන වැඩසටහන් කඩිනමින්ක‍්‍ ක්‍රියාත්මක කරන ලෙසට ද වැඩිදුරටත් උපදෙස් දී ඇත.

උතුරු පළාතට බලපෑ තද වැසි හේතුවෙන් කිලිනොච්චි, මුලතිව් සහ මන්නාරම දිස්ත‍්‍රික්ක ගංවතුර තර්ජනයට මුහුණ පෑ අතර, ඒ හේතුවෙන් පිටාර මට්ටම ඉක්මවා ගිය ඉරණමඩු ඇතුළු ජලාශ කිහිපයක වාන්දොරටු විවෘත කිරීමට ද කටයුතු කෙරෙණි.

ගංවතුර තර්ජනය හේතුවෙන් කිලිනොච්චි, මුලතිව් සහ මන්නාරම් දිස්ත‍්‍රික්කවල වැසියන් විපතටපත්ව පීඩාවිඳින අතර එම දිස්ත‍්‍රික්කවල ක‍්‍රියාත්මක ආරක්ෂිත කඳවුරු 40 ක් තුළ එම වැසියන්ට සහන සැලසීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු යොදා ඇත ෴

++++++++++++++++++++++++

උතුරේ අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 44,959 ට පිඩා

(23.12.2018 – 16:28 +0530 – sinhala.adaderana.lk)

දිවයිනේ උතුරු ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේවනවිට පවුල් 13,646 කට අයත් පුද්ගලයින් 44,959 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වයත් සමග නැගෙනහිර මුහුදු තීරය ධීවර සහ නාවික කටයුතු සඳහා කිසිසේත්ම සුදුසු නොවන බවයි.

දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්වය ඉදිරි පැය 48 ක කාලය තුළ දී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම තත්ත්වය හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල් සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි සහ සුළං ඇතිවිය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවල දී සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70-80 ක් දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ රළුවිය හැකි බවයි.

මේ අතර උතුරු පළාතට බලපා ඇති ජල ගැලීම් හේතුවෙන් පවුල් 13,646 කට අයත් පුද්ගලයින් 44,959 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

වැසි සහ ගංවතුර හේතුවෙන් මේ වනවිට නිවාස 06 ක් පූර්ණ වශයෙන් හානි වී ඇති අතර නිවාස 151 කට අර්ධ හානි සිදුව තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ ආපදාවට ලක්වූ පිරිස් මේ වනවිට ස්ථාන 52 ක ආරක්ෂිතව රඳවා ඇති බවයි.

මේ අතර අධික වර්සාවත් සමඟ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 30 න් 08 ක් විවෘත කර ඇත.

අප වාර්තාකරු සඳහන් කළේ අංගමුව ජලාශයද මේ වනවිට වාන් දොරටු 02 ක් අඩිය බැගින් විවෘත කර ඇති බවයි.

මේ අතර ඊයේ (22) රාත්‍රී 11 ට පමණ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර මැද ඇල උතුරා යාමෙන් සුදුහුම්පල , දෙයියන්වල ප්‍රදේශවල නිවාස 25 ක් යටවී තිබේ.

මාන්කුලම ප්‍රදේශයේ වැවක් කැඩී යාමෙන් ඒ 9 මාර්ගයේ කොටසක් ජලයෙන් යටවී ඇති අතර අප වාර්තාකරු සඳහන් කළේ මේ වනවිටත් එම ප්‍රදේශයට වර්ෂාව ඇද හැලෙමින් පවතින බවයි ෴

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

යුද්ධ හමුදා සාමාජිකයින් කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි ගංවතුරෙන් අවතැන්වූ දමිළ සිවිල් වැසියන් සියගණනක් මුදාගනි

(23.12.2018 – 13:06 +0530 – army.lk)

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ රත්තිනපුරම්, ආනන්දපුරම්, කනකම්බිකුලම්, මරදනගර්, පන්නන්කන්ඩි, ධර්මපුරම්, පුලියන්පොක්කනි, පරන්තරන්, කුඩියඉරිප්පු, උරියන්, කන්දවාලි, මාන්කුලම් ප්‍රදේශයන් සහ මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ මනන්කන්දල්, කව්වාලකන්ඩල්, කොඩාඩිකල්ලු, කේජනාගරත්නපුරම්, විද්‍යාපුරම්, උදයාරකට්ටු, කුරුවිල්කුලම් ප්‍රදේශයන්හි පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණයත් සමඟ අඳහැළුණු ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූ සිවිල් වැසියන් 2968 කට පමණ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි සහයෝගය ඇතිව යුද්ධ හමුදා සාමාජිකයින් සහනාධාර, පිසු ආහාර, නවාතැන් පහසුකම්, වෛද්‍ය ආධාර සහ සනීපාරක්‍ෂණ පහසුකම් ලබාදෙනු ලබයි.

ඒ අනුව, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 15 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 230 කට අධික පිරිසක් වර්ෂාපතනය හේතුවෙන් ජලයෙන් යටවු ප්‍රදේශයන්හි සෙනසුරාදා (22) දින ගලවාගැනිමේ මෙහෙයුම්වල නිරතවිය. කිලිනොච්චි ප්‍රදේශයේ සිදුකරනු ලැබූ ගලවාගැනීමේ මෙහෙයුම් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ දියත් කරනු ලැබීය.

පවතින අයහපත් කාලගුණයත් සමග අඳහැළෙණ ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පිහිටි ඕලුමඩු හා පුලිමුච්චුනාඩුකුලම් වැවේහි ජල මට්ටම් සීඝ්‍රයෙන් ඉහල ගොස් වැව් බැමිවල ජලය කාන්දුවෙමින් පවතින බව සෙනසුරාදා (22) දින සැලවූ වහාම ක්‍රියාත්මක වූ යුද්ධ හමුදා සාමාජිකයින් වැව් බැමි බිඳියාම වැලැක්වීමට කටයුතු කළහ.

ඒ අනුව, 57 වන සේනාංකය යටතේ ස්ථාපිත 574 වන බලසේනාවේ සහ 3 වන ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 42 ක් පමණ යුහුසුළුව ක්‍රියාත්මක වී වැව් බැම්මේ ජලය කාන්දුවන ස්ථානය වටා වැලිකොට්ටා 838 ක් පමණ අතුරා වැව් බැම්මේ ආරක්‍ෂාව තහවුරු කිරීමට සමත්විය.

එමෙන්ම, පවතින අයහපත් කාලගුණයත් සමඟ අඳහැළෙණ ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් මූලතිව් දිස්ත්‍රික්කයේ ජලයෙන් යටවී ඇති මනන්කන්දල්, කව්වාලකන්ඩල්, කොඩාඩිකල්ලු, කනගාරත්නපුරම්, විද්‍යාපුරම්, උදයාරකට්ටු, කුරුවිල්කුලම් ප්‍රදේශයන්හි මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් තවදුරටත් ගලවාගැනීමේ සහ සහන මෙහෙයුම් දියත් කරනු ලබයි.

++++++++++++++++++++++++

යුද්ධ හමුදා සාමාජිකයින් හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත් මූලතිව් ප්‍රදේශයේ සිවිල් වැසියන්ට සහන සලසයි

(23.12.2018 – 12:54 +0530 – army.lk)

මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 සහ 68 වන සේනාංක බලප්‍රදේශයේ ඕඩ්ඩුසුඩාන්, මන්නකන්දල්, කරුවලකන්ද, කොඩාඩි කල්ලු, කනගරත්නපුරම් සහ විද්‍යාපුරම් ප්‍රදේශයන්හි සිකුරාදා (21) දින සිට ඉරිදා (23) දින දක්වා පසුගිය පැය 48 ක කාලය තුල ඇඳහැළුණ ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් පිඩාවටපත් සිවිල් වැසියන් 1000 කට අධික ප්‍රමාණයකට සහන සැලසීමට යුද්ධ හමුදා සාමාජිකයින් සමත්විය.

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැළෙන ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් ප්‍රදේශයේ නිවාස ගණනාවක් ජලයෙන් යටවී ඇත. එම සිවිල් වැසියන්ට සහන සැලසිම සඳහා යුද්ධ හමුදා සහන සේවා කණ්ඩායම් ප්‍රදේශයට පැමිණෙන විටත් සිවිල් වැසියන් ගස් උඩට සහ උස් ස්ථාන වෙත නැග ඇත. ප්‍රදේශයේ සිවිල් වැසියන්ට අමතරව, සුනඛයන්, ගවයින්, ගොනුන් හා බළලුන් වැනි සතුන් ද ආරක්‍ෂිත ප්‍රදේශවලට යුද්ධ හමුදා සාමාජිකයින් විසින් යොමු කරන ලද අතර ඔවුන්ට අවශ්‍ය ආහාර ද ලබා දී ඇත.

මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ගේ අධීක්‍ෂණය යටතේ එම සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විශේෂ බලකායේ සහ නයාරු පිහිටි නාවික හමුදා කඳවුරේ ජිවිත ආරක්‍ෂක කණ්ඩායමේ සහයෝගය ඇතිව සෙනසුරාදා (22) දින අලුයම 2.00 ට පමණ ගලවාගැනීමේ මෙහෙයුමක් දියත් කළහ.

ඒ අනුව, ක්‍රියාත්මක වූ භට පිරිස් බෝට්ටු යොදාගනිමින් ප්‍රදේශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහල ගොස් යටවූ නිවාසවල සිරවී සිටි ළමුන් ඇතුළු සිවිල් වැසියන් 100 කට අධික පිරිසක් ගලවාගෙන ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යාමට සමත්විය.

එමෙන්ම, විපතටපත් පවුල් 276 කට අයත් පුද්ගලයින් 682 ක් ආරක්‍ෂිත ස්ථානයහි පදිංචි කර ඇති අතර ඉරිදා (23) දින උදෑසන ඔවුන්ට අවශ්‍ය පිසු ආහාර සහ වෛද්‍ය ආධාර යුද්ධ හමුදාව විසින් සපයනු ලැබීය. තවද, අයහපත් කාලගුණයත් සමඟ නේඳුන්කනී – මුල්ලෙයාවේලි මාර්ගයට කඩා වැටුණු ගස් ඉවත් කරමින් මාර්ගයේ ගමනා ගමනය යථා තත්ත්වයට පත් කිරීමට යුද්ධ හමුදා සාමාජිකයින් සමත්විය. එමෙන්ම, අවට ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් නිවාසවල අවතැන්වී සිටින සිවිල් වැසියන් සඳහා සෙනසුරාදා (22) දින උදෑසන ආහාර පාර්සල් 300 ක් බෙදාදීමට යුද්ධ හමුදාව කටයුතු කළහ.

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 7 වන ගැමුණු හේවා බලඇණියේ සහ 4 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් පසුගිය පැය 48 ක කාලය තුල හදිසි ආපදා තත්ත්වයන් ඇතිවූ ප්‍රදේශයන්හි සිවිල් වැසියන් 22 ක් බේරාගැනීමට සමත්විය. 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ගේ උපදෙස් මත අදාළ බලසේනාධිපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ තවදුරටත් සහන මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *