කූඨ හැන්සාඩ් ලෙඛණ ගැන කතානායකට එරෙහි CID පැමිණිලි විභාගය ඇරඹෙයි..

(25.12.2018 – 06:24 +0530 – lankacnews.com)

කතානායකවරයා විසින් හැන්සාඩ් වාර්තාවක් කූඨ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය විසින් සිදු කල පැමිණිල්ල වැඩිදුර විභාගය (24) කොළඹ කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී සිදුවිය.

පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධු මාධව අරවින්ද නියෝජ්‍ය ජාතික සංවිධායක බස්නාහිර පළාත් සභාවේ උප සභාපති යසපාල කෝරළගේ ප්‍ර‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක සහ සංස්කෘතික කටයුතු ලේකම් උපුල් කෝනාර යන මහත්වරුන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

එම අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ පක්ෂයේ නියෝජ්‍ය නායක මධු මාදව අරවින්ද මහතා :

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව තිබෙන විශ්වාසය දිනෙන් දින පලුදු වන රටක නීතිය සම්බන්ධව කුකුසක් තියෙන රටක බොහොම තීරණාත්මක කැඳවීමක් අද දින සිද්ධ වුණා. කතානායකවරයා කූට ලෙස සකසන ලද හැන්සාඩ් වාර්තාව සම්බන්ධයෙන් අප සතු වන සියළුම වාර්තා සහිතව මේ වන විට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි. අප විශ්වාස කරනවා කතානායකවරයාගේ පක්ෂග්‍රාහී බව නඩු තීන්දුවට පවා බලපෑවා කියා. මොකද නඩු තීන්දු දෙන්නේ යන්ත්‍ර නොවේ මිනිසුන්. ඉතින් මිනිසුන්ට බලපෑමක් ඇතිවන ආකාරයෙන් කූට අන්දමින් වෙනස් කර ලිපි ලේඛන භාවිතා කරපු කතානායකවරයා වැරදිකරුවෙක් විය යුතු බව අප විශ්වාස කරනවා.

සිරකරුවෝද මනුශ්‍යයෝ යැයි සිරගෙවල්වල ගසා තිබුණත් සතුන්ට වාගෙයි සැලකිලි ලැබෙන්නේ ඒවා තුළ මිනිසුන්ට. නාන්නට කන්නට බොන්නට තියෙන්නේ බරපතළ අපහසුතාවයන්. ඒ වගේම තමයි මේ තැනුත්. අපිට ප්‍රශ්නයක් වුණාම අපි මෙතැනට එනවා. මෙහි නිලධාරිනුත් ඉතාම සූක්ෂමව තීක්ෂණව ඔවුන්ගේ රාජකාරිය ඉටු කරනවා. නමුත් ලංකාවේ තියෙන පරණම තාක්ෂණික මෙවලම් වලින් තමයි ඔවුන්ට රාජකාරි කරන්නට සිදු වෙලා තියෙන්නෙ. අපි ඔවුන් ගැන නොවෙයි වැරැද්දක් කියන්නේ. අපි දැක්කා ඒ අඩු පහසුකම් තුළත් ඔවුන් කොයිතරම් උත්සාහයන් ගන්නවද කියලා. ඒ නිසා ඔවුන්ටත් ලෝකයේ තියෙන හොඳම තාක්ෂණය ගෙනැවිත් දෙන්න.

ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය කියන ත්‍රිමූර්තියම පිළිබඳව ජනතාවට ගැටළු පැන නැගී තියෙනවා. අපට ආණ්ඩු බලය තිබුණත් නැතත් අප සත්‍යය වෙනුවෙන් පෙනී සිටිනවා.

ඒ වගේම මට තවත් දවසක් මෙතැනට එන්න සිද්ධ වෙනවා. එක්නැලිගොඩ සම්බන්ධයෙන් මා ප්‍රකාශයක් සිදුකළා. ඒ සම්බන්ධව එතුමාගේ බිරිඳ පැමිණිල්ලක් දමා තිබෙනවා. මේ නිසා ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිද්ධ වේවි. ලොකු ඇමතිවරුන් මන්ත්‍රීවරුන් ඇවිල්ලා ගැහැනුන්ට විරුද්ධව ආයතනික ප්‍රධානීන්ට විරුද්ධව හිටපු ජනාධිපතිතුමන්ට විරුද්ධ ලොකු කතන්දර කියනවා. මම ඔවුන්ට කියන්නේ ඔබලා බයයිනේ පාතාලයට. එක්නැලිගොඩ පමණක් නොවෙයි මාකදුරේ මධූෂ් කියන මිනිසා ඩුබායි වල ඉන්නවා. මා දැන් එයත් ප්‍රකාශ කළා. ඩුබායි වලදි එක්නැලිගොඩ දැක්කේ එක්කෙනයි. නමුත් මධූෂ් දැක්ක දහදෙනෙක් අපි දැක්කා. දැන් මදූෂ් මහත්තයාගේ නෝනත් ඇවිල්ලා පැමිණිල්ලක් දාන්න. මේවාට ක්‍රියාත්මක වෙන්න. අපි මේ ගැන මෙහෙම කියන්නෙ අපි කොයි වරදටත් එරෙහිව ක්‍රියාත්මක වන මිනිසුන් නිසයි.

නීතීඥ තුෂාර දිසානායක මහතා :

නොවැම්බර් 14 හැන්සාඩ් වාර්තාව තමයි පදනම් වුණේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ කැබිනෙට්ටුව එම ධූරයන් ගෙන් අත්හිටුවන්නට. එම නඩුකරයේ දී භාවිතා කරන ලද එම හැන්සාඩ් වාර්තාව කථානායකතුමන් විසින් චේතනාන්විතව සංශෝධනය කළ බවට වන පැමිණිල්ල තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ අද දින විමර්ශනයට බඳුන් වූයේ. මෙම හැන්සාඩ් වාර්තාව යොදාගනිමින් මේ රටේ තීරණාත්මක නඩු තීන්දු ගණනාවක් අධිකරණය විසින් ලබා දුන්නා. ඉතිහාසයේ පළමු වතාවට එම කූට ලෙස රචනා කරනු ලැබූ හැන්සාඩ් වාර්තාව උපයෝගී කර ගනිමින් හිටපු අගමැති සහ කැබිනට් මණ්ඩලයේ ධූරයන් ද අත්හිටෙව්වා. මෙය ඉතාම බරපතළ වරදක්. මෙම වරද සම්බන්ධයෙන් ඍජු ලෙසම අප ඇඟිල්ල දිගු කරන්නේ කථානායක කරූ ජයසූරිය මහතාටයි.

බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා :

පසුගිය කාලයේ පාර්ලිමේන්තුව තුළ මහා විනාශකාරී තත්වයක් රටේ අස්ථාවර තත්වයක් ඇති කිරීමට මුල් වූ කථානායක කරු ජයසූරිය මහතාගේ කටයුතු සම්බන්ධයෙන් තමයි අද දින පරීක්ෂණ සිදුකෙරුණේ. අප මේ තුළින් බලාපොරොත්තු වෙන්නේ ඔහු විසින් සිදුකරගෙන ගිය වැඩසටහන ජනතාවට හෙළිදරව් කිරීමටයි. අද එජාපය පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ බහුතරය ගැන කතා කරන්නේ දෙමළ ජාතික සන්ධානය කියන එල්ටීටීඊ හිතවාදී පක්ෂයත් එක්ක එකතුවෙමින්. මෙම දෙමළ ජාතික සන්ධානයේ සහාය එජාපයට හිමිවන්නේ ඔවුන්ගේ ඉල්ලීම් ලබා ගනිමින් මෙරට මහා අඳුරු යුගයකට රැගෙන යෑම සඳහායි.

– අරවින්ද අතුකෝරල

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *