ගං වතුරෙන් තවමත් 87,000 කට පීඩා

(26.12.2018 – 21:28 +0530 – hirunews.lk/sinhala)

උතුර පළාතට තද වැසිවල බලපෑම අඩුවුවත් පීඩාවට පත්වූ විශාල සංඛ්‍යාවක් මේ වනවිටත් සුබසාධන කඳවුරුවල රඳවා සිටිනවා.

පළාත් 3 කට බලපෑම් එල්ල කළ අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත්වූ සංඛ්‍යාව 87,693 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

ඉන් 86,751 දෙනෙකු වාර්තාවන්නේ උතුර පළාතෙන්.

පුද්ගල මරණ දෙකක් වාර්තාවී ඇති අතර, නිවාස 89 කට පූර්ණ හානි සිදුවී තවත් 1308 කට අර්ධ හානි සිදුව තිබෙනවා.

සුබසාධන කඳවුරු 24 ක උතුර පළාතේ පුද්ගලයන් 8,683 දෙනෙකු රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

අයහපත් කාලගුණයෙන් මධ්‍යම පළාතේ පුද්ගලයන් 890 දෙනෙකුද, වයඹ පළාතේ පුද්ගලයන් 52 කුද පීඩාවට පත්වී ඇති බව සඳහන්.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

අයහපත් කාලගුණයෙන් අපහසුතාවට පත්වූ ජනතාවට අඩුපාඩුවක් සිදු නොවන අන්දමින් පහසුකම් සපයා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කර ඇති අතර, ඒ අනුව තම දිස්ත්‍රික්කයේ සුබසාධන කඳවුරුවල රඳවා සිටින ආපදාවට පත් ජනතාව පිළිබඳ නිරන්තර අවධානයකින් සිටින බවයි කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමෙයිනායගම් මහතා කියා සිටියේ.

එමෙන්ම ජල ගැල්මෙන් අපවිත්‍ර වූ නිවාස, ජල ළිං සහ වැසිකිලි යළි පවිත්‍ර කිරීමේ වැඩසටහන් රාජ්‍ය ආයතන ඒකාබද්ධ කොට ක්‍රියාවට නැංවීමට ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් උතුර සහ නැගෙනහිර පළාත්වලට දැනට සිදුව ඇති හානිය රුපියල් බිලියනයක් බවට ගණන් බලා ඇතැයි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා කොළඹදී අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම නාවික හමුදාවේ මෙහෙයුම් කණ්ඩායම් 6 ක් ආපදාවට පත් ප්‍රදේශවල සේවා කටයුතු සඳහා යොදවා ඇති අතර, ගුවන් හමුදාව, ගුවනින් හඳුනාගැනීම් මගින් උවදුරු සහිත ප්‍රදේශවල සේවයෙහි යෙදෙන පාබල හමුදාවල කටයුතුවලට සහය දෙමින් සිටින බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, උතුරුමැද සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය 6 ක කාලය තුළ මිලිමීටර 100 ඉක්මවූ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වැසි පවතින අවස්ථාවල එම ප්‍රදේශවල පැයට කිලෝමීටර 70 ත් 80 ත් දක්වා වූ තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++++

උතුරේ අවතැන් වුවන්ට සහන දෙන්න TNA ආවේ නෑ

(26.12.2018 – 19:26 +0530 – sinhala.adaderana.lk)

උතුරු – නැගෙනහිර පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ කාලයේදී උතුරු සහ නැගෙනහිර පළාත්වල මැතිවරණ පවත්වමින් එම ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබාදුන් බව ඔවුන් සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (26) කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

මේ අතර ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව සිටින උතුරේ ජනතාවට සහන ලබාදීම සඳහා දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් නොවීම හෙලා දකින බව එම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

දෙමළ ජනතාව වෙනුවෙන් පෙනීසිටින බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළද ආපදා තත්ත්වයකදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට සිදුවූයේ යුද හමුදාවට බව ඒ මහතා එහිදි පැවසීය.

*****************************************

ජනවාරියේ මහජන මත විමසුමක්

(26.12.2018 – 21:25 +0530 – hirunews.lk/sinhala)

භූගෝලීය නාමප්‍රමිතිකරණය කිරීම යටතේ සකස් කළ මෙරට ස්ථානීය නාම ලක්ෂ 3 ක ප්‍රමාණය ලබන ජනවාරි මාසයේ අන්තර්ජාලයට මුදාහරින බව මිනුම්පති පී.එන්.පී. උදයකාන්ත මහතා ප්‍රකාශ කළා.

මහජන අදහස් ලබාගැනීම සඳහා මුදාහැරෙන මෙම ස්ථානීය නාම මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ www.geonames.gov.lk වෙබ් අඩවිය ඔස්සේ බලාගත හැකි බවයි ඔහු කියා සිටියේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *