උසස් පෙළ විශිෂ්ඨයෝ මෙන්න

(30.12.2018 – 06:58 +0530 – sinhala.adaderana.lk)

උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අදාළව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන ලබාගත් සිසුන් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ කලනී සමුදා රාජපක්ෂ හිමිකර ගෙන ඇති අතර කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ රවිඳු ශෂික ඉලන්ගම්ගේ දෙවන ස්ථානයත් මාතලේ සහිරා විද්‍යාලයේ මුහම්මද් රිස්මී මුහම්මද් හකීම් කරීම් විසින් හිමිකරගෙන තිබේ.

භෞතික විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය කොළඹ විශාකා විද්‍යාලයේ චතුනි හන්සනී වසන්තා විජේගුණවර්ධන විසින් ලබාගෙන ඇති අතර දෙවන ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ චාමිඳු සුරාන් ලියනගේ විසින් ද තෙවන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ තෙවිඳු ජනිත් විජේසේකර විසින් ද හිමිකර ගැනීමට සමත් විය.

කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ කසුන් ඉඳුරංග වික්‍රමරත්න වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගෙන තිබේ.

එම අංශයේ දෙවන ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ උවිනි අයත්මා රණවීරටත් තෙවන ස්ථානය කොළඹ මියුසියස් විද්‍යාලයේ මලිති ජයරත්නත් හිමිකර ගෙන තිබේ.

කලා විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේ පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සෙනාදි දම්යා ද අල්විස් විසිනි.

දෙවන ස්ථානය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ සිත්මි නිමාෂි එදිරිසිංහට හිමිව තිබේ.

මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ඉෂානි උමේෂා කුමාරි එම අංශයේ තෙවන ස්ථානයට පත් විය.

ඉංජිනේරු තාක්ෂණ අංශයේ ප්‍රථම ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ පමුදිත යසස් පතිරත්න හිමිකරගෙන ඇති අතර කොළඹ ආනන්ද විද්‍යාලයේම තරිඳු හේෂාන් දෙවන ස්ථානයත් නිකවැරටිය මහසෙන් ජාතික පැසලේ සෙෂාන් රංගන විජේකෝන් තෙවන ස්ථානයත් හිමි කර ගෙන තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++++

A/L ප්‍රතිඵල නැවත සමීක්ෂණයට ජනවාරි 16 දක්වා අවස්ථාව

(30.12.2018 – 08:39 +0530 – sinhala.adaderana.lk)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛණ අද පෙරවරු 10.00 න් පසු විදුහල්පතිවරුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකියි.

අනෙකුත් ප්‍රතිඵල අද (30) සියලු පාසල් වෙත සහ පුද්ගලික අයදුම්කරුවන් වෙත තැපැල් මඟින් යොමුකරන බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙවර විභාගය සඳහා සිසුන් තුන් ලක්ෂ 21,469 දෙනෙකු පෙනී සිටි අතර ඉන් එක් ලක්ෂ 67,907 දෙනෙකු විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබේ.

මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සදහා ජනවාරි 16 වැනිදා දක්වා ඉල්ලීම් සිදුකළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

පාසල් අයදුම්කරුවන් සඳහා නැවත සමීක්ෂණ අයදුම්පත් ප්‍රතිඵල ලේඛන සමඟ විදුහල්පතිවරුන් වෙත යොමුකරන අතර පුද්ගලික අයදුම්කරුවන් ඉදිරියේ දී ජාතික පුවත්පත්වල පළ කරන දැන්වීම අනුව හෝ විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ පල කරන දැන්වීම අනුව අයදුම්පත් යොමුකළ යුතුය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *